lan englan tam

විශේෂාංග

කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ බුහුමනට පත් වන ආචාර්ය රවිබන්දු විද්‍යාපති

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-අනුර බී. සෙනෙවිරත්න-

ප්‍රාසාංගික කලාවේ ප්‍රධාන අංගය නාට්‍ය කලාව යි.

දඩයම් යුගය දක්වා දිවෙන රංගනයේ ආරම්භය පසුව ක්‍රි.පූ. 2000 දී පමණ සිට පුරාණ ඊජිප්තුව සහ ග්‍රීසිය මුල් කරගෙන කලාවක් ලෙස වර්ධනය වූවා යැයි සැලකේ. එම නාට්‍ය කලාව මේ වනවිට විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින්, විවිධ රස ජනනය කරමින්, එමගින් ප්‍රේක්ෂකයා ඥානනය කරන ප්‍රධාන කලාංගයක් බවට පත්ව තිබේ.

යාතුකර්ම, සොකරි, කෝලම් , නාඩගම් හා නූර්ති යන ගැමි නාටකවලින් ආරම්භ වූ ශ්‍රි ලාංකීය නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා කටයුතු කළ නාට්‍යකරුවන් බොහෝ දෙනෙකි. මුල් කාලීන නූර්ති සහ ටවර්හෝල් නාට්‍යකරුවන් මෙන් ම, මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, සෝමලතා සුබසිංහ, ඩග්ලස් සිරිවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ඉන් කිහිපදෙනෙකි.

 

pro sarachchandra

 

දේශීය වේදිකාවට පමණක් සීමා වී තිබූ මෙරට නාට්‍ය කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය පුරෝගාමියා ලෙස මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සැලකේ. ඔහුගේ වේදිකා නාට්‍ය කිහිපයක් ම විදෙස් රටවල වේදිකාගත වුව ද, ඔහුගෙන් පසුව දේශීය නාට්‍ය කලාව ජාත්‍යන්තරය ස්පර්ශ නොකළ තරම් යැයි පැවසුවොත් එය වැරැදි නැත.

2012 වසරේ දී අප රටේ ‘ජාත්‍යන්තර නාට්‍ය උළෙලක්’ සංවිධාන වෙන්නේ එම අඩුව සපුරාලමිනි. ඒ, ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල’ (Colombo International Theatre Festival)යන නමිනි. එම පුරෝගාමී භාරදූර මෙහෙවරට අත ගසන්නේ එම්. සෆීර් නම් තරුණ නාට්‍යවේදියා ය.

 

490895141 9570842316338147 5078963689664612196 nඑම්. සෆීර්

ඔහු ආරම්භ කළ එම ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ’ සුවිශේෂත්වය වෙන්නේ එමගින් දේශීය නාට්‍ය කලාව ජාත්‍යන්තරයට ගෙන යාම පමණක් නොව, ජාත්‍යන්තර නාට්‍ය කලාවේ නවතම අත්දැකීම් අප රටේ නාට්‍යකරුවනට මෙන් ම, නාට්‍ය ලෝලීනට සමීප කිරීම ද මෙමගින් සිදුවීම යි.

එළැඹෙන අගෝස්තු මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹදීත්, සැප්තැම්බර් 02 සිට 04 දක්වා හලාවතදීත්, සැප්තැම්බර් 03 සිට 07 දක්වා ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුහාට් නගරයේදීත් 11 වැනි වරටත් පැවැත්වෙන මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා කොරියානු නාට්‍ය සංගමයේ සභාපති සොන් ජෙන් වූ නම් කොරියානු ජාතික නාට්‍යකරුවා ය.

 

citf 2

 

කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ආරම්භ වන මෙම රංග කලා උළෙලේ අභිනන්දන නාට්‍යය ලෙස අගෝස්තු 25 වන දින ආචාර්ය රවිබන්දු විද්‍යාපතිගේ ‘ද්‍රෞපදී’ (ශ්‍රී ලංකාව) නාට්‍යය වේදිකා ගතවන අතර,

26 වන දින සොං ජෙං වූ ගේ ‘මෙඩා වොයිස්’ (කොරියානු), සර්ගෙයි ග්‍රිෆින්ගේ ‘නයිටින්ගේල්’ (චීන) සහ උපේක්ෂා ලංකාතිලකගේ ‘ජර්නි ඔෆ් ඩිසපියර්’ (ශ්‍රී ලංකාව) ද වේදිකාගත වේ.

 

486603611 1039312751583295 7299559120024194476 n

 

27 වන දින තනාසිස් සරන්ටොස්ගේ ‘ඇමරිකන්’ (ග්‍රීක), විදුර අබේධීරගේ ‘ෂ්-ෂ්’ (ශ්‍රී ලංකාව) සහ සරත්චන්ද්‍ර වල්පොලගේ ‘ඩම්’ (ශ්‍රී ලංකාව) වේදිකාගත වේ.

28 වන දින වේදිකා ගත වෙන්නේ ආචාර්ය චන්ද්‍රසේකරන්ගේ ‘අග්ලෙයුම් ක්ලියෝපැට්‍රයුම්’ (ඉන්දියාව), බනුල විජේසිංහගේ ‘171 පිටකොටුව’ (ශ්‍රී ලංකාව) සහ අසංක ඉෂාන් දයාපාලගේ ’අන්සීන්’ (ශ්‍රී ලංකාව) ය.

29 වන දින මජඩ් බෝගේ ‘ඇඩ්රිනලීන්’ (කැනඩාව/සිරියාව), නයිරා යෙඩ්ගාරියන්ගේ ‘ඉන්සයිඩ්’ (ආර්මේනියාව), පිනිඳු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘කොම්රෙඩ්’ (ශ්‍රී ලංකාව) සහ රන්දික විමලසූරියගේ ‘ඒ මම නෙමෙයි-වෙන කෙනෙක්’ (ශ්‍රී ලංකාව) ද,

30 වන දින කැසෙන්ද්‍ර තොපොලගන්‍යුගේ ‘නොට් මී’ (රුමේනියාව) සහ එම්. සෆීර්ගේ ‘ස්වීන්ග්ස් ඔෆ් ලව්’ (ඉන්දියාව-ශ්‍රී ලංකාව) ද වේදිකා ගත වේ.

තව ද, හලාවත ‘සුදසුන’ ශාලාවේ දී සැප්තැම්බර් 02 වන දින අහමද් අබ්දුල්ලා රෂෙඩ්ගේ ‘මැම්ලොක්’ (එක්සත් අරාබි එමීර් රාජ්‍යය), සසිනි මධුමාලිගේ ‘අරාබි කෝපි’ (ශ්‍රී ලංකාව) සහ වින්ධ්‍යා ආනන්දගේ ‘චයිල්ඩ්හුඩ්’ (ශ්‍රී ලංකාව) ද,

03 වන දින කාලෝටා බර්ජාල්ගේ ‘වෙජිටේරියන් ඔෆෙලියා’ (ස්පාඤ්ඤය), ගාමිණි විජේවර්ධනගේ ‘සලිත සිත්’ (ශ්‍රී ලංකාව) සහ පීටර් හේම්පිය බොතේජු පියතුමාගේ ‘ප්‍රහේලිකාව’ (ශ්‍රී ලංකාව) ද,

04 වන දින අමෙත් කුෂ්වානාගේ ‘ඉකුවේෂන් ඔෆ් ඉමෝෂන්’ (ඉන්දියාව) ද, බාඩි කෝර්බිගේ ‘දස් ස්පෝක් ඇන්ගර්’ (ටියුනීසියාව) සහ නිෂු ජයසූරියගේ ‘ලූප්ස්’ (ශ්‍රී ලංකාව) වේදිකාගත වේ.

 

2012 වසරේ ආරම්භ වූ මෙම රංග කලා උළෙල 2020, 2021 සහ 2022 වසරවල හැර අන් සෑම වසරක ම පැවැත්වුන අතර, 2014 වසරේ සිට එහි සෑම උළෙලක් ම නාට්‍ය කලාවට ඉමහත් සේවයක් සිදුකළ ශ්‍රී ලාංකීය කලාකරුවකු වෙනුවෙන් කැප කෙරිණි. ඒ මෙසේ ය.

2014-මහාචර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, 2015-කේ.බී. හේරත්, 2016-පරාක්‍රම නිරිඇල්ල, 2017-ලූෂන් බුලත්සිංහල, 2018-ධර්මසිරි බන්ධාරනායක, 2019-ජයලත් මනෝරත්න, 2023-මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, 2024-ජාත්‍යන්තර රංගකලා උළෙලේ පළමු ලේකම්වරයා වූ ජයලත් එස්. ගෝමස් යන කලාකරුවන් ය. මෙවර මෙම උළෙල නම්කර තිබෙන්නේ වේදිකාව හා සම්බන්ධ ප්‍රවීණ නර්තන ශිල්පියකු වන ආචාර්ය රවිබන්දු විද්‍යාපති කලාකරුවා වෙනුවෙනි.

160215847 102925298555383 7727782449483239451 nආචාර්ය රවිබන්දු විද්‍යාපති 

 

ආචාර්ය රවිබන්දු විද්‍යාපති යනු සිය පියාගේ අඩි පාරේ ගොස් නර්තනයට ප්‍රවිෂ්ට වූ කලාකරුවෙකි. ඔහුගේ පියා ඔබ අප කවුරුත් දන්නා හඳුනන සෝමබන්දු විද්‍යාපති කලාකරුවා ය. බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ විශිෂ්ට විහාර බිතු සිතුවම් නිර්මාණ ශිල්පියකු මෙන් ම, සිංහල වේදිකාවේ ඇඳුම් නිර්මාණකරණයේ පුරෝගාමියා ලෙස ය.

 

Somabandu Vidyapathiසෝමබන්දු විද්‍යාපති

 

කුඩා අවදියේ සිට ම රවිබන්දු විද්‍යාපතිට ෂේක්ස්පියර්ගේ නාට්‍යත්, ජාතක කතා සහ ‘බෙන්හර්’ වැනි සිනමාපටත්, පණ්ඩිත් රවි ශංකර්ගේ, බීතෝවන්ගේ හා බැච්ගේ සංගීතයත්, රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කවිත් ඇසුරු කරන්නට සෝමබන්දු විද්‍යාපති කලාකරුවා ඉඩකඩ සැලසුවේ යම් දිනෙක තම වැඩිමල් පුතු විශිෂ්ට නර්තනවේදියකු කරන අපේක්ෂාවෙනි.

කුඩා කල සිට ම නැටුම් ශිල්පය හදාළ රවිබන්දු විද්‍යාපති වයස අවුරුදු දහතුනේ පමණ සිට විත්‍රසේන-වජිරා යුවල යටතේ නර්තනය මෙන් ම, බෙර වාදනය ද ප්‍රගුණ කළේ ය. පසුව ඉන්දියාවේ මයිහාර් හි විසූ ඩේවිඩ් අප්පුහාමි කලාකරුවා යටතේ තබ්ලා වාදනය ද හැදෑරූ ඔහු, පියසාර ශිල්පාධිපතිගෙන් දේශීය බෙර වාදනය ද හදාරමින් සිය දැනුම පුළුල් කර ගත්තේ ය.

නර්තනය සිය ‘ප්‍රථම ප්‍රේමය’ ලෙසත්, බෙර වාදනය තම ‘දෙවන ප්‍රේමය’ ලෙසත් විශ්වාස කළ ඔහු ඒ දෙක ම ප්‍රගුණ කරමින් මෙරට නැටුම් කලාවටත්, බෙර වාදනයටත් නව මානයක් එක් කළේ ය. ඊට අමතරව ඔහු ලොව වෙනත් නර්තන හා සංගීත සම්ප්‍රදායන් ද හැදෑරී ය. ඒ අතරින් ඔහුගේ නර්තන පුහුණුවීම්වලට වැඩි බලපෑමක් සිදුකළේ කලක් තම පියා ද ප්‍රගුණ කළ ඉන්දීය ‘කථකලී නර්තනය’ යි. ඉන්දියාවේ කේරළයේ කලා මණ්ඩලම් හි කථකලී නැටුම් සහ රංගනය පිළිබඳ වසර තුනක පාඨමාලාවක් හැදෑරූ රවිබන්දු විද්‍යාපති කථකලී නර්තනය උඩරට නර්තනයේ චලනයන් සමග සමීපව බැඳී තිබෙන බව විශ්වාස කරමින් සිය බොහෝ නර්තනාංග නිර්මාණය කිරීම සඳහා එම කලාව යොදා ගත්තේ ය.

එසේ ම, ලොව වෙනත් සංගීත සම්ප්‍රදායන් ගැඹුරින් හදාරමින් ඒවා නිර්මාණශීලී ලෙස තම නර්තනාංග සහ මුද්‍රා නාටක නිර්මාණ සඳහා උපයෝගී කර ගන්නට ද ඔහු නොපැකිළව කටයුතු කළේ ය. ඒ ඔහුට ම ආවේණික ශෛලියකින් යුතුව ඒවායේ රිද්මයත්, වාදනයත් සුසංයෝග කරමිනි. එහි ප්‍රතිඵලය වූයේ එම නිර්මාණ ජාත්‍යන්තරය දක්වා ගෙනයන්නට ඔහුට හැකි වීම ය. ඔහු කළ සාර්ථක අත්හදා බැලීම් අතර අප රටේ ගැටබෙර වාදනය බටහිර සංගීතය සමගත්, ජෑස් සංගීතය ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය සමගත් මනාව මුසු කිරීම කැපී පෙනේ.

චිත්‍රසේන සහ වජිරා යුවල වෙතින් නැටුම් සහ ඔපෙරා සඳහා වන මූලික අධ්‍යාපනය ලබා 1981 දී ප්‍රමුඛ පෙළේ වෙස් නැටුම් ශිල්පියකු බවට පත්වන ඔහුගේ පළමු මුද්‍රා නාටකය 1984 දී වේදිකා ගත වී ය. ඒ, ’තුන්වැන්නා’ නමිනි. ඉන් අනතුරුව, ඔහු ලෝක සම්භාව්‍ය කෘති පාදක කර ගනිමින් ‘රෝමියෝ ජුලියට්’, ‘තෙවැනි ව්‍යසනය’, ‘තෘෂ්ණා’ සහ ‘යුද්ධයෙන් මිහිදන් වූ දරුවෝ’ වැනි මුද්‍රා නාට්‍ය කිහිපයක් ම ඔහු නිෂ්පාදනය කළේ ය. ඊට අමතරව ඔහු චිත්‍රසේනයන්ගේ ‘කරදිය’, ‘නල දමයන්ති’ සහ ‘කිංකිණි කෝලම’ මුද්‍රා නාට්‍ය සඳහා මෙන් ම, වජිරාගේ ‘චණ්ඩාලිකා’ සහ ‘රෂෝමන්’ යන නිර්මාණ සඳහා ද දායක වී ය.

 

Chitrasena and Vajiraචිත්‍රසේන වජිරා

 

රවිබන්දු විද්‍යාපති නර්තනවේදියාණන්ගේ විශිෂ්ටතම රංගනය අපට හමුවෙන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගල 2013 වසරේ නිෂ්පාදනය කළ ‘මහ සමයම’ වේදිකා නාට්‍යයේ ය. එහි ඔහු නිරූපණය කරන ‘බස්මාසුර’ චරිතය රංගවේදියකුට ඉතා අභියෝගාත්මක චරිතයක් වන අතර, ඔහුගේ රංගන හා නර්තන කෞෂල්‍යය නිසා එම අභියෝගය පහසුවෙන් ජයගන්නට ඔහු සමත් වෙන්නේ මතකයේ රැf​ඳන අපූරු රංගනයක් ප්‍රේක්ෂකයන් වෙත ඉතිරි කරමිනි.

‘මහ සමයම’ වේදිකා නාට්‍යයට ආචාර්ය රවිබන්දු විද්‍යාපති සම්බන්ධ වෙන්නේ රංගනයෙන් පමණක් නොවේ. වේදිකා ඇඳුම් නිර්මාණය සම්බන්ධයෙන් සිය පියාගෙන් උකහා ගත් දැනුම ද ඔහු ඒ සඳහා එක් කරයි. එහි දී ඔහු දේශීය සම්ප්‍රදායන් මෙන් ම, කේරළ සම්ප්‍රදායේ කුඩියාට්ටම්, කථකලී සහ තෙයියම් යන නර්තනාංගවල ඇති පුළුල් බවත්, ඒවායේ වර්ණවත් නිරූපණයනුත් සැලකිල්ලට ගෙන තිබේ.

කලාකරුවකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතයේ ඔහු අගැයීමට ලක්වූ ඉතා වැදගත් සන්ධිස්ථාන දෙකක් වෙන්නේ, 2019 වසරේ දී ඔහු ‘කලා කීර්ති’ සම්මානයෙන් පිදුම් ලැබීම සහ 2022 වසරේ දී ද්‍රෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීම ය. ආචාර්ය රවිබන්දු විද්‍යාපති නර්තනවේදියකු පමණක් නොවේ. ඔහු විශිෂ්ට සංගීතඥයකු ද වෙයි. 2012 වසරේ හොඳ ම ටෙලිනාට්‍ය සංගීතය සඳහා වන ’රයිගම් ටෙලි’ සම සම්මානය (ප්‍රියන්ත දසනායක සමග) ‘අමරපුරය’ ටෙලි නාටකයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහුට හිමිවීම ඒ බව සනාථ කරන්නකි. එසේ ම, මෙම වසර ආරම්භයේ දී ම ඔහු තවත් වටිනා සම්මානයකින් ද පිදුම් ලැබී ය. ඒ, ජීවිත කාලයට ම එක් වරක් පමණක් පිරිනැමෙන ‘සර්වෝදය ජාතික සම්මානය’ යි.

මේ වන විට හැටපස් වන වියේ පසුවන ආචාර්ය රවිබන්දු විද්‍යාපති කලාකරුවා, ද්‍රෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක හා නූතන උඩරට නැටුම් කලාවේ ප්‍රවීණ නර්තන ශිල්පිනියක වන සිය බිරිඳ සමග ‘රවිබන්දු-සමන්ති කලායතනය’ නමින් තමන්ගේ ම නැටුම් පාසලක් පවත්වාගෙන යයි. ඔවුන්ගේ දරුවන් වන ජිතේන්ද්‍ර සහ අමරිතා අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයට පත්ව විදේශයන් හි තම ශාස්ත්‍රපති උපාධි හදාරමින් සිටිති. නිව්යෝර්ක් හි වාසය කරන ජිතේන්ද්‍ර විද්‍යාපති පුතණුවන් සිය පියාගේ අඩි පාරේ යමින් බෙර වාදනයත්, සංගීත සංයෝජනයත් ප්‍රගුණ කළ දක්ෂ සංගීතඥයකු බවට පත්ව සිටී. අමරිතා විද්‍යාපති දියණිය ලක්නව් ‘භාත්කණ්ඩේ’ විශ්වවිද්‍යාලයෙන් රංගකලාව හා රංග වින්‍යාසය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරා එහි ම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින්නී ය.

ශ්‍රී ජයර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන මොහමඩ් සෆීර් නාට්‍යවේදියා මෙරට නාට්‍ය ක්ෂෙත්‍රයේ උන්නතිය වෙනුවෙන් ‘කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල’ වසර එකොළහක් තිස්සේ නොකඩවා මෙසේ සංවිධාන කිරීම වැදගත් වෙන්නේ යම් සේ ද, ඊට සමගාමීව එහි දී අප රටේ නාට්‍ය ක්ෂෙත්‍රයට සම්බන්ධ ප්‍රවීණ කලාකරුවන් මෙසේ සම්භාවනාවට පාත්‍ර කිරීම ද ජ්‍යෙෂ්ඨයන් පිදීමේ උතුම් සද්කාර්යයකි.

 

 

107362114 565615604112092 4742496617122690820 n

 

 

 

 

අනුර බී. සෙනෙවිරත්න

(මෙම ලිපිය මුල් වරට දිවයින පුවත්පතේ පළවිය)

kemadasa

Back to top
Go to bottom