lan englan tam

විශේෂාංග

වසර 28කට පසු මානව වර්ගයාගේ පැවැත්ම සිනමාගත වීම - "28 Years Later" (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha vithanage-

හොලිවුඩ් සිනමාකරුවන් සෑම වසරක් පාසාම ලෝකය විනාශ කිරීමේ දිගු ව්‍යාපෘතියක කොටස්කරුවෝ වෙති.

පෘතුවිය විනාශ කිරීමේ ව්‍යාපෘතීන් ලෙස ඔවුන් තම තිර පිටපත් රචනා කරන්නට තෝරා ගන්නේ වෛරසයක්, ග්‍රාහකයක් කඩා වැටීම, ගංවතුර, සුනාම් තත්ත්වයන්, භූමිකම්පාවන් ඇති වීම සහ ගිනි කඳු විදාරණය වීම වැනි කාලගුණික ව්පර්යාස සහ ස්වභාවික ආපදාමය තත්ත්වයන් ය.

ජනප්‍රිය කලාව තුළ ලෝකය විනාශ වී යාම පිළිබඳ දැඩ් ලෙස මාතෘකාගත වන්නේ මානව වර්ගයාගේ විනාශයට පත්වීම පිළිබඳ දැඩි කුතුහලය ද පරිකල්පනය ද පෙර බිමට පැමිණීම නිසා ය. මානව වර්ගයා නිරතුරුවම සිතන්නේ බිලියන අටකට අධික මුළු ජනගහනයක් විනාශය කරා යන්නට මිනිසා විසින්ම සිදු කරන යම් සැලසුම් සහගත ක්‍රියාවක් හෝ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හේතු විය හැකි බවයි. මේ අතරින් හොලිවුඩ් සිනමාකරුවන් විසින් ගොඩනැඟු සිනමා ප්‍රබන්ධ සත්‍යයක් වූ අවස්ථා ද පවතී. නිදර්ශනයක් ලෙස කෝව්ඩ් 19 වැනි වෛරසයක් මානවයා මරණයට පත් කරන බව හොලිවුඩ් සිනමාකරුවන් පුරෝකථනය කළේ 2011 වසරේ තිරගත වූ 'Contagion' සිනමාපටය හරහායි.

Post - Apocalyptic හෙවත් විනාශ වී ගිය පෘතුවියක පසු තත්ත්වයක් පිළිබඳ අනාවරණය කරන '28 Years Later' සිනමාපටය 2025 වසරේ තිරගත වූ වැදගත් සිනමාපටයක් බවයි මගේ පෞද්ගලික අදහස නම්.

 

28 years later.jpg

 

සිනමාපටයේ කතා පුවත බැඳෙන්නේ මීට වසර 23කට පෙර එනම් 2002 වර්ෂයේ දී තිරගත කළ '28 Days later' සිනමාපටය සමඟිනි. මහා බ්‍රිතාන්‍යය පුරා පැතිර යන දරුණු වෛරසයක් ආසාදිත වීම නිසා සෝම්බින් බවට පත්වන ආකාරය සිනමාපටය තුළ නිරූපණය විය. එය අධ්‍යක්ෂණය කළ සම්මානනීය බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩැනී බොයිල් විසිනි. '28 Days later' සිනමාපටයෙන් පසුව එහි දෙවැනි කොටස ලෙස '28 Weeks Later' නමින් 2007 වර්ෂයේ දී තිරගත කෙරිණ. බ්‍රිතාන්‍යයේ සිදු වූ දරුණු විනාශයෙන් සති 28කට පසු තත්ත්වය පිළිබඳ චිත්‍රපටයේ කතාව විය. '28 Days Later' චිත්‍රපට මාලාවේ (film series) තුන්වන චිත්‍රපටය ලෙස '28 years later' අවුරුදු 28කට පසුව සිදුවන මෙම අර්බුදකාරී තත්ත්වයේම දිගුවක් ලෙස කතාව ගෙතී තිබේ. වසංගතය හේතුවෙන් හුදකලාව වෙසෙන දිවි ගලවා ගත් අයගේ පැවැත්ම නිරූපණය කරයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහතින්>>

 

'28 Years later' වැනි සිනමාපටයක ඇති වැදගත්කම කුමක්ද? එය අනෙකුත් චිත්‍රපට අතරින් සුවිශේෂි ගුණයක් හිමි කර ගන්නේ ඇයි? යන ප්‍රශ්න කිහිපය පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. චිත්‍රපටය විසින් අනාගත ලෝකයේ විය හැකිබවට පුරෝකථනය කරන ශිෂ්ටාචාරය බිඳවැටෙන සුළු ආකාරයේ මාරාන්තික වෛරසයක් හරහා 'මරණය' (death) සහ හුදෙකලාවාදය (Isolationism) සම්බන්ධ අදහස් වැදගත් වේ. මෙම අසීමිත ලෙස මරණයට සහ ඝාතනයට පත්වන මිනිසුන් නිසාම මරණයට ඇති වටිනාකම ඉතාමත් ශුන්‍ය එකක් බව සිනමාපටය හරහා ගෙන එන අදහසකි. නිදර්ශනයක් ලෙස සිනමාපටයේ නිරූපණය කරන මළ මිනිසුන්ගේ ඇටකැබලි සහ හිස්කබල්වලින් සාදන ලද දැවැන්ත ස්මාරකය සහ ආරාමය මරණය පිළිබඳ අදහස තීව්‍ර වෙනවා. සිනමාපටය පිළිබඳ අවධානයෙන් බලන ප්‍රේක්ෂකයා මෙි හිස්කබල් ස්මාරකය දෙස බලන්නට පොළඹන්නේ මානවයා සහ තිරිසන් සතුන් අතර ඇති වෙනස කුමක්ද? යන දාර්ශනික සිතුවිල්ල ද සහිතවයි.

අනෙක් කාරණය නම් සිනමාපටය නිෂ්පාදනයේදී අධ්‍යක්ෂවරයා ඇතුළු චිත්‍රපට කණ්ඩායම විසින් දරා ඇති නිර්මාණාත්මක වෙහෙසයි. අනාගතවාදී පෘතුවියක මාන වර්ගයාගේ අවසානයත්, විපර්යාසයත්, එහි පසුබිමත් විශ්වසනීයත්වයෙන් යුතුව ඉදිරිපත් කර ඇත. සිනමාපටයේ ඇතැමි රූපරාමු නිර්මාණය කර ඇත්තේ අධ්‍යක්ෂවරයාට ආවේණික වු ශෛලියකිනි. විශේෂයෙන් සංස්කරණය ක්‍රියාවලිය මෙහිදි කැපී පෙනේ. නිදර්ශනයක් ලෙස දුන්නකින් නිදහස් කරන ඊතලය මළ මිනිසකුගේ හිස පසාරු කරගෙන යන රූපය සුළු වෙලාවකදී නිශ්චල වී ඊළඟ කැමරා කෝණයට ජේදනය වෙයි. ඉන් ජනිත කරන්නේ පෙර නොවු විරු ක්‍රියාදාම දර්ශන පෙළක් ඔස්සේ දැක්වෙන සංස්කරණ ශිල්ප ක්‍රමයක හාස්කමකි. කතාවෙහි විශ්වසනීයත්වය ඉහළ දමන රංගවස්ත්‍ර නිර්මාණය, වෙිෂ නිරූපණය, ආලෝකකරණය, පසුතල නිර්මාණය වැනි ආනුෂංගික අංග නිර්මාණය අවධානයක් දිනාගන්නා කලාපයකි. එය හොලිවුඩ් සිනාමාකරුවන් සැමවිටම ඉතා දැඩිව අවධානය යොමු කරන කලාපයකි. හොලිවුඩ් සිනමාකරුවන් අභිබවා යාමට අපොහොසත්වන එකම කාරණාව වන්නේ ද මෙම නිර්මාණාත්මක ආනුෂංගික අංශයයි.

 

68517f5ef748d8c055f3d54d

 

'28 Years later' චිත්‍රපටය රූගත කර ඇත්තේ 'iPhone 15 Pro Max' ජංගම දුරකථන විස්සක භාවිතයෙනි. එය ස්මාර්ට් ජංගම දුරකථනයකින් රූගත කරන ලද දීර්ඝතම වෘතාන්ත චිත්‍රපටය බවට පත් වේ. 2.76:1 දර්ශන අනුපාතයකින් රූගත කර ඇති චිත්‍රපටය 'Ultra Panavision 70' තාක්ෂණය සිහිගන්වයි. එය ආසාදිතයින්ගේ අනපේක්ෂිත බව අවධාරණය කිරීමට සහ පුළුල් රූප රාමු හරහා ප්‍රේක්ෂකයන්ට ආතතිය වැඩි කිරීම අරමුණුවන්නට ඇත. චිත්‍රපටයේ මීළඟ කොටස ලෙස '28 Years Later: The Bone Temple' 2026 ජනවාරි මාසයේ දී නිකුත් කිරීමට නියමිතයි. '28 Years a later' සිනමාපටය 2025 වසරේ තිරගත වූ සිනමාත්මකබවින් සහ දෘෂ්ටිවාදීමය අතිනි පොහොසත් නිර්මාණයකි. මානව වර්ගයාගේ පැවැත්ම සහ හැසිරීම පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ජාවට ලක් කරන සිනමා ව්‍යාපෘතියකි.

 

476237625 2101514566935849 5297727973837240105 nලිපිය රචනය - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මෙම ලිපිය 2025 සැප්තැම්බර් 18වන බ්‍රහස්පතින්දා දින සරසවිය පුවත්පතේ මුල්වරට ප්‍රකාශයට පත් විය.)

 

 

(මෙම ලිපිය 'Malintha Vithanage' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom