lan englan tam

විශේෂාංග

“මම කාගෙවත් නෙවෙයි, X ගේ”- ධම්ම දිසානායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

(අරුණ පුවත්පත)

ධම්ම දිසානායක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, දේශපාලන විචාරකයෙක් සහ සාහිත්‍ය දේශකයෙක් ආදී භූමිකාවන්ට පණ පොවන විද්වතෙකි.

මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන ඔහු 1996 වසරේ ඇරැඹි X කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකි. ඔහුගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය ‘ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී’ සරසවි ප්‍රකාශනයක් ලෙසින් පසුගියදා නිකුත් විණි. මේ ඒ නිමිත්තෙන් ඔහු සමඟ කළ සංවාදයකි.

 

ශ්‍රී ලාංකේය සිවිල් සමාජ කථිකාව ඇතුළෙ ධම්ම දිසානායක කියන නම ස්ථානගත වෙන්නේ X කණ්ඩායමත් එක්ක. ‘X’ කියන නමත් ඔබේ යෝජනාවක්. ඒ අතීතය අද ඔබ සිහිපත් කරන්නේ කෙලෙසින් ද?

‘X කණ්ඩායම’ අපේ සමාජ දේශපාලන මඟේ සංධිස්ථානයක්. අනෙක නව ආරම්භයක්. X කණ්ඩායම බිහිවෙන්න පෙර ශිෂ්‍ය ක්‍රියාකාරීන් විදිහට අපි හිටියේ ජවිපෙට හිතවත්, පක්ෂපාත ආඛ්‍යානයක. ඒ කාලයේ තිබුණේ දේශපාලනය දේශපාලනයටම ලඝු වුණ තත්ත්වයක්. X කණ්ඩායම ආරම්භ වීමත් එක්ක අපි තේරුම් ගත්තා දේශපාලනය කියන්නේ හුදෙකලා මහාද්වීපයක් නොවන බව. එය අනෙකුත් සියලු මහාද්වීප එක්ක අති දැවැන්ත සම්බන්ධයක් ඇති, ඒකාබද්ධ වුණු, එකට වැඩ කරන කලාපයක් බව. සාහිත්‍යය, කලාව අනෙකුත් ක්ෂේත්‍ර විශේෂයෙන් වෛද්‍ය වෘත්තිය පවා දේශපාලනය සමඟ ලොකු සම්බන්ධයක් තියෙන බව ප්‍රායෝගික සහ න්‍යායාත්මක වශයෙන් අපි තේරුම් ගැනීම ආරම්භ කළේ X කණ්ඩායම පිහිටුවීම එක්ක. ඒ නිසා X කණ්ඩායම බිහිවීම පැරැණි දේශපාලන ගමනේ එක්තරා විදිහේ විරාමයක් වගේම, අලුත් සමාජ ගමනක ආරම්භයක්.

 

X කණ්ඩායමේ මතවාද මෙරට සාහිත්‍ය හා කලාවට බලපෑම් කළා...

අපි කණ්ඩායමක් විදිහට මතුවෙන කාලයේ ආර්ථිකය අලුත් වුණාට කලාව පිළිබඳ, සාහිත්‍යය පිළිබඳ ප්‍රතිචාර දැක්වීමේ නාලිකා තිබුණේ පරණ තැනක. මම මේ නාලිකා ලෙසින් අර්ථගන්වන්නේ බුද්ධිමතුන් වෙන්න පුළුවන්, කොළඹ කේන්ද්‍රීය විවිධ සමාජ දේශපාලන කණ්ඩායම් වෙන්න පුළුවන්. මොවුන් නව තත්ත්වයට ප්‍රතිචාර දැක්වුවේ පැරැණි ක්‍රමයටමයි. ඒ වගේම සාහිත්‍ය කලාව තුළ විශාල බල ඒකාධිකාරයක් ගොඩනැඟී තිබුණා. සාමාන්‍ය සමාජය මෙහෙයවන්න උත්සාහ කරන බල මූලස්ථාන විදිහටයි සාහිත්‍යය සහ කලාව තිබුණේ.

ලෝකයේ නූතන අවධියෙන් පසුව ගොඩනැඟුණු පශ්චාත් නූතන තත්ත්ව ඇතුළෙ කලාව වෙනස්වෙන හැටි, කලාවට ආර්ථිකය බලපෑ ආකාරය, කලාවට දේශපාලන ගතිකයන් බලපෑ ආකාරය අපි දැක්කා. ඒවා ගැන අධ්‍යයනය කරන්න අපි නිමිති කරගත්තේ කලා කෘති. විශේෂයෙන්ම කලාව දේශපාලනයෙන් වියෝවූ දෙයක් විදිහට නෙවෙයි අපි දැක්කේ. කලාව කියන්නේ මනුෂ්‍ය ජීවිතය. අපි දේශපාලනය විශ්ලේෂණය කිරීමේ පහසු ක්‍රම විදිහට යොදාගත්තේ කලා කෘති. කලා කෘතියක් විශ්ලේෂණය කරනවා කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ පැතිමාන බොහොමයක් අල්ලා ගන්න පුළුවන් කියන එක. ඇත්තටම යුරෝපයේ මුල් යුගයේ පුනරුදය පටන් ගත්තේ කලා කෘතිවලින්. ඒ වගේම X කණ්ඩායමේ සමාජ දේශපාලන මැදිහත්වීම් මුලින්ම සිදුවුණේ කලාවට කරන විවේචන සහ විශ්ලේෂණ ඇතුළෙ. ඒ නිසා මුල් කාලයේ අපේ බලපෑම ගොඩක්ම දැනුණේ කොළඹ කේන්ද්‍රීය බුද්ධිමය සමාජයට. කලා සමාජයට, සාහිත්‍ය සමාජයට. අපි ඒ තැන්වලට ගිහින් ඉතාම දරුණු විදිහට ඔවුන් ප්‍රශ්න කළා. සමහර සංවාද අපි දැක්ක ගමන් දේශන පමණක් බවට පත්වුණා.

 

නමුත් විසංයෝජනය වැනි පශ්චාත් නූතන සිද්ධාන්ත ගැන ඔබලාගේ පැහැදිලි කිරීම් අපභ්‍රංශ විදිහටයි ඇතැම් කණ්ඩායම් සැලකුවේ...

අපි ඒ කාලේ කිව්වා තේරෙන්නේ නැත්නම් පිළිකුල් භාවනාවට යන්න කියලා. අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා... මේ තමයි විසංයෝජනය. කෑලි කෑලිවලට කඩන එක. තේරෙන්නේ නැතිව නෙවෙයි, ප්‍රශ්නය තියෙන්නේ බුද්ධිමය සමාජය තිබුණේ හිතන සමාජයක නෙවෙයි, දේවල් පාපෝච්චාරණය කරන, එකිනෙකා කියූ දේ එළියට කියන සමාජයක. නමුත් අපි අපේ දැනුම ලංකාවේ පොළොවට ගැළපුවා. ඒ ගැළපීම ඒ අයගේ පරණ දැනුමෙන් තේරුම් ගන්න බැහැ තමයි. ඒකට අලුත් සිතීමක් අවශ්‍යයි. ඒ වගේම අලුත් භාෂාවක් අවශ්‍යයි.

 

නලින් ස්වාරිස් X කණ්ඩායම විවේචනය කළේ හරියට ඉංග්‍රීසිවත් දන්නේ නැති, අන්තර් ජාලයෙන් කෑලි අහුලගත් පිරිසක් ඩෙරීඩා ගැන, විසංයෝජනය ගැන කතාකරනවා කියලයි...

නලින් ස්වාරිස් ඩෙරීඩා විරෝධියෙක්නෙ. ඔහු බොහෝ දුරට බෞද්ධවාදියෙක්. නලින් ස්වාරිස් වැනි ගැඹුරු බෞද්ධවාදයේ ඉන්න කෙනෙක්ට ඩෙරීඩා කියන්නේ පොඩි හාල් මැස්සෙක්. නලින්ට වුණේ ඒක. හැබැයි නලින් හා සමානව රොහාන් පෙරේරා ඩෙරීඩා ප්‍රශ්න කර තිබුණා. රොහාන් X එකේ නෙවෙයි. නමුත් X එක හැදෙන්න පසුබිමේ හිටපු චරිතයක්. අපි එක කාලයකදි කිව්වේ නලින් අපේ ගුරුවරයෙක් කියලයි. ඒවා දේශපාලන රණ්ඩු මිසක්, න්‍යාය හෝ මූලධර්ම පිළිබඳ රණ්ඩු නෙවෙයි.

 

නමුත් පසුකාලීනව X කණ්ඩායම දෙදරා යනවා. ඔබත් වේලාසනින්ම ඉන් ඉවත් වෙනවා.

මම ඉවත්වීමට වඩා දුරස්වීමට බලපෑ හේතුව පෞද්ගලික කාරණයක්. මොකද මගේ පෞද්ගලික සබඳතා සහ දේශපාලන සබඳතා අතර ලොකු පරතරයක් තියාගන්න මම කැමැති නැහැ. අපි යම් කණ්ඩායමක් සමඟ දේශපාලනය කරනවා නම්, ඒ කණ්ඩායමෙන් මගේ පුද්ගලභාවය මට වියෝ කරගන්න බැහැ. ඒ කණ්ඩායම අතරේ මට සිද්ධවෙනවා මගේ පෞද්ගලික ආත්මය ස්ථානගත කරන්න. එතකොට යම්කිසි සිදුවීමක් නිසා මගේ පෞද්ගලික ජීවිතයට ඉඩක්, එයට යම් හව්හරණක් ලැබෙන්නේ නැති බව දැනුනාට පසු මම දුරස් වුණා.

නමුත් මම තවමත් X. ඉන් ඉවත් වුණත් මගේ භාවිතාව, මගේ චින්තන ලෝකය තවමත් හඳුනාගත නොහැකි X යැයි සිතමු යැයි කියන සමාජ දේශපාලන කලාපයක තමයි තියෙන්නෙ. සමහරු මම අහවලාගේ අහවලාගේ කියලා කියනවා. ඇත්තටම මම කාගෙවත් නෙවෙයි, X ගේ.

 

ඒ හැමදේ අතරේ ඔබ වෘත්තියෙන් දේශපාලන විද්‍යා ආචාර්යවරයෙක්. ප්‍රාදේශීය ආණ්ඩුකරණය සහ ප්‍රජා ආණ්ඩුකරණය තමයි ඔබේ පශ්චාත් උපාධිය. නමුත් ඔබ පොත් දොරට වැඩීමේ උත්සව බොහොමයක ප්‍රධාන දේශකයෙක්. ඔබේ සාහිත්‍ය ළැදියාව ආරම්භවෙන්නේ කොතැනින් ද?

දේශපාලන විද්‍යාව කරන කෙනෙක්ට බොහෝ සමාජ විද්‍යා සහ සෞන්දර්යය කලාපයන් තුළ මැදිහත්වීම් කළ හැකි විය යුතුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

ඉතින් මම ඉපදුණේ බොහොම පීඩිත ගොවි පවුලක. අම්මයි, අප්පච්චි ගෙවිලියක් සහ ගොවියෙක්. ඔවුන් හරි සරලයි. විවෘතයි. ඒ සියල්ල අතරේ මට නිදහසක් ලැබුණා මට ඕන දේවල් කරන්න. ඒ නිසා වෙන්න ඇති මම සාහිත්‍ය කලාව පැත්තට හිතන්න ඇත්තේ. අම්මා අපට බොහෝ කතන්දර, කවි කිව්වා. අප්පච්චි කියන්නේ ශ්ලෝක, ගාථා, මන්තර. හැබැයි ඒ හැම එකකම තිබුණා මොකක්දෝ අමුතු රහක්. අනෙක මම පුංචි කාලයේ ඉඳන් පොත් කියවනවා. මගේ ගම බදුල්ල, වියලුව. ඒ ගමේ පන්සල ජයසුමනාරාමයට මම පුංචි කාලයේ යනවා. ඒ පන්සලේදි කියෙව්වෙ ගණ දෙවි හෑල්ල, වදන් කවි පොත, බුද්ධ ගජ්ජය, සකස්කඩ. මේ හැම දේම කවි ආරට යන ඒවානෙ. ශ්ලෝක ගායනා කරන ඒවානේ. පන්සල් අධ්‍යාපනයෙන් ඒ රහ අපට දුන්නා. මේවා බලපාන්න ඇති.

 

ඔබ කියැවූ කෘති අතර ඔබට බලපෑම් කළ විශේෂ කෘතියක් තියෙනවා ද?

පුංචි කාලයේ මට ලොකුවටම බලපෑ කෘතිය තමයි කර්තෘ අඥාත ‘යශෝදරා වත’. අනෙක ‘මිහිර’ පත්තරේ. ‘යශෝදරා වත’ මට ගෙනත් දුන්නේ අපේ අසල්වැසියෙක් වුණු අබේසේකර ආච්චි. ඒ කාලයේ ඒ පොතේ මිල ශත පනහයි. ‘යශෝදරා වත’ මම ගෙදර අනෙක් අයට ඇහෙන්න ගායනා කළා. පස්සෙ ගමේ අසල්වැසියන්ගෙ ගෙවල්වලට ගිහින් ඒ අයට ඇහෙන්න මට ඒ කවි ගායනා කරන්න වුණා. ඒ ඔවුන්ගෙ ඉල්ලීම නිසා. මම එතකොට දෙකේ පන්තියේ හරි තුනේ පත්තියේ වගේ විතර ඇති. අබේසේකර ආච්චි දුන් ඒ කවි පොත මාව රෙජිස්ටර් කරපු තැනක් කියලයි මට හිතෙන්නෙ. ඊට පස්සෙ මට බලපෑ බොහෝ කෘති තිබුණා. ඒක ඉතින් දිගු ලැයිස්තුවක්.

 

එදා කවි ගැයූ ඔබ අද කවි ලියනවා. ඔබේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය ‘ඉලුක් ගේ හැඩ කරපු රතු කිකිළී’. එහි කවි අනූඑකක්!

මම පුංචි කාලයේ ඉඳන් කවි ලියනවා. පසුකාලීන විශ්වවිද්‍යාල ජීවිතයේදී ඒ ලිවීම වැඩි වුණා. නමුත් ඒ කාලයේ කොළඹ බලවත් සඳැස් නෙවෙයි, නිසඳැස්. මම ඊට පෙර ලියා තිබුණේ සඳැස්. මේ අලුත් ප්‍රවණතාවත් එක්ක මමත් නිසඳැස් ලියන්න පටන්ගත්තා. අනෙක නවසිය අනූහත වගේ කාලයේ මම ලියූ ගීයක් බොහොම ජනප්‍රිය වුණා. ඒ තමයි ‘ගිනි මලක් පිපුණාය දොරකඩ...’ ගීතය. එය ගායනා කළේ කිත්සිරි ජයසේකර. ඒ ගීතයත් මට ලියන්න පුළුවන් බව එළිය දැනගත්ත අවස්ථාවක්. මෑතක සිට මම ලියූ කවි ෆේස්බුක් අවකාශයේ පළ කළා. ඒ වගේම ෆේස්බුක් අවකාශයේ පළ වුණු ඇතැම් කවි පුවත්පත් කවි පිටු සංස්කාරකවරු ඔවුන්ගේ පිටුවල පළ කළා.

මම ලබන අත්දැකීම් එක්ක මට කවි ලියැවෙනවා. මම කවි කියා ලියන දේවල් මගේ ආත්මීය ප්‍රකාශන. මගේ හැඟීම්. ඒ හැඟීම් ඇතුළෙ පීඩනය, සතුට, විවේකය තියෙනවා. කවිය මගේ විනෝදාස්වාද කලාපය.

 

ඔබට බොහෝ බලපෑම් කළ ‘යශෝදරා වත’ සියලු දනන් වැළඳගත් කාව්‍යයක්. ඒ සමයේ සිංහල කවිය සාමාන්‍ය ජනයාට බොහොම සමීප මාධ්‍යයක්. වෙදකම, හෙදකම, කෘෂිකර්මාන්තය මේ හැමදේම බැඳී තිබුණේ කවියත් එක්ක. නමුත් පසුකාලීනව මේ කවියට ප්‍රමිතීන් එනවා. කවිය විදග්ධ භාවිතයක් වෙනවා. එය සිංහල කවිය සාමාන්‍ය ජන සමාජයෙන් ඈත්වෙන්න හේතුවුණා ද?

විදග්ධ සමාජය කවිය විතරක් නෙවෙයි, බොහෝ දේ සමාජයෙන් ඈත් කළා. ජන කවි කියන්නේ විදග්ධ සමාජය හදපු ඒවා නෙවෙයි. කරත්ත කවිය කරත්තකරුවාට පුළුවන් විදිහට පබැඳුවා, ගායනා කළා. පැල් රකින කෙනා ඔහුට පුළුවන් විදිහට පැල් කවි පබැඳුවා, ගායනා කළා. පස්සේ විදග්ධ සමාජය එකතුවෙලා ඒවාට තනු දාන්න පටන් ගත්තා. ඔවුන් කරත්ත කවි, ජන කවි, පතල් කවි, නෙළුම් කවි ගායනයට ප්‍රමිතීන් ගෙනාවා. ඒත් ජන කවි කියන්නේ මහන්සිවෙන මිනිසාගේ හුස්ම. ඒ හුස්මට විදග්ධ ආකෘති නැහැ. කවියක ආකෘතිය කියන්නේ තමන් හිතන ආකෘතිය, නැතුව තව කෙනෙක් යෝජනා කරන ආකෘතිය නෙවෙයි. විදග්ධ සමාජය හැමදාම කළේ ජනයාගේ දේවල් සඳහා අනවශ්‍ය ආකෘති දාල, අනවශ්‍ය ප්‍රමිති දාල ජනතාව බය කරපු එක. අපි ඒකට එරෙහිව වැඩ කළ යුතුයි.

