-Malintha Vithanage-
නාට්‍යවේදි සචිත්‍ර රාහුබද්ධ විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ 'චක්‍රායුධම්' වෙිදිකා නාට්‍යය පසුගියදා පේරාදෙණිය ව්ශ්වවිද්‍යාලයේ එදිරිවීර සරච්චන්ද්‍ර රංග පීඨයේ දී වෙිදිකාගත විය.
එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා මණ්ඩලය විසින් වසරක් පාසා සංවිධානය කරන වාර්ෂික නාට්‍ය උළෙල තුළ වෙිදකාගත කළ ප්‍රේක්ෂකාගාරය වෙත අතිශය වැදගත් සහ කාලෝච්ත වූ වෙිදිකා නාට්‍යයක් ලෙස හැඳින්විම සාධාරණ ය.

සචිත්‍ර රාහුබද්ධ නාට්‍යවෙිදියාගේ 'චක්‍රායුධම්' වැනි Black - Comedy ශානරයේ නාට්‍යයක් නැරඹීමේ ඇති වැදගත්කම සහ මෙවැනි ගණයේ නාට්‍යයකින් යෝජනා කරන අදහස් මොනවාද? යන්න පිළිබඳ අවධානය යොමු කිරීම සක්‍රීය ලෙස නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයා යළි යළිත් සිහියට නඟා ගත යුතු දෙයක් යැයි සිතේ.
'චක්‍රායුධම්' නාට්‍යයේ ආකෘතිය එකිනෙකට සම්බන්ධ නොවන කෙටි නාට්‍යය සතරක ආඛ්‍යානයකින් සමන්විතයි. 'චක්‍රායුධම්' නාට්‍යයේ අපූර්වත්වය වන්නේ ආකෘතියේ ඇති චූල ස්වභාවයයි. කෙටි නාට්‍ය සතර තුළ මහා සිදුවීමි කිසිවක් සිදු නොවේ. නමුත් ඒ සිදුවීමි තුළ විශාල අරුත් ජනිත කරයි. 'ගමන් යනෙන සොඳ', 'මට්න්', 'තුන්තරා වරම්' සහ 'ලක්බයි ට්‍රාන්ස්' නම් කෙටි නාට්‍ය සතර වේ.
නාට්‍යයේ පළමු කෙටි නාට්‍ය වන 'ගමන යනෙන සොඳ' හි නිරූපණය වන්නේ 'උමයංගනා' නමැති තරුණ වියේ පසුවන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් සමඟ 'කෝව්ත' නමි සමාජවිද්‍යා කථිකාචාර්යවරයකු අතර ඇතිවන බරපතළ සංවාදයකි. මැදිවයස් ඉක්ම වූ කථිකාචාර්ය කෝවිත විසින් උමයංගනා වෙත පෙම් සබඳතාවක් වෙත ඇරයුම් කරයි. නමුත් උමයංගනා විසින් ඔහුට පවසන්නේ දැනටමත් ඇය විසින් යමෙකුට පෙම් කරනා බවයි. ඒ කවුදැයි කියා කථිකාචාර්යතුමා විමසන අවස්ථාවේදී ඇය ඊට පිළිතුර ලෙස ගමේ පන්සල් භූමියේ වාසය කරන 'ගනේෂ' නම් ඇතා වෙත තමන් පෙම් කරන බව ප්‍රකාශ කරයි. කථිකාචාර්යතුමා මෙි අභූතරූපි කතාව අසා වික්ෂිප්ත වෙයි. ඇතෙකු සමඟ ඇති අසම්මත පෙම් කතාව ඔහු අසා දැඩ් සේ කෝපයට පත් වෙි. ඔහු පවසන්නේ එය සදාචාරාත්මක හෝ සම්මත නොවන සබඳතාවයක් බවයි. ඔහු ඇය පිළිබඳ සිතු සියළු අදහස් ක්ෂණයෙන් බිඳ වැටෙයි. ඇතෙකුට අසම්මත ලෙස පෙම් කරන උමයංගනී කථිකාචාර්යතුමා සමඟ තර්ක කරන්නේ තිරිසන් සතෙකුට පෙම් කිරීම අසම්මත යැයි කියන්නේ කිනම් පදනමක් මතද? යන්නයි. මෙතැනදි කථිකාචාර්යතුමාගේ දැනුම අභියෝගයට ලක් වෙයි. කථිකාචාර්යවරයා විසින් මෙතෙක් කාලයක් ශාස්ත්‍රීය කෘතිවලින් උරාගත් දැනුම සහ සම්ප්‍රදායික, සම්මතවාදී අදහස් උමයංගනීගේ තාර්කිකත්වය හමුවේ ක්ෂණයෙන් බිඳ වැටීමකට ලක් වේ. එය ව්ශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පීඨවල සිටින බොහෝ කථිකාචාර්යවරයන්ගේ දෙබිඩි සහ ව්‍යාජ ජිවිත හෙළන උපහාසාත්මක බැල්මකි. මෙම කෙටි නාට්‍යයේ රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියංකර රත්නායක හා තුශී සමරසේකර රංගනය ඇතැම් තැන්වල තරමක ව්‍යාජබවක් ඉස්මතු විය.
'ගමන යනෙන සොඳ' කෙටි නාට්‍යයෙන් අනතුරුව ජේදනයවන්නේ දෙවැනි කෙටි නාට්‍යය වන 'මට්න්' වෙතටයි. එහි නිරූපණය වන්නේ ලාංකේය සමාජය තුළ සුලබව දක්නට ලැබෙන අනියම් සබඳතා පිළිබඳ අර්බුදයයි. සමිපත් සහ නිහාරි නමි විවාහක යුවළක් අතර ඇතිවන ගැටුම මෙහි උපහාසාත්මක ලෙස දැක්වෙයි.
තුන්වන කෙටි නාට්‍යය ලෙස 'තුන්තරා වරම්' ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනා ගනී. එනම් සංක සහ හිරුණි නම් විවාහපත් යුවළක් සහ පහණට අරක්ගත් භුතයකු විසින් මොවුන් දෙපළ වෙත වරම් තුනක් ලබා දීමේ කතා පුවත පිළිබඳවයි. සංක සහ හිරුණි දෙපළ විසින් වාද කරන්නේ තමන්ගේ අස්ථාවර වූ ජීවිතයට තිත තබන්නට මෙම ලැබී තිබෙන වරම් තුනක අවස්ථාව හොඳම ආකාරයෙන් යොදාගන්නට ගනු ලබන තීරණ පිළිබඳවයි. විටෙක සංක විසින් හිරුණි වෙත එක වරමක් ප්‍රයෝජ්‍යයෙන් විශාල නිවසක් ලබාගමු යැයි යෝජනා කරති.
හිරුණි එය ප්‍රතික්ෂේප කර ඊට වඩා වටිනා දෙයක් වෙනුවෙන් වරම යොදාගමු යැයි තර්ක කරයි. නිමා නොවන යෝජනා, තර්ක හමුවේ කුටුම්බයක පවතින සංකීර්ණබව මෙම කෙටි නාට්‍යය හරහා හාස්‍යජනක ලෙස නිරූපණය වෙයි. සංක උපාධිධාරියෙකි. ඔහු පුරාවිද්‍යාව විෂයක් ලෙස හදාරා උපාධිය ලබාගෙන ඇතිමුත් ඔහු වෘත්තිය ලෙස සිදු කරන්නේ තමන් ඉගෙන ගත් උපාධි විෂයට හාත්පසින් වෙනස් වූ ජායාරූප ශිල්පියෙක් ලෙස කටයුතු කිරීමයි. මේ හරහා නාට්‍යවෙිදියා විසින් ලංකාවෙි රාජ්‍යය විශ්වවිද්‍යාලවල මානව ශාස්ත්‍ර පීඨ තුළින් නිෂ්පාදනය කරන විද්‍යාර්ථයන්ගේ ඛෙිදවාචකය පිළිබඳ පිළිබිඹු කරයි. සංක ලෙස නළු ජෙනට් ඇන්තනී සහ හිරුණි ලෙස නිළි උමා අසේනි විසින් යථාර්ථවාදී රංගනයක ලක්ෂණ විදහා පාන්නට සමත් වෙයි.
'චක්‍රායුධමි' නාට්‍යයේ අවසන් කෙටි නාට්‍ය හෙවත් සතරවන කෙටි නාට්‍යවන 'ලක් බයි ට්‍රාන්ස්' වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය වන මධ්‍යම පාංතික කාන්තාවගේ නිරූපණය විසින් විදහාපාන ලිංගික අනන්‍යතාවය (Sexual Identity) පිළිබඳ සංවාදය ඉතාමත් වැදගත් වූ එකකි. ඇයව සමාජය විසින් තාඩන පීඩනවලට ලක් කරන අයුරුත්, එම සමාජ පීඩනයට එරෙහිව පෙරළා තම ආත්මාභිමානය වෙනුවෙන් සටන් වැදෙන අයුරු පිළිබඳ කදිම නිරූපණයකි. සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව පිළිබඳ සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව කෙරෙහි දක්වන ආකල්ප පුළුල් ලෙස වෙනස් කිරීමට 'ලක් බයි ට්‍රාන්ස්' වැනි කෙටි නාට්‍යයකට තිබෙන ශක්‍යතාවය බොහෝ සෙයින් තියුණු ය. කෙටි නාට්‍ය පුරාවටම තනි චරිතයක් ලෙස රඟන සමාධි ලක්සිරිගේ ද්විත්ව චරිත නිරූපණය මෑතභාගයේ කෙටි නාට්‍යයක දුටු විශිෂ්ට ගණයේ රංගනයක් බව කිව යුතුම ය. සමාධි විසින් මුළු ප්‍රේක්ෂකාගාරයම දැඩිව ග්‍රහණය කරගන්නට සමත්වන්නේ ඇය විසින් ක්ෂණයෙන් මාරුවන චරිත නිරූපණයන් වෙතටයි. ඇය කිසිදු අවස්ථාවක එම චරිත ද්විත්වයේ රිද්මය බිඳගන්නේ නැත. රිද්මය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිදුවීම ඉදිරිපත් කිරීම ඇගේ රංග ප්‍රතිභාව කදිමව කියාපාන නිශ්චිත මොහොතකි.
'චක්‍රායුධමි' හි රංගනයෙන් එක්වන රංගන ශිල්පිනී සමාධි ලක්සිරි
චක්‍රායුධය යනු විෂ්ණු දෙවියන්ගේ අතෙහි රැඳි තිබෙන ප්‍රබල ආයුධයකි. මෙම ආයුධයේ තිබෙන විශේෂත්වය වෙන්නේ ආයුධයෙන් පහර දුන් පසුව නිසි ඉලක්කය වෙත එල්ල නොවුනහොත් චක්‍රායුධය එල්ල කළ පුද්ගලයා දෙපළු වීමයි. මෙම කෙටි නාට්‍ය සතර තුළ සාකච්ජාවට ලක් කරන අන්තර්ගයන් ද චක්‍රායුධයක ස්වභාවය ගනු ලබයි. නිදර්ශනයක් ලෙස 'ලක් බයි ට්‍රාන්ස්' කෙටි නාට්‍ය තුළ සාකච්ජාවට ලක කරන සංක්‍රාන්තික ලිංගිකත්වය (Transgender) පිළිබඳ අදහස හරහා එය ප්‍රශ්න කරන තැනැත්තිය විසින් විශාල අර්බුදයක් වෙත මුහුණපෑමට සිදු වෙනවා. මෙම කෙටි නාට්‍ය විසින් යෝජනා කරන සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව හෝ සමලිංගික ප්‍රජාව සම්බන්ධ ගැටලුව ලංකාවෙි කිසිදු දේශපාලනික පක්ෂයකින් ප්‍රධාන සාකච්ජාවට ලක් නොකරන්නේ ද එය ඔවුන්ගේ පැවැත්මට විශාල බාධාවක් වන බව දන්නා හෙයිනි. එම නිසා ම එය නොවිසිඳුණු ප්‍රශ්නයක් ලෙස ඉතිරිව පවතී. නොවිසිඳුණු ප්‍රශ්නය පාරාවළල්ලක් ලෙස කිනම් මොහොතකදී හෝ නැවත සමාජයේ පැවැත්ම වෙත බාධාවන් නිරතුරුවම එල්ල කරන්නට සමත් වෙයි. නාට්‍ය සතර පුරාවටම දමිළ සංස්කෘතියේ ඇතැම් ප්‍රපංච උපයෝගී කරගෙන තිබෙි. නිදර්ශනයක් ලෙස 'ගමන් යනෙන සොඳ' නාට්‍යයෙහි 'ගනේෂ' යන නාමය සහ 'චක්‍රායුධම්' හින්දු දේව ආයුධය වැනි ප්‍රපංච වෙයි.
'චක්‍රායුධමි' හි රංගනයෙන් එක්වන ධර්මප්‍රිය ඩයස් සහ ජෙනට් ඇන්තනී
සච්ත්‍ර රාහුබද්ධගේ අධ්‍යක්ෂණ කාර්යය තුළ ඔහුටම ආවේණික කරගත් ශෛලියකින් යුතුව ඉදිරිපත් කරයි. ඔහු 'චක්‍රායුධම්' නාට්‍යයේ තිර පිටපත වෙනුවෙන් තියුණු ලෙස කර ඇති සමාජ නිරික්ෂණ පිළිබඳ තීව්‍ර වන තැන් බොහෝ වෙති. නිදර්ශනයක් ලෙස 'තුන්තරා වරම්' කෙටි නාට්‍යයේ විවාහය නමැති ආයතනයේ අධිකාරිත්වය පරයමින් නැඟෙන සංක සහ හිරුණි අතර ඇතිවන දරුඵල සම්බන්ධ සිදුවීම වැදගත් වූ සමාජ නිරික්ෂණයකි. එනයින් බලනකල ශක්තිමත් තිර පිටපතකි. විශේෂයෙන් දෙබස් සහ සිදුවීම් අතර සම්බන්ධය ගොඬනැඟීම සහ මිනිසුන්ගේ දෛනික ජීවිතවල උපහාසය දනවන හැසිරීමි තිර පිටපත සුසාධිත මටිටමකට රචනා වී තිබේ. කතා තේමාවට වඩා උපහාසාත්මකව මිනිස් හැසීරිමිවල ඇති ප්‍රාථමික ස්වරූපය අපුරුවට නාට්‍යය මාලාව තුළ නිරූපණය වෙයි.
ස්ත්‍රී පුරුෂභාවය මත දේශපාලනය (gender politics) තුළ අයිතිවාසිකම් සහ වගකීම්වල ස්වරූපය සහ ස්වභාවය ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වන ආකාරය 'චක්‍රායුධම්' කෙටි නාට්‍ය සතර තුළ අරපරෙස්සමෙන් විශේෂණගත කර ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් පවතින දෘෂ්ටිවාද, ඒකාකෘතික අදහස සංස්කෘතික සම්මතයන් වෙතට බලපාන ආකාරය නූතන ලංකාවෙි නිතර දෙවේලේ සිදුවන සමාජ ප්‍රවෘත්ති ඇසුරින් කරන ලද නිරික්ෂණය නාට්‍ය කෘතිය තුළින් ඉස්මතු වෙයි. සමස්තයක් ලෙස 'චක්‍රායුධම්' තියුණු ලෙස විපරම් කර බලන්නේ බල සම්බන්ධතා (power relations) පිළිබඳ විශේෂයෙන්, පිරිමින්, කාන්තාවන් සහ වෙනත් ස්ත්‍රී පුරුෂ අනන්‍යතා ඇති පුද්ගලයින් දේශපාලන, සමාජීය සහ ආර්ථික බලය දරන්නේ කෙසේද සහ ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? යන්නයි. චක්‍රායුධම් හරහා සන්නිවේදනය කරන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කලාව තුළට පැමිණිම හරහා මෙම දේශපාලනය බොහෝ විට පුරුෂාධිපත්‍යය දරන පද්ධතිවලට අභියෝග කරන ස්ත්‍රීවාදී ව්‍යාපාර කෙරෙහි ද කේන්ද්‍රගත වී ඇති බව ද හඟවයි. නිදර්ශනයක් ලෙස 'මට්න්' කෙටිනාට්‍යයෙහි නිහාරි චරිතය පුරුෂාධිපත්‍යයට අභියෝග කරන ස්ත්‍රිවාදී චරිතයකි. විවාහ සම්බන්ධතාවන්හි අස්ථිර බව, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය, මානව සමිබන්ධතාහි අති සංකීර්ණබව සහ ලිංගිකත්වය පිළිබඳ කියැවෙන 'චක්‍රායුධම්' යනු මෑතභාගය තුළ ලාංකේය වෙිදිකා නාට්‍ය තුළින් බිහි වූ ප්‍රශස්ත ගණයේ වෙිදිකා නාට්‍යයකි. එසේ සඳහන් කරන්නේ 'චක්‍රායුධම්' ප්‍රේක්ෂකයා කෙරෙහි ඇති කරන බුද්ධි කලම්භනය සුළුපටු එකක් නොවන නිසාවෙනි.

-මලින්ත විතානගේ-
(මෙම ලිපිය දිනමිණ පුවත්පතේ මුල්වරට පළ කෙරිණ.)
('Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදි)



