-Chulananda Samaranayake-
"කෙතරම් කැඩුනද බිඳුනද සෑම හදවතක්ම තිබුණාටත් වඩා ලස්සනටම ගොඩනැගිය හැකි බව වගකීමෙන් කියමි. බිඳුණු හදවත් ළඟ පමණක් ඇති ඒ අසීමිත ආදරය සහ සංවේදී මනුෂ්‍යත්වය තුළින්ම නැවතත් ආදරණීයව තිබුණාටත් වඩා ලස්සනට ගොඩනගාගත හැකි බව දන්නේ සීමිත පිරිසක් පමණි. ඉතින් පිපෙන්න එවන් ආදරණීය වින්ටේජ් හදවතක් තුළ මැග්නෝලියා මලක් වී ආදරයෙන්...."
මා උපුටා ගත්තේ නිර්මාණකාරිය සිය කෘතියෙහි අග පිටුවට එක්කරන ලද සඳහනය. මැග්නෝලියා යනු විවිධ දෑ සංකේතවත් කරනා කුසුමකි. ඉන් උදාරත්වය, පවිත්‍රත්වය, නොපසුබට උත්සාහය, අභිමානය, ශක්තිය, සමග අලංකාරය, ආදරය මෙන්ම වාසනාවද හඟවයි. මේ කෘතිය නිර්මාණකාරිය අතීතකාමී මනසකින් මේ සියළු දෑ කැටිකොට කෙටි ගද්‍ය පාඨ මෙන්ම කෙටි කවි සංකල්පනා ඇසුරින් තම හැඟුම් සන්නිවේදනය කරන්නට දරන තැත ය.
ජීවිතයේ තම නෙක සැරිසැරුම් සහ මතකයන්ද මානසික පීඩනය දෛනික අත්දැකීම කරගත් මනුෂ්‍ය ජීවිත කෙරේ වන සංවේදී බවද තම රචනාවන්ට ජවය සැපයූබව ඇගේ සටහන්හී ඇතුලත්ය. සෝවියට් සාහිත්‍යෙයන් ලද උත්තේජනය, පරිසරය හා වන බැඳීම ආදරයේ නෙක පැහැයන්ගෙන් වර්ණ ගන්වමින් ඇය තම සටහන් තුළ කැටි කරන්නීය. ඇය තම කවි නම් කරන්නී රස්තියාදු කවි යනුවෙනි. රස්තියාදුව යන්න සම්ප්‍රදායික වහර තුළ සැලකෙනුනේ නිෂේධාත්මක අරුතිනි. එහෙත් රස්තියාදුව යනු අති සුන්දර පැවැත්මක් බව සනාථ කරන්නෝ නිර්මාණකරුවෝමය.
මේ ඇය දකිනා වින්ටේජ් ආදරයයි.
මාගේ දුඹුරු හද තුළ
ලැගුම්ගත් වින්ටේජ් ආදරය නුඹම විය
ඉතින් පෙම්වත තවත් කුමටද සීමා මායිම්
යමු සමාජ යදම් බිඳ
ඇය තම කවියෙන් ඇරයුම් කරනුයේ සමාජය විසින් පනවනු ලබනා තහංචි බිඳ හැර දමනා හිතුවක්කාර ගමනකටය. අප නිතරම අගයනුයේ සුලබව ඇස ගැටෙන සුන්දරත්වයයි. එහෙත් අප කිසිදා නෙදකිනා සුන්දරත්වයක් ඉතා කලාතුරකින් වුව අප ඇස නොගැටෙන දේවල ගැබ්ව පවතී. ඒ දුලබ දසුන යනු බොහෝ කලාපයන් විදාරණය කරනා සරු උල්පත් යයි ඇය කියයි.
රෝස මල් ගැන දන්නවා වුනාට
කඳුකර ග්ලොක්ස්සීනියා මල ගැන දන්නෙ කවුද?
ඔව් හරියට නිතර දකින දසුන්
ඇස් ගෙඩි දෙකට හුරුවෙනවා වගේ
ඒත් ඇස ගැටෙන්නෙ නැති දසුන්
හරියටම කිවුවොත් කඳුකර මිටියාවතක
සදාකාලිකව සැඟවුනු රහස් දිය උල්පත් වගේ
ඇය කතක සතු විභවයන් සහ ශක්තිය සිය කවියෙහි ගැබ් කරන්නීය. සුන්රද ආදර වස්තුවක් සේම ඇය තුළ යටපත් කළ නොහැකි සවිමත් ආත්මයක්ද පවතින බව ඇය කියන්නේ මෙලෙසිනි. ඇය ඊට තබන නම වොඩ්කා සහ විලවුන් ය.
පිරිමි සිතක් මත් කරන්න
වොඩ්කා අවශ්‍යමද සෙර්ගෙයි ඉවනොවිච්?
නැහැ ලුද්මිලා ගැහැණියකට පුළුවන්
ගැහැණියකට ආවේනික විලවුක් සුවඳින් වුනත්
හතකි මත් කරන්න වගේම
මරන්නත් පුළුවන් සදාකාලිකවම
ඇගේ කවිය තමන් ඇසුරු කළ සාහිත චරිත හා විවිධ විෂයන් සමග වන සැරියක් ලෙසද කවි අතරට එයි. පාවෙල්, සෙර්ගෙයි, ජපන් කින්ට්සුග් කලාව , වීනස් සහ ඇපලෝ, ඕමාර් ආදී විවිධ අංග ඇගේ කවියෙහිදී රසිකයාට හමුවෙයි.
සාජහාන් යනු ආදරයේ සංකේතී චරිතයකි. එහෙත් ඇය සාජහාන් පිලිබඳ ඒ අදහසට පහරක් එල්ල කරයි.
සාජහාන්
මම කාටවත්ම කියන්නෙ නෑ
නුඹවන් අවස්ථාවාදියෙකත්ව ආදරයේ
Motivation එකක් කරගන්න යයි කියා
මොකද නුඹ හරි ලස්සනට ටජ් මහලින්
නුඹේ අවලස්සන ආදරයේ
නිරුවත වැසුවා
ලොවක ඇස් වසා
නිර්මාණකරණයේ යෙදෙන්නකුට මේ ප්‍රශ්ණ කිරීම ඇවැසිය. විමල් දිසානායක වරෙක මෙසේ කියා තිබුණා මට මතකය. සම්ප්‍රදාය හදාරන්න. ඉන්පසු එය බිඳ දමන්න. මේ ඉතා වැදගත් අදහසකි. සම්ප්‍රදාය බිඳින්නට නම් අප පළමුව එය මනාව හැදෑරිය යුතුය. නිර්මාණකරුවකුට මේ හැදෑරීම ඉතා ඇවැසිය. පැවති දෑ ප්‍රශ්ණ කරන්නට නම් පළමුව ඒ නිසි ලෙස දැන සිටිය යුතුය.
මේ ඇය තාක්ෂණ ලෝකයේ නූතන ආදරයේ පැහැය සිත්තම් කරනා අයුරයි. ඇය ඒ නම් කරන්නී 4G ප්‍රේමය යනුවෙනි.
මොඩර්න් ඇන්ඩ්‍රොයිඩ
4G ප්‍රේමය දෙස බලා
නොස්ටැල්ජීය ප්‍රේමය
ඉකිගසනවා ඇසුනි
‘අනේ කොලයක් අරන් වින්ටේජ් ආදර ලිපියක් ලියන්නකෝ"
ඇය යළි නවීන ආර්ථික රටාවන් හා ගලපමින් ප්‍රේමය ප්‍රශ්ණ කරන්නීය.
ප්‍රේමය කියන්නෙම
One Galle face shopping mall එක වගේ
එකකින් එකකට වෙනස් මිල ගණන්
ඉතින් කොහොමද හරි වටිනාකමක් දෙන්නෙ
ඇය මේ ප්‍රේමය සම්බන්ධයෙන් මතු කරන්නට තැත් දරනා අදහස් මානව සම්බන්ධතාවන්හී ඇතිව තිබෙනා විවිධ හැරවුම් සහ බිඳවැටුම් පිලිබඳව ඉලක්ක කරයි. එහෙත් ඇය තම කවිය තුළ නිගමනයන්ද පල කරන්නට උත්සුක නොවන්නේ නම් ඇගේ අදහස වඩා ප්‍රබලව ඉදිරිපත් කරන්නට ඇයට හැකි වනු ඇත.
බහුභාණ්ඩික ලෝකය තුළ, වේගී ගමනක දැනෙන සංතාපය ඇය තම කවියෙන් විග්‍රහ කරන්නට තැත් දරන්නීය. ඇය ඒ සඳහා සංසන්දනාත්මකව බලනුයේ නූතන සමාජයේ උත්කර්ෂයට නැගෙනා දැවැන්ත ෂොපිං මොල් සහ එහි කරනා සැරුම් සමගින් කෙමෙන් කෙමෙන් දැනෙන්නට ගන්නා විඩාවෙහි බර දෙසය. ඇය පළමුව තම කවියෙන් පෙර දවස මැජෙස්ටික් සිටිය තුළ ගැසූ රෝන්දයන්හී දැනුන ආහ්ලාදය සිහිපත් කර යළි එය දැන් නිමාව ඇති බවත් ඒ වෙනුවට වන් ගොල් ෆේස් සහ හැව්ලොක් සිටි වැනි වඩා නවීන දැවැන්ත කොන්ක්‍රීට් පියසි තුල නව ආහ්ලාදයන් නිර්මාණය වන බවත් කියයි. එහෙත් එහිද අන්තයක් ඇති බවත් ඉන්පසුව එළඹෙනුයේ විඩාබර හෝරාව බවත් ඇය සිහිපත් කරයි.
ඒත් මිනිස් පුලුටක් නැති පාළු පාරක යනකොට
ගස් වැල් සතුන් එක්ක හෝ ගාන වතුර ශබ්දය මැද
කැළයක් මැද ගතකරනකොට
ඒ පොෂ් හැඟීම දූවිලි වෙලා ගිහින්
ඇරෝමා සුවඳ මුසු අමුතුම ආත්මගත හැඟීමක් දැනුනා මට
දුලාංජලී නිර්මාණකාරියගේ සටහන් හී දක්නට ලැබෙනා අඩුව වනුයේ ඇය තම නිර්මාණයන් අදහස්මය ස්වරූපය ඉක්මවා කාව්‍යමය ප්‍රකාශනයන් බවට පත් කරන්නට දක්වන අඩු අවධානයයි. ඇය ඒ ගැන වැඩි අවධානයක් යොමන්නේ නම් තමන් ගේ වියමන් වඩා සාර්ථක කරගන්නට එමෙන්ම පුළුල් පාඨක කලාපයකට විවර කරන්නට සමත් වනු ඇත.
සටහන - චූලානන්ද සමරනායක
(ප්‍රවීණ ග්‍රන්ථ පරිවර්තක)
(මෙම සටහන "Chulananda Samaranayake" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