ඉස්සර වෘත්තීමය කවියො හිටියෙ නැහැ. තමන්ගේ ක්ෂේත්‍රයේදී හැම කෙනෙක්ම කවියෙක්. පතල් වැඩකරන කෙනා පතල් ක්ෂේත්‍රයේ කවියෙක්. කරත්ත ක්ෂේත්‍රයේ වැඩකරන කෙනා කරත්ත ක්ෂේත්‍රයේ කවියෙක්. අදත් ජනයා වැඩකරනවානේ. ඒ වැඩකරන ජනයාගෙන් වැඩකරන තැනට අදාළ කවි එන්න ඕනනෙ. ඒත් එහෙම කවි අද නැහැ. කවියෙන් මිනිස්සු ඈත් කරලා. අපි යහපත් සමාජයක් ගොඩනඟනවා නම් කවියට ආයෙත් ළංවිය යුතුයි. කවිය සාමාන්‍ය ජනයාගේ කළ යුතුයි.

 

එක නවකතාවක් හෝ කාව්‍ය සංග්‍රහයක් හෝ ලියූ සැණින් අද සාහිත්‍යවේදියෙක් ලෙස ඔහු හෝ ඇය බෞතිස්ම කරනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය අවකාශයේ මෙය බහුල අද දකින්න ලැබෙන දෙයක්...

ඔව්, ඉස්සරහින් ප්‍රවීණ කියන විශේෂණයත් දාගන්නවා. ඇත්තටම නියම සාහිත්‍යවේදියෙක් තමන් සාහිත්‍යවේදියෙක්ද කියල දැන්නේ නැහැ. ඒ තරම් ඔහු සමාජයත් එක්ක දියවෙලා. ඒ තරම්ම සමාජයත් එක්ක අනුගත වෙලා. සාහිත්‍යය කියන්නේ කොටුවක් නෙවෙයි, මහාද්වීප රැසක එකතුවක්.

අද බොහෝ දෙනා අනන්‍යතා අර්බුදයෙන් පෙළෙනවා. ලක්මාල් බෝගහවත්ත කියන ඔබේ නම ඉදිරියෙන් ප්‍රවීණ මාධ්‍යවේදී කියල දැම්මොත් එය ඔබට කරන අවමානයක්. ඔබේ අනන්‍යතාව ලස්සන ලක්මාල් බෝගහවත්ත කිව්වාම. ලංකාවේ සමහර කවියන්ට දුන්නා එක එක ආචාර්ය උපාධි. දැන් නමට ඉදිරියෙන් දානවා ආචාර්ය කියලා. එතකොට ඒ නමට කලින් තිබුණු බැබළීම, කීර්තිය අවසන්. මම කියන්නේ වාසගම හෝ නම ඉදිරියෙන් දාන තනතුර හෝ නෙවෙයි වැදගත්. ඒ නම කෙතරම් මැදිහත් වුණාද සමාජයත් එක්ක කියන එක. මිනිස්සුන්ට අනන්‍යතාව කියල එළියට පේන්නේ නම විතරයි. හිතන්න කාල් මාක්ස්ට ආචාර්ය කාල් මාක්ස් කිව්වොත් මොකද වෙන්නේ...? කාල් මාක්ස් සාහිත්‍යවේදී ද? දාර්ශනික ද? නැහැ... කාල් මාක්ස් බැබළෙන්නේ නමට ඉදිරියෙන් විශේෂණ නැති නිසා.

 

 

493595291 10231825358208848 4609585487315574483 n

 

සංවාදය - ලක්මාල් බෝගහවත්ත

සති අග අරුණ (2025/08/24)

 

 

kemadasa

Back to top
Go to bottom