850 ගණන්වල ප්‍රංශයෙන් පටන් ගත් යථාර්ථවාදය (Realism) කලා ව්‍යාපාරයක් විය. 18 සියවසේ පැවති රොමැන්තිකවාදය ප්‍රතික්ෂේප කළ මේ කලාකරුවන් සිය නිර්මාණ තුලින් එවක සමාජයේ සත්‍ය වූ පිළිබිඹු ඉදිරිපත් කළහ. 1857 දී Jean-François Millet අඳින ලද The Gleaners නම් චිත්‍රය අස්වැන්න නෙළාගත් පසු එහි ඉතිරි ධාන්‍ය බිඳිති ඇහිඳින ගම්බද දුෂ්කර ජීවිත ගෙවන කාන්තාවන් නිරූපනය වේ. එය මෙම කලා ව්‍යාපාරයේ සුප්‍රසිද්ධ උදාහරණයකි.
යථාර්ථවාදී කලාකරුවන් අසරණයන්ගේ තත්වයන් ලොවට පෙන්වද්දී ප්‍රංශ ජාතික ෆෙඩරික් බැස්ටියාට් මිනිසා ඒ අසරණ තත්වයට පත්වන්නේ මන්දැයි පෙන්වා දුන්නේය. නමුත් චිත්‍ර දැකීමෙන් හා ප්‍රබන්ධ කියැවීමෙන් පන්නරයක් ලබන අය පෙනෙන දේ පමණක් මිසෙක නොපෙනෙන දේ ගැන විමසන්නට වෙහෙසක් නොගනිති. සමාජයක් සැබැවින්ම යහපත් වෙන්නේ කෙසේදැයි විමසීම සිත් වෙහෙසන්නකි. කිසිදා සාක්ෂාත් කළ නොහැකි උත්කෘෂ්ටයන්ට පෙම්බැඳීම විචාරයෙන් තොරව කළ හැකියි.
ප්‍රංශයෙන් හටගත්ත යථාර්ථවාදී කලා රැල්ල රුසියාවට රිංගන්නේ 1917 ඔක්තෝබරයේ දී බොල්ෂෙවික් කල්ලිය රටේ පාලන බලය අල්ලා ගැනීමත් සමඟයි. ට්සාර් විසින් දමා තිබූ නිසිබලධාරීන්ගේ කපා හැරීම් වෙනුවට වැඩිකල් නොයද්දී සෝවියට් වැසියන් කොමියුනිස්ට් පරමාදර්ශයේ ජයග්රහණයන් දක්වන ‘යථාර්ථවාදී’ කලා කෘතීන් පමණක් පරිහරණයට කොටු වූහ. වැඩකරන ජනතාවට වටහාගත හැකි කලා නිර්මාණ පමණක් ද, මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය නිරූපනය වෙන කලා නිර්මාණ පමණක් ද, ගොඩනඟන කොමියුනිස්ට් රාජ්‍යයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ අරමුණු වලට සහාය දෙන මතවාදය පමණක් ද, මේ සෝවියට් යථාර්ථවාදී නිර්මාණ වලින් පිළිබිඹු කළ යුතු යැයි තීන්දු විය.
“දරුවන්ට උගන්වන්න මට වසර හතරක් දෙන්න, ඔවුන් තුල මා රෝපණය කරන බීජය කිසිදා මුලිනුපුටා දමන්නට නොහැකිවනු ඇත,” -ව්ලැඩිමියර් ලෙනින්
යුරෝපීය කතන්දර රාජ්‍ය මැදිහත්වීමෙන් සෝවියට් යථාර්ථවාදයෙන් හැඩගැසී සමාජයට නිකුත් කෙරිණ. ලංකාවේ බහුතරයක් තවමත් ළමා කාලයේ දී කියවන්නේ මේවායි. ඒවා සිත් ආකර්ශනය කරගන්නා ලෙසින් ලියා ලස්සන රූප වලින් පිටු පුරවා ඇත. යටින් දිවෙන නොපෙනෙන පණිවිඩය ගැන හිතන්නට උත්සාහයක් ගන්නේ එහෙමත් අයෙකි.
මිනිස් සංහතිය වෙනුවෙන් සතුට සොයා අරගලයක යෙදුනු නව මිනිසාගේ උප්පත්තිය දිග හැරෙන ‘වානේ පන්නරය ලැබූ හැටි’ අදත් ලාංකික ජන හදවත් පිනවන ප්රබන්ධයකි. දුප්පත් පවුලූෂා දඩබ්බර කොලු ගැටයන් වෙතින් පීඩා විඳිමින් බාල වයසේ දී හිමිදිරියේ නැඟිට යන මුළුතැන්ගෙයි රස්සාව ගැන, තේ කෝප්පයක් තොල ගාමින් සුව පහසු පුටුවක් රත්කරමින් කියවන අයගේ සිත් කම්පා කරවයි. මෙහි කතා නායකයා වන පවෙල් කොර්චාගින්ගේ කතාව එහි කතුවරයා වන නිකලායි ඔස්ත්රොවෙස්කිගේ ජීවිත කතාව ද වෙයි. හිතවතුන් නොව, පවුලේ ඥාතීන් නොව, ඔහු ලෙඩ දුකින් පෙළෙද්දී වෙරළබඩ සනීපාරක්ෂක නිකේතනයකට යවන පක්ෂය සහ සෝවියට් බලඅධිකාරිය කොතරම් ආදර්ශාත්මක ලෙසින් කටයුතු කරනවා දැයි දකින කියවන්නා ඉතා සතුටු වෙයි. බලන්න වැඩකරන ජනතාව වෙනුවෙන් කැප වූ අනගි ලේඛකයා රෝගී බවෙන් සිටිය දී ද සිය මෙහෙයුම අත්නොහැරි හැටි. ඒ මිනිසා කොතරම් අගය කළ යුත්තෙක් ද?
සෝවියට් යථාර්ථවාදයේ චිත්‍ර කලා නිර්මාණ තුලින් අපි වැඩියෙන් දකින්නේ රෝස පැහැති මුහුණු ඇති, ශක්තිමත් බාහු ඇති කෘෂිකාර්මික හෝ ඉංජිනේරු මෙවලමක් උස්සා ගත් ගැහැණු සහ පිරිමි වෙති. සෝවියට් උත්කෘෂ්ටය වෙනුවෙන් වෙඩි තබා මරා දැමූ අයව හෝ සාගතයෙන් මිය ගිය මිලියන ගණනක සංඛ්‍යාව නිරූපනය වෙන චිත්‍ර කලා නිර්මාණ කිසිවක් දකින්නට නොලැබුණි. වර්තමාන වෙනිසියුලාව ගැන සමාජ සාධාරණත්වය කතා කරනවුන් කොතරම් නිහඬ දැයි කිව්වොත් එහි අසරණ ජනතාව ගැන කලා කෘති දකින්නට ලැබේවිදැයි කියාත් සැකයි.
වානේ පන්නරය ලැබූ හැටි චරිතපදානයක් නොව ප්‍රබන්ධයක් හැටියට ඉදිරිපත් කරන නිසා, නිකලායි ලෙනින්වාදී තරුණ කොමියුනිස්ට් එක්සත් වෘත්තීය සමිතිය (කොම්සොමොල්) සිටි බව පමණක් ලියැවෙයි. සැබෑ ජීවිතයේ දී රතු හමුදාවේ සේවය කළ කාලය ගැන නිහඬව සිටියි. මන්ද රතු හමුදාව යනු එවක දී මිලියන පහකින් යුතු භට හමුදාවකි. පා ගමන් කරමින් උත්කෘෂ්ටයන්ට එකඟ නොවූ අය අත්අඩංගුවට ගනිමින්, සිරගත කරමින්, දූෂණය කරමින්, රටෙන් පිටුවහල් කරමින් යනාදී ඔවුන් කළ මෙහෙයුම් වූහ. රතු හමුදාව රටේ ජනගහණයෙන් 30% ක් වෙඩි තබා මරා දමා ‘ජනතාවගේ ප්රජාතන්ත්රවාදය’ මෙහෙය වූ අයයි.
1917 ජූලි කලබලයන්හි වීරයන් 1921 මාර්තු මාසයේ දී ක්‍රොන්ස්ටාඩ් නාවුක බේස් හි දී බොල්ෂෙවික් පාලකයන් සමඟ විරසක වූහ. බොල්ෂෙවික් කොමිස්සාර්වරුන් හිතුමතයේ කරන පාලනය හෙළා දුටුවහ. වැඩකරන ජනතාවට හා ගම්බද ජනතාවට බලයේ සිටිය හැකි සැබෑ සෝවියට් ජනරජයක් ඉල්ලා සිටියහ. එය සිද්ධ වූයේ 10 වැනි පක්ෂ සම්මේලනය පැවැත්වෙද්දී ය. රතු හමුදාවත් චෙකා බල ඇණියත් එය මර්ධනයට සම්මේලනය මැද දී පිටත්ව ගියහ. එය, ගුප්ත (mysterious) සුදු හමුදාවේ ජනරාල්වරයෙක් සහ සංක්‍රමණිකයන් (émigrés) විසින් මෙහෙයවූ කැරැල්ලක් (revolt) යැයි කටකතාවක් පතුරුවා හැරිණ. එහෙත් බොල්ෂෙවික් පක්ෂය සහ වැඩකරන ජනතාව සැබැවින්ම වෙන්වූයේ මෙහි දී ය. සෝවියට් පාලනය ප්‍රථම වතාවට සිය අරගලයට එක් වූ වැඩකරන ජනතාව වෙතම තුවක්කු එල්ල කළහ.
වානේ පන්නරය ලැබූ හැටි වෙතින් අපට ලැබෙන්නේ සෝවියට් යථාර්ථය වන පක්ෂයේ දෘශ්ටියයි. එකෝඩියන් එකක් වාදනය කරමින්
“ඒයි පුංචි ඇපල් ගෙඩිය
කොහාට ද ඔබ පෙරළෙන්නේ?
චෙකා අතින් චොප්ප වෙලා
එතැන තමයි ඔබ නවතින්නේ!”
යැයි පවෙල් කොර්චාගින් ජන ගීයක් වෙනස්කර ගයයි. මම සිංහල පරිවර්තනය කියවා නැත්තෙමි. ඒ නිසා දැදිගම වී. රුද්රිගූ මේ කවිය කෙසේ පරිවර්තනය කළාදැයි නොදනිමි.
ඒයි පුංචි ඇපල් ගෙඩිය කොහාට ද ඔබ පෙරළෙන්නේ? යන රුසියන් ජනකවිය එකතු කරමින් ‘අපි ජීවත්වන්නෝ’ නමින් සිය චරිතපදානය ප්‍රබන්ධයක් හැටියට ලියන ලද්දේ අයින් රෑන්ඩ් විසිනි. අනිත් පැත්ත දැනගන්නට කැමති නම් ඔබට ඒ ප්‍රබන්ධය මෙතැනින් සිංහලෙන් කියවන්න හැකියි.