- Malintha Vithanage -
ඇමරිකාවේ අධිවේගි මාර්ගවල දිනකට අතොරක් නැතිව එහා මෙහා ගමන් කරන සියළුම වාහන අද එකතැන නතර වෙලා.
සෑමතැනකම පාහේ දක්නට ලැබෙන්නේ භූමිකම්පා තත්ත්වයන්වලින් ගහණ කලබලකාරී වාතාවරණයක්. ටෙලිවිෂනයේ සියළුම නාලිකාවන්හි විකාශයන් පවා නවත්වා දමන්න සිදු වෙලා. ජංගම දුරකථයකින් ඇමතුමක් ගන්නට නොහැකි වෙන තරමට සන්නිවෙිදනය පවා බිඳවැටිලා. මිලියන ගණනින් වටිනාකමක් සහිත මෝටර් රථවල කාර්වල හරිම උජාරුවෙන් ගමන් කරපු මිනිසුන් තමන් සතු වාහනය පාරේ අතරමං කර හති දම දමා දෙපයින්ම නිවෙස් කරා පැමිණෙනවා.
භුමිකමිපා, ගංවතුර, ගිනිකඳු පිපිරිම් නිසා මිනිසුන්ගේ සැපවත් ජීවිතයක බලාපොරොත්තු සුන් කරලා මෙතරම් අවුල් ජාලාවක් ඇති කරාව් යැයි සිහිනෙකුදු නොසිතන්නට ඇත.
මෙයාකාරයේ සියළු කරදර මධ්‍යයේ 'චාර්ල්ස් ක්‍රාන්ට්ස්' නම් ප්‍රියමනාප පුද්ගලයෙකුගේ රුවක් මං මාවත්වල පෝස්ටර්, බිල් බෝඩ්ස්වල ප්‍රදර්ශනය වෙනවා. ක්‍රාන්ට්ස් නාමය මිනිසුන් අතර කතාබහට ලක්වෙනවා. සියල්ලටම මෙම ක්‍රියාව අරුමයකි. අර්බුද පිට අර්බුද රැසක් මධ්‍යයේ චාල්ස් ක්‍රාන්ට්ස් නම් සිනහවකින් සැරසී සිටින පුද්ගලයා කවුද? සිනමාපටයේ තෙවන අදියරය (Act Three) එලෙස නිමාව දකින්නේ ප්‍රේක්ෂකයා කෙරෙහි කුතුහලය දල්වමින්.

චාල්ස් ක්‍රාන්ට්ස් යනු ජීවිතයේ අපමණ අභියෝගවලට, තනිකමට මුහුණ දුන් පුද්ගලයෙකි. කුඩා කාලයේදීම ඔහුගේ දෙමාපියන් රිය අනතුරකින් මරණයට පත් වෙයි. චක්ව හදාවඩා ගන්නේ ඔහුගේ මිත්තණිය සහ සීයා විසින්. චක්ට ජීවිතය පිළිබඳ ඇතැම් පාඩම් කියා දෙන්නේ මේ දෙපළ විසින්. චක්ට නර්තනය උගන්වන්නේ අත්තම්මා සහ ගණිතය උගන්වන්නේ ද සීයා විසිනි. අවසානයේ ඔහු ජීවිතයේ විඳින්නේ නර්තනය විනෝදාංශය කරගත් ගණකාධිකාරිවරයකු විදියට. චක්ගේ කතාව හරහා ප්‍රේක්ෂකයාට ඉගෙනුමට බොහෝ දේ තිබේ. වෙිදනාව සහ ප්‍රීතිය අතර දෝලනය වන ජීවිතයක අරුමැසිය පිළිබඳ 'The Life Of Chuck' සිනමාපටයේ නිරූපණය වන්නේ හරි අපුරුවට ය.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>
චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ 'මයික් ෆ්ලැනගන්' විසිනි. ත්‍රාසජනක හා මානවවාදී කතන්දර කීමේ ප්‍රවීණත්වයක් සහිත ලොව සුප්‍රකට නවකතාකරුවකු වන ස්ටීවන් කිංග් විසින් රචනා කළ ''If It Bleeds'' නම් කෙටිකතා සංග්‍රහයේ එන 'The Life Of Chuck' කතාව ඇසුරින් චිත්‍රපටයේ තිර පිටපත ලියා ඇති අතර චක් හෙවත් චාර්ල්ස් ක්‍රාන්ට්ස්ගේ චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ සිටින අතිදක්ෂ නළුවකු වන 'ටොම් හිල්ඩ්ස්ටන්' විසිනි.
'The Life Of Chuck' චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඇමරිකානු සිනමාකරු 'මයික් ෆ්ලැනගන්' (Mike Flanagan) (වම) ගේ හා චිත්‍රපටයේ ප්‍රධාන නළු බ්‍රිතාන්‍ය ජාතික 'ටොම් හිල්ඩ්ස්ටන්' (Tom Hiddleston) (දකුණ) ගේ ඡායාරූපයක්.
චිත්‍රපටය මරණය සහ අනිත්‍යතාවය පිළිබඳ සාකච්ජාවට ගෙන එයි. චිත්‍රපටය ලෝක අවසානය පිළිබඳ නොව සියලු ජීවිත අවසන් වන බවට විශ්වීය සත්‍යය ගැන හෙළිදරව් කරයි. චක්ගේ "ලෝක අවසානය" සංකේතවත් කරන්නේ එක් එක් පුද්ගලයා මිය යන විට විශ්වයම කඩා වැටෙන ආකාරය පිළිබඳව ය. චක් සුපිරි වීරයෙක් හෝ ගැලවුම්කරුවෙක් නොවේ. ඔහු ගණකාධිකාරීවරයෙකි. ජීවිතයේ ආශ්චර්යය මහා අභිනයන් තුළ නොව සාමාන්‍ය අවස්ථාවන්හිදී, එනම් නර්තනය, සිනහව, කරුණාවන්තබව චක්ගේ ජීවිත කථාව හරහා නිරූපණය වෙයි.

සත්තකින්ම ජීවිතය යනු කුමක්ද? ජීවිතය පිළිබඳ ලොව සුප්‍රකට දාර්ශනිකයන්, විද්‍යාඥයන් මෙසේ ප්‍රකාශ කර ඇත. දොයෙස්තොව්ස්කිට අනුව නමි එය අපායකි. සොක්‍රටීස්ට අනුව ඒක පරීක්ෂණයක්. ඇරිස්ටෝටල්ට අනුව එය මනසයි. ෆ්‍රොයිඩ්ට අනුව ජීවිතය යනු මරණයයි. පිකාසෝට අනුව ජීවිතය යනු එක්තරා කලාවකි. ගාන්ධිට අනුව ජීවිතය යන්න ආදරයයි. ෂෝපන්හවර්ට අනුව ජීවිතය කියන්නේ දුක් විඳීමකි. බර්ට්‍රන්ඩ් රසල්ට අනුව ජීවිතය තරඟයක් මෙනි. ස්ටීව් ජොබ්ස්ට අනුව ජීවිතය ඇදහිල්ලකි. අයින්ස්ටයින්ට අනුව ජීවිතය යනු දැනුමකි. කෆ්කාට අනුව ජීවිතය කියන්නේ ආරම්භය පමණයි. ඒ විවිධ නිර්වචන අතරින් පතර කියවෙද්දි ජීවත්වීම කියන්නෙම වෙනස්වීම් රාශියක ආරම්භයක් බව පවසන 'The Life Of Chuck' චිත්‍රපටය නිසැකවම මේ වසරේ නැරඹිය යුතුම වටිනා චිත්‍රපටයක් ලෙස ඉහළින්ම නිර්දේශ කළ හැකි සිනමා කෘතියකි. ජීවිතය සහ මරණය පිළිබඳ ගැඹුරු සිනමාත්මක භාවනාවකි. ප්‍රේක්ෂකයින්ට තමන්ගේම ජීවිත, මතකයන් සහ මරණීයභාවය ගැන මෙනෙහි කරන මෙන් ඉල්ලා සිටින සිනමා කෘතියකි.

සටහන - මලින්ත විතානගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(මෙම ලිපිය 2025 සැප්තැම්බර් 25 වැනිදා සරසවිය පුවත්පතේ පළ කෙරිණ.)
( මෙම සටහන "Malintha Vithanage" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



