lan englan tam

විශේෂාංග

බුද්ධිමත් මිනිසුන්ට සාන්තුවර චරිත කතා අවශ්‍ය නැහැ -අරුන්දතී රෝයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Subhashini Chathurika- 

අරුන්දතී රෝයි'Mother Mary Comes to Me' නමින් තම ජීවිත මතක සටහන් ඇතුළත් කෘතියක් පසුගිය සැප්තැම්බර් දෙවෙනි දා එළි දැක්වූවාය.

එය යහපත් පක්ෂය පමණක් දකිමින් ලියන ලද චරිතාපදානයක් නොවන අතර එය මවක සහ දුවක අතර වූ, ලේඛිකාවම පවසන පරිදි “න්‍යෂ්ටික ශක්තීන් දෙකක් අතර පැවති ගෞරවාන්විත සම්බන්ධයක්” පිළිබඳ ලියැවුණු නිර්දය ලියැවිල්ලකි.

 

“මගේ මනස තුළ ඇය ඕනෑම යෝධ පුවරුවකට වඩා දැවැන්තය, ඕනෑම ප්‍රචණ්ඩ ගංගාවකට වඩා විනාශකාරීය, වර්ෂාවට වඩා නොසන්සුන්ය, මුහුදකට වඩා විද්‍යාමානය” අරුන්දතී එම කෘතියේ ‘Gangster' නම් පළමු පරිච්ඡේදය තුළ තම මව පිළිබඳ සඳහන් කොට තිබුනේ එසේය.

ඉන්දියානු ලේඛිකා අරුන්දතී රෝයි ආසියානු කලාපයේ අප පමණක් නොව මුලු මහත් සාහිත්‍ය ලෝකයම හොඳින් දන්නා ලේඛකාවකි. 1997 වසරේ ඇයගේ පළමු ප්‍රබන්ධ කෘතිය වන 'The God of Small Things' සාහිත්‍ය නිර්මාණය, බුකර් සාහිත්‍ය සම්මානයෙන් ඇගයුම් ලැබීමෙන් පසු එක රැයින් ඇය ලෝකයේ සියළු සාහිත්‍ය ලෝලීන් හොඳින් දන්නා ලේඛිකාවක බවට පත් වූවාය.

වැඩි වශයෙන් ඉන්දියාවේ පීඩාවට පත් සහ පරිධියේ ජනතාවගේ තීව්ර අරගල පිළිබඳ ලියමින් සිය ලේඛක ජීවිතය ගතකරමින් සිටි අරුන්දතී රෝයි, එකවරම ලැබුණු ප්‍රසිද්ධිය නිසා මහත්සේ අපහසුතාවට පත් වුණු බව විටෙක ඇය සඳහන් කොට තිබුණාය. ඉන් වසර විස්සකට පසු, 2017 වසරේ ඇය සිය දෙවැනි සාහිත්‍ය කෘතිය වන The ministry of utmost happiness ප්‍රකාශයට පත් කරන අතර කාලය එළැඹෙන විට ඇය ඉන්දියාවේ විවිධ මට්ටමින් සිදුවන අසාධාරණකම්, ඉන්දියාවේ කුල සැකැස්මේ සිට මුස්ලිම්වරුන්ට සිදුවන කෙණෙහිලිකම් දක්වා පීඩාකාරි තත්වයන් සේම, විශේෂයෙන් ඉන්දියාව විසින් පාලනය කරන කාෂ්මීර භූමි භාගය පිළිබඳ ලිපි බොහෝ ගණනක් ලියා තිබුණාය. එම ලිවීම් සහ ඇය‍ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා ඇය නරේන්ද්‍ර මෝදි පාලනය තුළ‍ දේශපාලන ගොදුරක් වීමේ අවදානමට ද මුහුණ දී සිටින්නීය.

වයසින් වැඩෙත්ම අපේ ජීවිත මත අපගේ දෙමව්පියන් ඇති කළ බලපෑම පිළිබඳ තේරුම්ගැනීමට අප මහත් පරිශ්‍රමයක් දැරීම නිතරම පාහේ සිදුවන්නකි.

ලේඛිකා අරුන්දතී රෝයිට එම තත්වය උදා වූයේ, 2022 වසරේ ඇයගේ මවගෙන් මරණින් පසුවය, එහි ප්‍රථිපලයක් ලෙස Mother Mary Comes to Me නම් ජීවන මතක ඇතුළත් කෘතිය බිහි වූ අතර එය පසුගිය සැප්තැම්බර් දෙවෙනි දා පාඨකයා අතට පත් වූ මොහොතේ සිට එය පාඨක සහ විචාරක අවධානය නොමඳව දිනාගන්නා කෘතියක් බවට පත් ව ඇත. “මා මෙය ලියා තබන තුරු වෙන කිසිවක් මට ලිවීමට හැකි වූයේ නැහැ” ඇය පවසන්නීය. “ම‍ගේ ළතැවුලේ තීව්රතාව පිළිබඳ මා කම්පනයට පත් වූවා”

අරුන්දතී රෝයි ගේ මව, මේරි රෝයි යනු ඇයගේ පුද්ගල ස්වභාවයත්, ක්‍රියාකලාපයත් නිසා සුවිශේෂි චරිතයක් ලෙස හැඳින්විය හැකි කාන්තාවකි. අධ්‍යාපනික සුදුසුකමක් ලෙස උපාධියක් අතැතිව සිටි ඇය තම ස්වාමි පුරුෂයාගෙන් වෙන් වී දරුවන් දෙදෙනෙකු සමඟ තනි වුවද, 1967 වසරේ කේරළයේ රොටරි සමාජයට අයත් ගොඩනැඟිල්ලක පාසලක් ආරම්භ කර, ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සිදු කළාය. එසේම එම ප්‍රදේශයේ ක්‍රිස්තියානි කාන්තාවන්ගේ, උරුමයෙන් ලැබිය යුතු අයිතිවාසිකම් තහවුරු කිරීමේ තීරණාත්මක උසාවි නියෝගයක් ද මහත් වෙර වීරියෙන් ලබා ගත්තාය. ඇය ජනසමාජයක් ඉදිරියේ පරමාදර්ශී චරිතයක් වුවත්, ඇයගේ දරුවන් ඉදිරියේ, එකවරම ඇය තුළ පැන නැ‍ඟෙන ප්‍රචණ්ඩ කෝපය පාලනය කර ගැනීමට අසමත්, දරුවන් බියට පත් කරන අම්මා කෙනෙක් වූවාය.

මෙම කෘතිය තුළ, අරුන්දතී ගේ මව, මේරි රෝයි සමඟ ඇයගේ පැවති සංකීර්ණ සබඳතාවය පිළිබඳ වූ කතාන්දරය අඩු වැඩි වශයෙන් පෙළ ගස්වයි. රෝයි පවසන පරිදි, මේරි ගේ එකවර “ කඩාපැන පහුරුගාන වියරුව’ ඇය සහ ඇයගේ සොහොයුරා යන දෙදෙනාම මත කැළැල් ඇති කළේය. මේරි ගේ තවත් පැත්තක් පැවතුණි: ඒ ඇය ඉන්දියාවේ අධ්‍යාපනය සහ කාන්තාවන්ගේ අයිතිය පිළිබඳ සටන් වැදීම වෙනුවෙන් ඇය ඉටු කළ කාර්ය භාර්යය. එය අරුන්දති රෝයිගේ මහත් පැසසුමට ලක් වූ ක්‍රියාවකි. එම නිසා මෙම කෘතිය රෝයිගේ මව පිළිබඳව පමණක් නොවේ, එය ලෝකයේ වේදනාවන් සහ විඳවීම් හෙළි කිරීමට අධිෂ්ඨානය කරගනිමින්, අරුන්දතී රෝයි නම් මහා සාහිත්‍යය පෞර්ෂ්‍යයට, ‌ඒලෙසින් පරිණාමය වීමට බලපෑ මුල් සොයා යෑමක් ලෙස ද හඳුන්වා දිය හැකිය.

 

පහතින් දක්වා ඇත්තේ Indianexpress සහ nyktimes වෙබ් අඩවි වල පළවුනු, අරුන්දතී රෝයි සමඟ සිදුකළ සංවාද ඇසුරින් සකස් කළ සටහනකි.

සංවාදකයා - 'Mother Mary Comes to Me' කෘතිය තුළ ඇත්තේ දරුණු ලෙස ඔබට සුවිශේෂී පෞද්ගලික කාරණා. ඔබගේ මව, ඔබ සහ ඔබගේ සොහොයුරා සමඟ තිබුණු ඇයගේ සබඳතාවය, ඇය‍ගේ පෞර්ෂ්‍යය - ඒ සියල්ල පිළිබඳ ඔබ ලෝකයාට හෙළිදරව් කරමින් ලියලා. එසේ ලියා තැබීමෙන් ඔබ තුළ වූ ළතැවුල, අම්මා නැතිවීමේ වේදනාව සමඟ කිසියම් සංහිදියාවකට පැමිණිමට ඔබට හැකි වුණාද ?

අරුන්දතී රෝයි - ඇත්තටම නැහැ. මම හිතන්නෙ ඔබ ඒ පිළිබඳ ලිව්වත් නැතත් එවැනි සිත් වේදනාවක් සුවපත් වෙන්න කාලයක් ගන්නවා. මම ඇත්තටම ඒ කෘතිය ලිව්වෙ, රෝයි මහත්මිය, කිසියම් සුන්දර පුද්ගලයෙකු, ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ලෙස පමණක් නොව, ඇයගේ මුළු පැවැත්මම සහ ඇයගේ විවිධ පුද්ගල ස්වභාවයන් සාහිත්‍යයේ ඉඩක් ලබා ගැනීමට සුදුසුයි කියලා හිතපු නිසා. ඇයව සුවිශේෂී පුද්ලයෙකු බවට පත් කළ සමහර දේවල් කොහොත්ම ලස්සන දේවල් වූනේ නැහැ.

 

-ඔබ‍ගේ පළමු නවකතාව God of Small Things කෘතියත් ඉතාමත් පෞද්ගලික කාරණා ඇතුළත් ලියවිල්ලක්. ඔබට දැනෙනවද පුද්ගලික ජීවිතයේ කාරණා එසේ ලීවාම ඔබ සමාජයට නිරාවරණය වනවා වැනි හැඟීමක්? නැතිනම් මිනිසුන් එය වටහා ගන්නේ කෙසේදැයි පිළිබඳ ඔබ වද වෙනවා ද?

මම ඒ ගැන සැළකිලිමත් වෙන්නේ නැහැ, මොකද ඇයත් ඒ ගැන සැළකිලිමත් වුයේ නැහැ. සහතික වශයෙන්ම මමත් මගේ ‍සහෝදරායත් ඇයගේ අන්ධකාරය බොහෝ සේ අපට තුළට අවශෝෂණය කරගත් අය. ඒත් අපි දිගින් දිගටම මහජන මතය ගැන විමසා බැලුවා නම් ඇය කළ කිසිදෙයක් ඒ ලෙස කරන්න හැකි වෙන්නේ නැහැ, මම කළ සහ ලියූ කිසිවක් ඒ ආකාරයෙන් කරන්න හැකි වන්නේත් නැහැ.

 

- මවක් සහ දියණියක් අතර ඇති සබඳතාවයේ කිසියම් සුවිශේෂිි බවක් තියෙනවා. එහි ආදරය කිරීම, භේද වීම වැනි හැමදේම තියෙනවා. බොහොමයක් දූවරුන් එයත් සමඟ ප‍ොරබදනවා..

බොහොමයක් මව්වරුත්.. අප එය අමතක නොකළ යුතුයි. මට දැනෙන්නෙ මේ කෘතිය ඇත්තටම මවක් සහ දියණියක පිළිබඳව නොවේ කියලා. එය ඇත්තමට මවක වූ දුවක් පිළිබඳව, වැඩිහිටියෙක් බවට පත් වුණු දුවක්, වැඩිහිටියකු ලෙස ඇයත් සමඟ ගනුදෙනු කරන ආකාරය කියැවෙන කෘතියක්. එම කෘතිය මා සදහටම දරුවෙකු බවට පත් කොට, කරන කන්කෙඳිරි ගෑමක් නොවෙයි. ඇත්ත, එය මට ගොඩක්දුෂ්කර වුනා. ඒ් වගේම ඇයටත් එය බොහෝ සෙයින් දුෂ්කර වුනා. එහි ක්‍රියාවලියක් තිබුණා, මම එය සරල කළා පමණයි.

බටහිර ස්ත්‍රීවාදී ව්‍යාපාරය වර්ධනය වෙමින් පැවති කාලයේදී එම ව්‍යාපාරයට හානි කිරීම සඳහා ‘අම්මා’ කලු චරිතයක් බවට පත් කලා. ඒත් මෙහෙ, අම්මාව දිව්‍යමය චරිතයක් බවට පත් කිරීමට කාන්තාවන් මත දැඩි පීඩනයක් ඇති කළා, ඒ නිසා සමාජය විසින් පටවන ලද හැසිරීමක් තුළ සිර වෙන්න ඔවුනට සිදු වුණා. මේ කාරණා දෙකේදීම කාන්තාවන්ට නිදහසේ හුස්මක්වත් ගන්න බැරි, අත්වැරදීමක් සිදුකරන්න හෝ තරහ ගන්නවත් නිදහසක් නැති තත්වයක් ඇති වුණා. ඒ නිසා මට හැ‍ඟෙන දේ තමයි අප මව්වරු සහ දූවරු පිළිබඳ සමාජයේ මුල් බැසගත් හණමිටි අදහස් මත සිර නොවිය යුතුයි කියන එක.

 

- And Mother Mary Comes to Me ලෙස ඔබගේ කෘතියට නම දැමීම සිදුවුනේ කොහ‌ොමද? ඔබ බීට්ල්ස් සංගිත කණ්ඩායමට සවන් දෙමින් සිටියා ද?

පැහැදිලිවම. මෙය rock n roll පොතක් වුනේ කොහොමද කියන එක ගැන බොහොමයක් දෙනා මාත් එක්ක කතා කරන්නේ නැහැ. එය බීට්ල්ස් ලා ගේ‘Let it be’ කියන ගීතය නිසා සිදු වූවක්. මම පොතේ පෙරවදන‌ේ ඒ් ගැන සඳහන් කොට තිබෙනවා. බීට්ල්ස් සංගීත කණ්ඩායමේ පෝල් මැක්කාර්ට්නිගේ අම්මගේ නමත් මේරි, ඔහු ගොඩක් ලාබාල වයසේදී ඇය මිය ගියා. මගේ අම්මා එයාගේ අම්මා නොවෙයි( සිනාසෙයි). පොත ලියමින් සිටියදී ඒ් ගීතය සමනළයෙක් වගේ ඇවිත් මගේ අතේ මැණික්කටුව මත වැහුවා. එවෙලේ මම හිතුවා මගේ පොතේ නම Mother Mary Comes to Me මිසක වෙන එකක් නොවෙයි කියන එක.

 

- ඇයි ඇයගේ මරණින් පසුව මේ කෘතිය ලියන්නේ?

මොකද ඇයගේ මරණය පිළිබඳව මා දැක්වූ ප්‍රතිචාරය මා කම්පනයට පත් කළා. මම කම්පනයට පත් වුණා වගේම මා අවමානයට ලක් වුණා, මොකද මට තේරුම් ගන්න නොහැකි වුනා මම ඇයි ඒ්තරම් කඩා වැටුනෙ කියන එක. මමත් ලාබාල වයසෙ නෙමෙයි, ඇයත් තරුණ වයසේ නෙමෙයි උන්නෙ. මට වයස අවුරුදු තුනේ ඉඳලා දැන් වෙන තුරු මට ඇයට කතා කරන්න හැකි වෙලා නෑ, ඇයට ඇදුම රෝගය තිබුණ නිසා. හැමදේම මගේ ඇතුළෙම තියාගෙන ඉන්න සිදුවුනා. මම සිදුවුණු කිසි දෙයකට කිසිම දාක කිසිම දෙයක් කියලත් නෑ, කිසිම ප්‍රතිචාරයක් දක්වලත් නෑ. එහෙත් මම ඒ් භාවාතිශය කප්පම් ඉල්ලීමේ සීමාව ඉක්මවා ගිය කාලයේදී පවා මට ඇයව පරාජය කරන්න අවශ්‍ය වුනේ නැහැ. මට නිතරම ඕනෑ කළේ ඇය රැජිනක් ලෙස පිටතට යනවා දකින්න, ඇය එහෙම තමයි පිටතට ලෝකයට ගියේ. මට අවශ්‍ය වුනේ මේ අසාමාන්‍ය පුද්ගලයා මොනවද ඇත්තටම කලේ කියන එක වඩාත් අවංක ලෙස ලියා තබන්න.

 

මේ කෘතියේ එක් සිදුවීමක් විස්තර වෙනවා, ඔබ ගුවන් යානයක, චෙන්නායි වල සිටින නැන්දා කෙනෙකු ගේ නිවසේ සිට ආපසු පැමිණෙමින් සිටි ගමනකදී, ඔබ කිසියම් මෝඩ ප්‍රශ්නයක් අසමින් අම්මාව කෝපයට පත් කරනවා. ඇය ඔබව අනුකරණය කරමින් ඔබට උපහාසයට ලක් කරමින් ඔබව ඇය අපහසුතාවට සහ ලැජ්ජාවට පත් කරනවා. ඒ සැණින් ඇය කියනවා ‘ මමයි තාත්තයි ඔයාට දෙගුණයක් ආදරෙයි’ කියලා. ඒ එකිනෙකට පරස්පර පුද්ගල ස්වභාවයන් දෙකක්...

එය මාව විනාශ කරමින්, එකලස් කරමින්, නැවත ඉරා දමමින් නැවත එළලමින් සිදුවුණු නොනවතින ක්‍රියාවලියක්. එය අපේ සබඳතාවය තුළ පැවති යුද්ධයේ වැඩිමනත් කොටසක්. එහෙත් මම අල්ලාගෙන සිටියෙ මාව එක්කාසු කරන කොටස තුළ. යම්හෙයකින් මම පලා නොගියේනම් මාව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඉඩ තිබුණා. ඉතින් මම පලාගියා.

 

- රෝයි මහත්මිය කියන්නෙ කේරළයේ ජීවත්වුණු දැවැන්ත පෞර්ෂයක්. ඇය එම ප්‍රදේශයේ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ජීවිත වෙනස් කළා. දැන් ඔබ මේ කෘතිය එළි දක්වනවා. එය සැබවින්ම චක්‍රාකාර මාර්ගයක ගමන්කොට නැවත මනා අවබෝධයකින් යුතුව ආරම්භක ස්ථානය වෙත පැමිණීමක්?

එය ආදරයේ සහ ගෞරවයේ සළකුණක්. මිනිසුන්ගේ බුද්ධිය පිළිබඳ විශ්වාසය තැබීමක්. එවැනි මිනිසුන්ට සාන්තුවර චරිත කතා අවශ්‍ය වන්නේ නැහැ. ඔබ කිසිවෙකුට ආදරය කරනවා, නමුත් ඒ අය සංකීර්ණ චරිත. ඇය ඒ ප්‍රදේශයේ කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබා දීමට පමණක් නොවෙයි සටන් කළේ. කාන්තාවකට පරිපූර්ණ මවක් නොවී සිටිමේ අයිතිය, කීකරු කාන්තාවක් නොවී සිටිමේ අයිතිය වෙනුවෙන් ඇය සටන් කළා. ඉතින් අපට හැකි වෙන්න ඕනෙ නරක කාන්තාවක් වීමේ අයිතියත් ඔවුනට ලබා දෙන්න. මට අවශ්‍ය වුනේ ඒ අයිතිය ඇයට මගේ කෘතිය තුළින් ලබා දෙන්න.

 

- ඔබගේ ලිවීමේ ක්‍රියාවලිය කුමක්ද? ඉතාමත් පෞද්ගලික දේවල් ගැන ලියන්නෙ කොහොමද? එය ප්‍ර‍බන්ධ නොවන කෘතීන් ලියනාකාරයට වඩා වෙනස් ද?

නිර්මාණය සිදුකරන ශානරය අනුව එය වෙනස්වනවා, නමුත් ලේඛකයකුට තිබිය යුතු විනය සහ ශිල්පීය ක්‍රම භාවිතය සම්බන්ධව එය එතරම් එකිනෙකට වෙනස් නැහැ. ඔබ ශාස්ත්‍රීය ලිපියක් හෝ නවකතාවක් හෝ කුමන ආකාරයක සාහිත්‍ය ලියවිල්ලක් ලියූවද එයට අනන්‍ය වූ භාෂාව, සැකැස්ම එහි වාග් සම්ප්‍රදාය පිළිබඳ පර්යේෂණ කළ යුතුයි. ලියනවා කියන්නෙ දිවා රෑ දෙකේදීම ඒ ගැන සිතුවිල්ලේ සිටීම. ඒ ගැන කල්පනා කිරීම, ඒ සමඟ නින්දට යාම, ඒ සමඟ සෙල්ලමේ යෙදීම..

 

- අරුන්දතී ඔබ ලේඛිකාවක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස, ඔබගේ මතක සටහන් ඇතුළත් කෘතියේ සඳහන් කොට තිබෙනවා, ඒ් භූමිකා ද්විත්වය ඔබගේ ජීවිතයට සම්බන්ධකරන ආකාරය පිළිබඳව ඔබ කොතරම් නම් එකඟ නොවෙනවා ද කියන එක..

ඔව්. මම කෘතිය තුළ ඒ් පිළිබඳව ඉතාමත් උපහාසයෙන් අදහස් දක්වනවා. මට තේරෙන්නේ නැහැ ඇයි මිනිස්සු හිතන්නේ මම සමාජ ක්‍රියාකාරිනියක් කියලා. මිනිස්සු එහෙම හිතන්නෙ, එයාලා තීරණය කරලා තියෙනවා ලේඛකයාගේ කාර්යභාරය මිනිසුන් පිනවීම මිසක, කාලීන යුගයේ දේශපාලනය ගැන ලිවීම නොවෙයි කියන ඒක. අතීතයේ ලේඛකයෝ ඒ් කාර්යයන් දෙකම සිදු කළා, ඒ්ත් දැන් අපි හිතන්නේ අප කිසියම් නිර්මාණයක් කිරීමත් වෙළඳපළ තුළ එයට ඉඩක් ලබා ගැනීම පමණක් තමයි ලේඛකයාගේ කාර්යය, දේශපාලනික වැඩ අනෙක් අය කළ යුතුයි කියලා. එය ඇත්තටම ලේඛකයාගේ කාර්ය භාරය සුළු කොට තැකීමක්.

 

ඊළඟට ඔබ කරන්නේ කුමක් ද?

මම ව්‍යාපෘති වල වැඩ කරන්නේ නැහැ. කිසිවෙක් මට කියා තිබෙනවා, මම ලියන්නෙ ඔවුන් මාව දැනටමත් මරා දමලා ඇති විටක වගෙයි කියලා. ඔබ දැන් යමක් කර අවසන් කළා පමණයි, ඉතින් තව කිසිවක් නැහැ. මට මාව නැවත සොයාගන්න සිදු වෙනවා. ඔබ යමක් කළාට පසුව, ටික කාලයකට ඔබ හිස්ව පැවතීම ගොඩක් වැදගත්.

 

සෙසු මූලාශ්‍ර - බීබීසි සහ ගාර්ඩියන් වෙබ් අඩවි

 

ලිපි සැකසුම - සුභාෂිණී චතුරිකා

(මෙම  ලිපිය මුල් වරට 2025.09.26 වැනි දින 'අනිද්දා' පුවත්පතේ (දේදුන්න) අතිරේකයේ පළවිය)

kemadasa

Back to top
Go to bottom