lan englan tam

විශේෂාංග

පිටසක්වල ජීවීන් බොහෝ දුරට සිටිය හැකි වුවත් ඔවුන් තවමත් අපව සොයා නොආවේ ඇයි?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දීප්තිමත් තරු පොකුරුවලින් සැරසී ඇති රාත්‍රී අහස දෙස බලා ඔබ ඔබෙන් මෙසේ අසන්න: සම්පූර්ණයෙන් ම තේරුම් ගැනීමට නොහැකි තරම් විශාල විශ්වයක අප ඇත්තට ම සිටින්නේ තනිව ම ද?

එසේ නොවන්නට ඉඩක් ඇත. පෘථිවිය යනු බිලියන ගණනක් වෙනත් ග්‍රහලෝක සහ තාරකා ආදියෙන් සමන්විත විශාල ප්‍රදේශයක පිහිටා ඇති ඉතා කුඩා ග්‍රහලෝකයකි. එබැවින් අප එහි හෝ එවැනි අසල්වැසි මන්දාකිනියක සිටින එක ම ජීවය වන්නේ කෙසේ ද?

එබැවින්, පෘථිවිය වැනි පරිපූර්ණ නියාමනයක් ඇති පරිසරයෙන් පිටත ජීවය ගැන අප දන්නේ මොනවා ද?

බොහෝ විශේෂඥයින් පවසන්නේ, පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රබල සාක්ෂි නොමැතිව වුව ද, ඔවුන් සිටින බවට අප නිගමනයකට එළඹිය යුතු බව යි. ඇස්තමේන්තු කර ඇති පරිදි බිලියන 200ක මන්දාකිණිවලින් එකක් වන අපගේ ක්ෂීර පථ මන්දාකිණියේ පමණක් තාරකා බිලියන 300ක් පමණ අඩංගු වේ. අපට අයත් තාරකාව එනම් සූර්යයා පෘථිවියේ ජීවයේ ප්‍රධාන ප්‍රභවයයි.

විද්‍යාඥයෝ නිරන්තරයෙන් එවැනි තාරකා වටා භ්‍රමණය වන ග්‍රහලෝක සොයා ගනිමින් සිටිති. ඒවා අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක එනම්, 'exoplanets' ලෙස හැඳින්වේ. "අපිට හොඳට ම විශ්වාසයි එහෙම දෙයක් තියෙනවා කියලා," යැයි අභ්‍යවකාශ විද්‍යාඥ ආචාර්ය මැගී ඇඩරින්-පොකොක් පවසයි. "එය තනිකරම ගණිතමය ක්‍රීඩාවක්. ඒ කියන්නේ සම්භාවිතාව කියලා."

 

af67b020 79f2 11f0 87a7 fdfee4a863a8.jpgඉදිරි දශකය තුළ ජීවයේ සලකුණු සහිත ග්‍රහලෝක අපට සොයා ගත හැකි යැයි විද්‍යාඥයෝ විශ්වාස කරති

 

දැන් අප සතුව ඇති තාක්‍ෂණය මගින් මෙම බාහිර ග්‍රහලෝක ඉතා සියුම්ව පරීක්ෂා කිරීමට අපට ඉඩ සලසයි. තම තාරකා වටා භ්‍රමණය වන මෙම ආකාශ වස්තූන්ගේ රසායනික සංයුතිය විද්‍යාඥයින්ට දැකගත හැක්කේ, ඒවා හරහා ගමන් කරන තාරකා ආලෝකයේ රසායනික සංයුතිය පරීක්ෂා කිරීම සඳහා ඇති ප්‍රබල දුරේක්ෂ භාවිත කිරීමෙනි. මෙය වර්ණාවලීක්ෂණය (spectroscopy) ලෙස හඳුන්වයි.

වැදගත් ම දෙය නම් පෘථිවියේ රසායනික සංයුතියට සමාන රසායනික සංයුතියක් සොයා ගැනීම ය. එනම් ඇතැම් විට ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් හෝ එවැනි පරිසරයක් වෙනත් තැනක පවතින්නේ නම්, අපගේ ජීවියට හා සමාන ජීවයක් පැවතිය හැකි වීම ය.

"වාසයට සුදුසු ග්‍රහලෝක සිය ගණනක් තියෙනවා කියලා අපි දන්නවා," එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටිම් ඕ'බ්‍රයන් පවසයි. "අපි ඉදිරි දශකය ඇතුළත ජීවය තියෙන බවට සාක්ෂි පෙන්වන්න පුළුවන් ග්‍රහලෝකයක් සොයා ගැනීම බොහෝ දුරට කරනවා."

වඩාත් දිරිගන්වන සාක්ෂි පෘථිවියේ තුළ ම දක්නට ලැබේ. මීට පෙර කිසිදු ආකාරයක ජීවයක් පවත්වාගෙන යාමට ඉතා දරුණු හෝ නුසුදුසු යැයි සිතූ ස්ථානවල එනම් හිරු එළිය හෝ උණුසුම නොලැබෙන ස්ථානවල, උදාහරණයක් ලෙස අපගේ සාගරවල ගැඹුරු ම තැන්වල ජීවීන් ඇති බවට සොයාගෙන ඇත.

 

40b9b670 79f0 11f0 a162 eb806a3a17ce.jpgඅපේ ශිෂ්ටාචාර අතිච්ඡාදනය නොවන්නේ නම්, අපට කිසි දා වෙනත් ග්‍රහලෝකවල වැසියන් හමු නොවනු ඇතැයි ආචාර්ය මැගී ඇඩරින්-පොකොක් පවසයි

 

ජීවය පැවතිය හැක්කේ තම තාරකාවේ (ඉර වැනි) සිට යම් දුරකින් පිහිටි ග්‍රහලෝකයක පමණක් බව අපි අතීතයේදී, විශ්වාස කළෙමු (එනම් ජීවයට අවශ්‍ය ආලෝකය ලැබෙන තරම් දුරින්). පෘථිවියේ ජීවය ඉතා හොඳින් පවතින බවට අප නොසිතූ තැන්වල ද ජීවය ඇති බව සොයා ගැනීමෙන්, ග්‍රහලෝකවලට පමණක් නොව චන්ද්‍රයන්ට ද ජීවයේ පැවැත්මට සහය විය හැකියි යන්න ගැන දැන් අපට අවබෝධයක් ලබා දී තිබේ.

සාමාන්‍යයෙන් අප චිත්‍රපට, කාටූන් හෝ විද්‍යා ප්‍රබන්ධවල දකින පරිදි පිටසක්වල ජීවීන් හරිත පැහැති ජීවී කොට්ඨාසයක් යැයි මින් අදහස් නොවේ. ඉන් අදහස් වන්නේ යම් ආකාරයක ජීවයකට එහි නොනැසී සිටිය හැකියි යන්න ය.

විශේෂඥයින් අනතුරු අඟවන්නේ පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ වුව ත් ඔවුන් බුද්ධිමත් ජීවීන් දැයි යන්න දැන ගැනීම දුෂ්කර, ඇතැම් විට දැනට කළ නොහැකි දෙයක් බව ය.

"පෘථිවි ඉතිහාසයේ වැඩි කාලයක් පැවති ජීවය ඉතා සරල ජීවී කොට්ඨාසයක්. ඇත්ත වශයෙන් ම කිව්වොත් වසර බිලියන ගණනක් පැවතියේ බැක්ටීරියා ජීවයක්," මහාචාර්ය ඕ'බ්‍රයන් පවසයි.

අපේ ග්‍රහලෝකයේ බහු සෛලීය ජීවීන් පවා වර්ධනය වීමට හේතු වූයේ අහඹු සිදුවීම් මාලාවකි. පිටසක්වල ජීවීන්ට සම්බන්ධතා ඇති කර ගැනීමට නම්, ඔවුන් භෞතිකව හා තාක්‍ෂණිකව දියුණු විය යුතු ය.

 

පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් අපේක්ෂා කළ යුතු ද?

අප මෙම විශ්වයේ සිටින්නේ තනිව නොවේ නම්, ඉන් අදහස් වන්නේ අප පිටසක්වල ජීවීන්ගේ පැමිණීමක් අපේක්ෂා කළ යුතු ද යන්න ද? ඒක සංකීර්ණ සන්දර්භයකි.

කිසි ම ජීවියෙකු එක් සෞරග්‍රහ මණ්ඩලයක සිට තවත් සෞරග්‍රහ මණ්ඩලයක් දක්වා දුරක් තරණය කිරීමේ දියුණු තත්ත්වයකට ළඟා වී නැති බව විශ්වාස කිරීම දුෂ්කරය. එබැවින්, අපට මේ තාක් කිව හැක්කේ, මෙය තවමත් සිදු නොවී ඇත්තේ ඇයි ද යන්න ය.

"අපට තියෙන ලොකු ම ගැටලුව තමයි අපට ඇත්තේ ජීවය පිළිබඳ එක් උදාහරණයක් පමණක් වීම. ඒ කියන්නේ මේ ග්‍රහලෝකයේ ජීවය," ආචාර්ය ඇඩරින්-පොකොක් පවසයි.

නමුත් එය විශ්වයේ වෙනත් තැනක් සඳහා වන සැලැස්මක් නොවිය හැකි ය. උදාහරණයක් ලෙස, ආචාර්ය ඇඩරින්-පොකොක් මෙසේ පවසයි, "ඔබ තරමක් ක්‍රියාකාරී තාරකාවක් අසල ජීවත් වන්නේ නම්, ඔබට පොළොව යට ජීවත් වෙන්න පුළුවන්..." බුද්ධිමත් ජීවී කොට්ඨාසයක් එළියේ නැහැ කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, නමුත් ඔබ මතුපිටින් පහළින් ජීවත් වන නිසා ඔබට සම්ප්‍රේෂණය කිරීමේ මාධ්‍යයන් නොතිබෙන්න පුළුවන්."

62e89970 79f3 11f0 87a7 fdfee4a863a8.jpgඅපි වෙනත් ජීව ස්වරූපවලට යැවීමට උත්සහ කරන ඕනෑ ම පණිවිඩයක් ඔවුන් වෙත ළඟා වීමට වසර දහස් ගණනක්, මිලියන ගණනක් පවා ගතවනු ඇතැයි විද්‍යාඥයෝ පවසති

 

නැතහොත්, විද්‍යාත්මකව, සත්‍ය වශයෙන් ම එයට හේතු විය හැක්කේ අප එක ම භාෂාව කතා නොකිරීම විය හැකි ය.

"1960 පමණ සිට පිටසක්වළ ශිෂ්ටාචාරවලින් ලැබෙන සංඥාවලට සවන් දීමට අපි රේඩියෝ දුරේක්ෂ භාවිත කරලා තියෙනවා," මහාචාර්ය ඕ'බ්‍රයන් පවසයි. කෙසේ වෙතත්, ජීව ස්වරූපයේ සංඥා නිකුත් කළ හැකි විවිධ ක්‍රම රාශියක් තිබිය හැකි අතර ඒවා අපට කිසිදා නොඇසෙන්නට ඉඩ ඇත.

අප විශ්වයේ අනෙකුත් ජීවීන් හා සමාන තරංග ආයාමයක සිටිය ද පවතින විශාල දුර නිසා පණිවිඩ සම්ප්‍රේෂණය වී ප්‍රතිචාර දැක්වීමට වසර දහස් ගණනක් ගත විය හැකිය (ආපසු හැරී බැලීමේදී, ලිපියක් හරහා සන්නිවේදනය කිරීම දැන් මන්දගාමී බව පෙනේ).

බර්ක්ලිහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති Breakthrough Listen නම් නව ව්‍යාපෘතියක් හරහා, විද්‍යාඥයෝ පෘථිවියට පණිවිඩ එවිය හැකි ඕනෑ ම දෙයක් සමග කොහේ හෝ සිට සන්නිවේදනය කිරීමට බලාපොරොත්තුවෙන් අසල ඇති තරු මිලියනයක් පිරික්සමින් සිටිති.

ඔවුහු ආලෝක වර්ෂ 25,000ක් ඈතින් පිහිටි අපගේ ක්ෂීර පථය මධ්‍යයේ ඇති තාරකා පිරික්සමින් සිටිති. එනම්, මෙම තාරකාවකින් නිකුත් කරන ලද පණිවිඩයක් අප වෙත ළඟා වීමට පෙර ආසන්න වශයෙන් වසර 25,000ක් ගමන් කළ යුතුයි යන්න ය.

එබැවින්, පිටසක්වල ජීවීන් සිටිනවා නම්, ඔවුන් ගැන යම් හෝඩුවාවක් හෝ දැන ගැනීමට වසර දහස් ගණනක් ගත වීමට ඉඩ ඇත.

 

යා යුතු දුර බොහෝයි

විශාල දුරක් ගෙවමින් මන්දාකිණි අතර ගමන් කිරීම නුදුරු අනාගතයේදී සාක්ෂාත් කර ගත හැක්කක් නොවේ.

අපට ආලෝකයේ වේගයෙන් රේඩියෝ තරංග යැවිය හැකි ය. නමුත් ඒ අභ්‍යවකාශයේ රික්තය හරහා ගමන් කරන රේඩියෝ තරංගයක් පමණයි. එසේ වුව ද, කිසිදු ආකාරයක අභ්‍යවකාශ යානයකට තරු (සෞරග්‍ර මණ්ඩල අතර) අතර ගමන් කළ නොහැක. අපට භෞතික ස්කන්ධයක් අභ්‍යවකාශයේ ගැඹුරට යැවීමට අවශ්‍ය නම්, යානා හෝ මිනිසුන් ආකාරයෙන්, එය වඩාත් අභියෝගාත්මක වේ.

අපේ මානව ශිෂ්ටාචාරයට තවමත් මෙය කළ නොහැකි නම්, විශේෂඥයින් පවසන්නේ අපගේ අභ්‍යවකාශ අසල්වැසියන්ටත් එය කළ නොහැකි බව ය. අප වෙත පැමිණීමට ඔවුන්ට තාක්‍ෂණය තිබුණත්, ඔවුන් එය නොකිරීමට ඇති හේතුව අපි සලකා බැලිය යුතුයි.

යම් ප්‍රමාණයක විශ්වීය වාසනාවක් - නැතහොත් හොඳ වේලාවක් - තිබිය යුතු ය. අපේ ශිෂ්ටාචාරය පෘථිවිය මත කොතරම් සුළු කාලයක් ගත කර ඇත්දැයි මතක තබා ගැනීම ඇතැම් විට දුෂ්කර විය හැකිය.

පෘථිවියේ වසර බිලියන 3.5කට වැඩි කාලයක් ජීවය පැවතුණ ද, නූතන මිනිසුන් එහි සිට ඇත්තේ ආසන්න වශයෙන් වසර 300,000ක් පමණි. ශිෂ්ටාචාර වේගයෙන් අතුරුදන් විය හැකි නිසා, සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා ඇති කවුළුව පටු ය.

පිටසක්වල ජීවීන් කවදා හෝ අපගේ ග්‍රහලෝකයට පැමිණියා ද යන්න අපි නිශ්චිතවම නොදනිමු. අපට තරමක් හෝ නිශ්චිතව කිව හැකි දෙය නම් මිනිසුන් පෘථිවියේ සැරිසැරූ කාලය තුළ ඔවුන් බොහෝ විට පැමිණ නොමැති බව ය.

අපේ ශිෂ්ටාචාර අතිච්ඡාදනය නොවන්නේ නම්, අපට කිසි දා වෙනත් ග්‍රහලෝකවල වැසියන් හමු නොවනු ඇත," ආචාර්ය මැගී ඇඩරින්-පොකොක් පවසයි. ඇතැම් විට ඔවුන් බොහෝ කලකට පෙර පැමිණ තිබේ. නැතහොත් අනාගතයේදී, මිනිස් ජීවිතය නැතිව ගොස් බොහෝ කලකට පසුව ඔවුන් පැමිණෙනු ඇත.

එබැවින් ඇතැම් විට ඩයිනෝසෝරයන් ජුරාසික් යුගයේදී පිටසක්වල ජීවීන්ට සත්කාරකත්වය දැක්වූවා විය හැකි ය. එසේ නොමැති නම් එය අපට කිසි දා දැන ගැනීමට ඉඩක් නොලැබෙනු ඇත.

 

මෙම ලිපිය බීබීසී රේඩියෝ 4හි විකාශය වූ The Infinite Monkey Cage වැඩසටහන පාදක කරගෙන සම්පාදනය වූවකි.

(BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් මෙම ලිපිය උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom