lan englan tam

විශේෂාංග

මදුරාවතී නම් තරු රටාව - ටිම්රාන් කීර්ති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Chulananda Samaranayake-

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා සමන්සිරි ගිය ජෙට් එකත් බලාගෙන මදුරාවතීගේ තරු රටාවට පෙම්බඳිනවා.

ටිම්රාන් කීර්ති, අවධානය ලැබිය යුතු එහෙත් අවධානයෙන් ගිලිහුණු කවියා. හිටි ගමන් මතුවෙන, කනට සැර සුවඳ එක්ක රහස් කොඳුරන, ඒ ගමන් කොනිත්තන කවියා. උගෙ කවිත් ඒ වගේමයි. පිහියක් වගේ කපාගෙන යන ගමන් මී පැණි වගේ මිහිරකුත් තවරනවා. ආයෙම කොනහනවා, සුවඳක් එක්ක සිහින් කැපුමක වේදනාව ඉතුරු කරනවා. මං උගෙ කවි එක්ක පොර බදනවා. භාෂාව මිටින් අරගෙන හොම්බට අනින උගෙ කවියක් ලෙහාගන්න එක මහන්සි විය යුතු ව්‍යායාමයක්.

 

img 20240309 0001

 

ටිමාගෙ පෙරවදනම කවියක් ඒක අපේ සමාජය ගැන තියුණුම කියවීමක් වෙන අතරෙම පුංචි මල්ටි බැරල් ප්‍රහාරයක ලක්ෂණත් ඒ පෙරවදනෙ ගැබ්වෙනවා. ඌ කියන්නෙ මෙහෙම.

තරු රටා ගැන අදහසක් ඇවැසි නම් පොලෝ වැසියෙකු විය යුතුය බලගතු. උඩ බලාගෙන කෙල ගසන්නන් ගුරුත්වාකර්ෂණය දත යුතු.

වචන එක්ක මේ සෙල්ලම මගින් ඌ රසිකයාට තමන් කවරාකාර විය යුතුද කියන ටොක්ක අනිනවා. ඒ අතරෙම අතිශය සියුම් ලෙස සංවේදනා දැනවෙන වදන් වලින් ඊළඟට රසික හදවත පාරනවා.

ලියන්නන් කතාකරුවන්, කටකතාකරුවන් වූ පසු, මිහිරි හදවත් තරු රටා වෙයි, පොළව අතහැර නික්මුණු.

එතකොට මට ගැටලුවක් එනවා. ටිමාගේ දැඩි නිහැඬියාවක් මං දකිනවා. ඒ කියන්නෙ ටිමා තරු රටාවක් බවට පත් වෙලාද?

 

1085

 

ටිමාගෙ කවි ඇතුලෙ ගැහෙන අපේ ජීවිත කියවීම අතිශය නැවුම්. උගෙ කවියෙ වැදගත්ම ලක්ෂණය තියෙන්නෙ ඒ ඉදිරිපත් කිරීම තුළ. ඌ අපට ජීවිතය සම්මුඛ කරන ආකාරයේ තියෙන නැවුම් බව තමයි ටිමාගෙ කවිය. මේ මෑතක මං ළමුන් උදෙසා කරපු පරිවර්තන පෙලක එක් මාතෘකාවක් වුනේ පවුලක් යනු කුමක්ද කියන එක. ඒ රචකයා ළමයින්ට පවුල කියන සංකල්පය ගේන්න අපූරු කතන්දරයක් ගොඩ නගනවා. ඒ කතාව අවසන් වෙන්නෙ ළමයා තුළ පවුල කියන සංකල්පය ගැන පුළුල් සිත්තමක් ඇඳිලා. ටිමාගේ කවිය වැඩිහිටියන් ගල්ගස්වන කවියක්. ඒ කවියෙ පවුල ගැන දෙන නිර්වචනයේ වැදගත්ම කොටස තියෙන්නෙ විදග්ධ සමාජයෙන් පිට ඉන්න ජීවිත අත්දැකීම් පිරි පුංචි කඩ ඇණයක් වන් වේටර්වරයෙකු ගෙන්.

ඔයාලා බොන්න...

ඇඟිලි නොකැපෙන්න

බිඳුනු කටු අස්කරනෙක තමයි පවුල!

මහලු වේටර් සිනාසෙයි

අලුත් වීදුරුවක් ගෙනෙන

මේ කාව්‍ය පේලි තුළ හැම වචනයක්ම බරයි. අලුත් වීදුරුවක් ගෙනෙන වේටර් තමයි ජීවිතය ගැන ඉරසාරම නිර්වචනය ගේන්නෙ. අපිට හැබැයි මේ වේටර්ලා වගේම මේ වගේ බාර් මගහැරිලා හුඟක් කල්. අපේ ජීවිත ගෙවෙන්නෙ බාර් කියන බීම හල් මත නෙවෙයි. එක්සයිස් කරන බාර් මත.

ලංකාවෙ ඉහලම ධනවතා- අන්න අපිට නිවුස්. ඒ තමයි පොර. ඒ පොර ගැන චරිතාදර්ශයක් හැටියට අරගෙන පොත් කඳු ලියන එක තමයි සමාජ වගකීම. අපේ ළමයි කියවන්න ඔනැ ඒ වගේ වේගයෙන් දියුණු වුන චරිත ගැන. ඒ චරිත පිටුපස පුංචිම තැනින් පටන් අරගෙන පියවරින් පියවරට ඉදිරිය බලා ආපු මහා පුරුෂයෙක් ඉන්නවා. එයාට වේදිකා හදන්න ඕනැ. එයාව තෑගි දෙන්න ගේන්න ඕනැ. එයා ගැන වැඩ සටහන් කරන්න ඕනැ. හැබැයි අපි අකමැති දෙයක් තියෙනවා. මේ මහා පුරුෂයන්ගේ අඳුරරු කුටිවලට එබෙන එක. ඕනෑම පිලිමයක් ළඟට ගිය ගමන් පිපිරුම් පේන්න ගන්නවා. අපි ඒකට බයයි. ඒ නිසා අපි ඈත ඉඳන් සාදු කියනවා. ළග“ට යන උන්ව වලක්වනවා.

මෙන්න ටිමා අපේ ඒ වන්දනාවට ගලක් ගහනවා. උගෙ කවියෙ නමත් මරු. දියුණුවේ කිරි මුල්! ඒ කිරිමුල් හාරලා බලද්දි තමයි ඒ යට තියෙන මරුවැල් මතු වෙන්නෙ. කවියා තමන් කොතරම් බලපෑම් සහගතද කියලා පෙන්වන එක කවියක් මේක. ඒ කවිය අපේ සමාජ සම්මත, බිතු සිතුවම්, නාම පුවරු, පුෂ්පෝපහාර දැඩිව ප්‍රශ්ණ කරන කවියක්. ටිමාගෙ විවේචනයෙ තියෙන උපහාසය වදින්නෙ ටියුබ් ලයිට් ක්‍රමටය. හැබැයි ඒ වැදිල්ල මතකම හිටිනවා කාලෙකට. ඒ කවිය හිතේ කෙටුනහම සමාජයේ චරිතාදර්ශ දකිද්දි හිකිස් ගාලා හිනාවක් පනින එක වලක්වන්න බෑ.

මොන එක මන්දු වුනත් හොඳමයි- මේ වැදිනායක වෙත (වි)රූපවාහිණි වැඩ සටහනක යොමු කරන ලද පැණයක් ඇසුරින් ටිමා ගරන කවිය. ටිමා ඒ ප්‍රශ්නේට තියෙන විකල්ප උත්තර හතරට වැදිනායක වෙතින් ලැබෙන නිර්වචනය හරහා සමස්ත වැදි ජනතාවගේම ඛේදය අපූරුවට විග්‍රහ කරනවා. ආයෙමත් නැවුම් වෙන්නෙ මේ ඉදිරිපත් කිරීම. උගෙ යෙදුම්!

