lan englan tam

විශේෂාංග

'වෙස් ඇන්ඩර්සන්ගේ සිනමා හාස්කම' - The Phoenician Scheme

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

'ෂා ෂා කෝර්ඩා' යනු ධනවතෙකි. ඔහු මුදල් උපයන්නේ අසාධාරණ ලෙස බව ඔහුගේ විරුද්ධවාදින් විසින් නිරතුරුව චෝදනා කරයි.

 

The Phoenician Scheme Wes Anderson

 

විරුද්ධවාදීන් විසින් සිදු කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් අනතුරකින් අනූනවයෙන් බේරෙන කෝර්ඩා රැගත් යානය වැටෙන්නේ යහමින් අස්වැන්න තිබෙන තිරිඟු යායක් වෙතටයි. තිරිඟු යාය නිසා කෝර්ඩා යන්තමින් දිවි ගලවා ගනියි. ඔහුගේ හැසිරීම ගුප්ත ය. ධනවතෙකු වීම නිසා ඔහු වටා ව්ශාල සතුරන් ප්‍රමාණයක් සිටිති. දරුවන් දසදෙනකුගේ පියෙකු වන කොර්ඩාහට පිරිමි ළමුන් නව දෙනකු සහ එක් දියණියක් සිටියි. ඔහුගේ සිහින ව්‍යාපෘතියක් වන 'ෆීනිෂියානු යෝජනා ක්‍රමය' භාර කරන්නේ කන්‍යා සොයුරියක් වන තම දියණිය වන ලීසෙල් හටය. මෙම ව්‍යාපෘතියෙහි සිදුවන්නේ ව්ශාල වේල්ලක් ඉදිකර ඒ වටා දැවැන්ත කර්මාන්ත සමුහයක ඇති කිරීමයි. එය දැවැන්ත ව්‍යාපෘතියකි.

 

phoenician scheme 14 scaled

 

ලීසෙල් කන්‍යා සොයුරියක් වීමේ අදහස අත්හැර පියාගේ මෙම ව්‍යාපෘතියට අත ගසයි. ව්‍යාපෘතිය සිදුකරගෙන යන අතරමඟ ඔහුගේ සහචරයන් ඔහුට බාධක දමයි. ගොඩනැගිලි ඉදිකරන අමුද්‍රව්‍යවල මිල ඉහළ දමමින් එම සහචරයන් කුමන්ත්‍රණයක නිරත වන්නේ ඔහුගේ සිහින ව්‍යාපෘතියට බාල්දි පෙරළමින්. කෝර්ඩා කිසිවිටකත් සැලෙන්නේ නැත. තම දියණිය සමඟ ව්‍යාපෘතිය සිදුකර ගෙන යයි. නමුත් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට ව්‍යාපාරිකයන්ගෙන්, රජයේ නිළධාරීන්ගෙන්, විප්ලවවාදීන්ගෙන් සහය අවශ්‍යය වෙති. කෝර්ඩා සහ ඇගේ දියණිය එම පුද්ගලයන් සොයා ඔවුන් සමඟ ගනුදෙනු කරයි. ඔවුන්ගේ කැමැත්ත ද මීට අත්‍යශ්‍යය ය. 'ද ෆිනීෂියන් ස්කීම්' සිනමාපටයේ නිරූපණය වන්නේ මෙම ව්‍යාපෘතිය සිදු කරන්නේ කෙසේද? යන්නයි. සුන්දර වියවුලක් පිළිබඳ සිනමාපටයේ කේන්ද්‍රය බවට පත්වෙයි.

 

 

සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ හොලිවුඩයේ සුප්‍රකට අධ්‍යක්ෂවරයකු වන ‘වෙස් ඇන්ඩර්සන්' විසිනි. ඔහු සම්මානලාභී සිනමාකරුවෙකි. ඔහු අධ්‍යක්ෂණය කළ 'ද ග්රෑන්ඩ් බුඩාපේස්ට් හොටෙල්', 'ද ඩාර්ජිලින්ග් ලිමිටඩ්', 'ඇස්ට්‍රොයිඩ් සිටි', 'ද මූන්රයිස් කින්ග්ඩම්', 'ද ෆ්‍රෙන්ච් ඩ්ස්පැච්' සිනමාපට ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවධානයක් දිනූ සිනමාපට වෙති.

 

copertina articolo lighthinkingසිනමා අධ්‍යක්ෂක‘වෙස් ඇන්ඩර්සන්' ගේ ඡායාරූපයක්

 

වෙස් ඇන්ඩර්සන් කර්තෘ න්‍යායයක් (The Author Theory) ගොඩනැඟු සිනමාකරුවෙකි. එම නිසාම ඔහු ඇමරිකානු විකේන්ද්‍රික සිනමාවේ (American eccentric cinema) කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ.

වෙස් ඇන්ඩර්සන්ට ආවෙිණික වූ සිනමා ශෛලිය මඟින් අපුරු වූ සිනමා සෞන්දර්යක් ප්‍රේක්ෂකයාට ලබාදෙන්නට උත්සාහ කරයි. වෙස්ගේ සුවිශේෂත්වය වන්නේ ඔහු කතාකීමේ කලාව සහ එය වර්ණ මාතිකා සමඟ බැඳුණු රුප රචනාවක් වශයෙන් චිත්‍රපටයට ගෙනෙනා ආකාරයයි. සිනමාපටය තුළ වර්ණ භාවිතයේ සිට කැමරාකරණය, පසුතල නිර්මාණය, සංස්කරණය සහ ආලෝකකරණය හැගීම් ඒ තුළ බහා ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරයි. වෙස් ඇන්ඩර්සන් වඩාත් ප්‍රියතාවයක් දක්වන්නේ වර්ණ සමඟ වැඩ කිරීමටය. විශේෂයෙන් ලා පැහැයන්වලට ඇන්ඩර්සන් විසින් බෙහෙවින් ප්‍රිය කරයි. විශේෂයෙන් ක්‍රීම් පැහැය වගේම රෝස, ලා කොළ සහ තැඹිලි පැහැයන්ටත් ඔහුගේ අවධානය දැඩි ලෙස යොමු වෙනවා.

 

MCDPHSC UC016

 

රූප රාමු සැකසීමේදී ඉතාම ප්‍රවේශමෙන් චරිත ස්ථානගත කරමින් පෙරබිම, මැදබිම සහ පසුබිම යන තල ත්‍රිත්වය රූපයෙහි මනාව සංරචනය(Composition) කිරීම ඔහුගේ සිනමාපටවල පොදුවේ දක්නට ලැබෙන වැදගත් නිරික්ෂණයකි. ඔහු⁣ නිර්මාණය කරන රූප රාමු බොහෝවිට තෙල් සායමින් ඇඳි සිතුවම් වැනිය. ⁣සිනමාපටයේ සෑම රූපයක්ම එක්තරා ආකාරයකට පර්යාලෝකය (Perspective) භාවිතා කරමින් ඇඳි කැන්වස් සිතුවම් මෙන් දිස් වෙයි. ඔහුගේ සිනමාවේ විශේෂම කාරණාව වන්නේ ඔහු කැමරාව හසුරවන ආකාරයයි. කැමරාව වමට සහ දකුණට තිරස්ව ධාවනය කළ Pan කිරීම වඩාත් කැපී පෙනෙන කැමරා උපක්‍රමයකි. බහුල ලෙස ඔහු සමීප රූප සහ මධ්‍ය රූප වෙත ප්‍රමුඛත්වයක් ලබා දෙයි. ක්ෂේත්‍රීය ගැඹුර (depth of Field) භාවිතා කර ඔහු රූපරාමු නිර්මාණය කරයි.

චිත්‍රපටය වඩාත් සාර්ථකවීමෙහිලා රංගනයෙන් හොලිවුඩයේ සේම යුරෝපීයානු සිනමාවෙි නමගිය නළු නිළියන්ගේ දැවැන්ත සහභාගිත්වය කැපී පෙනෙන ලක්ෂණයක් විදියට චිත්‍රපටය තුළ දුටුවා. රංගනයෙන් බෙනිසියෝ ඩෙල් ටෝරෝ, මියා ත්‍රෙප්ල්ටන්, ස්කාර්ලට් ජොහැන්සන්, බෙන්ඩික් කියුම්බැචර්, ටොම් හැන්ක්ස්, විලෙම් ඩැෆෝ ආදී නළු නිළි කැළගේ සහභාගිත්වය චිත්‍රපටය වඩාත් සාර්ථකත්විමෙහි ලා බලපා තිබේ. නළු නිළියන්ගේ කඳවුරක ස්වරූපය ගනී.

 

web topper 17 1024x587

 

සිනමාපටයේ දැඩි ආකර්ෂණයක් හිමි කරගන්නේ ලීසෙල් නමැති කන්‍යා සොයුරියගේ චරිතය නිරූපණය කරන නිළි මියා ත්‍රෙප්ල්ටන්ගේ රංගනයයි. හොලිවුඩයේ සුප්‍රකට නිළි කේට් ව්න්ස්ලට්ගේ දියණිය වන මියා ත්‍රෙප්ල්ටන් තම මව සේම රංගනය අති දක්ෂ බව සිනමාපටය විසින් සනාථ කරයි. සිනමා සෞන්දර්ය නම් රූපය(a shot), වර්ණය, ආලෝකකරණය හරහා ඔහු චිත්‍රපටය තුළින් මතුකරන්නේ කාව්‍යාත්මක බවයි. විචිත්‍රවත් රූප රාමු සමඟ කැමරාව ධාවනය (Tracking Shot) වීම මඟින් නාටකීය අවස්ථාව වෙත ඉතා සූක්ෂම අයුරින් ප්‍රේක්ෂකයා යොමු කරවයි.

වෙස් ඇන්ඩර්සන්ගේ සිනමාව අවබෝධ කර ගැනීමට සාමාන්‍ය සිනමා ප්‍රේක්ෂකයකුට බොහෝ සේ අසීරුවන්නට පිලිවන. සාමාන්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස නොව වෙස් ඇන්ඩර්සන් තමන් නිර්මාණය කරගත් සිනමා ශෛලිය හරහා ඔහු මහා ප්‍රේක්ෂකාගාරයක් සතු කරගන්නේ නැත. ඔහු සිනමාපට නිර්මාණය කරන්නේ සිනමාව සමඟ සක්‍රීය ලෙස ගනුදෙනු කරන එක් නිශ්චිත වූ ප්‍රේක්ෂකාගාරයක් වෙතයි. නූතනයේ සිටින හොලිවුඩයේ නමගිය සිනමාකරුවන් වන ක්‍රිස්ටෝපර් නෝලන්, විම් වෙන්ඩර්ස්, ඩේව්ඩ් ෆින්චර්, ඩෙනිස් වැලනිවු, ජෝර්දාන් පීලේ යන අධ්‍යක්ෂවරුන්ට සාපේක්ෂව වෙස්ගේ සිනමාපටවල රංගන කාර්යයෙහි යථාර්ථවාදීබවක් නැත. ඔහු නළු නිළියන්ගේ රංගනය මෙහෙයවීම මත ශෛලීගත රංගනයක් භාවිතා කරයි.

විශේෂයෙන් 'ද ෆිනීෂියන් ස්කීමි' සිනමාපටයේ නළු නිළියන්ගේ මුහුණෙන් කිසිවිටකත් සිනහවක් නැඟෙන්නේ නැත. නිශ්චිත වු හැඟීමක් ද ප්‍රකට වන්නේ ද නැත. දෙබස් උච්චාරණයෙන් සහ අභිනයෙන් කතාව පැවසෙයි. වෙස් ඇන්ඩර්සන්ගේ සිනමාව බොහෝ සේ සමීප වන්නේ මන්දගාමි සිනමාව වෙතටය. ඔහුගේ සිනමාව රස විඳින්නට ප්‍රේක්ෂකයාට ඉවසීම අවශ්‍යය බවයි මගේ පෞද්ගලික විශ්වාසය නම්. 'ද ෆිනීෂියන් ස්කීම්' සිනමාපටය වින්දනයක් සැපයෙන සිනමාත්මක හාස්කම්වලින් පොහොසත් ආඛ්‍යානයකි. වෙස් ඇන්ඩර්සන්ගේ සිනමාපට නරඹන්නට වඩාත් ආසක්ත රසිකයන්ට නම් මෙය අපුරු වියමනක් වෙනවා නිසැකයි.

 

476237625 2101514566935849 5297727973837240105 n

 

-මලින්ත විතානගේ-

('Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

(මෙම ලිපිය මුල්වරට සරසවිය පුවත්පතේ පළ විය.)

kemadasa

Back to top
Go to bottom