lan englan tam

විශේෂාංග

සයිමන් නවගත්තේගම නම් උමතු ප්‍රඥාවෙන් යුතු මුනිවරයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඔහු බේබද්දෙකි; සල්ලාලයෙකි; සෙල්ලක්කාරයෙකි; නාස්තිකාරයෙකි; නො නවතින දුම් බොන්නෙකි; බරක් පතලක් නැත්තෙකි; වන්නියේ බයියෙකි; ගංජාකාරයෙකි; තැනක් නො තැනක් පිළිවෙලක් නැත්තෙකි; කටකමසිරියාවක් නැත්තෙකි; ජාතියක් ජම්මයක් ආගමක් ගැන හැඟීමක් නැත්තෙකි; දේශපාලනික පාවාදෙන්නෙකි, කිසිදු සංගිරිස්කෘතියක් නැත්තෙකි. සයිමන් නවගත්තේගම නම් මිනිසා දෙස සාමාන්‍ය පෘථග්ජන ඇසින් බලන ඕනෑම කෙනෙකුට ඇති වනුයේ එවැනි හැඟීමකි.

නමුත් ජීවිතය නම් වන්දනා ගමනේ නොයෙකුත් සිද්ධස්ථානවල නතර වෙමින් , ඒවා වැදපුදා ගැනීමින් ඔහු ගිය ගමන අසිරිමත් එකකි. වන්නි හත්පත්තුවට අයත් කුමාර වන්නියේ ගන පත කැලෑවත්, කොළඹ ගෙන්දගම් පොළොවේ කොන්ක්‍රීට් කැලෑවත් පීරාගෙන ඒවායේ කුරගානා, බඩගානා, අපා-දෙපා- සිවුපා- බහුපා යන නොයෙකුත් සතා සරුපයින් මුණගැසෙමින්, අටෝරාසියක් අත්විඳීම් විඳගනිමින් ඔහු ආ මඟ සෝමනස්සයන්ගෙන් ද දෝමනස්සයන්ගෙන් ද පිරි සාරවත් එකකි. සයිමන්ගේ විශේෂත්වය නම් මේ මුළුමහත් වන්දනා ගමන ම සකලවිධ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මතු නොව ගහ කොළ සතා සීපාවා කෙරෙහි ද අසීමිත ආදරයකින් යුතුව ගමන් කරමින් ම තමා විඳගන්නා අසිරිය පොත පත හාරහා අන් අය සමඟ බෙදා හදා ගනිමින් ඔහු ලෝකයට ඉතිරි කර ගිය ප්‍රඥා ප්‍රවාහයයි. ඔහුගේ නිර්මාණ හරහා ගලා එන මේ ප්‍රඥා ධාරාව මනසේ ඇති කුණු - දූවිලි - මලකඩ සෝදාගෙන ගලා යන විට මට ඒ අතරින් පෙනී නො පෙනී යන්නේ සයිමන් නවගත්තේගම නම් ජීවිතය විදිමින් ම එහි විමුක්තිය සොයා ගිය සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ය; අවකාශයේ පුළුන් පොදක් මෙන් සැරිසැරූ අසීමිත නිදහස්කාමී සෞන්දර්යවේදියා ය; කුරා කුහුඹුවෙකුටවත් වරදක් නොකළ සෙල්ලක්කාර සාධුවරයා ය, තන්ත්‍රයානයේ එන උමුතු ප්‍රඥාවෙන් යුතු මුනිවරයා ය.

සයිමන්ගේ සැබෑ ලෝකයත් සාහිත්‍ය ලෝකයත් යනු දෙකක් නො වී ය. ඔහු හැම විටම තමාගේ නිර්මාණයට අවංක වී ය. සයිමන් නවගත්තේගම සිය රූපකායෙන් අභාවිත වුව ද ඔහුගේ කෘති අදත් සමාජය තුළ හුස්ම ගනිමින් පවතින්නේ ඒවා ඔහුගේ අවංක අත්විඳීම්වලින් සාරවත් වූ හෙයිනි;එම අත්විඳීම් නිර්ව්‍යාජ ලෙස ම ඉදිරිපත් කළ හෙයිනි . ඔහුගේ පොත් කියවන විට විල්පත්තු මහ වනය අසල, ඔහුගේ ගමේ ජීවත් වූ අනේකවිධ ගැමියන්ගේ මුහුණු අපට පෙනේ; ඔහු සමග මධුවිත තොලගෑ මිතුරන්ගේ සාද තෙපුල් හඬ අපට ඇසේ; ඔහු ඇසුරු කළ ගාඩි මිනිසුන්ගේ දාඩිය කුයිල අපට දැනේ; ඔහුට සම්මුඛ වූ ගැහැනුන් හා මිනිසුන්ගේ කිකිණි සිනා හඬ මෙන්ම සෝ සුසුම් හඬ ද අපට ඇසේ; ඔහු සමග බුදියාගත් ගැහැනුන්ගේ කාම කෙඳිරිලි හඬ මෙන්ම රජස් චලනයේ දී උමුතුවෙන් කළ කෑගැසීම් හඬ අපට ද දැනේ .

නවගත්තේගමයෝ නිර්මාණකරණයේදී සිය නිර්මාණ තුළ ම ජීවත් වූහ. ඔහුගේ සුබ සහ යස වේදිකා නාට්‍යයේ යස හෙවත් යසලාලකතිස්ස රජුගේ චරිතය නිරූපණය කළේ ද ඔහු ම ය. සයිමන් යස ගේ චරිතය රඟපෑවේ යැයි කිවහොත් එය අසත්‍යයකි. සත්‍ය නම් සයිමන් යස ගේ චරිතය රඟ නො පෑවේ යන්න ය. ඔහු ඒ චරිතයේ ජීවත් වූයේ ය. රජුගේ ස්ත්‍රීලෝල ය, මධුලෝල ය, සෙල්ලක්කාරගතිය සයිමන් නිරූපණය කළේ නිරායාසී ගුණයෙනි.

"රජු: - ලෝක පාලනය කරන දෙවියනි - ඔබගේ රජතුමා මේ වන්දිභට්ටයන් ගෙන් ආරක්ෂා කර වදාරනු මැනවි.

දුවපියව් යන්න - මං හිතන්නේ හෙළ රාජ පරම්පරාවක් ම පිරිහිලා ගියේ මේ වන්දිභට්ටයෝ හින්දා..........

වන්දි : - අවසර පස්වාන් දහසක් බුදුවන්ට - අපේ නින්දගම භුක්ති විඳින්ට පුළුවන් වන්දි භට්ටකම් රාජකාරි කරන තාක් පමණයි.

රජු : - ඔව් - ඔව් - තොපිත් ලොකු අමාරුවක වැටිල තමයි ඉන්නේ......"

යසගේ චරිතය සයිමන් ගෙන් පසු ප්‍රවීණ වෘත්තිය නළුවන් කීප දෙනෙකු ම නිරූපණය කළ ද ඔවුන්ට සයිමන්ගේ නිරූපණයට අලගු තබන්නටවත් නො හැකි විය. සයිමන්ගේ රංගනයේ තිබූ චැප්ලීනියානු දුලබ හාස්‍ය වෙනුවට "ටෙනිසන් කුරේ" පන්නයේ සුලබ ගොරහැඩි හාස්‍යයක් මතු කර මේ ප්‍රවීණ නළුවෝ නාට්‍යයේ එන පරිදි සුබ විසින් ගෙළ කපා ඝාතනය කිරීමටත් පෙර ම යසගේ චරිතය ඝාතනය කළහ.

මහාවංශය නම් වීර කාව්‍ය යසගේ චරිතය නිරූපණය කරනුයේ මුග්ධ කවටයෙකු ලෙස ය. නමුත් සයිමන් යසව දකිනුයේ ඊට වෙනස් ආකාරයකිනි.

" තමාගේ රජ පදවිය විහිළුවක් කොට සලකා කවටකමකට ගොස් බෙල්ල කප්පවාගත් යසලාලකතිස්ස පැරැන්නන් විසින් මෝඩයෙකු කොට සලකනු ලැබීම පුදුමයක් නොවේ. රජ පදවිය හිස් දෙයක් සේ සලකා පෙර සිරිසඟබෝ රජ කළාක් මෙන් වනගත වූවා නම්, ඔහු තේරුම් ගන්නට පැරණි හෙළ ජනතාවට පහසු වන්නට තිබුණි. යසලාලකතිස්ස, බෞද්ධ චර්යාව පිළිපැදීමට තරම් සුදුසු නො වූ, අමුතු මානසික තත්ත්වයක් ඇත්තෙකු ලෙසනි ඔවුන් දුටුවේ.........."

නවගත්තේගම යසලාලකතිස්ස රජු දෙස හෙළන දෘෂ්ටිය ඔහුගේ උමතු ප්‍රඥාව විශද කරන්නකි.

සයිමන් තුළ තිබූ උමතු ප්‍රඥාව ඔහුගේ මුල් ම කෘතියේ සිට ම දැකිය හැකි ය. සයිමන් වයස 19 දී නිර්මාණය කළ "මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව" නම් කෙටිකතා සංග්‍රහයේ එන "ඔහුගේ කතාව" නම් කෙටිකතාව තුළ ඔහු උමතු ප්‍රඥාවෙන් යුතුව අප අභියස නැගී සිටී.

" මම නිකම්ම නිකං බේබද්දෙක් කියලා නේද ඔබ හිතන්නෙ...? කමක් නෑ... ලෝකයා මොනවා කීවත් කෙරුවත්, මාත් ඔබත් ලෝකයේ අනිත් කොයිම මිනිහෙක් වුවත් අතර වැඩි වෙනසක් නෑ.....තේරුණා ද? මගේ ඇඳුම් වැරහැලි බව ඇත්ත... නමුත් ඔබේ ඇඳුම් පිරිසුදුයි. මොකද්ද වෙනස...? ඔබ ලෝකයාට ඕන විදිහ ඇඳුම් පැළඳුම් කරනවා ... ජීවත් වෙනවා... මම මට ඕනෑ හැටියට ජීවත් වෙනවා.... මම කිසිම උත්සාහයක් ගන්නේ නෑ සමාජයට ඕන හැටියට වැඩ කරන්න එච්චරයි......

මොන විදියෙන් සැරසිලා හිටියත්, මොන සුවඳ විලවුන් මුණෙ තවරාගෙන හිටියත් ඒ හැම ගැහැනියෙකුගේම, හැම මිනිහෙකුගේම මුහුණක් දිහා බලපුවාම එක පාරටම පේන දෙයක් තමා ඒ හැම මූණකම මහා හිස්කමක් කැවිලා තියෙන බව. අපි මේ සේරම කරන්නේ මේ හිස්කම වහගන්න තේරුණා ද? මහත්තයා පොත් පත් බලනව ඇති - ඉගෙන ගන්නව ඇති - තව කෙනෙක් ආගම ධර්මය අදහනවා - සිල් ගන්නවා - තව කෙනෙක් සිනමා බලන්ට යනවා - තව කෙනෙක් ගණිකා මඩුවෙ පැය විසිහතර ම ගෙවනවා - මම බෝතලේ තුරුල් කරගෙන දවස් ගත කරනවා - අපි සියලු දෙනාම මේ සියල්ලම කරන්නේ අර හිස්කම වසාගන්න..... ඒ හින්දා සිල් රකින කෙනෙකුත් මාත් අතර පරමාර්ථ වශයෙන් කිසිම වෙනසක් නැහැ......."

මේ ඉන්නේ සයිමන් නවගත්තේගම නම් උමතු ප්‍රාඥායා ය. ඉතින් ඔහු උමතු ප්‍රඥාවෙන් ජීවිතය විනිවිද දුටු, සංස්කෘතික හෝ අසංස්කෘතික කිසිදු සීමා බන්ධනයකට කොටු නොවූ, අපා - දෙපා - සිවුපා - බහුපා ආදී සතා සීපාවන් කෙරෙහි මතු නොව ගහ - කොළ - ඇළ - දොළ ඇතුළු ජීව අජීව ලෝකය කෙරෙහි අසීමිත ආදරයක් දැක්වූ මහා මුනිවරයකු නොවන්නේ ද?

 

ලිපිය  - රවි ප්‍රසාද් කළුපහණ

( මෙම ලිපිය සංවාදයට විවෘතයි.

මගේ ලිවීමේ ගාස්තුව ඔබේ අදහස් ය)
 

( මෙම ලිපිය 'Ravi Kalupahana' ගේ ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom