('අරුණ' ජාතික පුවත්පත)
‘නෙළුම් පොකුණ’, ‘ශාක්‍යාදේවි’, ‘සිල්වර් ටිප්ස්’ වැනි නවකතා ගණනාවක් රචනා කළ මලික් තුසිත ගුණරත්නගේ නවතම නවකතාව ‘සිංගල් මම්’ සූරිය ප්‍රකාශනයක් ලෙසින් දැන් නිකුත්වී ඇත.
1997 වසරේ ‘ප්‍රේම ආතුරයන්ගේ කතාව’ කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් ලේඛනයට පිවිසෙන මලික් මේ වනවිට කෙටිකතා සංග්‍රහ අටක් රචනා කර ඇත. කවිය විෂයයෙහිද මලික් තම අනන්‍යතා ප්‍රකට කර ඇති අතර ඔවුන් නමින් ඇති කාව්‍ය සංග්‍රහ සංඛ්‍යාව හතරකි. එමෙන්ම ඔහු ගේය පද රචකයෙකි. මේ සංවාදය මලික්ගේ අටවැනි නවකතාව ‘සිංගල් මම්’ පිළිබඳවය.
සංවාදකයා - ඔබ නවකතාවට එන්නේ කෙටිකතාකරුවෙක් ලෙසින් අනන්‍යවෙමින් සිටි මොහොතක. 1997දි කෙටිකතාවෙන් ලේඛනයට ආ ඔබ පළමු නවකතාව ‘නෙළුම් පොකුණ’ ප්‍රකාශයට පත්කරන්නේ 2015දි. එතැන් සිට ගෙවුණු දශකයෙදි ඔබ නවකතා අටක් ප්‍රකාශයට පත්කරනවා. මෑතකාලීනව ඔබ වැඩි අවධානයක් යොමුකරන්නේ නවකතාවට...
මලික් තුසිත - වැඩි අවධානයක් කියන එක මෙතැනට ගැළපෙන්නෙ නැහැ. මම මේ වන තෙක් ලාංකේය කෙටිකතා කලාවට වගේම නවකතාවටත් හැකි තරමේ දායාදයක් කර ඇතැයි කියා මා නිහතමානීව සතුටු වෙනවා. නවකතාවට යොමු වූ සැණින් මගේ පාඨක ප්‍රජාව තියුණු ලෙසින් වර්ධනය වුණා. අද ලාංකේය කෙටිකතාව හරිම දුප්පත්. නවකතාවට තමයි වැඩි ඉල්ලුමක් සහ පුළුල් ආකර්ෂණයක් තියෙන්නේ. මම පාඨක ප්‍රජාවක් අසීරුවෙන් ගොඩනඟාගෙන හෙමින් ගමනක් යන නිර්මාණකරුවෙක්. එතැනදි වැඩි සුළවතුන් පිරිසක් ගැවසෙන තැනක නවතින්න පෘතග්ජන අපි කැමතියි. නමුත් මම කෙටිකතාවට අසාධාරණයක් කරල නැහැ.
ඊළඟ කරුණ තමයි කෙටිකතාවට මම දක්වන දැඩි අවධානය. ඉන් කිසිසේත් කියවෙන්නේ නැහැ නවකතාව සිල්ලර චරිත සහ සිදුවීම් මත ගොඩනඟනවා කියන එක. එය අනායාස නිර්මාණ ගොඩනැගිල්ලක් කියන එකත් වැරැදියි. ඒකටත් අපි මහායාන බරක් තබනවා. මේ දෙකේ වෙනස වෙන්නෙ කෙටිකතාවට අපි භාවිත කරන්නෙ අඩු වචන සමුදායක්. ඒ ක්ෂද්‍රත්වය නිසා නිර්මාණකරුට අති විශේෂ කාර්යභාරයක් පැවරෙනවා. ඒ තමයි පාඨක විශ්වාසය බිඳනොගෙන නිර්මාණය ඉදිරිපත් කිරීම. එය ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. එක් වරක් අපි පාඨක රසාස්වාදය පළුදු කළහොත් ඉන් නිර්මාණකරුට සිදුවෙන අවැඩ අතිමහත්. කෙසේ වුවත් මගේ ඊළඟ නිර්මාණය බොහෝ විට කෙටිකතා සංග්‍රහයක්.
ඔබේ කෙටිකතාව නවකතාවට එන්න වැඩබිමක් වුණාද?
මම මගේ පළමු නවකතාව ලියන්න පෙර කෙටිකතා පහක් ලියා තිබුණා. මට නිරන්තරේ ලියන්න පෙළඹවීමක් තිබුණා. ඒ මම බොහෝ පත පොත කියවන නිසා අපූර්ව ලෙසින් ලියන්නෙ කොහොමද කියන කාරණාව ගැන බොහෝ අවධානයෙන් කල්පනා කරනවා. ඕනෑම ලේඛකයෙකුට පාදමක් තියෙනවා. ඒක කෙටිකතාව වෙන්න පුළුවන්. කවිය, ගීතය වෙන්න පුළුවන්. ශාස්ත්‍රීය ලේඛනයක් වෙන්නත් පුළුවන්. මම කෙටිකතාව දැකපු විදිහ, ඊට ප්‍රවේශ වුණ ආකාරය සහ නිර්මාණයක් ඉදිරියේ පාඨක චිත්ත සන්තානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව වන මාගේ කියැවීම නිසා මට නවකතාවට ඒම පහසුවක් වුණ බව සත්‍යයක්. කෙටිකතාවකට මූලයන් සපයා ගන්න සමත් වුණ මට, නවකතාවකට අමුද්‍රව්‍ය සපයා ගැනීම එතරම් අපහසු වුණේ නැහැ. ඒක පරිකල්පනය මත තීරණය වන්නක්.
ඔබ දන්නවද මා ලියූ කෙටිකතා දෙකකින් නවකතා දෙකක් නිර්මාණය කළා. එක්තරා පොත් දොරට වැඩුමකදී දේශනයක් කරන්න තරම් ඒ කාර්යය අගය කරපු අවස්ථාවකුත් තිබුණා. එය මට විශාල සතුටක්. නවකතාවට ප්‍රවිශ්ට වෙන්න කම්මැලිකමින් සිටි යුගයකදි මා දිරිමත් කර ඊට මාර්ගය පෙන්වා දුන්නේ ප්‍රවීණ නවකතාකරුවෙකු වන ජයකොඩි සෙනෙවිරත්න මහත්තයා. ඔහු මගේ බිරිඳගේ තාත්තා.
නවකතාව ගමන් කළ යුතු යැයි සිතන නිශ්චිත දිශාවක්, නිශ්චිත ඉලක්කයක් පිළිබඳ අදහසක් ඇතිව ද ඔබ ලියන්නේ...
අපි දෙයක් ලියද්දි එය පාඨකයාට නවතාවකින් දිය යුතුයි. නවකතාව කියන වචනයෙම ඒ බව සඳහන්. එහෙම නැතුව අපිට ජාත්‍යන්තරයට නෙවෙයි අසල්වැසි ඉන්දියාවටවත් ඇතුළු වෙන්න බැහැ. අපි අලුත් නිමිති මෙන්ම නව ආකෘතිද අත්හදා බැලිය යුතුයි. චරිතවල සිතුවිලි, දෙබස් සහ හැඟීම් පවා නැවුම් ඒවා විය යුතුයි.
ඔබ ඇසුවේ මගේ නවකතාව ගැන. ඔව්, ආසන්න ඉලක්ක මා සතුව තියෙනවා. හැබැයි ඒවා වෙනස් විය හැකියි. කතාව ගොඩනඟන කොට ඒ ඒ චරිත, සිදුවීම් මාව වෙනස් ඉලක්කයකට තල්ලු කරනවා නම් එහෙම අවනත වෙන්න තරම් නිරෝගී මනසක් මට තියෙන්න ඕනි. මගේ බොහෝ නවකතාවලට නිශ්චිත ඉලක්ක තිබුණේ නෑ.
‘සිංගල් මම්’ නවකතාවට අදාළ වස්තුබීජය ඔබ සිතේ රෝපණය වෙන්නේ කෙසේ ද?
මම අලුත් විදිහට ලියන්න උත්සාහ කරන කෙනෙක්. අලුත් නිමිති මෙන්ම ආකෘති අත්හදා බලන්න කැමැති කෙනෙක්. අපි අඳුරු අතීතයක ඉඳන් ඉටිපන්දම් එළියක් දල්වා ගත්තු ශ්‍රේෂ්ඨ ජාතියක්. ඒ කතාව කොතැනක හෝ නිර්මාණාත්මකව ලියවෙන්න ඕන කියන අදහස මට තිබුණා. ඒකට අලුත් ආකෘතියක් සෙවීමේ වුවමනාවත් මට තිබුණා. ඒක කෙසේ ඉදිරිපත් විය යුතුද කියන කාරණාවත් මගේ හිතේ අකුණුසර දල්වමින් තිබුණා.
ඉතිං මම සොයාගත්තු විදිහ තමයි ‘සිංගල් මම්’ නවකතාවේ තියෙන්නෙ. ඊට පස්සෙ තමයි බැරෑරුම් තැනට මම එන්නෙ. ඒක හුදු සිල්ලර කතාවක් බවට පත් කරන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑ. ‘සිංගල් මම්’ දේශපාලනයෙන් මුදවා ගන්නත් මට වුවමනාව තිබුණා. ඒ කාරණය මාව බරපතළ ලෙසින් කොනිත්තන්න පටන් ගත්තා. ඒ හින්ද තමයි ‘සිංගල් මම්’ තුළ කතා දෙකක් මම පාඨකයාට දෙන්නෙ. ඒ එක්කම දැන් අපේ රටෙත් මුල් බැස ගත්තු, ලිවිං ටු ගෙදර් සහ සිංගල් මම් කියන සංකල්පය ගැන කථිකාවක් ඇති කරගන්නත් මට වුවමනා වී තිබුණා. ඔය සියල්ලගේම එකමුතුවක් තමයි ‘සිංගල් මම්’.
‘සිංගල් මම්’ සංකල්පය බටහිර රටවල සාමාන්‍ය දෙයක්. නමුත් අපි අපේ සමාජයට ආවොත් එය එතරම් හුරු සහ අපේ සමාජය පිළිගන්න කැමැති දෙයක් නෙවෙයි. ඔබේ කතාව ඇතුළෙත් හමුවන, කාන්තාවන්, මව්වරුන් සිංගල් මම් වෙන්නේ අර බටහිර සංකල්පයෙන් නෙවේ. ඔවුන් සමහර විට මේ සමාජයේ යම් යම් සිදුවීම් සමඟ කරන පොරබැදීම්වලදී තනිවුණු චරිත. ඔබ ‘සිංගල් මම්’ නමින් මේ නවකතාව නම් කරන්නේ කිනම් අදහසකින්ද?
මගේ නිරීක්ෂණයන්ට අනුව සිංගල් මම් යන සංකල්පය යටතේ පාර්ශවයන් හතරක් හඳුනගන්න මට හැකි වුණා. එකක් තමයි සැමියා මිය ගිය පසුව දරුවොත් එක්ක තනිවෙන අම්මලා. තව එකක් තමයි දරුවෙක් දීලා අතුරුදහන් වන සැමියා නිසා අපා දුක් විඳින අම්මලා. තව කොටසක් ඉන්නවා විශේෂිත සහකාරයෙක්ගෙන් දරුවෙක් ලබා ගෙන ස්ව කැමැත්තෙන්ම තනි වෙන අම්මලා. අනෙක් කොටස තමයි සැමියාගේ විවිධ අකටයුතුකම් මැද දරුවාගේ අයිතිය ලබා ගෙන තනියෙම ජීවත් වෙන්නට හිත හදා ගන්නා අම්මලා. මේ සියල්ලම තනිවෙන සහ හුදකලා වෙන අම්මලා. නිර්මාණය ගොඩනඟා ගත් පසුව මම ඊට ඔබින නමක් ගැන තියුණු නිරීක්ෂණ ඇසක් දැල්වූවා. ඔබ හොඳ අවධානයකින් බැලුවොත් මෙහි අඩු වැඩි වශයෙන් සිංගල් මම්ලා හතර දෙනෙක් සොයා ගන්න පුළුවන්. ඔවුන් මම ඉහත සඳහන් කළ පාර්ශ්ව හතරෙන් තුනක් නියෝජනය කරනවා. ඒ නිසා මා අවසන් වතාවට තේරූ නම්වලින් සුදුසුම නම මේක කියලා හිතුණා.
මේ නවකතාව ගොඩනඟන්නෙ ආඛ්‍යාන දෙකක් යටතේ...
මම කතාව අඛ්‍යාන දෙකක් යටතේ නිර්මාණය කරන්නේ පාඨක අවධානය නිසි පරිදි, නොබිඳී තබා ගැනීමේ අවශ්‍යතාවය මත. මා මුලින් සඳහන් කළ පරිදි මගේ දේශපාලන කතාව හුදු වාර්තා ස්වරූපයකින් මුදවන්නත් අවශ්‍යතාව මට තිබුණා. විශේෂයෙන් පාඨක විශ්වාසය බිඳ නොගෙන කතාව අවසන් කිරීමට මම මගේ නිර්මාණය සමඟින් දැඩි අරගලයක නියුතු වුණා. මනා සමබරතාවකින් යුතුව කතාව නිම කිරීමට මම මා සමඟම පොර බැදුවා.
නමුත්, රජ කතාවෙන් ඔබ කියන්නේ වර්තමානයේ අපේ රටේ ඇතිවුණු අරගලය ගැන. එතන තියෙන්නේ ඔබේ දේශපාලන දෘෂ්ටිය නේ ද? ඔබට අවශ්‍ය වුණේ පවතින පාලන තන්ත්‍රයට ඔබගේ ඇති පක්ෂපාතීත්වය පෙන්වන්න ද?
නිර්මාණකරුවෙක්ට දේශපාලන වේදිකාවක් තිබුණාට එය විදුලි බල්බ දල්වා බුදු රැස් වළල්ලක බහාලීම සුදුසු නැහැ. ඔහු නිර්දේශපාලනිකව භූමියේ සිට ගත යුතුයි. එසේම සමබර මනසකින් තම නිර්මාණය ප්‍රතිනිර්මාණය කළ යුතුයි. ඒ සුවිශේෂී මොහොතේ ඇති අව්‍යාජ දේශපාලනයට හිස නැමිය යුතුයි. පවතින ඇත්ත සොයා යා යුතුයි. විශේෂයෙන් යහපත් මානව සිතුම් පැතුම් හඳුනා ගත යුතුයි. ඉතිං මම හිතනවා මගේ සියුම් ඇස සැබෑ මානව සිතුම්, පැතුම් වෙත යොමු වුණා කියලා. ඒක රජයට තිබෙන පක්ෂපාතීත්වය කියලා කවුරු හරි හඳුනගත්තොත් මම කියන්නේ, නෑ එය මානව සිතුම්, පැතුම් කියවාගැනීමක්.
මහේන්ද්‍ර මේ නවකතාව ඇතුලේ ඔහුගේ බිරිඳ සෞම්‍යා සිතින් නිරුවත් කරනවා. තම බිරිඳට අනියම් සබඳතාවක් ඇති, ඇය සමඟ යහන්ගත වුණා යැයි සිතන ඔහු සිතින් මවා ගත් අමල් නම් චරිතයක් ඉන්නවා. මහේන්ද්‍ර ගොඩනඟන්න බලපෑම් කරපු ඔබ දන්න හඳුනන යම් නිශ්චිත චරිතයක් හිටියද?
මහේන්ද්‍ර මානසික අවපීඩනයෙන් පෙළෙන්නෙක් ලෙසින් කතාව ආරම්භයේදී ගොඩනඟන්නට මට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔය වගේ සිතුම්, පැතුම් ඒ ඒ යුගවලදී අපි කාටත් ඇතිවෙන බව අපි කවුරුත් දන්නවා. හැබැයි එක්තරා නිශ්චිත තැනකදී ඔහුගේ මනෝ ලෝකය පුපුරා යනවා. ඒ කිසියම් සිද්ධියක් නිසා. ඊට පසුව ඔහුගේ හැසිරීම් රටාවේ වෙනසක් ඇති වෙනවා. මහේන්ද්‍ර කියන්නේ මා දන්නා හඳුනන අයෙක් හෝ මට කවුරුත් පෙන්වා දුන් චරිතයක් නෙවෙයි. අභාග්‍යයට ලක් නොවුණත් මහේන්ද්‍රලා අපි අතරේ ඉන්න බවයි මගේ නිරීක්ෂණය. සමහර මහේන්ද්‍රලා සිතින් ජීවිත කාලය පුරාම ජීවිතය විඳවමින් ඉන්න බවත් මම දන්නවා.
‘සිංගල් මම්’ ශෝකාන්තයකින් අවසන් කළේ ඇයි? මහේන්ද්‍ර සියදිවි නසා ගැනීමේ සැලසුම නවකතාවේ ආරම්භයේ සිට තිබුණා ද?
පීඩනය වැඩිම අවස්ථාවකදී බැලුනයක් වුවත් පුපුරා යනවා. සාමාන්‍යෙයන් කලාකාරයෝ බොහෝ සංවේදී අය. ඔවුන් බොහෝ අය ජීවත් වෙන්නේ ජීවිත නොරිද්දගෙන. ඔවුන්ට අන් අයගේ සුසුම, කඳුළ දැනෙනවා. සිනහව දැනෙනවා. හැඟීම් දැනෙනවා. මම බොහෝ විට අනෙකාගේ හැඟීම් කියවන අයෙක්. පාර තොටේදීත්, පාසැලේදීත්, චිත්‍රපට ශාලාවකට ගියත්, රෝහලකට ගියත් මා ඉදිරියේ සම්මුඛ වන පුද්ගලයන් කියවන්න මම ආසයි. ඒක දැන් මගේ පුරුද්දක්. ඒ වගේම තමයි බැඳීම්. ඒවා මානව බැඳීම් වෙන්නත් පුළුවන්. මානව ප්‍රේමය වෙන්නත් පුළුවන්. මානව බැඳීම්වල මායිම් ඉර සොයාගෙන එය පරිකල්පනයට හසු කර ගන්න මම කැමැතියි. මානව ප්‍රේමයේ රතු හදවත් හැඩය විවර කරන්නත් මම හරි ආසයි. මගේ බොහෝ නිර්මාණවල තියෙන්නේ ඔය ඉහත මම කිව්ව මායිම් ඉර සහ රතු හදවත් හැඩය කියලා මම විශ්වාස කරනවා.

© සංවාදය - ලක්මාල් බෝගහවත්ත
මෙම සංවාදය 'අරුණ' ජාතික පුවත්පතේ 'ධාරා' සාහිත්‍ය අතිරේකයේ (2025/10/20) මුල් වරට පළ විය.
(සංවාද සටහන 'Suranga Indika Lakmal Bogahawatta' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



