('අනිද්දා' පුවත්පත)
නුදුරේ දී ම තිරගත වන්නට නියමිත 'ෆාදර්' සිනමාපටය සමග නවතම සිනමා අධ්‍යක්‍ෂකවරයෙක් කලඑළි බසින්නට සූදානම් ය.
ඔහු නමින් චමින්ද ජයසූරියයි. දශක තුනකට අධික කාලයක් රූප මාධ්‍ය සමග නොනිමි ගනුදෙනුවක නිරත වන ඔහු සිය නිර්මාණ දිවියේ පළමු වතාවට අධ්‍යක්‍ෂක අසුන දරන්නේ 'ෆාදර්' සිනමා සිත්තම හරහා ය. මතු දැක්වෙන්නේ එය නිමිති කරගෙන අප චමින්ද ජයසූරිය සමග සිදු කළ සංවාදයකි.
'ෆාදර්' චිත්‍රපටයේ අධ්‍යක්ෂක චමින්ද ජයසූරිය
වසර තිහකට අධික කාලයක් මේ ක්ෂේත්‍රය ඇතුළෙ එකෙළ මෙකෙළ වුණ චමින්ද ජයසූරිය අධ්‍යක්‍ෂක භූමිකාවට අත තියන්න මේ තරම් කාලයක් ගත්තෙ ඇයි?
චිත්‍රපටයක් කරන හීනය අවුරුදු දාහතක් විතර හිතේ තිබුණා. හරියටම බැලුවොත් මේක මගේ හතර වැනි චිත්‍රපටය කියල කියන්න පුළුවන්. හතර වැනි එකෙන් තමයි මං පටන් ගත්තෙ. ඊට කලින් තුන ගත්තොත්, සමහර ඒවාට සෑහෙන්න වියදම් කරලා, ෂූට් එක ඔන් වෙන්න ඔන්න මෙන්න තිබිල නැවතුණ වැඩත් තියෙනවා. කොහොමත් අතේ තියෙන්නෙ මෙන්න මෙච්චරයි ඒ ගාණට ෆිල්ම් එකක් කරනවා වගේ අදහසක මං කවදාවත් හිටියෙ නෑ. කරන වැඩේ හරියටම කරන්නයි මට ඕනෙ වුණේ.
ඔබ රංගන ශිල්පියෙක් විදියට - විශේෂයෙන් ම වේදිකාවෙ - සෑහෙන්න කාලයක් වැඩ කළා. ඒක මේ වැඩේට මොන විදියෙ ආයෝජනයක් වුණාද?
ඒක තමයි මේකට තිබුණ ලොකුම ආයෝජනය. අපි කොහොමද ජීවිතේ කියවගන්නෙ, දේවල් දකින්නෙ, හරියටම දේවල් අඳුරගන්නෙ කියන එකට ලොකුම පරිචය ලැබුණෙ වේදිකාවෙන්. ඒ සියලුම අද්දැකීම් එකට එකතු වෙලා, එකතු වෙලා තමයි චිත්‍රපටයක් කරන තැනට ආවෙ. වේදිකාවෙ රඟපාන්න ගත්ත මුල් කාලෙ ඉඳලම අපි විශ්වාස කරපු ලොකුම ආර්ට් එක තමයි වේදිකාව සහ සිනමාව. ඒ අතරමැද්දෙ තිබුණ දේවල් ගැන අපිට ලොකු විශ්වාසයක් තිබුණෙ නෑ. මට අදටත් ඒක එහෙමයි.
ඔබ චිත්‍රපටයට පාදක කරගන්න කතාව සුවිශේෂයි. අදටත් ජීවතුන් අතර ඉන්න ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගෙ ඇත්ත කතාවක් තමයි ඔබ තිරයට ගේන්නෙ. මේ කතාවම ගන්න ඕනෙ කියල කල්පනා කළේ ඇයි?
මම කලින් කරන්න උත්සාහ කළ චිත්‍රපටවලත් මං බැලුවෙ මාව කම්පනයට පත් කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියල.
ඕනෙම කතාවක අපූර්වත්වයක් සහ සහකම්පනයක් තියෙන්න ඕනෙනෙ. එහෙම කතා තමයි මං හැම වෙලාවෙම හෙව්වෙ. සත්‍ය සිදුවීමක් ගත්තම ඒක ඇත්තටම මේ පොළොව උඩ සිද්ධ වුණ දෙයක්. එහෙම ගත්තම ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් පරිමාව හරි ඉහළයිනෙ. චිත්‍රපටයකට කතාවක් තෝරද්දී මං අන්න ඒක ප්‍රධාන දෙයක් විදියට සළකනවා. මේක සත්‍ය කතාවක් කිව්වම අපි සීයට පනහකට හැටකටත් වඩා ඒකත් එක්ක එකඟ වෙලානෙ ෆිල්ම් හෝල් එකේ වාඩිවෙන්නෙම. ප්‍රේක්ෂකයා ඇදල ගන්න පුළුවන් ප්‍රධානම කාරණාවක් ඒක. ඒ ගැන මං ගොඩක් හිතුවා. මූලිකවම මේ කතාව මාව කම්පනයට පත් කළා. මේ කතා නායකයා මට විස්මයක්. ඒකයි මං මේ කතාව තෝරගත්තෙ.
වැඩේ ගැන මුලින් ම කිව්වම ඔහුගෙ පාර්ශවයෙන් ලැබුණෙ කොහොම ප්‍රතිචාරයක්ද?
ඔහු කිසිම පැකිලීමක් නැතුව මට වැඩේට අවසර දුන්නා. මෙන්න මේක විශේෂයෙන් ම කියන්න ඕනෙ. ලංකාවෙ හිටපු සහ අදටත් ඉන්න බොහෝ ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්‍ෂකවරුන් මේ කතාවෙන් චිත්‍රපට කරන්න ඉතිහාසයේ ඉඳල ම උත්සාහ කරල තියෙනවා. නමුත් අපේ කතා නායකයා ඒකට එකඟ වෙලා නෑ. ඔහුමයි ඒ බව මාත් එක්ක කිව්වෙ.
මං දන්නෙ නෑ ඔහු මට මේක දෙන්න එකඟ වුණේ ඇයි කියල. මං ඔහුට කිව්වා මේක මගේ පළවෙනි ෆිල්ම් එක බවත්. නමුත් ඔහු කිව්වෙ 'නෑ, නෑ, ඔයා මේක කරන්න, ඔයාට මේක කරන්න පුළුවන්' කියල. එහෙම විශ්වාසයකින් තමයි ඔහු මට කතාව දුන්නෙ.
ප්‍රබන්ධයක් නිර්මාණය කිරීම සහ සත්‍ය කතාවක් ප්‍රතිනිර්මාණය කිරීම අතර වෙනසක් තියෙනවා. ඒක ඔබට කොහොම අභියෝගයක් වුණාද?
එතැනදි අපි කණ්ඩායමක් විදියටම එක අදහසක හිටියා, සීසීටීවී වැඩ නම් අපි කරන්නෙ නෑ කියල. සත්‍ය කතාවක් අපි ඒ විදියටම රූපරචනා කරලා එළියට දාල තේරුමක් නෑනෙ. එතකොට ඒක වාර්තාවක් විතරයිනෙ. මේක චිත්‍රපටයක් විදියට ගොඩනගන්නෙ කොහොමද කියල කරපු සංවාදෙදි අපි යම් යම් දේවල් සුළු වෙනස්කම්වලට භාජනය කළා. අපි මේකට කියන්නෙ සත්‍ය කතාවක් ඇසුරෙන් කළ නිර්මාණයක් කියල. යම් යම් නිර්මාණාත්මක දේවල් අපි එකතු කළා. හැබැයි මේකෙ තියෙන සියල්ලම ඇත්ත. ලොකු සිද්ධියක් ඇතුළෙ තියෙන කුඩා කුඩා සිද්ධි පවා ඇත්ත ඒවා. ඒ සම්බන්ධව චිත්‍රපටයෙ එක එක දර්ශනය බැගින් අරගෙන වෙන වෙනම වුණත් මට පැහැදිලි කරන්න පුළුවන්. එහෙම පැහැදිලි චිත්‍රයක් එක්ක තමයි අපි වැඩේ කළේ.
මේක 70, 80, 90 දශක පාදක කරගත් කතාවක්. ඔය කාලෙ කියල කියන්නෙ අපේ රටේ සමාජ, දේශපාලන, ආර්ථික අතින් බොහෝ දේවල් සිද්ධ වුණ කාල වකවානුවක්. ඒ වගේම ඒ කාලෙ ඇඳුම්, විලාසිතා, වාහන බොහෝ දේවල් වෙනස්. ඒ ප්‍රතිනිර්මාණ වෑයම ගැන අපිට යමක් කියන්න?
ප්‍රධාන කතාව විකාශය වෙන්නෙ 1976 ඉඳල 1991 දක්වා. ඊට අමතරව වර්තමාන කාලෙ දර්ශන කීපයකුත් තියෙනවා. හැත්තෑවෙ අග ඉඳල අසූව හරහා අනූවෙ මුල දක්වා මටත් පුද්ගලිකව මේ කාල රේඛාව ඔස්සෙ ඇවිදගෙන ආපු හැලහැප්පීම් සහිත අද්දැකීම් ටිකක් තියෙනවා. මට ඒ මතකය සහ අද්දැකීම් ගොඩක් වැදගත් වුණා.
උදාහරණයක් විදියට කෙනෙක් කිව්වොත් එයාට මෙන්න මෙහෙම කලිසමක් අඳින්න ඕනෙ කියල, නෑ නෑ ඔය කලිසම ආවෙ ඒ කාලෙ නෙවෙයි කියල කියන්න තරම් මතකයක් මට තිබුණා. ඒ නිසා ඒක ලොකු අපහසුවක් වුණේ නෑ. ඒකට අපේ කණ්ඩායමෙන් ලැබුණ සහයෝගයත් ඉතාම වැදගත් වුණා. ඔවුන් ඒ කාලය පිළිබඳ රිසර්ච් පවා කරල තමයි වැඩේට ලෑස්ති වුණේ.
චිත්‍රපටයෙ නළු - නිළි නම් ලැයිස්තුව දැක්කම හිතෙනවා මෑත කාලෙ ලංකාවෙ ෆිල්ම් එකක හිටපු ලොකුම කාස්ට් එකද මේ කියල. මේ එක් එක් චරිත තෝරාගැනීමෙදි ඔබ අවධානය යොමු කළ කාරණා මොනවද?
අවංකවම නළු - නිළි වරණයෙදි මං ප්‍රධාන ම තැන දුන්නෙ වේදිකාවෙන් ආපු අයට.
මං වේදිකාවෙන් ආපු මිනිහෙක් විදියට හොඳට දන්නවා එතැන මිනිසුන් ඒ වෙනුවෙන් කරන කැපකිරීම. ඒ කිසිම කෙනෙක් සල්ලි බලාගෙන හෝ මහන්සිය බලාගෙන නෙවෙයි වැඩ කරන්නෙ. ආර්ට් එකට තියෙන ලව් එකටම තමයි ඔවුන් වැඩ කරන්නෙ. මං කියන්නෙ ඔවුන් තමයි මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න ඕනෙ. හොඳට බලන්න, වේදිකාවෙන් ආපු කිසිම කෙනෙක් කිසිම තැනක ෆේල් වෙලා නෑනෙ. ඒ නිසා මං කළ තෝරාගැනීම්වලින් සීයට අනූ නවයක් ම ගත්තෙ වේදිකාවෙන්. ඒක තමයි මගේ ප්‍රධාන නිර්ණායකය වුණේ.
ඊට අමතරව මේකෙ සැබෑ චරිතය එක්ක කරපු කතා බහේදි, අදාළ ස්ථාන බලන්න ගිය ගමන්වලදි ඔළුවට ආපු යම් යම් අදහස් පිළිබඳවත් නළු - නිළි වරණයෙදි අපි සැළකිලිමත් වුණා. ඒ වගේම ඒ හැම දෙයක්ම චිත්‍රපටයකට අවශ්‍ය විදියට කළමනාකරණය කර ගැනීමත් වැදගත් වුණා. උදාහරණයක් විදියට ප්‍රධාන චරිතය අයත් පවුල ගත්තොත් ඒ පවුලෙ අම්මගෙ හැර අනිත් හැමෝගෙම කොණ්ඩ කැරලියි. පූජන දන්දෙණිය, සරත් කොතලාවල, සෞම්‍ය ලියනගේ මේ හැමෝගෙම කොණ්ඩය එහෙමයි. අම්මගෙ චරිතය කළ චාන්දනී සෙනෙවිරත්නගෙ කොණ්ඩය විතරයි වෙනස්. එතකොට අපිට ජීව විද්‍යාත්මකවත් බැලුවත් ඒක එකම පවුලක් වගේ පේනවා. අපි ඒ වැඩේදි අන්න එහෙම මහන්සි වුණා. ජගත් මනුවර්ණ ඒ වැඩේදි මට සෑහෙන්න සහයෝගයක් දුන්නා. ජගාගෙ සමහර අදහස් අපිට ගොඩක් වැදගත් වුණා.
නිෂ්පාදක සහ තාක්ෂණික කණ්ඩායමෙන් ලැබුණ සහයෝගය කොහොමද?
මේක නිෂ්පාදනය කළේ ශාන්ත ගීතදේව. ඔහු මගේ හොඳ මිත්‍රයෙක් සහ ඉතාම හොඳ මහත්මයෙක්. ඔහුත් නිතරම අපිත් එක්ක සෙට් එකේ හිටියා. ඔහුගෙත් පළවෙනි චිත්‍රපටය මේක. ඒ වගේම කැමරාව පිටිපස්සෙ හිටියෙ විශ්වජිත් කරුණාරත්න සහ ප්‍රීතික හේවාපතිරණ. උදය ප්‍රසන්න, රොනිත් අධිකාරි ඇතුළු සියලුම දෙනා - මේ වෙලාවෙ කියන්න බැරි තරම් විශාල නම් ප්‍රමාණයක් - වැඩේට ඉතාම හොඳින් සහයෝගය දැක්වූවා. ඒ නිසා ඩිරෙක්ටර් විදියට හැමදේම මගේ ඔළුවෙ තියාගෙන ඉන්න අවශ්‍ය වුණේ නෑ.
රූගත කිරීම් අද්දැකීම කොහොම එකක් වුණාද?
සීයට අසූවක් ම රූගත කළේ රන්මිණිතැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයෙ. ඒ වගේම පරම්පරා කීපයක පිරිස මෙතැන හිටියා. වැඩිහිටි පරම්පරාවෙ හැමෝම වගේ මගේ සමීප කවයෙ ඇසුරු කරන අය. ඒ කවයත් එක්ක වැඩ කරන එක මට කිසිම ගැටලුවක් වුණේ නෑ. ඊට පස්සෙ මට ගනුදෙනුව තිබුණෙ ඊට පල්ලෙහා ගැටවර පරම්පරාවෙ අයත් එක්ක. ඔවුනුත් වේදිකාවෙන් ආපු උදවිය. වැඩේ දන්න අයනෙ. එතකොට වැඩේ ලේසි වෙනවනෙ. ඔවුනුත් ඉතාම හොඳින් සහයෝගය දැක්වුවා. විශේෂයෙන් කියන්න ඕනෙ අපේ සහය අධ්‍යක්‍ෂක උදය ප්‍රසන්න කිසිම ගැටලුවක් ඇති නොවෙන්න සියලු කටයුතු හොඳට කළමනාකරණය කරලා තිබුණා. ඒ ගෞරවය ඔහුට ලබා දිය යුතුයි.
පොඩි පොඩි කරදර, අනතුරු ටිකක් නම් වුණා. එක පාරක් ජගත් මනුවර්ණට වෙඩි වැදුණා. විහඟ විජේසේකර ඇදගෙන වැටිලා ඔළුව තුවාල වුණා. තව වතාවක් ගින්නක් ඇතිවෙලා ප්‍රශ්න වගයක් වුණා. ඒවා ඉතිං ප්‍රායෝගික ගැටලුනෙ. ඒ දේවල් පවා අපි හොඳින් කළමනාකරණය කරගත්තා කියල මං හිතනවා. ඇත්තටම ඒක ඉතාම රසවත් කාලයක්.
'ෆාදර්' චිත්‍රපටයේ නිළ පෝස්ටරය
අවසාන වශයෙන් අපිට කියන්න, චිත්‍රපටය නරඹන්න ලැබෙන්නෙ කොයි කාලෙද සහ ඒ සම්බන්ධව රටේ ප්‍රේක්ෂකාගාරයට ඔබට කියන්න තියෙන්නෙ මොකද්ද?
මේ අවුරුද්ද චිත්‍රපටවලට ඉතාම හොඳ අවුරුද්දක් බව දැන් පේන්න තියෙනවා. මං කියන්නෙ මේක විනෝද බයිස්කෝප් එකක්. මේකෙ සින්දු පහක් තියෙනවා. චාමර වීරසිංහ ඔහුගේ සංගීත ඉතිහාසයෙ පළමු වතාවට චිත්‍රපටයකට සින්දු කියන්න අපිත් එක්ක එකතුවෙනවා. අනිත් පැත්තෙන් කාංචනා අනුරාධි සින්දු කියනවා. පීටර් රොසයිරෝ සින්දුවක් කියනවා. වාද බයිලා තියෙනවා. ඔරිජිනල් දෙමළ සින්දුවක් තියෙනවා.
ඉතිං ප්‍රේක්ෂකාගාරයට කියන්න තියෙන්නෙ, එන්න, ඇවිත් චිත්‍රපටය බලන්න. සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මාසෙ චිත්‍රපටය එයි කියල අපි බලාපොරොත්තු වෙනවා. රිද්මා මණ්ඩලයෙන් තමයි ෆිල්ම් එක එන්නෙ. ඒ වගේම අපේ රටේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමට සමගාමීව ලෝකය පුරාත් මෙය ප්‍රදර්ශනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, කොරියාව, මාලදිවයින, කැනඩාව, ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය ඇතුළු රටවල් විස්සකට අධික ප්‍රමාණයක් එක්ක අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ. ඒ වගේම අපි මේ දවස්වල ෆිල්ම් එකේ ටැමිල් කොපි එකක් ගහන්නත් කටයුතු කරමින් ඉන්නවා. එහෙම වුණොත් මේක දෙමළ චිත්‍රපටයක් විදියට දෙමළ ප්‍රේක්ෂකාගාරය තුළටත් යයි කියල අපි විශ්වාස කරනවා.
සංවාදය - කසුන් සමරතුංග
මෙම ලිපිය 2025.08.15 මුල් වරට 'අනිද්දා' පුවත්පතේ පළවිය.



