- Malcolm Sang -
මම වයසක මිනිහෙක්.. උදේ පාන්දර නැගිටින එක මහ අමාරු වැඩක්. ඇඟපත රිදෙනවා.. මහන්සියි. ඒත් එහෙම කියලා බෑ. මම මාළු කාරයෙක්.. බෑ කියලා බෑ මම මාළුකාරයෙක්. මේ තමයි මගෙ ජීවිතය. මෙහෙම කියන්නෙ මහළු කියුබානු ධීවරයෙක් වූ සන්තියාගෝ.
දවස් අසූ හතරක් එක දිගටම මුහුදු ගියත් මේ කිසිම දවසක මට බැරි වුනා මාළුවෙක් අල්ලගන්න.
අත්දැකීම් ඇති දක්ශ ධීවරයෙක්ට බෑ එකම මාළුවෙක්වත් අල්ලගන්න... අසල්වැසි ධීවරයො හිනාවෙනවා මේ මහල්ලාට.
හැමෝම හිනාවුනත් මනොලීනෝ විශ්වාස කරනවා සන්තියාගෝ ගැන. මනෝලීනෝ තරුණ වයසට ලඟාවෙන දරුවෙක්. එක අතකින් සන්තියාගෝගේ මිත්‍රයා... අනෙත් අතින් එයාගේ ධීවර සහායකයා.
සන්තියාගෝගේ ජීවිතයේ ලොකුම අරමුණ විශාල මාළුවෙක් අල්ලාගැනීම. තමන්ගෙ හැකියාව ඔප්පුකිරීම..
තවත් විදිහකට කීවොත් මහළු වුනත්.. ජීවිතය පුරාම සටන් කරත්.. මුළු ජීවිතයම මාළු අල්ලන්න කැපකරත්.. පරාජයන් සිය දාස් ගාණක් ලැබුවත් සන්තියාගෝට බැහැ තමන්ගෙ දැවෙන ආශාවෙන් ගැලවෙන්න.
දැන් ඇති.. උඹ ජීවිතේ පුරාම වැඩකරා.. තවත් සටන්කරන්න.. ඔප්පු කරන්න දෙයක් උඹට ඉතුරුවෙලා නෑ.
ඉහ නිකට පැහුණු මහල්ලෙක් වුනු උඹ ඇයි මේ තරම් නහින්නෙ.. සටන් කරන්නෙ..? දැන් ඇති.. උඹට විවේක ගන්න කාලයයි ඇවිහ් තියෙන්නෙ. එහෙම කියන්නෙ කෙනෙක් සන්තියාගෝ අවට නැහැ.
ඒ වෙනුවට මනෝලිනෝ තවදුරටත් සන්තියාගෝව විශ්වාස කරනවා... සන්තියාගෝට දහිරිය දෙනවා.
ජීවිතේ පුරාම බලාපොරොත්තු .. ඉලක්ක හඹාගිය සන්තියාගෝට අන්තිමේදි හමුවෙනවා තමන් බලාපොරොත්තු වූ දේ.
හිතාගන්න බැරිතරම් විශාල මාළුවෙක්. මේ තමයි ජීවිතය කාලය පුරාම හීන දැක්ක බලාපොරොත්තු වුනු ඉලක්කය.

ඒත් ඒ මාළුවා සන්තියාගෝට වගේම සන්තියාගෝගේ බෝට්ටුවටත් ලොකු වැඩියි.
දරන්න බැරි තරම් විශාලයි. මහළු ධීවරයාගේ ඇමට අහුවුනු මාලින් මාළුවා බෝට්ටුව ඇදගෙන යනවා ගැඹුරු මුහුදට.
මෑත කාලෙකදි සන්තියාගෝ ගැඹුරු මුහුදට ගිහින් නෑ.
නමුත් මේ තරම් ලොකු මාළුවෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.
දවල් රෑ නැතුව සන්තියාගෝ සටන් කරනවා මාළුවාව තමන්ගෙ ග්‍රගණයට ගන්න.
අත් කැපිලා ලේ ගැලුවත්.. ශක්තිය හීනවූ අත පය වෙව්ලුවත් ඇඟේ ඉතුරුවෙලා අන්තිම ශක්තියත් වැය කරලා මාළුවා අල්ලගන්න මේ මහල්ලාට පුළුවන් වෙනවා. බෝට්ටුවේ පැත්තක බැඳගත් මාළුවාත් අරන් ගොඩබිමට යන්න සන්තියාගෝ පිටත් වෙනවා.
ඒත් දරුණු මෝරුන්ගෙන් තමන්ගෙ මාර්ලින් මාළුවා බේරගන්න මේ මහල්ලාට බැහැ. දවල් රෑ නැතුව සටන් කරත් අන්තිමේදී මෝරුන් විසින් මාර්ලින් මාළුවාව කා දමනවා. ගොඩබිමට අරන් යන්න පුළුවන් වෙන්නෙ මාළුවාගෙ ඇටසැකිල්ල විතරයි.
සන්තියාගෝට හිනාවුනු බොහෝදෙනෙක් තේරුම් ගන්නවා මේ මහළු මිනිසා විශාලම මාළුවෙක් අල්ලාගත් බව.
ඉතුරුවුනේ ඇට සැකිල්ල විතරක් වුනත් ඔහු අති දක්ශයෙක්.
තමන්ට අහිමිවුනු කීර්තිය නැවත වරක් සන්තියාගෝට ලැබෙනවා. ගමේ අනිත් ධීවරයෝ තවදුරටත් හිනාවෙන්නෙ විහිළු කරන්නෙ නෑ. සන්තියාගෝ නැවත මුහුදු යන්න තීරණය කරනවා. එයාව ධෛර්‍යමත් කරන්නෙ මාර්ලිනෝ.
කොයිතරම් බිඳ වැටුනත් බලාපොරොත්තු නැතිකරගන්න එපා.. සටන් කරන්න.. පරාජයන් අමතක කරන්න.. අළු මතින් නැගී සිටින්න. ඒ තමයි මතුපිටින් දෙන පණිවිඩය.
සන්තියාගෝ මිනිසෙකුගේ ජීවිතයට සමාන කරොත්.. ජීවිතය පුරාම ලුහුබැඳයන බලාපොරොත්තුව හෝ ඉලක්කය මාර්ලින් මාළුවා වෙන්න පුළුවන්. ඒ ඉලක්කය කොයිතරම් විශාලයිද කියනවා නම් ඒ ඉලක්කය බලාපොරොත්තුව විසින්ම ජීවිතය ගිලගන්නවා. ජීවිතය අමතක කරලා බලාපොරොත්තුව පිටුපස්සෙ හඹායන මිනිසා ජීවිතය අවසන් කරගන්නවා නොදැනීම.
කොයිතරම් පරාද වුනත්.. කොයිතරම් වෙහෙස මහන්සි වුනත්.. ජීවිතයේ අවසන් කඩ ඉම කිට්ටුවට ඇවිත් හිටියත්.. අධික ආශාවේ ඉලක්කය අමතක කරන්න මිනිසා සූදානම් නෑ.
මෙතැනදි මට මතක් වෙන්නෙ ජෙනී හොල්සර්ගෙ වාක්‍යයක්.
“Protect Me from what I want”
මට අවශ්‍ය දෙයින් මාව ආරක්ශා කරනු මැනවි. මම දැඩිව ආශාකරන දෙයින් මා ගලවාගත මැනවි.
ඒ බොහොම බරපතල ප්‍රකාශයක්.
“Man can destroy but not defeated”
මිනිසෙක්ව විනාශ කරන්න පුළුවන් වුනත් ඔහුව පරාජය කරන්න බෑ... මහල්ලා හෙවත් අර්නස්ට් හෙමින්ග්වේ කියනවා.
මහල්ලා හා මහ මුහුද ලියපු අර්නස්ට් හෙමින්ගේවේ ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනවා.. ඇමරිකා එක්සත් ජනපදය බිහිකරපු විශිෂ්ඨතම ලේඛකයෙක් බවට පත්වෙනවා.

මහල්ලා සහ මහ මුහුද අමතක කරපු අපි මහල්ලාව උත්කර්ශයට නගනවා.
මහ මුහුද හා මාළුවාව අමතක කරලා හෙමින්ග්වේ උත්කර්ශයට නැගීමේදී, අපි බොහෝම සටකපට විදිහට අමතක කරනවා ලිංගිකත්වය.. වර්ණභේදවාදී මතවාද..
හෝමෝෆෝබියා.. ධනය හා බලය මත පදනම් වූ අර්නස්ට්ගේ සුඛෝපභෝගී ජීවන රටාව පිලිබඳව.
එතන කිසිම ගැටළුවක් නැහැ.. අපි කතා කරන්නෙ දක්ශ ලේඛකයා ගැන මිස ඔහුගේ පෞද්ගලික ජීවිතය නෙවේ.
ඒ තමයි සමාජයේ සරල පිළිතුර.
හතර වරක් විවාහ වූ .. ඒ සමගම පෙම්වතියන් කිහිප දෙනෙක් ඇසුරුකල අර්නස්ට් හෙමින්ග්වේ, ජීවිතය විනෝදයෙන් ගෙවන්න උත්සාහකල රසවතෙක්. අඩුම තරමෙ තමන් ජීවිතය විඳින බව ලෝකයට පෙන්වන්න උත්සාහ කරපු.. ඒත් විශාදයෙන් හා මානසික අවපීඩනයෙන් පෙළුනු මිනිසෙක්.
එකල ඇමරිකා එක්සත් ජනපදයේ නිවාඩු තිප්පල වූ කියුබාවේ ජීවත්වන හෙමින්ග්වේ .. මහල්ලා සහ මහමුහුද කතාව ලියන්නෙ 1951 වර්ශයේ.
අර්නස්ට් හෙමින්ග්වේ කියුබාවේදී 1954
මොනවගේ පසුබිමකද මේ කතාව ලියවෙන්නෙ?
1948 අවුරුද්දේදි තමන්ගෙ දෙවනි බිරිඳ වූ පෝලින් ප්ෆෙයිෆර් එක්ක හෙමින්ග්වේ මහත්තයා සංචාරයකට යනවා ඉතාලියේ වැනීසියට. ඒ වෙද්දි වයස අවුරුදු පනහකට ආසන්න වූ අර්නස්ට් හෙම්න්ග්වේගේ ශරීරය ටිකක් දුර්වලයි. ලෝක යුද්ධ දෙකකට සහභාගි වූ මේ මාධ්‍යවේදියා දෙවරක් තුවාල ලබපු කෙනෙක්. විශේෂයෙන්ම එයාගෙ දණහිස් දුර්වලයි. ඒත් එක්කම අධික මත්පැන් එයාව මහල්ලෙක් බවට පත්කර අවසන්. ඒත් පෙම්වතියන් ඇසුරුකරන්න ඒක බාධාවක් නෙවෙයි. කියුබානු හවානා සුරුට්ටු.. විස්කි හා රම් .. මුහුද අසල සුවපහසු බංගලාවක ජීවිතයකට මේ හැමදේම කදිමට ගැලපෙනවා.
තමන්ගෙ භාර්‍යාවන් දෙදෙනාගෙන්ම දියණියක් නොලබපු අර්නස්ට් හෙම්න්ග්වේ පසුවන්නෙ කනස්සල්ලෙන්.
එයාට ඕනෙ දුවකගෙ තාත්තා කෙනෙක් වෙන්න. නමුත් ඔහුට ඉන්නෙ පුතුන් තුන්දෙනෙක් විතරයි.
මේ වෙනීස් සංචාරයේදී හෙමින්ග්වේට මුනගැහෙනවා බොහෝම ලස්සන තරුණියක්.
ඉතාලියේ ධනවත් වංශවත් පවුලක තරුණියක් වූ ආද්‍රියානා ඉවාන්චිච්ට වයස අවුරුදු දහ අටයි. ඉතාම රූමත් මේ තරුණියට හිතින් තරුණ අර්න්ස්ට් හෙමින්ග්වේ වසඟවෙනවා.
අර්න්ස්ට් හෙමින්ග්වේ සහ අද්‍රියානා
මේ සම්භන්ධය ඉතාම සංකීර්ණයි. එක අතකින් අර්න්ස්ට් ආදරයෙන් බැඳෙනවා ආද්‍රියානා එක්ක. විවාහ යෝජනාවක් කරන්න තරම් මේ ආදරය බලවත්. අනෙත් අතින් හෙම්න්ග්වේ කියනවා මේ මගේ දියණිය වෙන්න පුළුවන්… දියණියක් නැති අඩුව පුරවන්න ආද්‍රියානාට පුළුවන්.
මේ සම්භන්ධයේ ඇති පැරඩොක්සල් ස්වාභාවය වෙන්නෙ .. අර්න්ස්ට් හෙමින්ග්වේට අවශ්‍යයි ආද්‍රියානා එක්ක විවාහ වෙන්න.. ඒත් එක්කම එයා ආද්‍රියානාට කියනවා මට පපා ( තාත්තා) කියලා කතා කරන්න.. ඔබ තමයි මම බලපොරොත්තුවෙන් සිටි දියණිය.
මේ හැඟීම් අර්න්ස්ට් හෙමින්ග්වේගෙ ඇතුලාන්තය හෙමින් සැරේ විනාශ කරනවා වගේම ඔහුට අවශ්‍ය ඉන්ධන සපයනවා තවදුරටත් ජීවිතය පිලිබඳ බලාපොරොත්තු දල්වන්න.
ආද්‍රියානා අර්නස්ට් සම්භන්ධය ආදරය සම්භන්ධයක් හෝ පියා දියණිය සම්භන්ධයක් ලෙස වර්ධනය වෙනවා.
රැවුල හා කොන්ඩය කපන අර්නස්ට් ශාරීරික ව්‍යායාමවලට යොමුවෙනවා. තරුණ පෙනුම ලබාදෙන ඇඳුම් පැලඳුම් වගේම නිතරම සතුටින් සිටින මුහුණවක් හරහා තමන් තරුණ බව පෙන්වන්න මේ ලේඛකයා ගන්නෙ ලොකු උත්සාහයක්.
ජීවිතය පුරාම මහළු මිනිසා බලාපොරොත්තු වූ විශාල මාළුවා සහ අර්නස්ට් හෙමින්ග්වේ මහත් ආශාවෙන් බලාපොරොත්තු වූ තරුණ කාන්තාව වූ ආද්‍රියානා යනු එක් අයෙක්ද.?
මේ ආශාව හා මහා බලාපොරොත්තුව සන්තියාගෝ ධීවරයා වගේම අර්නස්ට් හෙමින්ග්වේ නම් ලේඛකයාව ටිකෙන් ටික ගිල දැම්මාද? ආද්‍රියානා විසින් පෙන්වන අළුත් ලෝකය සන්තියාගෝ ගමන් කරන ගැඹුරු මුහුදට සමානද.?
මේ වගේ විචාර හා විචාරශීලී ප්‍රශ්ණ ගණනාවක් අපිට අහන්න පුළුවන්.
මේ සම්භන්ධය ඇතිවූ අළුත ඒ අත්දැකීම් අනුසාරයෙන් ලියන ලද Across the River and into the Trees නම් පොත සාර්ථක වෙන්නෙ නෑ. තමන්ගෙ ඇතුලාන්තයේ වේදනාව වගේම ලේඛකයෙකු ලෙස අසාර්ථකවීමේ වේදනාවේ ප්‍රථිඵලය වන්නේ මහල්ලා සහ මහ මුහුද. ඒ කතාව නැවත සැරයක් හෙමින්ග්වේව ලෝකයේ ඉහලටම ඔසවා තබනවා.
වේදනාවන්.. ආශාවන්.. ආදරය.. පියෙකුගේ හා ආදරවන්තයෙකුගේ බලාපොරොත්තු අතර හිරවෙන අර්නස්ට් හෙම්න්ග්වේගේ ජීවිතය කොයි ආකාරයටද තමන්ගෙ සමීපතයන්ට බලපාන්නෙ.?
තවදුරත් කියුබානු ජීවිතය හෝ කැරිබියානු මුහුද හිස් ජීවිතයට පිළිතුරක් නෙවෙයි.
1951 වසරේදීම හෙම්න්ග්වේගෙ බිරිඳ පෝලින් මියයන්නේ දරුණු පිලිකාවකින්. තම ලිංගිකත්වය හා හැඟීම් අතර හිරවෙන පෝලින් ප්ෆෙයිවර් ආදරණීය එහෙත් සංකීර්ණ කාන්තාවක් බවට අර්නස්ට් විසින් හඳුන්වනවා.
අර්නස්ට් හෙමින්ග්වේගේ තුන්වෙනි පුත්‍රයා ග්‍රෙගරි. ග්‍රෙගරි හා අර්නස්ට් හෙමින්ග්වේ අතර ඇති සම්භන්ධය ඉතාම සංකීර්ණයි. දියණියක් බලාපොරොත්තුවෙන් සිටි අර්නස්ට් තමන්ට නැවතත් ලැබෙන්නෙ පුත්‍රයෙක් නිසා අධික වේදනාවට පත්වෙනවා. සමහර අවස්ථාවන්වලදී තමන්ගෙ පුතාට දියණියක් විදිහට සලකලා කතා කරන්න තරම් මේ මානසිකත්වය සංකීර්ණ වෙනවා.
මේ සියළුම සිද්ධීන්වල ප්‍රථිඵලයක් විදිහට පසුකාලීනව ග්‍රෙගරි හෙමින්ග්වේ සැත්කම් කීපයකින් පස්සෙ කාන්තාවක් බවට පත්වෙනවා ග්ලෝරියා හෙමින්ග්වේ විදිහට. වෛද්‍ය විද්‍යාව හා මනෝවිද්‍යාව හදාරන ග්ලෝරියා වෘත්තීමය වශයෙන් දක්ශයි. නමුත් මුළු ජීවිතය පුරාම පීඩා විඳිනවා තම ලිංගික අනන්‍යතාවය සම්බන්ධව.
සන්තියාගෝ විදිහට ස්පාඤ්ඤ භාශාවෙන් අදහස් වෙන්නෙ ශාන්ත ජේම්ස් හෙවත් සේන්ට් ජේම්ස්. ස්පාඤ්ඤ කොලනියක් වූ කියුබාවේ වගේම ස්පාඤ්ඤයේත් වඩාත් ගෞරවයට ලක්වෙන සාන්තුවරයා වන්නේ සෙන්ට් ජේම්ස්.
අත් නොහැර සටන් කිරීම.. ධෛර්‍ය.. බලාපොරොත්තු.. විශ්වාසය පිලිබඳ ශාන්තුවරයා සෙන්ට් ජේම්ස් හෙවත් සන්තියාගෝ.
මනෝලින් හෙවත් මැනුවෙල් යන්නෙහි අදහස දෙවියන් අප සමගයි. ( God is with us ).
සන්තියාගෝට ධෛර්‍ය දෙන්නෙත්.. සන්තියාගෝව විශ්වාස කරන්නෙත් මනෝරිනෝ හෙවත් මැනුවෙල් විසින්.
අර්නස්ට් හෙමින්ගේවේ ගේ ඡායාරූපයක්
කොයිතරම් දක්ශ ලේඛකයෙක්.. දාර්ශණිකයෙක් වුනත් දෙවියන් පිලිබඳ ක්‍රිස්තියානි විශ්වාසයෙන් මිදෙන්න හෙම්න්ග්වේට පුළුවන් වෙන්නෙ නැහැ.
ජීවිතය පුරාම ආදරය හා පරිත්‍යාගය ගැනත්.. වේදනාව හා හිස්කම ගැනත් කතා කල.. එහෙත් අවසානයේ දෙවියන්ගේ ආලෝකයට යටත්වූ ලියෝ තෝල්ස්තෝයි අයිතිවෙන්නෙත් මේ ඛාණ්ඩයටම විය යුතුයි.
තමන්ගේම දෙවියන් සොයාගත්තත් ඔහුටත් හැකියාවක් නෑ දිව්‍යමය විශ්වාසයෙන් මිදෙන්න.
ඒත් දෙවියන් පිලිබඳ විශ්වාසය හෙමින්ග්වේ තුල බලෙන් ඇතිකල එකක්ද.? කුඩාකලදී ඔහුට බලකරපු.. උගන්වපු විශ්වාසය ඔහුගේ ඇතුලාන්තයට ගමන් කලේ නැතිද?
දෙවියන් විසින් නිර්මාණය කලායැයි කියන ජීවිතය මිනිසා විසින් අවසන් කිරීමේ අභියෝගය හෝ පව අර්න්ස්ට් හෙමින්ග්වේ විසින් දරන ලද්දේ කුමක් නිසාද.?
අර්නස්ට් හෙමින්ග්වේ නම් අති දක්ශ ලේඛකයා සියදිවි නසාගන්නෙ තමන්ගේම ගිනි අවියෙන් වෙඩි තබාගැනීමෙන්.
පලවෙනි අවස්ථාවේදී අසාර්ථකවෙන සියදිවිනසාගැනීම දෙවනි වර සාර්ථක වෙන්නෙ 1961 අවුරුද්දේ.
ලොවට ප්‍රදර්ශණය කරන සාර්ථක .. සුඛෝපභෝගී ජීවිතය හැබෑවක්ද... ? ලෝකයට පෙන්වන ආශ්වාද ජනක ජීවිතය හා තම ඇතුලාන්තය අතර වෙනස ගැන අපි කතා නොකරන්නෙ ඇයි.? හිස් බව හා සැප පහසුව අතර දෝලනයවෙන ජීවිතය කතා නොකල යුතු ටැබූ එකක්ද?
මහළු ධීවරයාව විනාශ කලේ ජීවිතය පුරා බලාපොරොත්තු වූ ඉලක්කය හෝ ආශාවද. අධික ආශාව ධීවරයෙක්ව ගැඹුරු මුහුදට ඇදෙගෙන ගොස් අසරණකිරීම ගැන අපි දැනුවත්ද?
වඩා වැදගත් වන්නේ අර්නස්ට් හෙමින්ග්වේ නම් මහල්ලාද... නැතහොත් මහල්ලා හා මහ මුහුදද?

සටහන - ලේඛක මැල්කම් සන්ග්
(මෙම සටහන 'Malcolm Sang' ගේ ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



