විචාරයෙන් ප්‍රචලිත වුණු හෝ අවිචාරයෙන් හැංගුණු කලාව, කලාත්මක භාවයන්ගෙන් පිරුණු කලාකාරයෝ ආශාවෙන් ආසක්ත වුණු, රාගයෙන් (sex නොවේ) මුසපත් වුණු පිරිසක් විය යුතුම බවයි මගේ හැඟීම. ඔවුන්ගේ කලාකෘතිවලට ඉසිඹුවන නැත්නම් හේතුවෙන කාරණා හෝ පුද්ගලයින් ඊටත් වඩා ආශාවෙන් සහ රාගයෙන් ආසක්ත විය යුතුම බවයි මගේ ඊළඟ හැඟීම. අපි එකිනෙකාගේ මතිමතාන්තර අනුව දේවල් හොඳ වුණත් නරක වුණත්, මේ සාමාන්‍ය කතාව මධ්‍යස්ථ විදියට විඳින්න පුළුවන් නම් අගෙයි. මේ වගේ කතා අපේ ජීවිතවලත් තියෙන්නට පුළුවන්.
සැල්වදොර් ඩාලි, බොහෝම දෙනෙක් දන්න ස්පාඤ්ඤ ජාතික අධියථාර්තවාදී චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි මූර්ති කලාව, ඡායාරූපකරණය, ලේඛනය විතරක් නොවෙයි සිනමාවෙදිත් හමුවෙන ජේත්තුකාර චරිතයක්. ඔහුගේ ප්රකාශනයන් ඔහුට අනන්යවයි, අද වෙනතුරුත්. ඩාලි ගැන කතාකරද්දි ඊළඟට හමුවෙන චරිතය තමයි ගාලා. ඇගේ නමටම සරිලන ආකාරයේ අති උත්කර්ෂවත් ගැහැණියක් විදියටයි ලෝකය ඇයව හඳුනන්නේ. ඒ වගේම ඩාලිත්, ඩාලිගේ අසීමාන්තික කලාකෘතීන්ගේත් හිමිකාරිය ඇය ලෙසයි කවුරුත් ඇයව අදහන්නේ.
ඒත් ගාලාව අයිති වුණේ ඩාලිට විතරම ද?
නැහැ. ඇත්තටම ගාලාට අයිතිකාරයෙක් හිටියේ නැහැ. කවදාවත්ම. ඒත් ගාලාට අයිති වුණු මිනිස්සු ගණනාවක්ම හිටපු බවයි මිනිස්සු නම් කියන්නේ. ඇය ඒ තරම් නිදහස්කාමී ද? බලවත් ද?
කවියෙක්…
ගාලාගේ ජීවිත කතාව පටන්ගන්නේ රුසියාවෙන්. 1894 දී රුසියාවට දාව උපදින ඇගේ නියම නම Elena Ivanovna Diakonova. වයස 17 දී විතර ඇයව ස්වට්සර්ලන්තයට යවනු ලබන්නේ ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබා දෙන්නට. ආරෝග්‍ය ශාලාවේදී ඇයට තවත් රෝගියෙක් හමුවෙනවා. පෝල්, ඒ කාලේ නිකම් පෝල් වුණාට අද අපි ඔහුව, Paul Éluard ව හඳුනාගත යුත්තේ දක්ෂ කවියෙක් නැත්නම් ලේඛකයෙක් විදියට. ප්‍රංශ ජාතිකයෙකු වුණු පෝල් මේ රුසියානු කෙල්ලත් එක්ක ආදරයෙන් වෙළෙනවා. පළමු ලෝක යුද්ධය පැවතුණු කාලෙක ඔවුන් දෙදෙනාට වෙන්ව යන්නට සිදුවුණත් ඇය කෙරේ ආකර්ශණයෙන් උන්නු පෝල් ඇයව ආදරයෙන් ආමන්ත්ර්ණය කළේ ‘’ගාලා’ නමින්. ඔහු ඇගෙන් අති උත්කර්ෂවත් වන්නට ඇති. කවියෙකු වීමේ හීනයෙන් වෙළුණු පෝල්ට, ” ඔයා කවදහරි ශ්‍රේෂ්ඨ කවියෙක් වේවි” කියල ලියල යවපු ගාලා, ප්‍රංශ හමුදාවේ යුධ වදිමින් අමිහිරි වටපිටාවන් මැද්දේ පෝල් ඇය වෙනුවෙන්ම ආදරෙන් ලියපු කවි රස වින්දා. ඒවායේ ගුණදොස් ප්‍රකාශ කළා. 1916 දී රුසියාව අතහැරලා ප්‍රංශයට එන ගාලා පෝල් සමග විවාහ වනවා. 1918 දී ඇය දියණියක් බිහිකළත් මාතෘත්වය වදයක් විදියට සලකපු බවයි පැවසෙන්නේ.
You who were my flesh’s sensitive conscience
You I love forever you who made me
You will not tolerate oppression or injury
You’ll sing in dream of earthly happiness
You’ll dream of freedom and I’ll continue you
(‘’Talking of Power and Love’ by Paul Éluard)
බොහිමියානුවෝ:
1918 දී පළමු ලෝක යුධ නිමාවත් එක්ක නිදහස් වෙන ගාලා සහ පෝල් ගෙවන්නේ අස්ථීර නැවතුම්පොළක් නැති, කලාත්මක විදියට කිව්වොත් නම් බොහිමියානු ජීවිතයක්. අධියථාර්තවාදී කවියෙක් විදියට ගොඩ නැගෙමින් හිටපු පෝල් සහ ගාලා ගේ පළමු සොයායෑම වුණෙත් අධියථාර්තවාදී සමාගමයන්. ඒ වගේම පශ්චාත් යුධ වාතාවරණයත් එක්ක බිහිවෙන Dada වාදෙය් මුහුවීම්. Louis Aragon, Max Ernst සහ André Breton සමග හිතවත්කම් පවත්වපු ගාලාගේ කායික අාකර්ශණයන් පෝල් කෙරෙහි විතරක් සීමා වෙන්නේ නැහැ. ඔවුන්ගේ නිදහස් ජීවන රටාවේ දී ඒ පැවතීම පෝල්ට ප්‍රශ්ණයක් වෙන්නෙත් නැහැ. ඇගේ සමාගමය සාමාන්‍ය ගැහැණියකගේ ස්පර්ශයට වඩා විශේෂ කරලා කතාකරන්න සිද්ධවෙන්නේ ඉතිහාසයේ නම තියපු සමකාලීන කලාකරුවන්ගේ නිර්මාණවලට ගාලා වැඩි වශයෙන් බලපාපු බව ඉතිහාසය විසින්ම පවසන නිසා.
එහෙම යන ගමනක දී, 1929 අගෝස්තු මාසේ දී ගාලාට සහ පෝල්ට ස්පාඤ්ඤයේ දී තරුණ අධියථාර්තවාදී චිත්‍ර ශිල්පියෙක් මුණගැහෙනවා. ඒ තමයි සැල්වදෝර් ඩාලි. ස්ත්රීෝත්වය සම්බන්ධයෙන් භීතිකාවක පෙළුණු නොඉඳුල් ඩාලිගේ උදාසීන ජීවිතේ සුන්නද්ධූලි කරලා අළුතෙන් පණපොවන්නේ ගාලා. ජීවිතේ මියයන තුරුම ඔහු ඇසුරු කළ එකම ගැහැණිය ගාලා බවයි පැවසෙන්නේ.
මම නුඹේ ඩාලි…
පෝල්ගෙන් වෙන්වෙන ඩාලිගේ ජීවිතය තුළ භූමිකා කීපයකටම පණදුන් බව කිව හැකියි. ඔහුගේ කලා කටයුතු කළමනාකරණය කරන අතරේ ඔහුගේ ආශ්වාසනීය ප්‍රහර්ෂය සහ නිරන්තර මොඩලය වන්නේත් ගාලා. 1945 දී නිමවුණු Portrait of Galerina ඇය ඇසුරු කරගත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස සලකන්නට පුළුවන්. ඩාලි ඔහුගේ නිර්මාණ සම්පූර්ණ කළේත් ඔහුගේ සහ ඇයගේ අත්සන් දෙකම යොදමින්. 1934 දී ඔවුන් විවාහ වනවා. නමුත් මේ විවාහය තුළ ගාලා තමන්ගේ නිදහස උපරිමයෙන් අත්පත් කරගත් බවයි පෙනෙන්නේ. ඩාලි හැර පෝල් ඇතුළු වෙනත් පිරිමින් රැසකගේ ජීවිත තුළට සිය ආම්ලික ජීවන රසය මුහු කරන ගාලාගේ මේ පැවැත්මට යම්ලෙසකින් ඩාලිගේ පෙළඹවීමකුත් තිබුණු බවකුත් නොපෙනෙනවා නෙවෙයි. 1968 දී ඩාලි Castle of Púbol මන්දිරය ගාලාට තෑගි කළත් ඔහුට එහි යා හැකි වුණේ ඇයට කරන පෙර දැනුම් දීමකින් අනතුරුවයි. කිසිම දවසක ඇගේ නිදහසට බාධා නොකරපු ඩාලි අතින් නිමවුණු විවිධාකාර කලාකෘති බොහෝමයි.
ඩාලි අන්තර්ජාතික වශයෙන් සෞභාග්‍යමත් වෙද්දී ගාලා ඔහුට කලින් වියපත් වෙමින් සිටියා. ඩාලිට වඩා වසර 10න් වැඩිමහල් වුණත් හැත්තෑව පැනපු ගාලා සංගීතඥයෙකු වුණු Jeff Fenholt සමග පැවැත්වූ සම්බන්ධතාවය ප්‍රසිද්ධයි. ස්පාඤ්ඤ රෝහල් සයනයකදී ගාලා විසින් පැවසී යැයි කියමින් ඩාලි තමන්ට පහර දීමෙන් තමන්ගේ තුනටිය බිදුණු බවත්, පසුකලෙක ඇගේ මරණයට හේතු වුණෙත් එයම බවත් Fenholt වරක් කියා තිබුණා. මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඩාලිගේ අන්තර්ජාතික පිළිගැනීම ඔහුත් ගාලාත් අතර දුරස් බවක් ඇති කරන්නට සමත් වූ බව කිව හැකියි.
මරණය නම් නියතය…
ඩාලිගේ නිර්මාණ යථාර්තයෙන් බොහෝ එහා ගිය නිර්මාණ බව කොයි කාටත් සරලවම වටහා ගත හැකි දෙයක්. ඩාලිට ගාලාව දැනුණු විදිය දන්නේ ඩාලි විතරයි. සමහරවිට ගාලාත් දන්නවා ඇති. තේරුම්ගන්න කොයිතරම් උත්සාහ ගත්තත් අපිට ඒක තේරෙන්නේ නැහැ. සමහරවිට විහිළුවක් බොරුවක් විදියට කෙනෙකුට දැනෙන්නත් පුළුවන්.
දවසක් ඩාලි මෙහෙම කියනවා. ”මම ඈට කොයිතරම් ආදරේද කිව්වොත් එයා මට කලින් මැරුණොත් මම එයාව කනවා”. ඒ විදියටම ගාලා ඩාලිට කලින් මියයනවා. ඔහු ඇයව කන්නේ නම් නැහැ. ඒත් ඇගේ මරණයෙන් පස්සේ දිවිනසා ගන්න කීපවරක්ම උත්සාහ ගත් බව කියැවෙනවා.
අන්තිමේදී මැරෙන එක අමතක කරලා ඩාලි ඇය වෙනුවෙන් සුවඳ විලවුන් වර්ගයක් හදනවා. ඒ 1983 දී. තමන්ව සදහටම අයිති කරගත්තු, තමන්ට කවදාවත්ම අයිතිකරගන්න බැරිවුණු ගැහැණියගේ ජීවන සුවඳ මිරිකලා අරගෙන ලෝකෙට බෙදා දෙන්න තරම් දුරට යථාර්තය පරදවපු මිනිහෙක් වුණු ඩාලි 1989 දී මිය යනවා.
සටහන: නිමේෂා තන්ත්‍රිමුදලි