රස්සිතේ බංගලාවල හට්ටි පැහෙයි

වැද්දන්ට ඇති ප්‍රස්නෙ කුරුල්ලො නෙවෙයි!!

ටිමා රස්සිතේ බංගලාවල හට්ටි පැහෙයි කියන යෙදුම හරහා මේ පද්ධතියේ ඇති නරුමකම ගේන ආකාරය වැදගත්.

මසත් නෑ බතත් නෑ පස් කන්න ළඟයි

වී කුරුල්ලෙක් වෙන්න ඇහැක් නම් හොඳයි

ටිමාගෙ කවිය වැදි ජනතාව පිලිබඳව ලියැවෙන පර්යේෂණ වාර්තාවක් සංක්ෂිප්ත කිරීමක් වගේ. කවියට උ! දෙන ටිමාවසානය තමයි මරු.

මයිනලා ඇත්තො හදි ගැහුනොත් කොදුයි

මාම කැත්තක් අරං කොටනවා තමයි!!

ටිමාගෙ කවිවල සමස්ත අදහස වගේම එහි ඇතැම් කොටස් වෙන්ව ගත්තහම දැනෙන අර්ථයන් සමස්තයටත් වඩා බලවත් කියලා හිතෙන තැන් තියෙනවා. ඒවා හරියට සංක්ෂිප්තස කවි වගේ.

සීතලයි චූ බරයි

විද්‍යාවයි ආගමයි වැනී

මාත්‍රා මිශ්‍ර වෙනකොට

සභාවම සතුටිනි

ටිමාගෙ කවියෙ ස්ත්‍රිය ගැන කියවෙන කතන්දරත් ඒ වගෙමයි. ඉතිහාසයටත් ටොක්කක් අනිමින් අපේ යටි බඩටම අනින ඒ පරහවල් තාර්කික සත්වයකු අවදි කරගන්න හොඳ පාරක්.

මුහුද ගොඩගැලූ

ඉතිහාස කතාවෙදි

විහාර මහ දේවිය

පැන්නා රළ අතරට

ඇය අවිවාහක!

කාවන්තිස්ස ගියේ නෑ

එක අඩියක් මුහුදට

වෙරළෙම අත්සන් කෙරුව

කසාදෙට!

පිරිමි ලෝකයේ නැත්නම් සමාජයේ -ඔය ඕනැ එකක්- පැවැත්ම වෙනුවෙන් කාන්තාවන් බිලිදීම ඉතිහාසගත ප්‍රශ්ණයක්. පිරිමි ලෝකෙට මගහැරෙන ප්‍රශ්ණයක්. විශ්ෂ්ට කවියෙක් වෙන යෙව්ගෙනි යෙවුටුෂෙන්කෝ පරිවර්තනය ගැන කියද්දි නරුම නිර්චනයක් දෙනවා.

පරිවර්තනය කතක් වැනිය. ඇය රූමත් නම් විශ්වසනීය නොවේ. විශ්වසනීය නම් රූමත් නොවේ.

ටිමා වෙයුටුෂෙන්කෝට වඩා ඉස්සරහින් කවිය ලියනවා. ඒ තමයි නිර්මාණකරුවගෙ වගකීම. ටිමා කවිය අවසන් කරන්නෙ මෙහෙම.

බැන්ද ගැහැනු ලිවුවොත්

ඉතිහාසය

මුහුද හිඳෙයි

ගොඩබිම ලියලනු ඇත!

මං ඔබට මේ වගේම කවියක් කියවන්න ඇරයුම් කරමින් සටහන නිමා කරනවා. කවියෙ නම 3 වෙනි රොබින්.

 

327450950 1606072656575347 1180435109958596956 n

 

සටහන - චූලානන්ද සමරනායක

             (ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්ථක)

('Chulananda Samaranayaka' ෆේස් බුක් පිටුව ඇසුරිනි උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom