(ඉරිදා මව්බිම පුවත්පත,හදගැස්ම)
තව නොබෝ දිනකින් රිදී තිරය වර්ණවත් කරන්නට නියමිත චමින්ද ජයසූරියගේ ෆාදර් චිත්‍රපටයේ වීරයාගේ භූමිකාව නිරූපණය කරන්නේ පූජන දන්දෙණිය යි.
වර්තමානයේ මෙරට කැපීපෙනෙන රංගන ශිල්පියෙකු ලෙස හැඳින්විය හැකි පූජන සමඟ එය නිමිති කරගෙන අප විසින් කරන ලද සංවාදයයි මේ
පූජන දන්දෙණිය
සංවාදකයා - ෆාදර් කියන්නෙ පූජන ප්‍රධාන චරිතය නිරූපණය කරන පළමු චිත්‍රපටය නේද?
පූජන දන්දෙණිය - ඔව්, මීට කලින් එක චිත්‍රපටයකට විතරයි මට දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. ඒ සිහින සමීකරණඬ කියන චිත්‍රපටය. දෙවැනි චිත්‍රපටය විදියට තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ- චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ පළවෙනි වතාවට.
මුලින්ම චරිතයට ආරාධනාව ලැබුණම මොකද හිතුණෙ?
අධ්‍යක්‍ෂක චමින්ද ජයසූරිය මං කාලයක් තිස්සෙ දන්නවා- වේදිකාවෙන් තමයි අපි හමුවුණේ. කාලයක් තිස්සෙ අපි බොහොම කුළුපගව ඇසුරු කරනවා. ඒ කාලෙත් එයා නිතරම කියනවා අපි වැඩක් ප්ලෑන් කරගෙන යනවා, උඹ තමයි ඒකට ඕනෙ කියල. නමුත් මං හිතුවෙ නෑ ඒක මෙච්චර දැවැන්ත වැඩක් කියල. දවසක් එක පාරම එයා මට ෆාදර් ෆිල්ම් එකට කතා කළා. ඊට පස්සෙ මට පිටපත එව්වා. ඒක කියවලා, වැඩේ යන වැඩ පිළිවෙලත් ඇහුවට පස්සෙ මං ඇත්තටම පුදුම වුණා. ඇත්තටම සිනමාවට නවකයෙක්. සාමාන්‍යයෙන් ඩිරෙක්ටර්ස්ලා එහෙම අවදානම් ගන්නවා අඩුයි. ඒක ලොකු අවස්ථාවක් වුණා. මට හිතුණෙ දක්‍ෂතාවය වගේම වාසනාව කියන එකත් නළුවෙකුට ඕනෙ කියල මේ වගේ චරිතයක් හම්බ වෙන්න. ඇත්තටම ඒක හරි සතුටක්.
'Father' චිත්‍රපටයේ නිළ පෝස්ටරය
මේක සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. ඔබට නිරූපණය කරන්න ලැබෙන්නෙ අදටත් ජීවතුන් අතර ඉන්න ආන්දෝලනාත්මක පුද්ගලයෙකුගෙ චරිතයක්. ඔබේ පෙර සූදානම කොහොම එකක් වුණාද?
මේකට පාදක වුණ සැබෑ චරිතය මට හම්බ වුණේ එක පාරයි. විශේෂයෙන්ම අපේ අධ්‍යක්ෂකවරයාට ඕනෙ වුණේ නිකන්ම ඔහුගෙ චරිත කතාව නිරූපණය කරන්න නෙවෙයි. ඔහුට ඒ චරිතය ඇසුරෙන් කියන්න ඕනෙ දෘෂ්ටිවාදයක් තිබුණා. ඔහුට ඕනෙ වුණේ ඒක මගෙන් ගන්න කියලයි මං විශ්වාස කරන්නෙ. ඒ නිසා මට උපදෙස් ලැබුණෙ ඒ චරිතය රිසර්ච් කරන්න කියල නෙවෙයි. එවකට දේශපාලන වාතාවරණය මොකද්ද, සමාජ පසුබිම මොකද්ද කියන වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න කියලයි. ඉතිං මං ඒ ගැන අවධානය යොමු කළා. අධ්‍යක්ෂවරයා නිතරම කිව්වෙ, උඹේ ඇතුළෙ තියෙන දේ ගන්න මං දන්නවා, උඹ නිදහසේ ඉඳපන් කියලයි. මං සාමාන්‍යයෙන් රෙෆරන්ස් බලන මනුස්සයෙක්. චරිතයක් ලැබුණාම ඒක අදාළ වෙන ශානරයක් තියෙනවනෙ. මේක ගත්තොත් ගැන්ග්ස්ටර් ත්‍රිලර්. එතකොට මං ලෝකෙ ඒ වගේ නිර්මාණය වුණ වෙනත් නිර්මාණ බලනවා. මනිරත්නම්ගෙ, රාම් ගෝපාල් වර්මාගෙ වගේ ආසියාව ඇතුළෙ එහෙම හැදුණ ඒවායෙ ලක්‍ෂණ අධ්‍යනය කළා.
'Father' චිත්‍රපටයේ රූපරාමුවක ඡායාරුපයක්
මේ වගේ චරිතයක් නිරූපණය කරද්දි තාක්ෂණික ශිල්පීන්ගෙන් ලැබෙන සහයත් හරිම වැදගත්. විශේෂයෙන් මේකප් ආර්ටිස්ට්, කස්ටියුම් ඩිසයිනර් වගේ අයට ලොකු වගකීමක් පැවරෙනවා?
ඔව්, උදේ නැගිටපු වෙලාවෙ ඉඳල වෙන හැමදෙයක්ම වැදගත්. මට ලැබුණ ලොකුම අවස්ථාව තමයි ඒ තාක්ෂණික ශිල්පීන් හැමෝම පළපුරුදු අය වීම. මට වඩා සෑහෙන්න අද්දැකීම් තියෙන පිරිසක් එක්ක මං වැඩ කළේ. ඇත්තටම සෙට් එකේදි මට එයාලගෙන් ලොකු ට්‍රීට්මන්ට් එකක් ලැබුණා. ඒ නිසා මට තිබුණෙ කැරැක්ටර් එකට ෆෝකස් වෙන්න විතරයි. මට අවශ්‍ය කරන අනිත් හැමදෙයක්ම එයාල අතින් සිද්ධ වුණා. ප්‍රියන්ත එස්. වන්නිනායක තමයි අපේ මේකප් ආර්ටිස්ට් හිටියෙ. මේකප් එකට වාඩි වුණාම මං එයා එක්ක ගොඩක් දේවල් කතා කරනවා. ඔහු සමහර වෙලාවට යෝජනා කරනවා අපි රැවුල ටිකක් මේ ගාණට හදා ගමුද, ඩිරෙක්ටර් එක්ක කතා කරමුද වගේ දේවල්. සෙට් එකට ගියාම හැමෝම එහෙමයි. ඩීඕපී, ඒඩී මේ හැමෝම හරිම ෆෝකස්. එහෙම අවධානය ලැබෙන්නෙ නැති වැඩවල මං මීට කලින් වැඩ කරල තියෙනවා. එහෙම වුණාම හරි අපහසුයි ඉතිං. හැබැයි මේ වැඩේදි තමන්ගෙ වැඩක් වගේ හැමෝම එක විදියට මහන්සි වුණා. නැත්නම් මෙච්චර දැවැන්ත වැඩක් මෙච්චර අඩු කාලෙකදි කරන්න අපිට බැරි වෙනවා. හැමෝම එකම එනර්ජි එකෙන් රෑ වෙනකං වැඩ කළා- ඒ මිනිස්සු එහෙම මහන්සි වෙලා වැඩ කරද්දි අපිත් අපේ වැඩේ හරියටම කරන්න ඕනෙ කියල සංඥාවක් ඉබේම ඔළුවට එනවා-
චිත්‍රපටයක ප්‍රධාන චරිතය නිරූපණය කරද්දි අනෙක් හැම චරිතයක්ම, ඉතා සුළු චරිතයක් පවා ඒකට බලපානවා. ඔබේ චරිතය ගොඩනගා ගන්න අනෙක් චරිතවලින් ලැබුණ සහයෝගය කොහොමද?
චරිතය ගොඩනගා ගන්න අංක එකටම උපකාරී වෙන්නෙ පිටපත- මං චමින්ද අයියා එක්ක ෆිල්ම් එක ගැන සාකච්ඡා කරන්න කලින් එයා මුලින්ම කළේ මට පිටපත කියවන්න දීපු එක. ඒ කියැවීම ඇතුළෙ මං මගේ පරිකල්පනය එක්ක චරිතය ගැන හැඩයක් හදා ගත්තා. ඊට පස්සෙ ආපු ලොකුම දේ තමයි මං චරිතය පරිකල්පනය කර ගත්තට මගේ ශරීර ස්වභාවය නෙවෙයි ඇත්ත කෙනාට තියෙන්නෙ. එතැනම ලොකු වෙනසක් තියෙනවා. එතකොට තමයි මට තේරුණේ චමින්ද අයියට ඕනෙ ඒ චරිතෙ එහෙමම නිරූපණය කරන්න නෙවෙයි, ඒ ජීවිත කතාව ඇසුරින් තව යමක් කියන්න කියල. වැඩේ කරන්න පටන් ගත්තම සිනමාවෙ මගේ වීරයෝ ගොඩක් මට වැඩේ ඇතුළෙ හම්බ වුණා. ඒ කියන්නෙ රංගන ශිල්පීන් කියල මං වීරයෝ විදියට සලකන ගොඩක් අය මැද්දෙ තමයි මට වීරයා වෙන්න අවස්ථාව ලැබුණෙ. ඒක හරි අපූරු අද්දැකීමක්. බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න ඇතුළු බොහෝ දෙනෙක් මං දේවත්වයෙන් අදහන රංගන ශිල්පීන්. ඒ සියල්ල මැද්දෙ මට වීරයා වෙන්න ලැබුණ එක, එක පැත්තකින් මට ලොකු පීඩනයකුත් වුණා. ලොකු වගකීමක්නෙ. ඊට අමතරව මගේ සමකාලීනයොත් සෑහෙන ප්‍රමාණයක්- සේවියර් කණිෂ්ක, අකලංක ප්‍රභාෂ්වර, චානක බණ්ඩාර, පසන් රණවීර ආදී පිරිසක්. මේ සෙට් එකත් ඇවිල්ල නිකංම අය නෙවෙයි, හයේ පාරවල් ගහන කට්ටිය. හැබැයි මේ හැමෝගෙම ෆෝකස් එක මට තිබුණා- ඒ හැමෝගෙම ආදරය මට ලැබුණා. ඒ ලව් එක මාරයි. ජගත් මනුවර්ණ එක තැනකදි මට කිව්වා උඹ හීරෝ හින්ද තමයි මං විලන් වෙන්නෙ, හරියට වැඩේ කරපන්ඬ කියල. එයා ඒක චැලේන්ජ් එකක් විදියට මට දුන්නා. තමන්ගෙ වීරයො අතර වීරයෙක් වෙන්න ලැබීම වාසනාවක්නෙ. මං ඒ හැඟීම තාම විඳිනවා. ඒ ගැන චමින්ද අයියට ස්තුතිවන්ත විය යුතුයි.
චිත්‍රපටය රූගත කළ අද්දැකීම කොහොමද?
අපි ටයිට් ෂෙඩියුල් එකක වැඩ කළා. රංගන ශිල්පීන් විදියට අපිට ලොකු නිදහසක් තිබුණා. නමුත් ක්රූ එක එකම විදියට, එකම වේගෙන් වැඩ කළා. රන්මිණිතැන්නෙ තමයි ගොඩක් රූගත කිරීම් වුණේ. රන්මිණිතැන්න පිහිටල තියෙන විදියත් එක්ක, ඒ වැඩ ඇතුළෙම අපිට එතැන ගෙදර වගේ වුණා. ෆැමිලි එකක් වගේ හැමෝම එකට සෙට් වුණා. ඒ වගේම ඔන් ටයිම් හැමදාම අපි ෂූටින් පටන් ගත්තා. ඒකෙ ගෞරවය අපේ සහය අධ්‍යක්‍ෂක උදය ප්‍රසන්නට ලැබිය යුතුයි. අර අකුරටම වැඩ කරනවා කියල අපි නිකං කතාවට කියන්නෙ. අන්න ඒ විදියට වැඩේ අකුරටම වුණා. ඒක මාරයි. මොකද මේක ලොකු කාස්ට් එකක් එක්ක ගිය වැඩක්. සිය ගාණක් සෙනග එක දවසට. ඒ සෙනග පාලනය කරනවා කියන එකත් වැඩක්නෙ. මං හිතන්නෙ ෂෙඩියුල් කරපු කාල සීමාව ඇතුළෙ අපි මේක ෂූට් කළා. ඒකට එක හේතුවක් වුණේ පොඩි චරිතයකට පවා දක්‍ෂ රංගන ශිල්පීන් අරගෙන තිබීම. ඔවුන්ට හොඳ වෘත්තිමය දැනුමක් තිබුණා. වැඩේ නාන රංගන ශිල්පීන් නම් අපිට හම්බ වුණේම නැති තරම්. හැමෝම අධ්‍යක්‍ෂකවරයා ඔවුන්ගෙන් ඉල්ලපු දේ හරියටම දුන්නා. දක්ෂයො ගොඩක් එකතු වුණාම වැඩක් ලේසි වෙනවනෙ. අධ්‍යක්‍ෂකවරයාගෙ කාන්දම් ගුණය ඉතාම හොඳට වැඩ කරපු වැඩක් මේක. එයා කාන්දමක් වුණාම අනිත් අය හැමෝම එයාගෙ වටේ එකතු වෙනවනෙ. ඒ වගේම ආධුනිකයෙක් වශයෙන් මට මේක නියම අභ්‍යාස බිමක් වුණා. උදාහරණයක් විදියට අපි බිමල් ජයකොඩි තිරයෙ රඟපානවා දැකල තියෙනවනෙ. මං ඉතිං නිකං ඉන්න වෙලාවට ගිහිං බලනවා ඒගොල්ල රඟපාන හැට. එතකොට මට තේරුණා තව ලේයර්ස් ගොඩක් උඩින් එයාල ඉන්නෙ කියන එක. එයාලගෙ එක්ස්පීරියන්ස් එක, ටැලන්ට් එක, වොයිස් එක පාවිච්චි කරන විදිය වගේ මාර දේවල් ගොඩක් මං බලාගෙන ඉඳල ඉගෙනගත්තා. කෙටියෙන්ම කිව්වොත් ඒක හරිම තෘප්තිමත් කාලයක්.
චිත්‍රපටය නුදුරේ දී ම තිරගත වන බව දැනගන්නට ලැබෙනවා. ඔබට ලංකාවෙ ප්‍රේක්ෂකාගාරයට කියන්න තියෙන්නෙ මොන වගේ දෙයක්ද?
මේ අවුරුද්දෙ මුල ඉඳල අපි දැක්කා ඉතා ප්‍රබල චිත්‍රපට. ප්‍රේක්ෂකයා නැවත සිනමා ශාලාවට කැඳවන චිත්‍රපට බොහොමයක් බිහි වෙලා තිබුණා. ඉස්සරහටත් තව ඒ වගේ චිත්‍රපට කීපයක් එන්න නියමිතයි. ඒ සියල්ල අතරින් මට ප්‍රේක්ෂකයාට කියන්න පුළුවන්, ප්‍රේක්ෂක බලාපොරොත්තු සුන් නොකරන, තව තවත් ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට ඇදගන්න පුළුවන් චිත්‍රපටයක් තමයි 'Father' කියන්නෙ කියල- ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා මේක බලන්න කියල. අපි කරන වැඩේට ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාරය හරහා තමයි අපි ශක්තිමත් වෙන්නෙ. මේ වෙලාවෙ මෙන්න මෙහෙම පොරොන්දුවක් වෙන්න පුළුවන්. ඔයාලගෙ බලාපොරොත්තු සුන් නොකරන චිත්‍රපටයක් චමින්ද ජයසූරිය අධ්‍යක්‍ෂණය කරල තියෙනවා.
අවසාන වශයෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න කැමැතියි. අපේ රටේ සිනමාවෙ තරු ගුණය තියෙන නළුවො අඩුයිනෙ. Father චිත්‍රපටය හරහා අපි අතරට එන්න නියමිත පූජන දන්දෙණියට සිනමාවෙ ඊළඟ තාරකාව වෙන්න හැකියාවක් තියෙනවා කියල යෝජනා කළොත්?
මං නම් කියන්නෙ තරු පායන්න අහසක් තියෙන්න ඕනෙ කියල. ඒ කියන්නෙ නළුවෙකුට පවතින්න කර්මාන්තයක් තියෙන්න ඕනෙ. අනෙක් අතට මං තරු ගුණය කියන එක එච්චර විශ්වාස කරන්නෙ නෑ. රංගන ශිල්පියෙක් විදියට වැඩ කරන්න මං මාර කැමැතියි. නමුත් ප්‍රේක්ෂක අවධානය කියන එක අපිට අවශ්‍යයිනෙ. ප්‍රේක්ෂක අවධානය නැත්නම් අපි කාටද චිත්‍රපට කරන්නෙ? ඒ ලැබෙන අවධානය තාරකා ගුණයක්ද වෙන මොකක් හරිද කියන එක ගැන මට අදහසක් නෑ. මට සිනමාව ඇතුළෙ යම් දුරක් යන්න ලැබෙනවා නම් ඒ ගැන සන්තෝසයි. අපේ බලාපොරොත්තුව ඒකනෙ. මොකද මොඩර්න් ම කලා මාධ්‍යනෙ සිනමාව. ඉතිං ඒක ඇතුළෙ පවතින්න කැමැතියි. හැබැයි ඔය තරු ගුණය කියන්නෙ මේන්ටේන් කරන්න ඕනෙ එකක්. ඒක කරන්න මට තේරෙන්නෙ නෑ. නමුත් මං කැමැතියි මට ලැබෙන හැම අභියෝගයක් ම බාරගන්න. ඒවා ඇතුළෙ වැඩ කරන්න මං සූදානම් !
සංවාදය - කසුන් සමරතුංග
මෙම සාකච්ඡාව මුල්වරට ඉරිදා මවුබිම පුවත්පතේ (හදගැස්ම) අතිරේකයේ පළවිය.
උපුටා ගැනීම 'Father - ෆාදර්' නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)




