lan englan tam

විශේෂාංග

ඔබෙත් මගෙත් කතාව කියන 'මෝඩ තරිඳු'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Nilakshi Bandara- 

ඇත්තටම ජීවිතයේ අපි මුහුණ දෙන අත්දැකීම් කියන්නෙ ම අපි කරන මෝඩකම් කියලා කියන්න පුළුවන්. 'මෝඩ තරිඳු' චිත්‍රපටය අමුතුම ආරකට නිර්මාණය කළ සමාජයේ යථාර්ථවාදී බව සහ විවිධ මාන රාශියක බලපෑම සහිතව ජීවිතය ගලාගෙන යන ආකාරය අනාවරණය කිරීමට ගත් සාර්ථක උත්සහයකි.

කෞශල්‍යයා ප්‍රනාන්දු, ධනුක ඩිල්ෂාන්, ශනුද්‍රි ප්‍රියසාද්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන යන ශිල්පින් මෝඩ තරිඳු චිත්‍රපටයට නිර්මාණයෙන් දායක වෙති.

නිනෝ ලයිව් අධ්‍යක්ෂණය කළ තිසර ඉඹුලාන ගේ නවතම නිර්මාණය වන මෝඩ තරිඳු උත්ප්‍රසයෙන් පිරුණු අපුරුම කතාවක්. "මෝඩ තරිඳු" චිත්‍රපටයේ තිර රචනය සිදු කළේ තිසර මංගල බණ්ඩාර වන අතර අධ්‍යක්ෂණය සිදු කළේ  තිසර ඉඹුලාන ය. කැමරාකරණය හසිත වර්ණසූරිය විසිනි; චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Thisara Imbulana Films & Villa19 මගිනි.

 

moda tharidu 7

 

නිනෝ ලයිව් වගේම මෝඩ තරිඳු නිර්මාණයේ දී ද ඔවුන්ගේ කුසලතා, හැකියා දක්ෂතා වගේම නිර්මාණශීලි බව ද එළිදක්වලා තියෙන අන්දම ඉහළයි. සමාජයේ පවතින විවිධ, ආගමික විශ්වාස, සම්ප්‍රදා, මිථ්‍යා විශ්වාස හේතුවෙන් මිනිසුන්ගේ ජිවිත තුළ සිදුවන ඝට්ටන, මිතුරු වේශයෙන් හිඳ කරනා ද්‍රෝහීකම්, ජිවිතයේ මිනිසුන් මුහුණ දෙන විවිධ සිදුවීම්වලට අනුරූපව ඔවුන්ගේ මානසික මට්ටම්වල වෙනස්වීම් අපුරුවට පෙන්නුම් කරන චිත්‍රපටියක් විදියට මෝඩ තරිඳු මා දකිනවා.

 

සිනහ සාගරයක් වුව ද ඛේදාන්තයකි
මේ චිත්‍රපටය (Super Natural comedy ) සහ black comdey (Dark Humor / Dark Comedy) ශානරය අයත් වෙන චිත්‍රපටියකි. එනම් ප්‍රේක්ෂකයා තුළ කම්පනයක්, වේදනාවක් දනවන සංවේදී මාතෘකාවක් හාස්‍යයට ලක් කිරීමක් සිදුවන නිර්මාණයි. එසේම, එය ජීවිතයේ අතාර්කික බව (absurdity) හෝ යම් බැරෑරුම් තත්ත්වයක ඇති විකාරරූපී බව පෙන්වා දීමට ද යොදා ගනී. බ්ලැක් කොමඩි බොහෝ විට උපහාසයේ (සැටයර්) ආකාරයක් පෙන්වන අතර, එය යම් සමාජ, දේශපාලන හෝ මානව ගැටලුවක් විවේචනය කිරීම සඳහා උපකාරී වේ. බොහෝ විට කතාවේ සිදුවන්නේ ඛේදාන්තයක් වුවද, එය ඉදිරිපත් කරන ආකාරය නිසා ප්‍රේක්ෂකයන්ට සිනහවක් ඇතිවිය හැක. එනම්, එහි ඇත්තේ ඛේදවාචකයක් මුසු වූ ප්‍රහසනයකි.

 

බ්ලැක් කොමඩි හුදු සිනහවක් පමණක් නොව, පහත සඳහන් අරමුණු ද ඉටු කරයි.

*ප්‍රේක්ෂකයාගේ සුවපහසු කලාපයෙන් (comfort zone) පිටතට ගෙන ඒමෙන් කම්පනයක් හෝ අපහසුතාවක් ඇති කිරීම.

*ජීවිතයේ ඛේදජනක සහ අතාර්කික (absurd) ස්වභාවය පෙන්වා දීම.

*බරපතළ තත්ත්වයක ඇති විකාරරූපී බව සහ උත්ප්‍රාසාත්මක බව (irony) ඉස්මතු කිරීම.

 

ඛේදජනක අංගය මෘදු කිරීම
බ්ලැක් කොමඩි සාමාන්‍යයෙන් නිර්මාණයක් තුළදී දැඩි උත්ප්‍රාසය, උපහාසය සහ විටක (Gallows Humor) නම් වූ මරණයට හෝ දරුණු තත්ත්වයන්ට මුහුණ දීමේදී ඇතිවන උපහාසය යනාදි අංග යොදා ගනී. එය කතාවක තිබිය හැකි ඛේදජනක අංගය මෘදු කිරීමට හෝ ඊට ප්‍රතිවිරුද්ධව, එය වඩාත් භයානක ලෙස ඉස්මතු කිරීමට භාවිතා කළ හැකි ය.

ලෝක සිනමාවේ උදාහරණ ගතහොත්: Dr. Strangelove (1964), Pulp Fiction (1994), Fargo (1996), Parasite (2019) ගත හැකි ය.

 

f1718e6f583273425e1b200c846ce733332570558e4b6dc1e1a3bb24a0bf1fe2. SX1080 FMjpg

සාහිත්‍යයේ නිදසුන් ලෙස ජෝසප් හෙලර්ගේ Catch-22 පෙන්වා දිය හැකි ය. එමෙන් ම Fargo යන නිර්මාණ උදාහරණ ලෙස අපට පෙන්වා දිය හැකියි..

 

බ්ලැක් කොමඩි යනු මොනවා ද...?
මේ අනුව බ්ලැක් කොමඩි යනු අඳුරු සහ අපහසු යථාර්ථ සිනහවෙන් දරා ගැනීමට හෝ ප්‍රශ්න කිරීමට භාවිතා කරන බලවත් කලාත්මක මෙවලමකි. මෝඩ තරිඳු චිත්‍රපටයේ මා දකින සුවිශේෂිත්වය  වන්නේ මෙම  සියලුම කරුණු එක්තැන් වූ නිර්මාණයක් වීම ය. චිත්‍රපටයේ විශේෂම දෙයක් විදියට චිත්‍රපටයේ කන්සෙප්ට් එකේ ( සංකල්පයේ) තියෙන නිර්මාණශීලි බව දැකිය හැකි ය. සමාජයේ නිරන්තරව අපට දක්නට ලැබෙන සිදුවීම් සමුදායක් ඉතා වෙනස් ආකාරයෙන් මෙහි දී නිරුපණය වී තිබෙනවා.

 

moda tharindu i 1

 

නැන්දම්මා ලේලි හබය යනු පවුලක සංවේදී කාරණයක් ලෙස ගත්ත ද මෝඩ තරිඳු අස්සේ නම් අපිට ඉතාමත් හාස්‍යජනක ලෙස විඳින්න පුළුවන් සිදුවීම් රැසක් විදියට අපුරුවට එළිදක්වලා තියෙනවා. එතැනදී නිල්මිණි කෝට්ටගොඩ ගේ රංගනය නම් ඉහළ ය. ඇයගේ අනික් නිර්මාණයන් තුළින් දක්නට ලැබෙන හාස්‍යජනක රංගනයට වඩා එහා ගිය හැඟුම්බර රංගනයක් මෙහි දී අපිට දකින්න පුළුවන්.   නිහාල් ජයසිංහ පියකු ලෙස සෑම දෙයක්ම නිහඬව දරාගනිමින් පවුල් ජීවිතය සමබරව ගෙන යන ආකාරය ඉතා අපුරුයි. පවුලක් තුළ ඇතිවන ගැටුම්, කඹ ඇදීම්,  කුඩා දරුවකුගේ මනසට බලපාන ආකාරය මනෝ විද්‍යාත්මකව චිත්‍රපටයේ ග්‍රහණය කර ගෙන ඇත.

 

වැඩිහිටි VS තරුණ ඝට්ටන

මුදල් වෙනුවෙන් සමාජයේ සිදුවන අකටයුතුකම්. මිනිසුන් කරන අන්තනෝමතික ක්‍රියාවන් ඉතාමත් සංවේදීව මෝඩ තරිඳු ඔස්සේ එළිදක්වා ඇත.මුදලට වහල්වූ සමාජයක  පවුල් සම්බන්ධතාවයන්, බැඳීම්, නෑ සම්බන්ධතා සෝදාපාළුවට ලක්ව යන ආකාරය ප්‍රේක්ෂක මනසට යොමු කරයි. රැවටිල්ල, වංචාව , මානව හිංසාව, අඳුරු පටලයක් මෙන් සමාජය වසාගෙන පැතිර සමාජ සම්බන්ධතා විවිධ ආකාරයෙන් හිංසාවට , පිඩාවට ලක්වෙන ආකාරය මෙහි දී දක්නට ලැබෙන සංවේදී කරුණක්. එලෙසම  වැඩිහිටි පරම්පරාවත්, තරුණ පරම්පරාවත් තුළ පවතින අදහස්, සිතුවිලි තුළ ඇති පරස්පර විරෝධිභාව නිසා ම මොවුන් දෙපාර්ශවය තුළ ඇතිවන ඝට්ටන ඉතා සියුම්ව මෝඩ තරිඳු ඔස්සේ ග්‍රහණය කරගෙන ඇත.

 

moda tharindu i2

 

එලෙස ම  ආච්චිගේ චරිතය රඟපෑ කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ චරිතය මොවුන්ගේ රඟපෑම අභිබවා යන ආකාරය ඉතාමත් අනර්ඝ ය. ඇයගේ රංගන පරාසය එතරම් දුරකට විහිදෙන අතරම ඇයගේ දක්ෂතාව මොනවට එළිදක්වන නිර්මාණයක් විදියට මෝඩ තරිඳු පෙන්වා දිය හැකි ය. සම්භාව්‍ය ඝණයේ නිර්මාණ තුළින් අපි දුටු කෞෂල්‍යා ප්‍රනාන්දු ගේ චරිතය ඔස්සේ ලැබෙන වින්දනාත්මක වටිනාකමත් ඉහළ ය. චිත්‍රපටයේ සමහර ජවනිකාවල දී ඇයගේ වයසට බලාපොරොත්තු විය නොහැකි අවස්ථා පවා අතිදක්ෂ ලෙස ඇය නිරුපණය කරන්නේ ඇයගේ කුසලතාව ප්‍රේක්ෂක මනසේ ඉහළම ස්ථානයක රඳවමිනි. ශනුද්‍රි ගතහොත් ඇයගේ චරිතය ඔස්සේ හැඟීම් නිරුපණය, අවස්ථාවට අනුව වෙනස්වන  හැසිරීම් අපුරුවට මෝඩ තරිඳු ඔස්සේ එළිදක්වලා තියෙනවා.

සමනල, සංධවනියට වඩා අතිශය වෙනස්ම රඟපෑමක් පෙන්වන සුර්ය දයාරුවන්ගේ රංගනය ද ඉහළ ය. පවුල, ප්‍රේමය සහ මිත්‍රත්වය අතර දෝලනය වන ඔහුගේ ජීවිතය වෙනස්ම පැත්තකට ගලා යන ආකාරය ඉතාම අපුරුවට තරිඳු ගේ චරිතය ඔස්සේ අපට දකින්න පුළුවන්. නමුත් සුර්යට මීට වඩා යමක් ඔහුගේ දක්ෂතාවය තුළින් කරන්න හැකියාව තිබුනා කියන දේ කියන්න ඕනි. අපිට අපි කරන මෝඩකම් හරිම අපුරුවට සුර්යා මෝඩ තරිඳු තුළින් පෙන්වලා දෙනවා.

තම පළමු නිර්මාණය තුලින් ෂෙහානි තම හැකියාව අපුරුවට පෙන්නුම් කරලා තියෙන බව කියන්න පුළුවන්.අංග චලනයන්, හැඟීම් එළිදක්වීම් ඇතුළුව රංගනය අපුරුයි. උප චරිතයන් වුනත් ධනුක , සේවියර් හොඳ රඟපෑමක් ඉදිරිපත් කරනවා.

 

qdM1cicS4ikpOKjh3AfyaLbo8Jg

 

ප්‍රේක්ෂකයා ඇදබැඳ තබා ගැනීම
මෝඩ තරිඳු ඇතුළෙ ආච්චි සහ තරිඳු අතර ඇති බැඳීම ඉතාමත් අපුරුවට පෙන්වනවා. ඒ කෙමිස්ට්‍රි ඒක නිසාම චිත්‍රපටය ඇතුළෙ ප්‍රේක්ෂකයාව නිරන්තර හිනාවෙන් යුතුව නිර්මාණයට ඇදබැඳ තබා ගැනීමේ හැකියාව මෝඩ තරිඳුට ලැබෙනවා. ඔවුන්ගේ දෙබස් ඇතුලේ අපිට දකින්න ලැබෙන්නේ වෙනම වින්දනයක්. සාමාන්‍ය සමාජයේ දක්නට ලැබෙන ආතම්මාගේ සහ මුනුබුරෙක් අතර තියෙන ආදරණියබව, ළබැඳි බව ,සෙනෙහස කෞෂල්‍යා මහත්මියගේත් සුර්යගේත් රඟපෑමෙන් විහිදන විශේෂත්වයයි. සුර්යගේ සෑම වේදනාත්මක අවස්තාවකදීම සෙවණැල්ලක් සේ ඔහු ලගින් ඉන්නේ මේ ආතම්මා. ඉතාමත් තාත්වික අන්දමින් කරන ආච්චිගේ නිරුපණයෙන් ඇයගේ චරිතය ඉහලම වටිනාකමක් දී තියෙනවා.

 

6mX8KAULucyWT2kCspiADv37tdR

 

දිනේෂ් ගමගේ චිත්‍රපටයට යොදාගෙන ඇති සංගීතය ඉතාම රසවත් වගේම ප්‍රශංසනීයයි. චිත්‍රපටයේ ගලාගෙන යන දෙබස්, වර්ණ සංයෝජනයන්, සංස්කරණය ඉතාමත්  නිර්මාණශීලි වගේම හොඳ මට්ටමක තියෙන බව කියන්න පුළුවන්. චිත්‍රපටයේ සියලුම සිද්ධීන් සමගින් මෙම සංගීත රසය සංයෝජනය වන ආකාරය නිර්මාණයේ ගුණාත්මක බව  විදහාපාන සාර්ථක ලකුණක්. ඩාන්සින් කොරියෝග්‍රෆි නිර්මාණයත් අපුරුයි. චිත්‍රපටයේ අවසානය ඉක්මන් වුනා වැඩිද කියන ප්‍රශ්නය ආවා. අවසානය තව ටිකක් වෙනස් වුණා නම් කතාව තවත් නිර්මාණශීලි වෙන්න තිබුනා කියන එකයි මගේ අදහස.

ප්‍රේමය යනු සුන්දර හැඟීමකි. නමුදු ප්‍රේමය වෛරයකට හැරවුනොත් එතන සිදුවන්නේ ඛේදාන්තයකි. එය පුනර්භවය වෙත ද බලපාන බව බුදු දහමේ සඳහන් වන පරිදි මෙම සිනමාපටය තුළින් ද සපත කිරීමට උත්සහ දරා ඇත. ප්‍රේමයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක පරතරයක් බව කියන්නේ ඒ නිසා ය.

 

cvkfiqaWhIX4nXKeXdJ7uQhvPt2

 

සිනමා පටයකින් ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ලබා දීමට අවශ්‍ය සත්‍ය ගවේෂණය,ජන විඥානය , අවදි කිරීම , ලබා දෙන ආදර්ශය මෙන්ම සිනහවෙන් යුතුව අවසානය දක්වා සියලු ම දෙනාට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස මෝඩ තරිඳු හඳුන්වා දිය හැකි ය. කොතරම් සිනා වේවි මෝඩ තරිඳු නැරඹුව ද එහි ඇත්තේ අප සියලු දෙනාගේම කතාවයි.

වෛරයෙන් වෛරය නොසන්සිදේ. වත්මන් තරිඳුගේ සියලු ග්‍රහ අපල දුරු වේවා !!!

 

Nilakshi Bandara

(සටහන | නිලක්ෂි බණ්ඩාර)
නිදහස් ලේඛිකා

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

උපුටා ගැනීම - theleader.lk

kemadasa

Back to top
Go to bottom