('අරුණ' පුවත්පත)
මෙරට ජීවමාන ජ්‍යේෂ්ඨ සාහිත්‍යධරයන් අතර කරුණාරත්න අමරසිංහ සුවිශේෂ සාහිත්‍යවේදියෙකි. සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳ ප්‍රාමාණිකයෙකු වන හේ මහා කවි කාලිදාසයන්ගේ ‘සෘතු සංහාරය’ (විමංසා ප්‍රකාශන) සිංහලයට නඟා ඇත.
කාලිදාස තම පෙම්වතියට සෘතු හයෙහි සුන්දරත්වය කවියෙන් ප්‍රකාශ කරයි. එම කාව්‍ය සෞන්දර්යයෙන් මෙන්ම ශෘංගාරයෙන්ද යුක්තය. කරුණාරත්න අමරසිංහයන් එම කවි රස නොමරා සිංහලයට පරිවර්තනය කර ඇති බව මෙම කෘතියට පෙරවදනක් සපයන මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහයෝ පවසති. කරුණාරත්න අමරසිංහයන් සමඟ මේ සංවාදය ‘සෘතු සංහාරය’ ගැනය.
සංවාදකයා - කරුණාරත්න අමරසිංහ - මහා කවි කාලිදාසයන්ගේ යැයි සැලකෙන ‘සෘතු සංහාරය’ සිංහලයට නඟන ඔබ, එය කෘතියක් ලෙසින් ප්‍රකාශයට පත් කරනවා. මේ කවි ඔබ පළමුවෙන්ම රස විඳින්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව සිටි සමයේ බව මේ කෘතියේ සඳහන්. ඔබේ වදනින් කියනවා නම් එය සිංහලයට පරිවර්තනය කළ යුතු යැයි ඔබට සිත් පහළවන්නේ ‘වසු’ වියේදි. නමුත් එම සිතුවිල්ල යථාර්ථයක් වෙන්නේ අසූවියේදි. ඔබට අද ‘සෘතු සංහාරය’ කියවද්දි දැනෙන හැඟීම, රස එදාට වඩා වෙනස් ද?
කරුණාරත්න අමරසිංහ - මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ පළමු වසරේ අහම්බෙන් තමයි මට ඩී. එම්. සමරසිංහ පඬිතුමාගේ සෘතු සංහාරයේ පදගථාර්ථ කාව්‍ය සන්නය හමුවුණේ. එදා එය කියෙව්වේ සිංහල තේරුම සමඟ බොහෝ අසීරුවෙන්. ඒ කාලයේ තිබුණෙ නැහැ මට සංස්කෘත ගැන ගැඹුරු දැනුමක්. සෘතු සංහාරයේ රසවත් බව දැනුනත්, ස්නායුගත වෙලා මෝහනය වෙන තරමට නැහැ දැනුනෙ. අද මා එය කියවන්නේ සංස්කෘත භාෂාවෙන්. සෘතු සංහාරයේ සැබෑ ශෘංගාර රස දැන් තමයි දැනෙන්නේ. එදාට වඩා මම අද විඳිනවා එය සිය දහස් ගුණයකින්.
සංස්කෘත භාෂාව පිළිබඳ මේ තරම් සිත බැඳෙන්න, එය සමීපවෙන්න කවුද ඔබට බලපෑවේ...?
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. ඔහු සංස්කෘත පඬිවරයා. ඒ වගේම කවියා. ඔහුට පාණ්ඩිත්‍යයයි, කවීත්වයයි දෙකම තිබුණා. පාණ්ඩිත්‍යය තිබුණු පමණින් සාහිත්‍ය රස මතුකරන්න බැහැ. ඒකට කවීත්වයක් ඕනෑමයි. ඔහු ලිව්වා පොතක් ‘කෝමල රේඛා’ නමින්. මානවසිංහයන් එයට ලියූ ප්‍රස්ථාවනාව හඳුන්වන්නේ ‘පෙරතලය’ නමින්. ඒ පෙරතලයම රමණීය ගද්‍ය කවක්. මානවසිංහයන් ඉන් මතුකර පෙන්වුවා ශෘංගාර සංස්කෘත කාව්‍යයත්, එහි තියෙන මාධූර්යයත්. ඔහු ජයදේවගේ ‘ගීත ගෝවින්දය’ වර්ණනා කරන්නේ ඉන් මත්වෙමින්. මටත් හිතුණා ‘ගීත ගෝවින්දය’ කෙසේ හෝ කියවන්න. මේ මම පාසල් යන කාලය. මම සංස්කෘත දන්නේ නැහැ.
“ලලිත ලවන්ග ලතා පරිශීලන කෝමල මලය සමීරේ, මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුංජ කුටීරේ, විහරති හරිරිහ සරස වසන්තේ නෘත්‍යති යුවති ජනේන සමංසඛි විරහි ජනස්‍ය දුරන්තේ...” බලන්න මෙහි ඇති සංගීතය. භාෂාවකින් සංගීතය ඇහෙනවා නම් සංස්කෘත භාෂාවෙන් තරම් වෙන කිසිම භාෂාවකින් එය ඇහෙන්නේ නැහැ. ඉනුත් ගීත ගෝවින්දයේ භාෂාව. ලොව සියලු භාෂාවන්ට පරිවර්තනය වුණා ‘ගීත ගෝවින්දය’.
මමත් ගියා ජයදේවගේ ගෝවින්දය පස්සෙන්. මට හමුවුණා කේ. ඩී. ගුණතිලක පඬිතුමාගේ පොතක්. කියෙව්වා මම එය. පසුව මට ලැබුණා මානවසිංහයන් ඇසුරුකරන්න. ඇත්තෙන්ම මානවසිංහයන් තමයි සංස්කෘත සාහිත්‍ය සාගරයට මා ඔසවා විසි කළේ. ඔහු තමයි ආවේෂය, ආභාෂය, ආලෝකය දුන්නේ.
අපි එමු නැවත ‘සෘතු සංහාරය’ට. එය කාලිදාසගේ කාව්‍යයක් නොවන බවටත් යම් මතයක් තියෙනවා...
මේ කෘතියට ප්‍රස්ථාවනාව ලියන්නේ මහැදුරු සමන් චන්ද්‍ර රණසිංහ. එය උදාන කාව්‍යයක්. ඔහු ඔබ මතුකරන කරුණ ඉතා හොඳින් පැහැදිලි කරනවා.
මෙය ශෘංගාරය පිරුණු කාව්‍යයක්. කාලිදාසගේ ප්‍රධාන මහා කාව්‍ය දෙකයි, ඒ ‘රංඝු වංශය’ සහ ‘කුමාරසම්භව’. නාට්‍ය තුනයි. වික්‍රමෝර්වශී, මාලවිකාග්නිමිත්‍ර සහ එහි උසස්ම නාට්‍ය ‘අභිඥානශාකුන්තලය’. සංදේශ කාව්‍ය නම් ‘මේඝ දූත’. ඒවා තමයි කාලිදාසගෙ ශ්‍රේෂ්ඨ නිර්මාණ. ‘සෘතු සංහාරය’ කාලිදාසගේ නොවන බව කියන්නේ ඒ නිර්මාණ හා සසඳමින්. ඒත් මෙය කාලිදාසගේ තරුණ වියේදී ලියැවුණු කාව්‍යයක් ලෙසයි සැලකෙන්නේ. ඒක හරියට අපේ රාහුල හිමිගේ පරෙවි සංදේශයයි. සැළලිහිණි සංදේශයයි වගේ. සැළලිහිණිය ඉහළ මට්ටමක්, නමුත් පරෙවිය එහෙම නැහැ.
කාලිදාස ලංකාව සමඟත් බොහොම සමීපව කටයුතු කළ බවට පුරාවෘත්තයක් තියෙනවා. ‘ජානකීහරණය’ ලියූ කුමාරදාස රජු සමඟ ඔහු මිත්‍රව සිටි බවත් කාලිදාස මියගියේ ලංකාවෙදි බවත් ඉන් කියනවා...
එක එක යුගවල හමුවෙනවා කාලිදාස නමින් කවියෝ කිහිප දෙනෙක්. ‘සෘතු සංහාරය’ ලියූ කාලිදාස විශේෂ පුද්ගලයෙක්. ලංකාවේ කුමාරදාස රජුට සම්බන්ධ ඔහු නෙවෙයි. කුමාරදාස කවියා ඉන්න කාලයෙත් කාලිදාස නමින් කවියෙක් ඉන්න ඇති. මුගලන් රජුගේ පුතා තමයි කුමාරදාස. මුගලන් ඉන්දියාවේ ඉන්න කාලයේ ඔහුගේ පුතා කුමාරදාස සංස්කෘත හදාරන්න ඇති. එහෙම නැත්නම් ‘ජානකීහරණය’ වගේ කාව්‍යයක් ලියන්න බැහැනෙ.
ටී. එස්. ධර්මබන්දු, ග. ආරියපාල, සුචරිත ගම්ලත් මේ අය සෘතු සංහාරයේ කවි සිංහලයට නඟන්නේ නිසඳැස් ආකෘතියෙන්. නමුත් ඔබ සෘතු සංහාරයේ කවි සිංහලයට නඟද්දි යොදාගන්නේ සිවුපද ආකෘතිය, සමුද්‍ර ඝෝෂ විරිත...
සිංහල මිනිසාට අදටත් කවිය කියන්නේ සතර පදය. සිව් පද කවියේ ඉතිහාසය සීගිරි කවියෙනුත් ඈතට යනවා. මගේ මතය නම් සිංහල කවිය ගයන කවියක්. කියවන එකක් නෙවෙයි. ඒ නිසයි ඈත අතීතයේ ඉඳන් සිංහල කවියේ මාත්‍රා ගණන, විරිත, ශබ්ද රසය, අනුප්‍රාසය ඇවිත් තියෙන්නෙ. ‘නළ බල සසල දල රළ පෙළ’, ‘අංග මංගජ මංගලෙන් වැඩි බිංගමෙන් මුණි පාකමල් වට....’ මේ ශබ්දාලංකාර එන්නේම ගැයීමට. අපේ ගද්‍ය සාහිත්‍යය ගත්තත් ඒවා ලියැවුණේ සජ්ඣායනයට. අතීතයේ සිදුවුණේ පුස්කොලයක යමක් ලියාගෙන අයෙක් එය කියවනවා, බොහෝ දෙනෙක් සවන්දෙනවා. ඒ කියවන දේ තුළ ශබ්ද මාධූර්ය නැත්නම් සවන්දෙන්න හිතෙන්නේ නැහැ. ඒ නිසයි අපේ පැරැණි ගද්‍ය සහ පද්‍ය සාහිත්‍යය ගැයෙන්නේ. ‘අමාවතුර’, ‘ධර්ම ප්‍රදීපිකාව’, ‘බුත්සරණ’ ගද්‍ය වුණත් ගීතවත් ලක්ෂණයි තියෙන්නේ. අද අලුත් කවියන්ට විරිතකට, තාලයකට, ඡන්දසකට ලියන්න බැහැ කවියක්. ලියන්නේ නිසඳැස්. ඒත් ආසයි ඔවුන් මිහිරිව ගැයෙනවා නම් ඒ නිසඳැස්.
ඔබ එහෙම කියද්දි මට සිහිවෙන්නේ අමරසේකරයන් කවිය ගැන කියූ දෙයක්. ඒ තමයි “කවිය රසිකයාගේ හදවතට ගෙන යන යානය රිද්මය” බව...
ඔව්, ඉස්සර වෛද්‍ය ශාස්ත්‍රය පවා කවියට නැඟුවනෙ. හේතුව ගායනා කරන්න හැකි ආකාරයට ලිව්වාමයි මතකයේ ඉන්නේ. අද කවියට මොන සම්මාන දුන්නත් ඉන් කවි පවතින්නේ නැහැ. මිනිසුන්ගෙ හිතේ කවි ගැයෙන්න ඕනෑ. කොළඹ යුගයේ සිටි කුමාරගම කවියා කවි ලිව්වෙම හතර පදයෙන්. ඔහු ඒ ශාස්ත්‍රය දන්නවා. සිංහලයා මේ පොළොවෙන් නැතිවෙලා යන තුරුම සිව්පද විරිත පවතිනවා. අමරසේකර කියනවා වගේ හදබස ගැයෙනවා.
මේ කවිවල ශෘංගාරය වගේම සොබා සෞන්දර්ය ජීවමානයි...
ස්ත්‍රිය, ප්‍රේමය, සෞන්දර්ය මේවා එකිනෙකට බැඳුනු දේවල්. කාලිදාස තම ප්‍රියාවටයි මේ සෘතු වර්ණනා කරන්නේ. එක් පසෙකින් ස්වභාවධර්මයේ තියෙන දේ වර්ණනා කිරීමත් සමඟ ප්‍රියාවගේ අලංකාරයත් වර්ණනා වෙනවා.
රතියටයි අපි සෙක්ස් කියන්නේ. ‘සේක්ස්’ නරක දෙයක්, වනචර දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් සහජයෙන් එන ඒ ආසාව රසවත් වුණාමයි එය ශෘංගාරය වෙන්නේ. මුලදි ඒක රතිය. ඒක වඩා අලංකාර කර, මිහිරි කළාමයි සාහිත්‍ය රසය එන්නේ. අමුවෙන් නොකියා අපිට හිතාගන්න කීමයි අපූර්වත්වය වෙන්නේ.
මේ පරිවර්තනය රසවත් කාව්‍යයක් වෙන්නේ ඔබ තුළ ඉන්න කවියා අවදිවීමෙන්...
ඔව්, මෙය ටී. එස්. ධර්මවර්ධන, ආරියපාල ගුණසේන, පියදාස නිශ්ශංක, මගේ මිත්‍රයා සුචරිත ගම්ලත් සිංහලයට නැඟුවා. හැබැයි ඒ එකකින් හෝ මතුවුණේ නැහැ සංස්කෘත කවියේ මිහිර. ඉන් මතුවෙන්නේ පණ්ඩිත භාෂාව. මිහිර එන්නේ අපි තෝරගන්න වවනවලින්, යෙදුම්වලින්. එය වෙනම කලාවක්.
ඒ කලාව ඔබට පිහිටන්නේ කොහොම ද?
මම සම්භාව්‍ය සාහිත්‍යය හදාරා තියෙනවා. මෙහි සියලු ගෞරවය යන්න ඕන ගුත්තිලයටයි. සැළලිහිණියටයි. පැරැණි කාව්‍ය අතරේ ගුත්තිල කාව්‍යයේ සහ සැලළිහිණි කාව්‍යයේ වචන මාලාව සදාකාලිකයි. “මැණික් ගඟේ කොහෙන් අත දැම්මත් අහුවෙන්නෙ ඔපමට්ටම් වුණු තිරිවාන ගල්. ඒ වගේ තමයි ගුත්තිලයත් මැණික් ගඟක්. එහි කොහෙන් කවියක් ගත්තත් තියෙන්නෙ ඉතා රමණීය, ඔපමට්ටම් වුණු සුන්දර වචන. ඒවායින් තොරව කවියක්, ගීතයක් ලියා වැඩක් නැහැ.” මෙහෙම කිව්වෙ මානවසිංහයන්. සම්පූර්ණ ඇත්ත. මම හුඟක් පාවිච්චි කරල තියෙන වචන ගුත්තිලයෙ, සැලළිහිණියෙ වචන. අද කවියො ගුත්තිලයෙ, සැලළිහිණියෙ කවි කියවා නැහැනෙ. ඒ නිසා ඔවුන්ට වචන නැහැ.
ඇයි අලුත් කවියෝ ‘සෘතු සංහාරය’ කියැවිය යුත්තේ...
සංස්කෘත පණ්ඩිතයන්ගෙ භාෂාවක් බවයි බොහෝ දෙනා හිතන්නේ. ඉගෙනගෙන වැඩක් නැහැ, එහි තියෙන්නේ ව්‍යාකරණ, උපදේශ පමණක් බවයි ඔවුන් හිතන්නේ. ඔවුන් දන්නේ නැහැ මෙහි ඇති සාහිත්‍ය රස. හේතුව සංස්කෘත කාව්‍ය රමණීය විදිහට සිංහල කවියට නැඟී නැතිවීම. අද ජර්මන්, ප්‍රංශ, ඉතාලි ජාතික උගතුන් සංස්කෘත හදාරනවා. ඔවුන් සංස්කෘත කවි තම භාෂාවලට පරිවර්තනය කරනවා. ඒ තරම් වටිනා සාහිත්‍යයක් සංස්කෘතයේ තියෙනවා. මේ කවි ටික අලුත් කවියෝ කියෙව්වොත්, දැනෙයි සංස්කෘත කාව්‍යයේ වටිනාකම.
මේ දවස්වල ඔබ මොනවාද කරන්නේ...
‘ශෘංගාරතිලකය’ සිංහලයට පරිවර්තනය කරමින් ඉන්නේ. මෙයත් කාලිදාසටයි පවරා තියෙන්නේ. එහිත් තියෙනවා කාලිදාසගේ රසය. ඒත් ඒවා කාලිදාස ලියූ බව ඔප්පු කරන්න සාධක නැහැ. නමුත් එය සංස්කෘත කාව්‍යයක් ලෙස රසවත්.
මොමූහ දශකයේ පසුවන ඔබ තවමත් ශෘංගාරයත් එක්ක...
මැරෙන තුරු මිනිස්සුන්ගෙ ජීවිතයේ ශෘංගාරය තියෙන්න ඕන. ශෘංගාර රසය නිසා ආයුෂ වැඩිවෙනවනෙ. මගේ මිත්‍රයා සිරිලාල් කොඩිකාර අවුරුදු අනූතුනේදි කාම සූත්‍ර කියෙව්වා. දවසක් ඔහු මාත් එක්ක කිව්වා ‘මචං කාම සූත්‍රයෙ නැත්තෙම කාමයනෙ’ කියල. සාහිත්‍ය කලාව ජීවිතයේ දිගටම තියෙන්න ඕන.
සාහිත්‍යය, කලාව එක්ක මේ දිගු ගනුදෙනුවට මඟ පෑදුණ හැටි මතක ද?
සාහිත්‍ය රසය මට ඉඳුල්ගැන්වුණේ මගේ මුල්ම පාසල කළුබෝවිල බුද්ධඝෝෂ විදුහලේදි. ඒ පාසලට දවසක් ආවා ජාතික ඇඳුම අඳින, ඒ ඇඳුමෙ බැනියම කකුල් දෙක ගාවට ගෑවෙන, වේට්ටිය ඇඳලද කියල පේන්නේ නැති හීන්දෑරි ගුරුවරයෙක්. ඔහු අපට ඉගැන්වුවා ගුරුළුගෝමිගේ අමාවතුරෙ දිට්ඨ මංගලිකා කතාව. එතනදියි මට සම්භාව්‍ය සාහිත්‍යය හදාරන්න ආසාව ආවෙ. කවුද ඒ ගුරුවරයා... මැන්දිස් රෝහණධීර. ඔහු නිට්ටඹුවෙ ගුරු විද්‍යාලයේ ඉගෙනගත්ත, මහගම සේකරගෙ සමකාලීනයෙක්. පළමු ගුරු පත්වීම අරගෙන ආවෙ අපේ පාසලට. එතකොට ඔහු ප්‍රසිද්ධ නැහැ.
අනෙක අපේ ගමේ ඒ දවස්වල හැම සෙනසුරාදාවකම කොහේ හෝ නිවසක තොවිලයක්. පහතරට බෙර තාල, රිද්ම, ගායනා, නර්තන; මම හිතන්නේ සෞන්දර්යය, මාධූර්යය, සාහිත්‍යය ගැන උනන්දුවක් ඇතිවෙන්න බීජ රෝපණය වෙන්න ඇත්තේ, සෞන්දර්ය රසයට මගේ හිත සකස්වෙන්න ඇත්තේ ඒවායින්. අදත් යක් බෙරයක හඬ ඇහෙද්දි මා නැටවෙනවා. උඩරට බෙරේ වගේ නෙවෙයි, යක් බෙරේ. උඩරට නැටුම්වල නැති අනන්ත රිද්ම තියෙනවා පහතරට.
ඔබ තුළ සිටින සෞන්දර්යාත්මක මිනිසා නොනසා නඩත්තු කරන්නේ කොහොම ද?
මුලින්ම සමසමාජ පක්ෂයේ තරුණ සමිතිවලට තමයි බැඳුනෙ. කොල්වින් ආර්. ද සිල්වා තමයි අපේ මන්ත්‍රී. එතැනින් තමයි මාක්ස්වාදී දැක්ම මුලින්ම ආවෙ. හැබැයි මාක්ස්වාදී දේශපාලනයේ තිබුණේ නැහැ සෞන්දර්යය, කලාව. ඒ වුණත් සමසමාජ දැක්ම අප තුළ ඇති කළා පීඩිතයො ගැන මානුෂීය හැඟීමක්. සමසමාජ, කොමියුනිස්ට් පිරිහෙන්න හේතුව ඔවුන්ගේ තිබුණෙ නැහැ සෞන්දර්යය, සාහිත්‍යය. අපේ කිසිම වාමාංශික නායකයෙක් දන්නේ නැහැ පැරැණි සාහිත්‍යය. මව් භාෂාව දන්නෙත් නැහැනෙ. නමුත් එය මට බාධාවක් වුණේ නැහැ මගේ දේශපාලන දැක්ම අහක දාන්න. මගේ ගුරුවරුන්ගෙන් සාහිත්‍යය ඇඟට ආවා. මම මාක්ස්වාදියෙක් වුණාට මගේ හිත වැඩුණේ සාහිත්‍යය, සෞන්දර්ය එක්ක. ඒක කොයිතරම් තදට රෝපණය වුණාද කියනවා නම් එය කිසිදා නොසිඳෙන ධාරාවක්. මියෙන තුරු තව තව වැඩෙනවා.

සංවාදය - ලක්මාල් බෝගහවත්ත
මෙම සංවාදය මුල්වරට සති අග 'අරුණ' ජාතික පුවත්පතේ (2025 -10 -12) දින පළ විය.
(මෙම ලිපිය 'Suranga Indika Lakmal Bogahawatta' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



