-Subhashini Chathurika-
මෙවර (2025) සාහිත්‍යය සඳහා පිදෙන නෝබල් සම්මානයෙන් හන්ගේරියානු ලේඛක ලස්ලෝ ක්‍රස්නහෝර්කයි පිදුම් ලැබීය.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙවර නෝබල් සාහිත්‍යය සම්මානයෙන් පිදුම් ලබන සාහිත්‍යවේදියා අනුමාන කිරීමේ සාහිත්‍ය පාඨක විචාර සමුහ තුළ වැඩිවශයෙන් සංවාදයට ලක්වුණු සාහිත්‍යවේදීන් සිව් දෙනා අතර ලස්ලෝ ක්‍රස්නහෝර්කයි ගේ නාමය ද පැවති අතර ඉතිරි තිදෙනා වූයේ චීන ජාතික ෂැං ෂුවේ, ජපන් ජාතික හරුකි මුරකැමි, කැනේඩියානු ජාතික මාග්‍රට් ඇට්වූඩ් යන ලේඛක ලේඛිකාවන්ය.
ලස්ලෝ ක්‍රස්නහෝර්කයි ගේ ඡායාරූපයක්
වයස අවුරුදු හැත්තෑ එකක් වන හන්ගේරියානු ගත්කතුවරයා එම සම්මානයෙන් පිදුම් ලබන්නේ ඔහුගේ “ බලවත් ලෙස ඒ්ත්තු ගන්වන සුළු, සාංකාල්පනික කෘති සමස්තය, අනාගත මහා විනාශයේ භීතිය මැද, කලාවේ ශක්තිය නැවත සහතික කරන” නිසා යැයි පසුගිය ඔක්තෝබර 09 වැනිදා (2025) ස්විඩන ඇකඩමිය එම සම්මානය පිරිනැමීම පිළිබඳ නිවේදනය නිකුත් කරමින් සඳහන් කොට සිටියේය.
ලොව පුරා ලේඛක පාඨක විචාරක සාහිත්‍ය ලෝලීන්, ලස්ලෝ ක්‍රස්‍නහෝර්කයිට සුභාශිංසන ඒන එන අතරවාරේ ලස්ලෝ ගේ දිගු කාලීන නිර්මාණ සගයා වන හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂක බේලා තාර් ද මහත් ප්‍රීතියෙන් ඔහුගේ සුබපැතුම් මාධ්‍යට දන්වා තිබුණි.
හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂක බේලා තාර්
“ඔහු මේ සම්මානය දිනා ගැනීම පිළිබඳ මට බොහොම සතුටුයි, මට මේ මොහොතේ කියන්න තවත් දෙයක් හිතා ගන්න බැහැ. අපි අවුරුදු ගණනාවක් එකට වැඩ කලා, ඔහු ඇදහිය නොහැකි තරම් ශ්‍රේෂ්ඨ ප්‍රීතියක් ලඟා කරගෙන තිබෙනවා”
ක්‍රස්නහෝර්කයි, ඔහුගේ දිස්තෝපියානු කාංසාමය නවකතාවලට වැඩි ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහු 2019 වසරේ පරිවර්තිත සාහිත්‍යය වෙනුවෙන් ‘ජාතික ග්‍රන්ථ සම්මානය’ ද, 2015 වසරේ Man Booker International සම්මානය ද දිනාගෙන තිබුනේය. ඔහු නවකතා නවයක්, කෙටි නවකතා හයක්, කෙටි කතා එකතු කිහිපයක්, ශාස්ත්‍රීය ලිපි සහ තිර පිටපත් කිහිපක් ලියා ඇති අතර ඉන් සමහර සාහිත්‍ය කෘති, උදාහරණ ලෙස Satantango සහ The Melancholy of Resistance වැනි නවකතා අනුසාරයෙන් බේලා තාර් සිනමාපටද නිර්මාණය කර ඇත. බේලා තාර් විසින් අධ්‍යක්ෂනය කරන ලද Turin Horse (2011) චිත්‍රපටයේ සම තිරපිටපත් රචකයා වූයේ ද ලස්ලෝ ය.
ලස්ලෝගේ ළමා කාලය සහ අධ්‍යාපනය
ලස්ලෝ 1954 වසරේ ජනවාරි 5 වැනිදා හංගේරියාවේ දියුලා නම්, රුමේනියානු දේශ සීමාව ආසන්නයේ පිහිටි දුරබැහැර ගම්මානයක උපත ලද්දේය. ඔහුගේ පියා යුදෙව් ජාතික නිතීඥයකු වන අතර ලස්ලෝට වයස අවුරුදු එකොළහ පමණ වන තුරු ඔහුගේ පියා තම යුදෙව් අනන්‍යතාව සඟවාගෙන සිටි බව සඳහන් වෙයි. ඔහුගේ මව සමාජ පරිපාලිකාවක් ලෙස සේවය කොට ඇත්තියකි.
ළමා කාලයේ ලස්ලෝ ජීවත් වූ කුඩා ගම්මානයේ පැවති කාංසාමය, දුර්මුඛ පිටිසරබද ස්වභාවය පසුකලෙක ඔහුගේ ලේඛණ කලාවට බලපෑ සාධක බවට ද පත් වූයේය. ඔහු ජිවත් වූ ග්‍රාමය පිළිබඳ ලස්ලෝ විටෙක සඳහන් කොට ඇත්තේ “අමුතු, හුදකලා, ගුප්ත මිනිසුන්ගෙන්” පිරී පැවති ස්ථානයක් ලෙසය. එම ග්‍රාමය ඔහුගේ ජීවිතය තුළ නොමැකෙන ලෙස සටහන් වී ඇත්තේ පසුකලෙක ඔහුගේ ලිවීම් තුළ හුදකලාව, ගරා වැටීම, සහ අඩ වශයෙන් දෘශ්‍යමාන වෙන සමාජයේ ආන්තික සීමාවන් පිළිබඳ තේමාවන් ඔහුගේ ලිවීම් තුළ නිරන්තරයෙන් මතු කරමිනි.
ඔහු ද්විතීයික පාසල් අධ්‍යාපනය තුළ ලතින් භාෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ අතර එම අධ්‍යාපනය තුළින් ඔහුට සම්භාව්‍ය සාහිත්‍යය, ලේඛණයේ රිද්මය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ අතර පසුකලෙක ඔහුගේ ලේඛණවල දක්නට තිබුණු දිර්ඝ වාක්‍ය ලිවීමේ සුවිශේෂි ගුණය පවත්වා ගැනීමට ද ලතින් භාෂා අධ්‍යයනය හේතු වී ඇත. 1973 වසරේ ආරම්භ කළ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ දී නීතිය පිළිබඳ හැදෑරීම කළත්, ඔහු නීති අධ්‍යාපනය හමාර කර 1983 වසරේදී හන්ගේරියානු භාෂාව සහ සාහිත්‍යය පිළිබඳ උපාධියක් ද දිනා ගත්තේය. සාහිත්‍ය පිළිබඳ හදාරන අතරවාරයේ ඔහු ප්‍රකාශන සමාගමක රැකියාවක් කිරීම ආරම්භ කළේ, අනාගත ලේඛකයාගේ මාවත තවත් හොඳින් එළි පෙහෙළි කරගනිමිනි.
ලස්ලෝ තරුණ වියේ දී ක්‍රමවත් ලෙස අධ්‍යාපනය ලැබීමට පෙර, එක්තරා කාල සීමාවක්, ඔබ මොබ සැරිසරමින්, සංචාරක ග්‍රෝත්‍ර අතර ගැවසෙමින් සමාජ සේවය කරමින් ද, පිටිසර බද හංගේරියාවේ පියානෝ වාදනය කරමින් ද කල් ගත කළේය. සමාජයේ අඳුරු පස තේරුම් ගැනීමටත්, එය තම සාහිත්‍ය කෘති තුළ විදාරණය කිරීමටත් එම අත්දැකීම් ඉවහල් වීය යන්න විචාරක මතයයි. එසේම ඔහු මහත් ඕනෑ කමින් කුඩා කල සිට කෆ්කාගේ සාහිත්‍ය කෘති ගැඹුරින් පරිශීලනය කිරීමත්, හංගේරියාවේ දේශපාලන ඉතිහාසයත්, (හන්ගේරියාවේ කොමියුනිස්ට් පාලනය) එයට බද්ධ වූ ඔහුගේ පෞද්ගලික අත්දැකීම් සම්භාරයත් ඔහුව විෂය මූලික, සවිඥානක ලේඛකයෙකු බවට පත් කොට තිබුණි.
ලස්ලෝ වරෙක ඔහුගේ කෆ්කාගේ නිර්මාණ ඇසුර සහ කෆ්කා සමඟ ඇති ඔහුගේ ආත්මීය බැඳීම පිළිබඳව මෙසේ පවසා ඇත:
“ මම කෆ්කා නොකියවන විට, මම කෆ්කා ගැන සිතන්නෙමි. මම කෆ්කා ගැන නොසිතන විට, මට ඔහු ගැන නොසීතීමේ පාළුව මට දැනෙයි. ටික කාලයක් ඔහු ගැන නොසිතීමේ පාළුව මට දැනෙන විට, මම කෆ්කා නැවත පිටතට ගෙන ඔහුව කියවමි. එය සිදුවන්නේ ඒ ආකාරයටය.”
පළමු සාහිත්‍ය කෘතිය
Sátántangó නම් ලස්ලෝ ලියූ පළමු නවකතාව 1985 වසරේ එළිදැක්වූ අතර (Sátántangó ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූයේ 2012 වසරේ දීය), එම කෘතිය තුළ නිරූපණය වෙන වටපිටාව ඔහු ඉපදුණ පිටිසර බද ග්‍රාමයට කිසියම් සමානකමක් දක්වයි. එම කෘතිය හන්ගේරියානු සාහිත්‍ය ලෝලීන් මහත් උනන්දුවෙන් වැළඳ ගත් සාහිත්‍ය කෘතියක් වන අතර ලස්ලෝ ක්‍රස්නහෝර්කයි, සාර්ථක ලේඛකයෙකු ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීමටත් එම කෘතිය ප්‍රබල හේතුවක් වූයේය. එසේම එම නවකතාවෙන් පසුව ලස්ලෝ ක්‍රස්නහෝකයි යුරෝපයේ ප්‍රබල සාංකල්පනික ලේඛකයෙකු ලෙස ද බුහුමන් ලැබුවේය.
ලස්ලෝ ක්‍රස්‍නහෝර්කයි ලියූ ප්‍රථම නවකථාව 'Sátántangó'
එම කෘතියේ කතාව තුළ හන්ගේරියාවේ කොමියුනිස්ට්වාදය බිඳ වැටීමට ටික කාලයකට ප්‍රථම, ගම්බද හන්ගේරියාවේ අත්හැර දැමූ සමූහ ගොවිපළක ජීවත් වූ අන්ත දුංඛිත ගම්වැසියන් පිරිසක් මුහුණ දෙන ඛේදනීය සිදුවීම පෙළක් ඉතාමත් තීව්ර අන්දමින් නිරූපණය කරන අතර එම කෘතිය තුළින් ඉන් වසර හතරකට පසු සිදුවු හන්ගේරියානු කොමියුනිස්ට් පාලනයේ කඩා වැටීම පිළිබඳ අනාවැකි පළ බව ද විචාරකයෝ සඳහන් කරති.
කිසියම් දෙයක් සිදුවේවි යැයි යන්තමින් හෝ බලාපොරොත්තු තබා සිටි ජන සමූහයකට කඩිනම් සුබවාදී අපේක්ෂාවක් ඇති වන්නේ ඔවුන් මියගියේ යැයි සිතා සිටි ඉරිමියිස් සහ පෙත්‍රිනා යන දෙදෙනා ගමට ආපසු පැමිණීමෙන් අනතුරුවය.
ඒ අලුතින් පැමිණි අය සැබවින්ම කවුරුන්ද? සමූහ ගොවිපළ පිළිබඳ සුපරික්ෂාවෙන් පසු වීමට එවූ ඔත්තුකරුවන් ද නැතිනම් සුබවාදි අපේක්ෂාවේ පණිවිඩකරුවන් හෝ විනාශය ගෙන එන යක්ෂයාගේ දූතයන්ද? ඒ පිළිබඳව එම කෘතිය අවසානය දක්වාම කිසිදු පැහැදිලි කිරීමක් ලබා නොදෙන නමුත් වඩාත් හොඳ ජිවිතයක් අපේක්ෂාවන් සිටි ගම්වැසියන් ව ඉතා සුක්ෂම ලෙස රවටන ඉරිමියස් සහ පෙත්‍රිනා ඔවුන්ව තව තවත් හුදකලා කරමින් වඩාත් දුර්මුඛ තත්වයට පත් කරති.
Sátántango කෘතියේ ලේඛණ ශෛලිය ද විශේෂයෙන් පාඨක විචාර අවධානයට යොමු වූ කාරණයකි. ලස්ලෝට අනන්‍ය දීර්ඝ වැකි මෙම කෘතියේ ඉතා පැහැදිලිව දක්නට ලැබෙයි. එසේම එම කෘතියේ ජේද වෙන් කිරීමක් එතරම් දක්නට නැති අතර මුළු කෘතියම ඉදිරිපත් කොට ඇත්තේ තනි ගද්‍යමය ඒ්කාලාපයක් ලෙසය, එහි දක්නට ඇත්තේ විවිධ චරිතවල විවිධ දෘෂ්ටින්, එකිනෙකට මුහු වූ දෙබස්, තනි පුද්ගල සිතුවිලි, ලේඛකයාගේ නිරීක්ෂණ එකිනෙකට මුහුවුණු නොනවතින පරිච්ඡේදයන්ය. කියවීම ආරම්භයේ දී එම ස්වභාවය පාඨකයා වෙත තරමක අපහසුවක් ගෙන දුන්න ද, එම ලේඛණ ශෛලිය කෘතියේ අන්තර්ගතය වඩාත් සාක්ෂාත් කෙරෙන එනම්, චරිතවල මනෝභාවයන්ගේ ඇති වියවුල් සහගත බව, වටපිටාවේ ඇති නිර්දය දුර්මුඛ, මඩ ගොහොරුමය ස්වභාවය වඩාත් තීවර කරන බව විචාරක මතයයි.
එසේම Sátántango කෘතියේ කතාව දිව යන්නේ ඉදිරියටත් පසුපසටත් දෝලනය වෙමින්, ටැංගෝ නැටුමේ චලනයට (පියවර හයක් ඉදිරියට පියවර හයක් පසුපසට ) අනුගත වෙමිනි. එමඟින් පශ්චාද් නූතන මිනිසා අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය අතර දෝලනය වීමත්, දියුණුව ප්‍රගතිය එක තැන කරකැවීමත් යන කාරණා පිළිබඳ ඇඟවෙන රූපකයන් ලෙස ක්‍රියා කරයි. ඉදිිරියට පසුපසට චලනය වෙමින්, එකතැන කැරකෙන සිද්ධි මාලාව අවසානයේ ගෙන යන්නේ යක්ෂයා වෙතය, එනම් මහා විනාශයක් වෙතය.
සිනමා විචාරකයන්ට අනුව ලස්ලෝ ගේ නවකතා යනු දශක ගණනාවක සිට වඩාත් සිත් කම්පනය කරවන, නිර්භීත අභිලාෂකාමී යුරෝපීය සිනමාවේ පාඨමය පදනම දැමූ සාහිත්‍ය නිර්මාණ ය, එය වඩාත් සාක්ෂාත් කරනුයේ ලස්ලෝ සහ හන්ගේරියානු චිත්‍රපට අධ්‍යක්ෂක බේලා තාර් දීර්ඝකාලින නිර්මාණාත්මක කොටස්කරුවන් ලෙස වැඩ කිරීම ආරම්භ කිරිම නිසාය. ඔවුන් දෙදෙනා සැබවින්ම සාහිත්‍යයේත් සිනමා නිර්මාණයේත් තානය, රිද්මය, සුන්දරත්වය එකට කැටි වුණු හන්ගේරියානු සහ අන්තර්ජාතික සිනමාත්මක යුගයක් බිහි කිරීමේ පුරෝගාමිහු ය.
Sátántangó කෘතිය හන්ගේරියානු භාෂාවෙන් එළිදක්වා වසර දහයකට පමණ පසු 1994 වසරේ බේලා තාර් එම කෘතිය පැය හතක් පුරා දිවෙන කළු සුදු සිනමා කෘතියකට නැඟුවේ, එය ලෝක සිනමාව තුළ පවා වඩාත් ප්‍රවාදගත සිනමා නිර්මාණයක් බවට පත් කරමිනි. එම සිනමා පටයේ තිර පිටපත ද ක්‍රස්නහෝර්කයි විසින් සම්පාදනය කළ අතර එහි දක්නට ඇති, දිගු කාලයක් පුරා දිවෙන දර්ශන, චක්‍රාකාර ලෙස දිගහැරෙන කතාන්දර, මතවාදයක ගරාවැටීමක් අභියස මිනිසාගේ මං මුළාවීම පිළිබඳ කෙරෙන නිර්දය නිරූපණය නිසා නවකතාවට අනන්‍ය වූ ස්වරූපය චිත්‍රපටය තුළින් ද මනාව පිළිඹිබු වි තිබුණි.
Sátántangó කෘතිය ඇසුරින් බෙලා තාර් සිනමාවට නැගූ Sátántangó චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය
ලස්ලෝගේ සෙසු සාහිත්‍ය කෘති සහ ලේඛණ ශෛලිය
ලස්ලෝගේ සාහිත්‍ය දිවියේ මුල් කාලීන නිර්මාණ එනම් Sátántangó සහ The Melancholy of Resistance(1989) වැනි කෘති වලට මූලික ලෙස පාදක වූයේ නැඟෙනහිර යුරෝපයේ කොමියුනිස්ට්වාදය කඩා වැටීම සහ ඒකාධිපතිවාදයෙන් බැට කෑ මිනිසා පෙළෙන සදාචාරාත්මක විඩාපත් බවයි. පසුකාලීනව ඔහු එළි දැක්වූ සෙසු නිර්මාණ සළකා බැලූ විටත් පැහැදිලි වන කාරණය වන්නේ ඒවායින් ඉස්මතු වන තේමා බොහෝ විට,දොම්නස් සහගත ලෙස නූතන ශිෂ්ඨාචාරයේ පුරුෂාර්ථ බිඳ වැටීමත්, මහා විනාශයක් පාමුල පවා මිනිසා නැවතත් නැඟී සිටීමට පෙළඹිම වැනි කාරණාය.
විචාරකයන් විසින් පශ්චාද් නූතනවාදියෙකු ලෙස සලකනු ලබන ක්‍රස්නහෝකයි ඔහුගේ දීර්ඝ, සංකීර්ණ වාක්‍ය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි, එසේම ඔහුගේ කතා තේමාවන් බොහෝවිට කාංසාමය සහ නිර්දය තීව්‍රතාවක් සහිත වන අතර එම ලක්ෂණය විසින් ඔහුව ලේඛකයෙකු ලෙස ගොගොල්, මෙල්විල් සහ කෆ්කා සමඟ සන්සන්දනය කිරීමට ද විචාකරයන් පෙළඹී ඇත.
“ක්‍රස්නහෝකයි, කෆ්කා සහ තෝමස් බර්න්හාට් හරහා දිගුවෙන මධ්‍යම යුරෝපා සාහිත්‍ය සම්ප්‍රදාය තුළ ශ්‍රේෂ්ඨ වීර කාව්‍යය රචකයෙකු වන අතර ඔහුගේ නිර්මාණ තුළ දැකිය හැකි අභිතරූපීතාව සහ විකාරරූපිබව යනු ඔහුට අනන්‍ය වූ ලක්ෂණයන්ය.” නෝබල් කමිටුවේ සභාපතිවර ඇන්ඩර්ස් ඔල්සන් පවසා සිටියේය.
ඔහුගේ නිර්මාණ, සංචාරී දිවිපැවැත්මෙන් සහ විවිධ භාෂාවන්ගෙන් සාරවත් වී ඇත. ඔහු පළමුව කොමියුනිස්ට් හංගේරියාවෙන්, 1987 වසරේ පිටමං වූ අතර එක් වසරක් බටහිර ජර්මනියේ ගත කොට ඉන්පසු පෙරදිග ආසියානු කලාපයේ එනම් මොංගෝලියාවේ සහ චීනයේ කාලය ගත කරමින් The Prisoner of Urga සහ Destruction and Sorrow Beneath the Heavens යන නිර්මාණ ලියා අවසන් කළේය. ඉන් අනතුරුව යුරෝපයේ බොහෝ රටවල සංචාරය කර පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ද කාලයක් නැවතී සිට ඇත. වර්තමානයේ ඔහු ජිවත් වන්නේ හන්ගේරියාවේය.
වරෙක ඇමරිකානු ලේඛිකා සහ විචාරිකා සූසන් සොන්ටැක් විසින්, ලස්ලෝ සමකාලීන සාහිත්‍යය තුළ ‘ලෝක විනාශයේ ස්වාමියා’ ලෙස කිරුළු පැළැන්ඳුවාය. ඇය එවැනි විනිශ්චයකට එළැඹියේ ලේඛකයාගේ දෙවැනි කෘතිය The Melancholy of Resistance කියැවීමෙන් අනතුරුවය.
ලස්ලෝ ක්‍රස්නහෝර්කයිගේ දෙවන කෘතිය "The Melancholy of Resistance"
පහත දැක්වෙන්නේ ලස්ලෝ ක්‍රස්නහෝර්කයිට මෙවර සාහිත්‍ය සඳහා වූ නෝබල් සම්මානය ලැබුණු බව දැන්වීමට ඔහු ඇමතූ නෝබල් කමිටුවේ ජෙනී රිඩියන් සමඟ කළ කෙටි පිළිසඳරෙන් කොටසකි:
ඔබට මේ මොහොතේ කුමක් ද දැනෙන්නේ?
මේක මහා විපත්තියකටත් වැඩි යමක්. මම දැන් හිතන්නෙ සැමුවෙල් බෙකට් තමන්ට ලැබුණු නෝබල් සම්මානය පිළිබඳ දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව. ඔහු ප්‍රශ්නයක් නැඟුවේවත් උත්තරයක් දුන්නේවත් නැහැ. ඔබට මතක ද ඔහු කියූ වැකිය: “මොන විපත්තියක්ද?” ඒ් වැකිය තමයි ඔහුට නෝබල් සම්මානය ලැබුණු බවට දැනගත් වහාම ඔහු කිව්වෙ. ඒ නිසයි මම ඔබට කිව්වෙ මේක විපත්තියකට වැඩි දෙයක් කියලා. එය සතුට සහ ආඩම්බරයයි. මට මගේ මුල් භාෂාවෙන්, එනම් හන්ගේරියානු භාෂාවෙන් ලිවීමට ශක්තිය දුන් බොහොමයක් ශ්‍රේෂ්ඨ ලේඛකයන්, කවීන් සමඟ එක පෙළට සිටගැනීමට හැකි වීම පිලිබඳව බොහොම සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා. මම ගොඩක් සතුටු වෙනවා වගේම ආඩම්බර වෙනවා මේ පුංචි භාෂාව මම භාවිතා කිරීම පිළිබඳව. මම පළමුව පාඨකයන්ට ස්තූතිවන්ත වෙනවා. මම හිතනවා හැම අයෙකුම ඔවුන්ගේ ෆැන්ටසි මැවීමෙ හැකියාව නැවත අත්පත් කරගනීවි කියා මොකද ෆැන්ටසිය නොමැති විට ජීවිතය සහමුළින්ම වෙනස්දෙයක් බවට පත්වන නිසා, එසේම කියවීම කියන දේ, ලෝකයේ මේ වඩාත් දුෂ්කර කාලය තුළ අපට නොනැසී පවතින්න මහත් ශක්තියක් ලබා දෙනවා.
අපට කියන්න පුළුවන් ද ඔබ ලිවීමට උත්තේජනය ලබන විශාලම මූලාශ්‍රය කුමක් ද කියන එක?
දොම්නස. අද ලෝකයේ තත්වය පිළිබඳ මම හිතද්දි මට විශාල වේදනාවක් දැනෙනවා. එය තමයි මගේ ගැඹුරුම උත්තේජනය. ඊළඟ පරම්පරාවලට, සාහිත්‍යයේ ඊළඟ පරම්පරාවලටත් උත්තේජනය එයට සපයන්න හැකි වේවි. ඉදිරි පරම්පරාවලට මේ කාලය තුළ නොනැසී පවතින්න සැපයෙන උත්තේජනයක් එය, මොකද මේ ඉතාමත් අඳුරු කාලයක්, පෙරට වඩා අපට, අප රැක ගන්න ශක්තිය මහත් සේ ඕනෑ කරනවා.
ඔබ කියනවා වගේ මේ අඳුරු යුගයේ ඔබට නොනැසී පැවතීම සම්බන්ධයෙන් ලිවීම කොයිතරම් වැදගත් වෙනවාද ?
ලිවීම කියන්නෙ සැබවින්ම මගේ පෞද්ගලික දෙයක්. මම කවදාවත් මම ලියන දේවල් පිළිබඳ මම කතාබහ කරන්නේ නැහැ, මම කවදාවත් මා ලියන දේවල් මගේ විශ්මිත ලේඛක කවිකාර මිතුරන්ට මම පෙන්වන්නේ නැහැ. මම පොතක් ලියනවා, ඉන් පස්සේ මම ඒක ප්‍රකාශකයාට දෙනවා, මට ඉන් අනතුරුව පොඩි විරාමයක් අවශ්‍ය වෙනවා. ඉන්පසු මම නැවතත් ලියන්න පටන් ගන්න දවස උදාවෙනවා, මම නැවත අලුත් පොතක වැඩ ආරම්භ කරනවා මම පෙරදී ට වඩා හොඳින් ලියන්න සිතාගෙන.
තොරතුරු මූලාශ්‍ර - nobleprize.org. Observer.com, budapestreporter.com, theguardian.com

කතෘ - සුභාෂිණී චතුරිකා
(මෙම ලිපිය 2025/10/17 'අනිද්දා' ජාතික පුවත්පතේ මුල් වරට පළ විය.



