(අරුණ පුවත්පත)
විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 ජය මූර්තිකා ප්‍රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල, වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
කාණ්ඩ පහක් යටතේ ජයග්‍රාහී අත්පිටපත් සඳහා මෙවර මුදල් ත්‍යාග සහ ජය මූර්තිකා ප්‍රදානය සිදුවූ අතර, එහිදී සිදුවූ සුවිශේෂ සිදුවීම් දෙකකි. ඉන් එකක් නම් මෙවර ප්‍රශස්ත කාව්‍ය අත්පිටපත සඳහා විදර්ශන ත්‍යාගය පිරිනැමීමක් සිදුනොවීමය. එය ඇතැමුන්ගේ විවේචනයට ලක්වෙමින් තිබේ. අනෙක නම් ප්‍රශස්තම නවකතා අත්පිටපත, ප්‍රශස්තම කෙටිකතා අත්පිටපත, ප්‍රශස්තම පරිවර්තන (ඉංග්‍රීසි) අත්පිටපත සහ ප්‍රශස්තම පරිවර්තනය (සිංහල); මේ සියලු අංශ සඳහා විදර්ශන ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ලේඛිකාවන් වීමය.
ඉඳින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමඟ මේ සංවාදය ඒ පිළිබඳවය. ඔහු විදර්ශන සාහිත්‍ය ත්‍යාග උපදේශක මණ්ඩල සාමාජිකයෙක් වන අතර කාව්‍ය ඇගැයුම් මණ්ඩලයේ ද සාමාජිකයෙකි.
සංවාදකයා - 2025 විදර්ශන ත්‍යාගයේ ප්‍රශස්තම කාව්‍ය අත්පිටපතට ත්‍යාගය ලැබුණේ නැහැ. ඊට හේතුව තරගයේ නිර්ණායකවලට ගැළපෙන අත්පිටපත් නොතිබීම බව ඇගැයුම් මණ්ඩල ප්‍රකාශයේදී ඔබ පැවැසුවා...
සුනිල් විජේසිරිවර්ධන - මම, සරත් විජේසූරිය, නන්දන වීරසිංහ අපි තිදෙනා තමයි කාව්‍ය අත්පිටපත් ඇගැයුම් මණ්ඩලයේ හිටියේ. පසුගිය වසරේ විදර්ශන ත්‍යාගයේදිත් බොහොම අමාරුවෙන් තමයි අවසන් කාව්‍ය සංග්‍රහ පිටපත් තුනක් තෝරගෙන අවසානයේ ත්‍යාගය පිරිනැමුවේ. නමුත් මෙවර ඊටත් වඩා දුර්වලයි. තරගයට ලැබුණු අත්පිටපත් එකසියතිහ අපි වෙන වෙනම කියෙව්වා. අවසානයේ අපි තනි තනිව හඳුනාගත් හොඳම අත්පිටපත් ගැන දිනයක් පුරා සාකච්ඡා කළා. එතනදි අපි අත්පිටපත් විසිතුනක් හඳුනාගත්තා.
අපි තෝරන්නේ ප්‍රශස්තම කාව්‍ය අත්පිටපත. කාව්‍ය සංග්‍රහයක කවි තිස්පහක්, හතළිහක් තියෙනවා. එතනදි කවි පහක් හයක් පමණක් හොඳ මට්ටමේ තිබිලා අනෙක් ඒවා දුර්වල වුණොත් එය හොඳ ‘කාව්‍ය සංග්‍රහයක්’ වෙන්නේ නැහැ. කාව්‍ය සංග්‍රහයක හැම කවියක්ම හොඳ වෙන්න ඕන, ඒ අතරින් ඉතා දිදුළන කවි යම් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒක තමයි අපේ නිර්ණායකය. අපි තෝරගත්ත අත්පිටපත් විසිතුන, පිටපත් දහයක් දක්වා අඩුකරල, අවසානයේ පහක් තෝරගත්තා. ඒ පහෙන් එක් අත්පිටපතකවත් ඉතා හොඳ මට්ටමේ කවි දහයක් තිබුණේ නැහැ. එතන තමයි ප්‍රශ්නය ආවෙ. අවසානයේ කෙටි ලැයිස්තුගත වුණු කාව්‍ය අත්පිටපත් තුනේ තත්ත්වයත් එහෙමයි.
මොනවද කාව්‍ය අත්පිටපත්වල තිබුණ දුර්වලතා...
පළමු දේ තමයි ‘කාව්‍ය සංග්‍රහයක්’ ලෙසින් මතු නොවීම. එයට හේතු ගැන කියනවා නම් අනුභූතික පරාසය; ඒ කියන්නේ තේමාත්මක වශයෙන් විවිධත්වයක් නැහැ. අනුභූති පරාසය පටුනම් ඒ කවි කියැවීම රසිකයන්ට වෙහෙසකරයි. අනුභූති පරාසයෙන් කියැවෙන්නේ කවියා ලෝකයත් එක්ක තියෙන සම්බන්ධකම්වල විශාලත්වය. ඒක දුර්වල වුණාම තමයි අනුභූති පරාසය අඩුවෙන්නේ.
අනෙක කවියේ සංක්‍ෂිප්තභාවය. බටහිර කවියේ තිබූ මේ සංක්‍ෂිප්තභාවය සිංහල කවියට ගෙනාවේ ආරියවංශ රණවීර. ඉන් කියැවෙන්නේ කාව්‍ය ශරීරය දිගුද, කෙටිද කියන එක නෙවෙයි. කාව්‍ය ශරීරය නිර්මාණය වුණාට පස්සේ කාටවත් ඉන් වචනයක්වත් ගලවන්න හෝ ඇතුල්කරන්න බැරිවීම, නැත්නම් කවිය නිර්මාණය කර අවසන්වීම. එහි අමතර කිසිවක් නැහැ. ඒ සුවිනිශ්චිතභාවය අපට ලැබුණු කාව්‍ය පිටපත්වල තිබූ කාව්‍ය ශරීරවල තිබුණේ හරිම අඩුවෙන්. එය ශිල්පීය ගැටලුවක්. කවිය කියන්නෙ භාෂා සංවිධානයක්. වචන අඩුත් නැහැ, වැඩිත් නැහැ.
ඇතැම් කවිවල කාව්‍යෝක්තිය හොඳ වුණාට පුනරුච්චාරණ දෝෂ බහුලයි. ඒ කවි සංස්කරණය වී නැහැ. කාව්‍යෝක්තිය හරියට සංවිධානවී නැහැ. කවිය කියවා අවසන්වුණාට පස්සේ අයාලේ ගියා වගේ තමයි දැනෙන්නේ. කාව්‍ය සිතුවිල්ල ප්‍රකාශයක් විදිහට තියෙනවා හැර, එය සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීමක් නැහැ.
විශාල තරුණ කවීන් ප්‍රමාණයක් අත්පිටපත් එවා තිබීම සතුටට කරුණක්. පොදුවේ බැලුවාම හැට, හැත්තෑව දශකවලට වඩා කාව්‍ය භාෂාව දියුණුවී තියෙන බව පැහැදිලියි. නිර්මාණශීලී භාෂාවක් වර්ධනයවී තියෙනවා. පද්‍යමය වශයෙන් ගන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් කවිය කොහෙ ද? කියන ගැටලුව තියෙනවා. මොකද පද්‍ය කියන්නේ බුහුටි ලෙස භාෂාව සංවිධාන කරලා කියන දේවල්. එය බොහොම විච්චූරණ දෙයක්. මුඛරි දෙයක්. සෙට්කරල කියන්න පුළුවන්. ලෝකයේ පද්‍ය බිහිවෙන්නේ කවි ලියන්නම නෙවෙයි. වෛද්‍ය විද්‍යාව, කෘෂිකර්මය, ධර්මය වෙන්න පුළුවන්, පොත එන්න පෙර ඒවා පද්‍යයෙන් තමයි මතක තියාගත්තේ.
නමුත් කාව්‍ය පද්‍යයෙන් ලියන්නත් පුළුවන්. මහගම සේකර මේක ඉතා හොඳට සාකච්ඡා කර තියෙනවා. භාෂාව ගැන හොඳට දැනගන්න ඕන. හැබැයි පරණ පද්‍යයට යන්න ඕනත් නැහැ. ඉන් කියැවෙන්නෙ නැහැ නොයා සිටිය යුතුයි කියල. අපේ අවශ්‍යතාව අනුවයි භාෂාව සංවිධාන කරගන්න ඕන. ඒක පද්‍යයක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක නැතුව යන්න පුළුවන්. හැබැයි එය කවියක් විය යුතුයි.
කාව්‍ය අත්පිටපත් එකසියතිහකින් තුනක් අවසානයට තෝරගත්තා නම්, ඇයි ඉන් ප්‍රශස්තම කාව්‍ය අත්පිටපතක් තෝරාගැනීමට නොහැකි වුණේ. කවියට සම්මාන නොලැබීම ගැන විවේචන එල්ලවෙනවා...
අපි අමාරුවෙන් හරි එකක් හොඳම අත්පිටපත විදිහට නම් කළොත්, විදර්ශන ආයතනය එය ප්‍රකාශයට පත්කරනවා ප්‍රශස්තම කාව්‍ය සංග්‍රහය විදිහට. එතකොට අපි වැරැදි ප්‍රමිතියක් දුන්නා වෙනවා. කවිය කියන්නේ බරසාර වැඩබිමක්. අපි තාම සීරියස් නැහැ. එකතුකරගත්ත කවි ටිකක් එවනවා.
ඔබ කවි පොතක් පළකරද්දි සැලකිලිමත්වෙන්නේ කොහොම ද?
මම කවියක් ලියලා මාසයකට පමණ පසුව ආයෙත් බලනවා. ආයෙත් හදනවා. නැවත නැවත කිහිප වරක් සංස්කරණය කරනවා. කවිය සූක්‍ෂම කිරීම, ශිල්පීය වශයෙන් දියුණු කිරීම; ඒ විදග්ධභාවය කවියාට තියෙන්න ඕන. කවියාට දැනෙන්න ඕන මේක මාර වැඩක් කියලා. හිතුණ දේ ලියලා දැන් හරි කියා සෑහීමකට පත්වෙන්න හොඳ නැහැ. නවකතාවක් ලියද්දි අපි හිතනවානේ එයට අවුරුද්දක් දෙකක් මහන්සි විය යුතුයි කියල. මගේ අදහස නම් කවියට ඊටත් වඩා මහන්සිවෙන්න ඕන.
කවියක් පරිපූර්ණ වෙන ඉම කුමක් ද?
කවියාගේ ඇතුළේ ඇන්ටෙනා එකක් තියෙන්න ඕන ඒක තමන්ට සැළවෙන. කවියා තමන් ලියූ කවිය කපන්න කොටන්න කැමැති නැහැ. ඒකට කවියා ඇතුළෙ කවියාට අමතරව විචාරකයෙක් නැත්නම් විචාරාත්මක ඇන්ටෙනා එකක් තියෙන්න ඕන. තමන්ගෙ ඇහැ පැත්තකින් තියලා, වෙන ඇහැකින් කවිය දිහා බලන්න පුළුවන්වෙන්න ඕන. එතකොට තමයි කවිය පරිපූර්ණත්වයට පත්වෙන මොහොත හමුවෙන්නේ.
රුසියානු කවිය අධ්‍යයනය කළ අයෙක් විදිහට මට අවබෝධවූ දෙයක් තියෙනවා. ලෝකය හිතනවා පුෂ්කින්ගෙ කවි ඔහේ නිකං ලියලා කියලා. ගත්තා ලිව්වා කියලා. නමුත් පුෂ්කින්වේදය කියල ලොව පුරා ලියැවුණු ආචාර්ය උපාධි නිබන්ධන සිය ගණනක් තියෙනවා. ඒවායින් පෙන්වාදී තියෙනවා පුෂ්කින් තමන්ගෙ කවි නැවත නැවත ලියමින්, දින, සති, මාස ගණන් ඒ වෙනුවෙන් කෙතරම් කැපවුණාද කියලා.
ඇත්තටම කවිය කැපවුණ මාධ්‍යයක් නෙවෙයි, අද සුලබ මාධ්‍යයක්. සමාජ මාධ්‍ය අවකාශයේ වචන පහළට ලියමින් ඒවා කවි ලෙස නම් කරනවා. ඔබේ නිරීක්ෂණයට ලක්වුණු කාව්‍ය අත්පිටපත්වල මේ දෝෂය තිබුණා ද?
හුඟක් අත්පිටපත්වල ඒ ප්‍රශ්නය තිබුණා. සමාජ මාධ්‍යවල වැටෙන Like, ‘මාරයි’ වැනි මිතුරන් දාන කොමෙන්ට් තමයි කවියේ සාර්ථකත්වය ලෙස ඔවුන් ගන්නේ. දෘෂ්‍යමාන තලයේ තියෙන අත්දැකීම් එහෙම්ම ලියලා දානවා. ඒවා ප්‍රේමාලාප, නැත්නම් සුසුම්පද. එවැනි කවි විශාල වශයෙන් තිබුණා. ඒ වගේම කවියක් බවට පත්නොවුණු සටන්පාඨ, ප්‍රචාරකවාදී පාඨ, විරෝධාකල්ප තිබුණා. ඒ කියන්නේ ඔවුන් ලෝක මට්ටමේ කාව්‍ය පරිශීලනය කර නැහැ.
කවියක් උපදින්නේ කොහොම ද?
ඒකට සූත්‍රයක් නැහැ. යම්කිසි කාව්‍ය කණිකා මතුවෙනවා. ඒකෙ යම් නිලයක් වගේ තැනක් අහුවෙනවා. එතකොට අපි එය තියාගෙන වැඩකරන්න ඕන. කළලයක් වගේ වැඩෙන්න දෙන්න ඕන. එතන තමයි බොහෝ අයට ඉවසීම නැති තැන. එතන කාව්‍යෝක්තිය වගේම ශිල්පය වැදගත්. ඩාෆ්ට් එකයි, හාට් එකයි, එකතුවෙන තැන.
මම රුසියාවේ ගත කළ කාලයේ අත්දැකපු දෙයක් තමයි ඔවුන් කවි ලිවීම ආරම්භ කළ සැණින් කාව්‍ය සංග්‍රහ ප්‍රකාශයට පත්කරන්නේ නැහැ. ලියපු කවි මිතුරන්ට දෙනවා කියවන්න. ඒවාට ලැබෙන ප්‍රතිචාර දිහා බලලා, වසර ගාණක් දුක් විඳලා අවසානයේ තමයි කවි පොතක් ප්‍රකාශයට පත්කරන්නෙ. අපිත් එවැනි සංස්කෘතියක් ඇතිකරගන්න ඕන.
මේ අත්පිටපත් එවූ ආධුනික කවියන්ට ඔබ දෙන උපදේශය කුමක් ද?
ආධුනික කවියන්ට කියන්න තියෙන්නේ, අධ්‍යයනය කරන්න. නැවත අධ්‍යයනය කරන්න. කවිය කියන්නේ බොහොම ගෞරවණීය සාහිත්‍ය වැඩබිමක්. ඒ බිමට අපි අවතීර්ණ වෙන්න ඕන ගෞරවයෙන්. ලංකාවේ වගේම ජාත්‍යන්තර කවීන් අධ්‍යයනය කරන්න. සරල අනුභූතික මට්ටමෙන් විව්චූරණ පද්‍ය ලිව්වට, කවි ලියන්න බැහැ. භාෂාව හොඳ නම් මතක හිටින පද්‍ය ලියන්න පුළුවන්. ඒත් ඒවා කවි නෙවෙයි. කවි කියන්නේ වෙනම මානයක්. ඒකට ඇතුල්වෙන්න අපි මහන්සිය වෙන්න ඕන.
ත්‍යාග ලබානොදුන් කාව්‍ය අත්පිටපත් තරගය හැරුණු විට අනෙක් අංශ හතරෙන්ම විදර්ශන ත්‍යාගය දිනාගත්තේ කාන්තාවන්...
ඒක හරිම සිත්ගන්නා සුළු දෙයක්. ඒක ලෝක මට්ටමින් වුණත් එක්තරා අන්දමින් අද සිදුවෙමින් පවතිනවා. ඒ. කේ. රාමනුජන් කියන්නේ ඉන්දියාවේ හිටපු ප්‍රසිද්ධ ජනශ්‍රැතිවේදියෙක් සහ මානව විද්‍යාඥයෙක්. ජනකතා එකතු කරද්දි ඔහුට හසුවෙනවා අපූරු නිලයක්. ඒ තමයි සමහර කතා නිර්මාණය කර තියෙන්නේ ගැහැනු. ඒ කතාවල ස්වභාවය අනුවයි ඔහු එය නිර්ණය කරන්නේ. එය මා සිත්ගත් කාරණයක් වුණා. රාමනුජන් කියනවා මාතෘ මූලික සමාජයෙන් පීතෘ මූලික සමාජයට පරිවර්තනය වෙද්දි ගැහැනු ජීවිතය සම්පූර්ණයෙන් කුටුම්භයට කොටුවෙලා, ඔවුන්ගේ ජීවිතවල දිගපරාසය අහිමිවුණ බව. නමුත් ඔවුන්ගේ පරණ හීන සහ ඒවා ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ස්ත්‍රී කේන්ද්‍රීය කතා වූ බවයි රාමනුජන්ගේ ප්‍රවාදය.
ඉන් පැහැදිලිවෙන්නේ ගැහැනු සාහිත්‍යය ලිව්වේ පිරිමි වුණත්, ගෙවල්වල කතන්දර කිව්වේ ගැහැනු. ඒක වෙනම අඩවියක්. ඒකෙ විශේෂාංග වෙනස්, ස්ත්‍රීන්ට සාක්ෂරතාව තිබිලා ඒ කතා ලියැවුණා නම් මොනවගේ සාහිත්‍ය නිර්මාණය එයිද. මම හිතන්නේ මෙන්න ඒ යුගය දැන් ඇවිල්ලා. ලෝකයේ ස්ත්‍රීන් දැන් ඔවුන්ගේ සාහිත්‍යය ලියන්න පටන්ගෙන. එවැන්නක් ලංකාවෙත් දැන් පේන්න පටන්ගෙන. ඒ අමුතුයි. පරණ එකම නෙවෙයි.
ඔබත් වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයට විකල්ප උලෙළක් ලෙසින් ස්වාධීන සාහිත්‍ය සම්මාන උත්සවයක් පැවැත්වුවා. සම්මාන උලෙළ ලංකාවේ සාහිත්‍යයට සිදුකර තියෙන බලපෑම කුමක් ද?
ඒක වැදගත් ප්‍රශ්නයක්. සාහිත්‍යයත් සමාජයත් දියුණුවෙන්න නම් පැති දෙකක් තියෙනවා. සාහිත්‍යකරුවා සහ රසිකයා ඉන්න ඕන. රසිකයෝ නැති කාන්තාරයක හොඳ සාහිත්‍යකරුවෙක් බිහිවෙන්නෙ බැහැ. සාහිත්‍යකරුවා තේරුම් ගන්න රසික සමාජයක් තියෙන්න ඕන. රසික සමාජය වර්ධනය වෙන්නේ නැත්නම් සාහිත්‍යය වර්ධනය වෙන්නේ නැහැ. ඒ දෙක අන්‍යෝන්‍යව තියෙන්නේ. සාහිත්‍ය උලෙළකින් බැලූ බැල්මට සාහිත්‍යකරවා තමයි අලෝකය යටට ගේන්නේ. ඒකෙන් ආමන්ත්‍රණය කරන්නේ රසිකයාට. ආකර්ෂණය එන්නේ රසිකයා පැත්තට. රසිකයාට තොරතුරක් ලැබෙනවා මෙන්න පොත්. ඒවා කියවන්න කියලා. ඒ නිසා සාහිත්‍ය සම්මාන නිසා සාහිත්‍යකරුවාට වගේම රසිකයාටත් උත්තේජනයක් ලැබෙනවා.
දියුණු සමාජයක එවැනි සාහිත්‍ය උලෙළ රාශියක් ඇතිවෙන්න පුළුවන්. ජපානයේ සාහිත්‍ය සම්මාන උලෙළ පන්සීයකට වඩා තියෙනවා. බ්‍රිතාන්‍යයෙත් ඉහළ සම්මාන උලෙළ විස්සකට, තිහකට වඩා තියෙනවා. බ්‍රිතාන්‍යයේ හොඳම විද්‍යා ප්‍රබන්ධය සඳහා සම්මාන දෙන උලෙළක් තමයි ආතර් සී. ක්ලාක් සම්මාන උලෙළ. ඉන් පෙනෙන්නේ සාහිත්‍ය සමාජය කොයිතරම් දියුණුද, කොයිතරම් සරුද කියල. අපේ එහෙම නැහැනේ. පොත් ප්‍රකාශකයන් එකතුවෙලා කරන සම්මාන උළෙල දෙකක් තියෙනවා, විද්‍යෝදය සම්මානය, ගොඩගේ අත්පිටපත් තරගය තියෙනවා, දැන් විදර්ශන ත්‍යාගය. මමත් එහි උපදේශක මණ්ඩලයේ ඉන්න නිසා අපි නිතරම කතාකරන්නේ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උලෙළක තත්ත්වයට එය ගෙන ඒමට. ඇගැයුම් නිර්ණායක ප්‍රසිද්ධ කළ යුතුයි. අත් ඔසවා සම්මාන දී ඵලක් නැහැ. ස්වාධීන සම්මාන උලෙළ කරන කාලයෙත් අපි ඒක කිව්වා. ඇගැයුම් මණ්ඩල වාර්තා පළවීම නිසා රසිකයන්ටත් ලොකු රසික අධ්‍යාපනයක් ලැබෙනවා.
ලංකාවේ සම්මාන උලෙළවල පොඩි අවුලක් තියෙනවා රාජ්‍ය කියන කොටසත් එක්ක. මම හිතන්නේ ලෝකයේ කවුරුවත් රාජ්‍ය සම්මාන උලෙළ පවත්වන්නේ නැහැ. ඒක වැඩවසම් අදහසක්. රජය කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණ ඇතුළත් සංවිධානයක්. ඉතින් රජය කොහොමද සම්මාන දෙන්නේ. ඒක පසුකාරක වැඩක්. ජාතියක් විදිහට තමයි අගය කිරීම් කරන්න ඕන. ලෝකයේ තියෙන්නේ ජාතික සම්මාන. ඒක තමයි සංකල්පය.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
මෙම සංවාදය මුල් වරට සති අග "අරුණ" පුවත්පතේ පළවිය. (2025/09/08)
( උපුටා ගැනීම 'Suranga Indika Lakmal' ෆේස්බුක් පිටුව ඇසුරිනි)



