lan englan tam

විශේෂාංග

"සාහිත්‍යකරුවා ශාස්තෘවරයකුට ළංවිය යුතු කෙනෙක්" - කැත්ලීන් ජයවර්ධන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

("අරුණ" ජාතික පුවත්පත)

කැත්ලීන් ජයවර්ධන මෙරට ප්‍රවීණ ලේඛිකාවකි. 1977 වසරේදී ඇය නවකතාවට අත්පොත් තබන්නේ ‘බලන් කඩතුරා හැර දෑසේ’ නවකතාව ලියමිනි.

දශක පහකට ආසන්න කාලයක් තිස්සේ නවකතාකරණයේ යෙදෙන ඇයගේ විසිදෙවැනි නවකතාව ‘ප්‍රවාහ’ සේරී ප්‍රකාශනයක් ලෙසින් පසුගියදා නිකුත් වුණි. කැත්ලීන් සමඟ මේ සංවාදය එම නවකතාව පිළිබඳවය.

 

සංවාදකයා -   ඔබේ නවතම නවකතාව ‘ප්‍රවාහ’. මේ නවකතාවට අදාළ වස්තු බීජය ඔබේ සිතේ පැළවෙන්නේ කොයි කාලයේදී ද?

කැත්ලීන් ජයවර්ධන - ඇත්තෙන්ම කිව්වොත් මේ නවකතාව ලියන්න ආරම්භ කරද්දි පැහැදිලි කතා වස්තුවක්, තේමාවක් මගේ ඔළුවෙ තිබුණේ නැහැ. කොහොමටත් මට ඕන වුණා මේ ලෝකය යන්නේ වැරැදි පාරක බව පෙන්වන්න. මේ කතාවේ කේන්ද්‍රීය චරිතය අභිලාෂ් වනසුන්දර හැමෝටම පේනේනේ පිස්සෙක් වගෙයි. ඒත් ඇත්තටම බැලුවොත් ඔහු හිතේ ඛ්‍යාම ප්‍රභා මණ්ඩලයක් ඇති චරිතයක්. සොබාදහමෙන් මිනිසා ඈත් වුණාට පස්සේ මිනිසා දියුණු යැයි සිතා කරන හැමදෙයක්ම මිනිසාගේ සතුට සඳහා කොයිතරම් දුරට උපයෝගී වුණාද කියන ප්‍රශ්නයත් එක්කයි මම මේ නවකතාවට මුල පිරුවේ. අද ලෝකය දියුණුයි කියනවානේ. හැම දේම ක්ෂණිකව කරගන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒත් මිනිසා දියුණුද කියන ප්‍රශ්නය මට තියෙනවා.

 

ඔබ මතු කරන කාරණයේ තවත් වැදගත් කොටසක් තියෙනවා. ඒ තමයි හැමදේම මිනිස් ශ්‍රමයෙන් සිදුකළ ඒ අතීතයේ විසූ මිනිසාට සංස්කෘතික සහ ආධ්‍යාත්මික ජීවිතයක් තිබුණා. අද ඒ හැම දේම ඉතා ඉක්මනින් සිදුකරගන්න පුළුවන්. ඒත් අද මිනිසාට සංස්කෘතික හෝ ආධ්‍යාත්මික ජීවිතයක් නැහැ...

ඔව්, අපේ අම්මලා අතින් තමයි හැමදේම කළේ. මට මතකයි ගෙදර හැම වැඩක්ම කරලා, අපේ අම්මා හවස් කාලයේ පත්තර කියවන්නත් දීර්ඝ කාලයක් ගත කළා. දැන් රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙනවා. ඒකෙනුත් වැඩියෙන්ම නරඹන්නේ වෙළඳ දැන්වීම්. ඒ දැන්වීම් අපිව උඩු යටිකුරු කරනවා. මොකද සබන් වර්ග පහක් ගැන දැන්වීම් ගියොත් ඒ හැම සබන් වර්ගයක්ම විශිෂ්ඨ බවයි කියන්නේ. ඒ නිසා අපි දැන් කරමින් ඉන්නේ අපිත් රැවටෙමින්, අනෙකාවත් රැවටීම.

 

සාහිත්‍යය, කලාව මිනිසාගේ සතුට වෙනුවෙන් යොදාගන්නෙ කොහොම ද?

අපි පන්සලට ගිහින් ගාථා කියමින් වන්දනා කරමින් ආගමෙන් බලාපොරොත්තු වෙන උපරි තලයට නැඟගන්න තියෙන හොඳම පාලම තමයි සාහිත්‍යය. ආගමෙන් දෙන ආධ්‍යාත්මික දියුණුව ලබන්න සාහිත්‍යයෙන් දෙන අවබෝධය ඉතාම වැදගත්. ගාථා කියමින් උදේ හවා මල් පූජා කරන මිනිසෙක්ට වඩා ආගමික මිනිසෙක්, සාහිත්‍ය පරිශීලනය කරන්නත් අතර ඉන්නවා. මම ආගමික යැයි කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයක ඉන්නවා කියන අර්ථයෙන්. ලියෝ ටොල්ස්ටෝයි ගත්තත් නියමම ආගමික මිනිසෙක්. මොකද ඔහුගේ ‘නවජීවනය’ කෘතිය කියෙව්වොත් අපි ආගමෙන් බලාපොරොත්තු වන විමුක්තියට ආපසු යන්න පුළුවන්. සාහිත්‍යකරුවා කියන්නේ ශාස්තෘවරයකුට ළංවෙන්න ඕන කෙනෙක්. මාර්ඝෝපදේශකයෙක්.

අනෙක සාහිත්‍ය කෘතියක් කියන්නේ අපට කාලය ගතකරන්න තියෙන එකක් නෙවේ. සාහිත්‍ය කෘතියක් කියවා අවසන් වුණාම අපි හිටි තැනින් එක් පඩියක් හෝ ඉහළට ගියා වගේ දැනෙනවා නම්, එයටයි මම සාහිත්‍ය කෘතියක් කියන්නේ. ඒ වගේ සාහිත්‍ය කෘති හුඟක් හමුවෙන්නෙ විදෙස් සාහිත්‍යයෙන්.

චින්ගිස් අයිත්මාතව් කියනවා සයුර මහා ඝෝෂාවක් කරන්නේ, රළ පෙරළා එවන්නේ ගොඩබිමක් ඇතිවුණාට පස්සේ මුහුදට ඇතිවුණු බාධකය නොසතුටට ගොඩබිමට ප්‍රකාශ කරන්න කියලා. මෙවැනි දේවල් උපකල්පනය කරන ලේඛකයන්ගේ යම් අඩුවක් දැන් මම අපේ රටේ දකිනවා.

 

අයිත්මාතව් කියූ කතාවත් සමඟ මතක්වෙන්නේ මාරියෝ වර්ගාස් කියූ දෙයක්. ඒ තමයි ‘සාහිත්‍ය කියන්නේ ජීවිතය ගැන තියෙන ගැඹුරු අතෘප්තියක ප්‍රතිඵලයක්’ බව...

මම විශ්වාස කරන්නෙත් එයයි. මම එහෙම කිව්වට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක එක් එක් ලේඛකයාගේ මට්ටම අනුවයි තීරණය වෙන්නේ.

 

මේ නවකතාවේ කේන්ද්‍රීය චරිතය ලෙස ගොඩනඟන අභිලාෂ් නිරාගමිකයෙක් ලෙසින් ගොඩනඟන්නයි ඔබ උත්සාහ කරන්නේ...

නිරාගමික චරිත විදිහට මේ සමාජය දකින බොහෝ දෙනා ආගමික වෙන්න පුළුවන්. අපි ආගමිකයි කියන්නේ පල්ලියට හෝ පන්සලට ගිහින් යාඥා කිරීම, ගාථා කීම. නමුත් ඒ කිසිවක් නොකර ඉන්න කෙනෙක්ට ආගමික වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් උසස්වෙනවා කියන එක. බුදුන්වහන්සේ දේශනා කළේ සත්‍ය නේ ද? කියන ප්‍රශ්නය ඇසූ මොහොතක ක්‍රිෂ්ණමූර්ති එයට හරි අපූරු පිළිතුරක් දෙනවා. “බුදුන්වහන්සේ උන්වහන්සේගේ සත්‍ය සොයාගත්තා, ඔබ ඔබේ සත්‍ය සොයායන්න”.

බුදුදහමෙදි කියන අනවරත වෙනස්වීම අපි කොහොමත් අත් විඳිනවා. උදේට මල් පිපෙනවා, හවසට පරවෙනවා. මේක සොබාදහම. මේ සොබාදහම හරියට නිරීක්ෂණය කරන කෙනෙක්ට හොඳ බෞද්ධයෙක් වෙන්න පුළුවන්.

 

ලංකාව ඇතුළෙ බොහෝ නිරාගමිකයන් බෞද්ධ විරෝධීන්...

ඒක තමයි මෙතන තමයි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයේ දිගුවක් හැටියට තමයි ‘ප්‍රවාහ’ නවකතාවේ අභීගේ චරිතය නිර්මාණය වුණේ.

 

ඒත් නිරාගමික අභීගෙ පරමාදර්ශී චරිතය කතෝලික පල්ලියේ පූජකවරයෙක්. ඔහුගේ දර්ශනය කිතුනු ඉගැන්වීම් සමඟයි ගොඩනඟන්නේ. ඇයි ඔබ නිරාගමික අභී කතෝලික කළේ...

පන්සලේ හාමුදුරුවොද, පල්ලියේ පූජකයෙක්ද කියන දේ අදාළ නැහැ. ඒ පුද්ගලයා තුළ තියෙන දයාව, කරුණාව වැනි ගුණාංග තමයි අපිට වැදගත් වෙන්නේ. ආගම කියන්නේ ඒකයි. නිරාගමික වෙන්න පුළුවන් වෙන්නේ ආගම් දෙකක් අතරේ භේද භින්නවෙන අයට. ලෝකයේ සියලුම ශාස්තෘවරුන් ඉතාම විශිෂ්ඨයි. පසුකාලීනව ආගම් සංවිධාන වුණාට පසුව ඇතිවූ තත්ත්වයන් එක්කයි අපි ආගම් මනින්නේ. ගහකොළ, සතා සිව්පාවුන්ට පවා එක හා සමාන ලෙස ලෝකය අයිතිවිය යුතුයි කියන තැනයි බුදුදහම තියෙන්නේ. ක්‍රිස්තියානි ආගමේ තියෙන දෙවියන් වහන්සේ සතුන් මැව්වේ මිනිසාගේ ප්‍රයෝජනයට කියන එක කාර්මික විප්ලවයෙන් පස්සේ වෙළෙන්දා විසින් ඇති කළ මතයක්. බයිබලයේ කොතැනකවත් නැහැ එහෙම සඳහනක්. මිනිසා කියන සතා තමයි පසුකාලීනව ලෝකයේ බොහෝ විකෘතිතාවන් ඇති කළේ. අද බොහෝ දේ උඩුයටිකුරු වෙලයි තියෙන්නේ.

 

ඔබේ මේ නවකතාවේ මාරයා කාරුණිකයෙක් ලෙසින් අර්ථගන්වනවා. එය මාරයා උඩුයටිකුරු කිරීමක්...

ඔබ හිතන්න... මනුස්සයෙක් අසාධ්‍ය රෝගී තත්ත්වයකින් ඇඟේ බට ගහගෙන, දහසක් වේදනා විඳිමින්, සිතින් අඬමින් ඉන්නවා කියලා. එහෙම වෙලාවක එක තත්ත්පරයකින් හෝ ඔහුව ගලවාගන්න පුළුවන් මාරයාට නෙවෙයි ද? ඒ ගලවා ගැනීම ලොකු මෙහෙවරක් කියලයි මට හිතෙන්නේ. අපි නිවන් ප්‍රාර්ථනා කළාට කවුරුවත් කැමැති නැහැ නිවන් යන්න. කවුරුත් කැමැති නැවත ඉපදිලා, තමන් කැමැති අයත් එක්ක ඉන්න.

 

ඔබ පුනර්භවය විශ්වාස කරනවා ද?

ඒක නිශ්චිතව දැනගන්න නම් මැරිලාම බලන්න ඕන. සොක්‍රටීස් කිව්වනෙ පුනර්භවයක් නැත්නම් අන්තිම නරක වැඩකරන මිනිසුන්ට තමයි ලොකුම චාන්ස් එක ලැබෙන්නෙ කියලා. විද්‍යාත්මකව වුණත් පුනර්භවය ගැන නිශ්චිතව සොයාගෙන නැහැ.

 

එඩ්ගා කේසි වැන්නවුන් පුනර්භවය පිළිබඳ සනාථ කරන්නට නොයෙක් පර්යේෂණ සිදුකළා...

ඒවා පිළිබඳවත් කතන්දර තියෙනවා. ඇතැම් අය කියනවා ඒවා මනෝ විකෘතීන් කියලා. කොහොම වුණත් පුනර්භවය අත්දැකීමක් විදිහට ගන්න නම් අපි මැරෙන්නම ඕන. මට එක වෙලාවක හිතෙනවා මැරිලා බලන්න ඕන කියල. මොකද මරණය ගැන මට එච්චරම කුතුහලයක් තියෙනවා.

 

මෑතකාලීන ඔබේ නවකතාවල මරණය පිළිබඳ වැඩිපුර සඳහන් වෙනවා...

මිනිස්සු අකැමැතිම සහ භයම දේ තමයි මරණය. මම මරණය බලාපොරොත්තු වෙනවා නෙවෙයි. නමුත් මේ සමාජයේ බොහෝ දෙනාට වඩා මරණය සාමාන්‍ය කරගෙන ඉන්න කෙනෙක් මම. මරණය ලොකු අභාග්‍යයක් කියල නම් මම කොහොමත් හිතෙන්නේ නැහැ.

 

‘මාර පරාජය’ ගැන ‘ප්‍රවාහ’ තුළදි ඔබ ගෙනෙන ප්‍රවාදය බුදුදහමේ කියන මාර පරාජය නෙවෙයි...

බුදුන්වහන්සේ මාරයා පරාජය කළා කිව්වා නම් මාරයා තර්ක කරන්නේ බුදුරජාණන් වහන්සේ අදත් ඉන්න ඕන නේද කියල. මම ඒ තර්කය ඉදිරිපත් කළේ මාරයාගේ පැත්තෙන්.

 

ඉර, හඳ, කැලණි ගඟ වැනි අජීවී වස්තු මේ නවකතාවේ චරිත ලෙසින් පෙනී ඉන්නවා. ජීවී චරිතවලින් කිව නොහැකි දේ ඔබ මේ අජීවී වස්තු මගින් කියන්න උත්සාහ කරනවා...

ඉර පුදුම වෙනවා මිනිස්සු විදුලි බිල වැඩිවෙනවාට උද්ඝෝෂණ කරන එක ගැන. ඉර ජීවය ලබාදෙනවාට අමතරව හැමදාම ලබාදෙන ආලෝකය වෙනුවෙන් ඉල්ලා තියෙන බරපැන මොකක්ද කියලා ප්‍රශ්න කරනවා. ඉර කියනවා එය බබළන්නේ දිදුලන්නේ ඉරට එහෙම න්‍යාය පත්‍ර හා ඉල්ලීම්, උද්ඝෝෂණ නොතිබුණු නිසා බව. ඉර, හඳ, කැලණි ගඟ මේ නවකතාවේ ඉදිරියට එන්නේ බොහෝ විට මඟ වරද්දා ගත් මිනිසා ගැන කියන්නයි.

 

මේ නවකතාව ඇතුළෙ සිහිනවලටත් ඔබ යම් ඉඩක් ලබාදෙනවා... ඔබත් සිහින දකින කෙනෙක් ද?

ඔව්, ඇයි නැත්තේ... සුනිල් ආරියරත්න කිව්වනෙ මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියලා. අපි හැම දේකම යථාව හොයන්න ගියොත් වෙන්නෙ මොකක් ද? අපේ ජීවිතයේ ඇති සෞන්දර්යයන්, චමත්කාරයන් සියල්ල නැතිවෙයි. සාහිත්‍යකරුවා හඳ ගැන මැවූ සෞන්දර්යයට, හඳ ගමනින් පසුව ලොකු ප්‍රශ්නයක් ඇතිවුණා. මොකද ඉන් හෙළිවුණා හඳේ ආවාට තියෙන බව, එය හරි ශුෂ්ක බිමක් බව. මේවායේ බරපතළ සත්‍ය සියල්ල නිරාවරණය කරගන්නවාට වඩා අපට පොඩි චමත්කාරයක් ඇතිකරගන්න, නොවිසඳුනු සෞන්දර්යාත්මක කලාපය විවර නොවීම තිබුණා නම් හොඳයි. නූතන මානවයාගේ සෞන්දර්යාත්මක හැඟීම් තුනීවෙන්නෙත් හැම දෙයක්ම විද්‍යාවෙන් නිරාවරණය කරන්න යෑම නිසයි. අභිරහස් හැටියට ඉතුරු වුණු පෙදෙස් අපිට තිබිය යුතුයි. මොකද සාහිත්‍යයට, කලාවට සහ ජීවිතයට වැදගත්වෙන්නේ ඒ පුංචි පුංචි රහස්.

 

ඝාතකයෙක් වුණත් අභිලාෂ් තුළ සංස්කෘතිය මිනිසෙක්, සෞන්දර්යාත්මක ඉන්නවා. මනුෂ්‍ය ඝාතනයක් කළ අභිලාෂ් නිදොස් කරන්නද ඔබ උත්සාහ කළේ...

මට හිතෙන්නෙ අපි සමහර වෙලාවට මේ සමාජයෙන් වැරැදිකරුවන් විදිහට කොන්කරන මිනිස්සු තුළ සුවිශේෂතා තියෙනවා. ‘නවජීවනය’ කෘතියෙදි ටෝල්ස්ටෝයි කියනවා හිරගතවූ මිනිස්සු ගැන. ඔහු ඔවුන් කොටස් පහකට බෙදනවා. ඉන් එක කොටසක් තමයි සමාජයේ ඉන්න මිනිස්සුන්ට වඩා ඉහළින් හිතන, සමාජ වෙනසක් බලාපොරොත්තුවීම නිසා හිරේ ගිය අය. ඔබ කියවන්න ඇතිනෙ මේ නවකතාවේ සුගන්ධිකා මැඩම්ගේ නීති පොත. උසාවියේදි බයිබලය උඩ අත තබා දිවුරන්නේ චූදිතයා, විත්තිකාරයා විතරයි. එතකොට නීතිඥවරු...? ඔවුන් බොරු කියන්නේ නැහැ කියලා දිවුරුම් දෙනවා ද? එතකොට හැම නඩුවක්ම දිනන්නේ ඇත්ත කියල ද? ඒ නිසා මම කියන්නේ මේ හුඟාක් දේ වෙනස්වෙන්න ඕන කියලයි.

අනෙක මනුෂ්‍ය ඝාතනයක් කළ මිනිහෙක්ට ගොඩඑන්න බැරිද කියන ප්‍රශ්නය මට තියෙනවා. සමහරවෙලාවට ඝාතකයා වංචාකාරයාට වඩා ඉදිරියෙන් ඉන්නවා. යුදෙව්වො දහස් ගණනක් ඝාතනය කරන්න පෙර කවුරුන් හෝ හිට්ලර් මැරුවා නම් ඒ ඝාතකයාට පවක් සිද්ධවෙනවා ද? මේවා එහෙම ඒකාන්ත කරලා ගන්න බැහැ. දස පනතින් හෝ පන්සිල්වලින් පමණක් අපට ජීවිතය පවත්වාගෙන යන්න බැහැ.

 

මොන දේ කළත් අභිලාෂ්ට තම හෘද සාක්ෂියෙන් බේරෙන්න බැහැ. ඔහු අවසන් මොහොත වෙනකම් සටන් කරන්නේ තමන්ගෙ හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න...

ඔව්, අභීට තමන් කළ මනුෂ්‍ය ඝාතනයෙන් බේරෙන්න ලැබෙන්නේ එයට වන්දි වශයෙන් ජීවිතයක් බේරා ගැනීමෙන්. එදා තමයි ඔහු නිදහස් වෙන්නේ. ඝාතනයක් වෙනුවට ජීවිතයක් බේරලා. ඒකනෙ පාරමී බේරාගත් පසුව ‘ඔහේ තමයි මගේ ගැලවුම්කාරි’ කියා කියන්නේ.

 

නවකතාව අවසන් වෙන්නේ දිවි නසා ගන්න උත්සාහ කළ පාරමීගේ ජීවිතය බේරාගත්තේ අභිලාෂ් බව හෙළිදරව් කරමින්. එනිසා නවකතාවේ අවසානයත් සමඟ පාඨකයාට එක්වෙන්න තිබුණු අවස්ථාවක් මඟ හැරෙනවා...

ඔබ කියන දේ ඇත්ත. ලේඛකයාට එහා ගිය කාර්යභාරයක් පාඨකයාට තියෙනවා. චින්තන අවකාශයක් සහිත නවකතාවක් කියවද්දි පාඨකයාත් ලොකු නිර්මාණකරුවෙක් වෙනවා. නිශ්චිත අවසානයක් අවශ්‍ය නිසයි මම අභිලාෂ් වනසුන්දර හෙළි කළේ.

 

491047285 10231409774259509 6042815206602045648 n 1

සංවාදය - ලක්මාල් බෝගහවත්ත

මෙම සංවාදය සති අග 'අරුණ' ජාතික පුවත්පතේ (2025/10/19) මුල් වරට පළ විය.

 

 

 

(සංවාද සටහන උපුටා ගැනීම "Suranga Indika Lakmal Bogahawatta" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom