lan englan tam

විශේෂාංග

දමිළ සිනමාවේ වීරයා බවට රැජිනිකාන්ත් පත්වීමට බලපෑ චිත්‍රපට හයක් මෙන්න!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තමිල්නාඩුවේ රසිකයන් රැජිණිකාන්ත්ගේ චිත්‍රපට සඳහා ඉහළ බලාපොරොත්තු තබා ගැනීම සාමාන්‍ය දෙයක් වුවද, ඔහු රඟන "කුලී" චිත්‍රපටය සඳහා විදේශ රටවල ලැබුණු පිළිගැනීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කර තිබේ.

'කුලී' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ දැක්වෙන්නේ, රැජිණිකාන්ත් වරායක දෛනික වැටුප් උපයන්නෙකුගේ චරිතයකට පණ පොවන අයුරු ය. රැජිණිකාන්ත්ගේ චිත්‍රපට ජීවිතය දෙස බැලුවහොත්, ඔහු බොහෝ විට තෝරාගෙන ඇත්තේ සාමාන්‍ය ජනතාවට වඩාත් සමීප වන චරිත ය.

MGR විලාසිතාවේ චිත්‍රපටවල මෙන් 'සාමාන්‍ය මිනිසුන්ගේ' චරිත රඟපාමින් රජිණිකාන්ත් සුපිරි තරුවක් බවට පත්වූ බව විචාරකයෝ පවසති. කෙටි විරාමයකින් පසු ඔහු නැවතත් කුලී චිත්‍රපටයේ එවැනි චරිතයක් රඟපාන බව පෙනෙන්නට තිබේ.

මෙම ලිපියෙන් රැජිණිකාන්ත් 'සාමාන්‍ය මිනිසෙකු' ලෙස රඟපෑ ප්‍රධාන චරිත කිහිපයක් දෙස බලමු.

 

අන්නාමලෙයි (1992)

 

අන්නාමලෙයි චිත්‍රපටය 1987 තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයක අනුවර්තනයකි

 

අන්නාමලෙයි චිත්‍රපටයට තේමා වූයේ, "තමාව රැවටූ මිතුරෙකුගෙන් පළිගැනීමේ" අරමුණින් ධනවත් වන සරල කිරි වෙළෙන්දෙකු පිළිබඳ කතාවකි.

අන්නාමලෙයි චිත්‍රපටය 1987 බොලිවුඩ් චිත්‍රපටයක් වන 'Gutkars'හි අනුවර්තනයකි. නමුත් 'Gutkars'හි කතාව ධනවත් මිතුරාගේ දෘෂ්ටිකෝණයෙන් කියැවේ.

මෙම චිත්‍රපටය රැජිණිකාන්ත් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන විට, කතාව වෙනස් කරන ලද්දේ සාමාන්‍ය මිනිසෙකු වන අන්නාමලෙයි ප්‍රධාන චරිතය බවට පත් කරමිනි. රැජිණිකාන්ත් අන්නාමලෙයි ලෙසත්, සරත් බාබු ඔහුගේ මිතුරා වන අශෝක් ලෙසත් රඟපෑවේ ය. චිත්‍රපටයේ කතාවෙන් කියැවෙන්නේ සිය මිතුරා වන අශෝක් විසින් කරනු ලබන වංචාවක් නිසා තමන්ගේ දේපළ අහිමි වන අන්නාමලෙයි, සිය මිතුරා කළ අභියෝගය සාර්ථක කරගෙන අවසානයේ ඉන් ජයග්‍රහණය කිරීම යි.

'Guthkars'හි නොමැති එක් දර්ශනයකින් අන්නාමලයි ධනවත් වී වෙන්දේසියකදී තම මිතුරාගේ නිවස මිල දී ගන්නා ආකාරය පෙන්වයි. ජයග්‍රහණය කිරීමෙන් පසු, ඔහු නිවසේ ඔප්පුව ඔහුගේ මවට දී, "මෙය අශෝක්ට දෙන්න" යැයි පවසයි.

එවිට මව පවසන්නේ , "මගේ අන්නාමලෙයි වෙනස් වෙලා නැහැ, කොච්චර සල්ලි ලැබුණත් මුදල් ලැබුණත්," යනුවෙනි. මෙම අදහස බොහෝ රැජිණිකාන්ත් චිත්‍රපටවල දක්නට ලැබෙන අතර ඔහුගේ චරිතය ධනය හා බලය ලබා ගන්නා විට පවා, නොවෙනස්ව සිටින බව පෙන්වයි.

 

මුත්තු (1995)

 

 

කේ.එස්. රවිකුමාර් විසින් අධ්‍යක්ෂණය කරන ලද රැජිණිකාන්ත්ගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් වන 'මුත්තු', මෝහන්ලාල් රඟපෑ මලයාලම් චිත්‍රපටයක් වන 'තෙන්මාවින් කොම්පත්' (1994)හි අනුවර්තනයකි. එහි රැජිණිකාන්ත් 'රාජා' නම් ඉඩම් හිමියෙකු යටතේ සේවය කරන අශ්ව කරත්ත රියැදුරෙකු වන 'මුත්තු'ගේ චරිතය නිරූපණය කරයි.

මෙහිදී ද රැජිණිකාන්ත් සඳහා තිර රචනයේ බොහෝ වෙනස්කම් සිදු කර ඇත. 'තෙන්මවින් කොම්පාත්' මලයාලම් චිත්‍රපටයේ මොහාන්ලාල් කරත්ත රියැදුරෙකුගේ චරිතය පමණක් රඟපාන අතර, දෙමළ චිත්‍රපටයේ රැජිණිගේ අතීතාවර්ජණ චරිතය වැනි ඉඩම් හිමි චරිතයක් එහි නොමැත.

රැජිණිකාන්ත්ගේ ඉඩම් හිමි චරිතය එකතු කරන ලද්දේ, මුදල් හා බලය තිබියදීත්, සාමාන්‍ය ජනතාවට හානියක් සිදු වුවහොත් ඔහු ඒ සියල්ල අත්හැරීමට කැමති බව පෙන්වීමට ය.

චිත්‍රපටයේ අවසාන දර්ශනයේදී, රාජා කරත්ත රියැදුරෙකු බවට පත්වන අතර මුත්තු ඉඩම් හිමියා බවට පත්වේ. ඉන්පසු රැජිණිකාන්ත්ගේ චරිතය ප්‍රේක්ෂකයින් දෙස බලා, "මුත්තු සැමවිට ම සහ සදහට ම සැමට සේවකයෙකි. ඔබ මගේ ස්වාමියා," යැයි පවසයි.

 

බාඩ්ෂා (1995)

 

බාඩ්ෂාහි අමතක නොවන දර්ශනයක් වන්නේ, බොහෝ ගැටලු මධ්‍යයේ නිහඬව සිටින සන්සුන් ඔටෝ රියැදුරෙකු වන මානික්කම්, තම සහෝදරියට කරදරයක් වූ පසු නැවතත් පැරණි 'බාඩ්ෂා' බවට පත් වී දුෂ්ටයාට සහ ඔහුගේ කණ්ඩායමට පහර දෙන ආකාරය යි.

මෙම චිත්‍රපටය 1991 වසරේදී තිරගත වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන 'හම්' චිත්‍රපටයේ අනුවර්තනයකි. කෙසේ වෙතත්, මාණික් බාඩ්ෂා මෙන් නොව, 'හම්' චිත්‍රපටයේ වීරයා ජනතාව වෙනුවෙන් සටන් කර 'ඩොන්' කෙනෙකු බවට පත් නොවේ. ඔහුගේ පියා අහිමි වූ පසු, ඔහු තම ප්‍රචණ්ඩ ජීවිතය අත් නොහරින අතර සාමාන්‍ය 'ඔටෝ රියැදුරෙකු' ලෙස ජීවත් වීමට වෙනත් නගරයකට පැමිණේ.

හම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන 'ටයිගර්' මුම්බායිහි දුෂ්ටයා වෙනුවෙන් සේවය කරයි. එක් අවස්ථාවක, දුෂ්ටයා තම මිතුරා සහ පියා මරා දමන අතර, තම මවට දුන් පොරොන්දුව ඉටු කිරීම සඳහා, ඔහු තම බාල සහෝදරයන් සමග තමිල්නාඩුවේ 'ඌටි' වෙත පැමිණ දැව වෙළෙන්දෙකු ලෙස නිහඬ ජීවිතයක් ගත කරයි.

රැජිණිකාන්ත්ගේ 'Common Man' චිත්‍රපටිය සඳහා, "Irakamulla Manasukkaranta - Naan Garibkellam Sontakaaranta" යන හඳුන්වාදීමේ ගීතය ඇතුළු බොහෝ වෙනස්කම් සිදු කරන ලද අතර, 'හම්' දෙමළ භාෂාවෙන් බාඩ්ෂා බවට පත් විය.

මෙහි ඇති සිත්ගන්නා කරුණ නම්, දෙමළ භාෂාවෙන් රැජිණිකාන්ත් 'හම්' චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් ශිවා (මාණික්කම්ගේ බාල සහෝදරයා) ලෙස රඟපාන අතර, ඔහු මාණික්කම්ගෙන් 'කියන්න... ඔයා බොම්බේහිදී මොනව ද කළේ කියලා මට කියන්න?' කියා අසයි.

 

සිවාජී (2007)

d7795230 79b1 11f0 83cc c5da98c419b8.jpg

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස වසර ගණනාවක් සේවය කිරීමෙන් පසු, සිවාජි ආරුමුගම් තමිල්නාඩුවට නැවත පැමිණෙන්නේ විශාල මුදලක් සහ දුප්පතුන්ට උපකාර කිරීමේ සිහිනයක් සමගිනි. සියල්ල අහිමි වී ණය බරින් මිරිකී සිටිය ද, ඔහු ජනතාවට යහපත කිරීමට කැපවී සිටින චරිතයකි.

එපමණක් නොව, සිවාජි ආරුමුගම් පාරම්පරික ධනවතෙකු නොවේ, ඔහු දුප්පත් ගොවි පවුලක ඉපදී, වෙහෙස මහන්සි වී ඉගෙනගෙන, ඇමරිකාවට ගොස්, වෙහෙස මහන්සි වී වැඩ කර ධනවත් විය. එබැවින්, ඔහු දුප්පතුන්ගේ දුෂ්කරතා දන්නා බව චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරේ.

චිත්‍රපට විචාරකයින් පැවසුවේ, චිත්‍රපටය සාර්ථක වූයේ ප්‍රධාන වශයෙන් රැජිණිගේ චරිතය සියල්ල අහිමි වී දෙවන භාගයේදී නැවත සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට සටන් කරන නිසා මිස පළමු භාගයේදී ඔහු පොහොසත් වූ නිසා නොවන බව ය.

 

ද වර්කර් (1993) සහ අරුණාචලම් (1997)

රැජිණිකාන්ත් 'අවුර්වතලි' චිත්‍රපටයේ කර්මාන්ත ශාලාවක දෛනික වැටුප් ලබන සේවකයෙකු ලෙස රඟපෑවේ ය. නමුත් යථාර්ථයේදී ඔහු ධනවත් පවුලක උරුමක්කාරයෙකි. තරුණ වියේදී, ඥාතීන්ගේ කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහු තම පවුලෙන් වෙන් විය.

මෙම චිත්‍රපටය ප්‍රතිනිර්මාණයක් නොවන අතර තිර රචනය සහ ගීත සියල්ල ම රැජිණිකාන්ත් වෙනුවෙන් විශේෂයෙන් ලියා ඇත. වෙනත් කිසිදු නළුවෙකු එම චරිතයට එතරම් සුදුසු දැයි සැක සහිත ය.

උදාහරණයක් ලෙස, අවසාන දර්ශනයේදී, රැජිණිකාන්ත් ඔහුගේ පවුලේ ධනය ආපසු ලැබුණු පසුව පවා, ඔහු ඒ සියල්ල ඔහුව හදා වඩා ගත් සහ ඇති දැඩි කළ පවුලට පරිත්‍යාග කරයි.

චිත්‍රපටයේ එක් චරිතයක්, "ඔයා අපිට හැම දේ ම දුන්නා නේද?" යනුවෙන් ඇසූ විට රැජිණිකාන්ත් සිනසී, ඔහු ඇඳ සිටි කමිසය ගලවා, සිය රතු කම්කරු නිල ඇඳුම පෙන්වා, "මට ධනය ඕන නෑ - සරල සේවකයෙක් විදියට ජීවත් වෙන එක මට ඇති" යනුවෙන් පවසා කම්කරුවන් දෙසට පිය නගයි.

1997 දී තිරගත වූ අරුණාචලම් චිත්‍රපටයේ ද ඒ හා සමාන චරිතයක් දක්නට ලැබේ. අරුණාචලම් ගමේ ධනවත් පවුලක හැදී වැඩෙන නමුත්, ඔහු හදා වඩා ගත් බව දැනගත් පසු, ඔහු චෙන්නායි වෙත යන අතර එහිදී ඔහු තම අතීතය පිළිබඳ සත්‍යය දැන ගනී.

අවසානයේදී, ඔහු තම පියාගේ අභියෝගය භාර ගනී: "දින 30කින් කෝටි 30ක් වියදම් කර කෝටි 3000ක් ලබා ගන්න." අවසානයේදී, ඔහු ජනතාවගේ ශුභසාධනය සඳහා කෝටි 3000ක් ලබා දී, සාමාන්‍ය මිනිසෙකු ලෙස ජීවත් වීමට තීරණය කර පිටව යයි.

90 දශකයේ සහ ඉන් පසුව රජිණිගේ චරිත බොහොමයක ඔහු තම පවුල, මිතුරන් හෝ ජනතාව වෙනුවෙන් ඕනෑ ම දෙයක් කැප කරන සහ බලය හෝ මුදල් ගැන තැකීමක් නොකරන සාමාන්‍ය මිනිසෙකු ලෙස පෙන්නුම් කළේ ය.

 

17a84a50 79b2 11f0 ab3e bd52082cd0ae.jpgජා දීපා

 

ලේඛිකා ජා දීපා පවසන්නේ, "මේක MGR භාවිත කළ ක්‍රමයක්. රසිකයන් ඒවා භුක්ති විඳිනු ඇතැයි අපේක්ෂා කරමින් රැජිණි සමාන චරිත තෝරා ගැනීම දිගට ම කරගෙන යනවා. MGRගේ චිත්‍රපටවල මෙන්, ඔහු දුප්පතුන්ට උදව් කරනවා, ගොවියෙකු හෝ රික්ෂෝ රියැදුරෙකු ලෙස රඟපානවා, ඒ චිත්‍රපටවල පිහි සටන් දර්ශන තියෙනවා."

'Oli Vidhakargal' සහ 'Kathai Do Thirikathai' වැනි පොත් ලියා ඇති ජා දීපා පවසන්නේ, "විජයකාන්ත් ගැන සිතන විට, ඔහු රට ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන චරිත මට මතක් වෙනවා," යනුවෙනි.

"කුලී චිත්‍රපටයේ රැජිණිකාන්ත්ගේ චරිතය කුමක්දැයි අපි තවමත් දන්නේ නැහැ, නමුත් ඔහුගේ ශක්තිය පවතින්නේ කුලී, කිරි වෙළෙන්දෙකු හෝ ඔටෝ රියැදුරෙකු වැනි සාමාන්‍ය මිනිසුන්ගේ චරිත නිරූපණය කිරීම තුළ යි. අද පවා, එම චිත්‍රපටවල ගීත තවමත් ජනප්‍රිය යි," ඇය පවසයි.

"2010 ඉඳන් එයා අධ්‍යක්ෂකගේ නළුවෙක් වෙලා. එයාට වෙනස් චරිත රඟපාන්න බැරි බව නෙවෙයි - එයා හොඳ නළුවෙක්. නමුත් එයා කොච්චර සාර්ථක වුණත්, එයා කැමති ඔහුගේ නිහතමානී ස්වභාවය පිළිබිඹු කරන චරිත. ඒක එයාගේ පෞද්ගලික දර්ශනයක් වෙන්න පුළුවන්," අන්නාමලෙයි චිත්‍රපටයෙන් පස්සේ රැජිණිකාන්ත් මෙවැනි චරිත වැඩිපුර භාර ගත් බව ජා දීපාගේ අදහස යි.

 

කර්තෘ -   සිරාජ් (බීබීසී දෙමළ සේවය)

(මෙම ලිපිය BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom