lan englan tam

විශේෂාංග

“මම රොබට් නොක්ස්ගේ ඥාතියෙක් ලංකාවට ගෙනාවා” - ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

("අරුණ" ජාතික පුවත්පත)

-Lakmal Bogahawatta-

සිංහල නවකතා කියවන පාඨක සමාජයේ සුනේත්‍රා රාජකරුණානායකගේ නවකතාවක් නොකියවූ පාඨකයෙක් නොමැති තරම්ය.

තම පළමු නවකතාව ‘සඳුන්ගිර ගිනිගනියි’ මගින් ලබාගත් පාඨක ආකර්ෂණය වසර හතළිහකට ආසන්න කාලයක් නවකතාව හා රැඳෙන්නට ඇයට පිටුවහලක් විය. ඇය 2024 වසරේදී ලියූ ‘පරිකර්ම’ (සරසවි ප්‍රකාශන) 2025 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ අවසන් වටය නියෝජනය කළ නවකතාවකි. ඇගේ නවතම නවකතාව ‘ප්‍රාණ’ සරසවි ප්‍රකාශනයක් ලෙසින් මේ වසරේදී නිකුත් විය. රාජ්‍ය සම්මාන ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ සියලු සාහිත්‍ය සම්මානවලින් ඇයගේ නවකතා පිදුම් ලබා ඇත. මේ සංවාදය ඇගේ නවකතා කලාව පිළිබඳවය.

 

සංවාදකයාඔබ ලියූ පළමු නවකතාව ‘සඳුන්ගිර ගිනිගනියි’ පාඨක, විචාරක අවධානය නොඅඩුව දිනාගත් නවකතාවක්. ඊට පෙර ඔබ කෙටිකතා, තීරු ලිපි ලියා ඇතත්, පරිවර්තන කර තිබුණත් ලේඛිකාවක් ලෙසින් ස්ථාවර වෙන්නේ ඒ නවකතාවත් එක්ක. ඔබ වසර හතළිහකට ආසන්න කාලයක් නවකතා ලියමින් ඉන්නවා. මේ තරම් දිගු කාලයක් නවකතාව සමඟ රැඳෙන්නේ ඔබේ නවකතා අලෙවි වෙන නිසා ද? නැත්නම් ඔබේ ආත්ම තෘප්තිය වෙනුවෙන් ද?

සුනේත්‍රා රාජකරුණානායක - මම හිතන්නේ ඔබේ ප්‍රශ්නයේම යම් ආකාරයක පිළිතුරක් මිශ්‍රවී තියෙනවා. කොහොමටත් පොතක් ලිවීමේ ආසාව මට පොඩි කාලයේ ඉඳන්ම තිබුණා. නමුත් මම කවදාවත් හිතුවෙ නැහැ වෘත්තීය ලේඛිකාවක් වෙයි කියලා. එහෙම වෘත්තීය ලේඛිකාවක් විය හැකි පසුබිමක් මා ලේඛනයට පිවිසි අවධියේ තිබුණේ නැහැ. ඔව්, නවකතාකාරිණියක් විදිහට මම ස්ථාවර වුණේ ‘සඳුන්ගිර ගිනිගිනියි’ නවකතාව එක්ක.

 

ආධුනික ලේඛිකාවක් ලෙසින් සඳුන්ගිර මුද්‍රණය කර ගැනීමේදී ඔබ මුහුණදුන්නේ කිනම් අත්දැකීමකට ද?

ඇත්තෙන්ම ප්‍රකාශකයෝ කැමැති වුණේ නැහැ ඒ නවකතාව මුද්‍රණය කරන්න. මොකද මම සඳුන්ගිර ලිව්වේ සබරගමුවේ මිනිස්සු කතාකරන භාෂාවෙන්. ඒ කාලයේ ප්‍රකාශකයො හිටියෙත් අතළොස්සයි. ඒ නිසා එය තවත් අසීරු වුණා. සඳුන්ගිර මුද්‍රණය කළේ අපේ කාර් එක විකුණලා.

අවසානයේ පුවත්පතක කිසිදු විචාරකයක් පළවෙන්න පෙර ‘සඳුන්ගිර ගිනිගනියි’ පිටපත් දෙදාහක් මුල් මාස තුනේදි අලෙවි වුණා. ඊට පසුව තවත් පිටපත් තුන්දහසක් මුද්‍රණය කළා. එයත් වසරක් ගතවෙන්න පෙර අවසන් වුණා. ඒ නවකතාව අදටත් පාඨකයෝ මිලදී ගන්නවා. ‘සඳුන්ගිර ගිනිගනී’ දෙවැනි කොටසත් ලියන්න සමහර පාඨකයො මගෙන් ඉල්ලීම් කරනවා. ඒත් අද ගම වෙනස්වෙලා. එවැනි ගම් දැන් නැහැ.

 

ඔබේ දීර්ඝ ලේඛනාවලියෙන් නවක පාඨකයෙක් සුනේත්‍රා රාජකරුණානායක සොයනවා නම් පටන්ගන්න ඕනේ කොතැනින් ද?

මගේ නවකතා කියවන්න පටන්ගන්න අලුත් පාඨකයෙක් කොතැනින් ආරම්භ කළත් මා ලියූ අනෙක් සියලු නවකතා කියවනවා. ඒ නිසා එක නවකතාවක් හෝ කෘතියක් නම් කරන්න මට බැහැ. මට හමුවන ඇතැම් පාඨකයෝ සඳුන්ගිරෙන් පටන්ගත්ත අය. සමහරු මෑත කාලයේ නවකතාවලින් පටන්ගත්ත අය. එංගලන්තයේ ලිවර්පූල් පදිංචි අපේ වෛද්‍ය මහාචාර්යවරියක්ගෙ නිවසේ තිබූ මා ලියූ සියලු පොත්වලින් පිරුණු පොත් රාක්කය මා විශ්මයට පත් කළා.

 

ඔබ පළමු නවකතාව ලියන්නේ සබරගමුවේ භාෂාවෙන්. අද වෙද්දි ඔබේ නවකතාවේ භාෂාව සැකසෙන්නේ කිනම් ආකාරයට ද?

මෑත කාලයේ මා ලියූ ‘කැන්ඩිමහල්’ නවකතාවේ ඉන්නේ මොරටුවේ චරිත. ඔවුන් කතාකරන භාෂාව සඳුන්ගිරේ කුසුමා කතාකරන භාෂාවට වඩා වෙනස්. මම හිතන්නේ නවකතාවකදි මගේ භාෂාව පාවිච්චි කරන්න බැහැ. චරිතයට අනුව තමයි භාෂාව සැකසෙන්නේ.

 

ඔබ ලියන නවකතාවක් සඳහා යොදන නම නවකතාව ලිවීමට පෙර තීරණය කරනවා ද? නැත්නම් නවකතාව ලියා අවසානයේ එය තීරණය කරනවා ද?

සමහර නවකතාවලට නම කලින්ම එනවා. ‘නිෂ්ක්‍රාන්තිය’ නවකතාවේ නම මගේ ඔළුවට එන්නේ ඉන්දියාවේ ධර්මශාලාවලදි. ඒ නවකතාවේ කවරයේ පින්තූරය පවා මම ගත්තේ ධර්මශාලාවලදි. කවරයත් ලෑස්තියි, නමත් ලෑස්තියි. ඒත් මම දැනගෙන හිටියේ නැහැ මොකක්ද ලියන්නෙ කියලා. මම දළ අදහසක් ඇතිව ලියන්න පටන්ගත්තත් පූර්ණ සැලසුමක් ඇතිව නෙවෙයි ලියන්නේ. මොකද ලියාගෙන යන අතරමගදි මා නොසිතන චරිත එකතුවෙනවා.

 

දැන් සිංහල නවකතාවලට ඉංග්‍රීසි නම් යෙදීම ප්‍රවණතාවක් වෙලා...

මම නම් මගේ කිසිම නවකතාවකට ඉංග්‍රීසි නම් යොදාගෙන නැහැ. අඩුම තරමේ මගේ නම පවා ඉංග්‍රීසියෙන් යොදන්න කැමැති නැහැ. මම නොදැන මගේ නම සහ පොතේ නම ඉංග්‍රීසියෙන් යොදන්න තීරණය කර තිබූ මොහොතක මම එයට දැඩිව විරුද්ධ වුණා. සුද්දෝ නෙවෙයිනෙ අපේ නවකතා කියවන්නේ.

 

අද වෙද්දි ඔබ වසරකට නවකතාවක් ලියනවා. මේ තරම් නවකතා ලියන්න තේමාවන් සොයාගන්නේ කොහොම ද?

ඇතැම් කතා බොහෝ කාලයක ඉඳන් හිතේ තියෙනවා. එහෙම තිබුණට ඒ කතාව නොලියා වෙන නවකතාවක් ලියනවා. මම අනූව දශකයේ මැද භාගයේදි තමයි මම ‘සිලෝනාගමනය’ ලියන්න රාජසිංහ රජුගේ ඥාතීන් සොයා ඉන්දියාවට ගියේ. ඊටත් බොහෝ පෙර තමයි ඒ නවකතාව ලියන්න අවශ්‍ය කියැවීම් කළේ. ඒ වුණත් ‘සිලෝනාගමනය’ ලියන්න කොවිඩ් කාලය එනකම් කල් ගත වුණා. මොකද ඒ අතර කාලයේ රටේ ඇතිවෙන දේශපාලන කම්පනයක් හෝ වෙනයම් කාරණයක් නිසා වෙන කතාවක් ලියැවෙනවා. හැම වෙලාවෙම මගේ ඔළුවේ කතා දෙක තුනක් තියෙනවා.

 

ලිවීමේදී ඔය කතා පැටලෙන්නේ නැද්ද?

නැහැ, කතා දෙක තුනක් තිබුණාට එක කතාවක් ඓතිහාසික වෙන්න පුළුවන්. ඒක අනුරාධපුර යුගයේ හෝ නුවර යුගයේ වෙන්න පුළුවන්. නමුත් මම ලියන්න යන්නේ වර්තමාන කතාවක් නම් අර කිසිවක් අදාළ වෙන්නේ නැහැනෙ.

 

ඓතිහාසික නවකතා ලියද්දි ඔබ බොහෝ ඉතිහාස මූලාශ්‍ර කියවනවා. ඒවා සොයායනවා...

ඔව්, එතනදි මම සම්පූර්ණ ඉතිහාසය ගැනම සොයනවා. මම ලියන්නේ අනුරාධපුර යුගයේ එක් සමයක කතාවක් වුණත්, සම්පූර්ණ අනුරාධපුර යුගයම හදාරනවා. අනෙක මා දීර්ඝ කාලයක් තිස්සේ පුරාවිද්‍යාවට සහ ඉතිහාසයට අදාළ පොත් කියවනවා. විශාල දැනුම පිපාසයක් මට තියෙනවා.

 

ඔබේ ඒ කියැවීම් දළ සටහන් වශයෙන් ළඟ තබාගන්නවා ද?

නැහැ... ඒවා මනසේ තැන්පත් වෙනවා. ‘සිලෝනාගමනය’ ලියද්දි මදුරාසි (චෙන්නායි) ඉතිහාසය ගැන මම කියෙව්වා. ඒ කියවලා මදි. ඒ නිසා අදාළ ස්ථානවලට යනවා. මම මොන රටකට ගියත් පළමුව යන්නේ ඒ රටේ කෞතුකාගාරයට.

 

ඔබටත් විශාල පොත් එකතුවක් තිබුණා...

ඒ පොත්වලින් බොහොමයක් පරිත්‍යාග කළා. අද වුණත් මට ලැබෙන පොත් මා තියාගන්නේ නැහැ. අද මා සන්තකයේ තියෙන්නේ ත්‍රිපිටකය සහ ඉතිහාස පොත්.

 

ඔබ නිතරම කියවන විශේෂ පොතක් තියෙනවා ද?

ඉතිහාසයට අදාළ පොත් යම් ඓතිහාසික නවකතාවක් ලියද්දි පෙරලා බලනවා. මම නැවත නැවත කියැවූ පොත තමයි ත්‍රිපිටකය. නමුත් දැන් නම් එහෙම කියවන්න වෙලාවක් නැහැ.

 

කොහොම ද ඔබ නවකතාවක කථකයා තීරණය කරන්නේ...

‘රිදී තිරංගනාව’ නවකතාවෙදි එකම පුද්ගලයාගේ චරිතය විවිධ අවස්ථාවන්, විවිධ කථකයන් ඔස්සේ කියන්න උත්සාහ කළා. ඊට පෙර සිංහල නවකතාවක එහෙම තිබුණාද කියා මා දන්නේ නැහැ. ඒක තේරුම් නොගත්ත විචාරකයෙක් ‘රාවය’ පුවත්පතට විචාරයක් ලියා තිබුණා කතාව ඉලාස්ටික් කරලා කියල. ඔහු තේරුම් අරන් තිබුණේ නවකතාව දිගු කිරීමේ වුවමනාවෙන් මා එය සිදුකළ බවයි. ‘ප්‍රේම පුරාණය’ නවකතාවෙදි මම එක දිගට කතාව නොකියා, කථකයාගේ ජීවිතයෙදි හමුවන විවිධ ස්ත්‍රී පුරුෂයන් මගින් සිදුවන සිදුවීම් තමයි තෝරගත්තේ.

මා නොදන්නා භූගෝලීය පරිසරයක චරිතයක් කථකයා වශයෙන් යොදාගන්නේ නැහැ. නමුත් මගේ නවකතාවල තියෙන නිවාස මම නිර්මාණය කළ ඒවා. මගේ හිතේ තියෙන නිවාස. ‘රිදී තිරංගනාව’ නවකතාවේ තියෙන නිවස මම දැකපු නිවසක් නෙවෙයි. මගේ හිතේ මැවුන නිවසක්.

 

පසුගිය වසරේ ලියූ ‘පරිකර්ම’ නවකතාවේ පෝෂියා ඔබට හමුවෙන්නෙ කෙලෙස ද?

රොබට් නොක්ස් බොහෝ තැන්වලදි කියන්නේ අනෙක් අයට නම් ගෑනු හිටියා, මට නම් හිටියේ නැහැ කියලයි. මා කියැවූ ඉංග්‍රීසි ලේඛනයක තිබුණා නොක්ස්ට ගැහැනු ළමයෙක් හදාගන්න වුවමනා වුණු බව. ඔහුට ළමයෙක් හිටිය බව. ඒ ළමයා ගැන වැඩි විස්තරයක් නැහැ. රොබට් නොක්ස් ලංකාවෙන් යද්දි ඔහුගේ සියලු දේපළ පවරා තියෙන්නේ ඒ දියණියට. ඒ වගේම නොක්ස් එක තැනකදි කියනවා ඔහුට භාර්යාවක් වුවමනා වුණත් සුදුසු අයෙක් හමුනොවුණ බව.

ලන්ඩන් ගිය මොහොතක නොක්ස්ගෙ සොහොන් කොත පවා මා දුටුවා. ඉතින් මට හිතුණා නොක්ස්ගේ පවුලේ කෙනෙක් ලංකාවට ගේන්න ඕන කියලා. නමුත් ඇත්තටම එහෙම කෙනෙක් ආවාද නැද්ද කියා මා දන්නේ නැහැ.

 

පෝෂියා සාම්ප්‍රදායික ගැහැනියක්. ඇය වික්ටෝරියානු සදාචාරයෙන් හික්මුණු ගැහැනියක්. පෝෂියා සහ එසමයේ ලංකාවේ ගැහැනිය ඔබ සසඳන්නේ කොහොම ද?

පෝෂියා සහ ලංකාවේ ඒ කාලයේ හිටපු ගැහැනුන් අතරයි වෙනසක් තියෙනවා. ලංකාවේ ඒ කාලයේ එකගෙයි පවුල් කෑවා. ඒ ලිංගික අවශ්‍යතාවක් මත නෙවෙයි, දේපළ බෙදීයෑම වළක්වාගන්න. එකගෙයි කෑම ඒ වෙද්දි එංගලන්තයේ හිතන්නවත් බැරි දෙයක්. ඊළඟට ලංකාවේ කාන්තාවන්ට දික්කසාදය එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. එදා අද වගේ පොතක ලියා අත්සන් කළේ නැහැ. තමන් දැන් ජීවත්වන පුරුෂයා එපා නම්, වෙන පුරුෂයෙක් එක්ක ගිහින් ජීවත්වුණා. හැත්තෑව දශකයේ පවා විවාහ නොවී දරුවන් වදා හොඳින් පවුල් ජීවිත ගත කළ අය හිටියා. ලංකාවේ ගැහැනුන්ට දේපළ හිමිකම තිබුණා. රජ බිසෝවරුන්ට ශ්‍රීදාන කියලා ඉඩම් දුන්නා. ඒ ඉඩම්වලින් ලැබෙන ආදායමෙන් ඒ කාන්තාවන්ට කැමැති දෙයක් කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් ලංකාවේ කාන්තාව වෙනස්.

වික්ටෝරියාව රැජින වුණත් පසුගාමී අදහස් තිබුණු කාන්තාවක් නෙවෙයි. නමුත් මිෂනාරිවරු විසින් යම් යම් සදාචාර සීමා පනවා තිබුණා. ක්‍රිස්තියානි ආගම එක්ක විදේශිකයෝ මෙහි බලය ස්ථාපිත කළාම ඔවුන්ගේ බලය රැකගන්න විශාල පිරිසක් ඔවුන්ගේ ආගමට හරවාගත්තා. අධ්‍යාපනයත් එහෙමයි. ඒ නිසා අපේ කාන්තාවන්ට කලින් තිබුණු නිදහස නැතිවුණා. ඒ අයගෙ ඇඳුම්-පැළඳුම්, චර්යාවන් වෙනස් වුණා. ස්ත්‍රිය ඉන්න ඕන විදිහ ගැන නීති පැනවුණා.

 

‘පරිකර්ම’ මගින් ඔබ වික්ටෝරියා රැජින ගැන මතුකරන ඇතැම් කරුණු වික්ටෝරියානු සුචරිතවාදය ප්‍රශ්න කරනවා... ජෝන් බ්‍රවුන්ස් නමැති අස්ගොව්වා සමඟ සම්බන්ධයක් වික්ටෝරියා රැජිනට තිබුණා ද? ඔහු ඇයට තෑගි කළ මුද්ද ඇගේ මිනී පෙට්ටියට දැමීම වැනි දේ ගැන ඔබ දැනගත්කේ කොහොම ද?

මම ලන්ඩන් ඉන්න කාලයේ එහේ පුස්තකාලයෙන් ගෙනත් සතියට පොත් දොළහක් වගේ කියවනවා. හැබැයි ඒවා නවකතා නෙවෙයි. ඉතිහාසය සහ දේශපාලනයට අදාළ පොත්. ඒවා කියවද්දි තමයි වික්ටෝරියානු රැජිනට සම්බන්ධ ඔබ ඔය කියන සිදුවීම් හමුවුණේ. ඒවාට විරුද්ධව රජ මාලිගයෙන් කිසිදු වාරණයක් පනවා නැහැ. ජෝන් බ්‍රවුන්ස් සමඟ සම්බන්ධයක් තිබුණ බව සමහරු කියනවා. ඇත්තටම ඔහු කඩවසම් පුද්ගලයෙක්. මුද්දේ කතාව ඇයගේ වෛද්‍යවරයා කියන දෙයක්. අපිට හිතාගන්න බැහැ... ඇය සුචරිතවාදී කාන්තාවක් ලෙසයි අපේ හිතේ ඇඳී තිබුණේ. එහෙම බැලුවාම වික්ටෝරියානු සුචරිතවාදය කියන යෙදුම හරිද කියලත් හිතෙනවා. ඇය අවසාන කාලයේ ඉන්දියානු යෝගියෙක් තම මාලිගාවේ නවත්වා ගත්තා.

ලන්ඩන්වලදි මා කියැවූ පොත් නිසා තමයි වික්ටෝරියා රැජින ගැන ඒ නිගමනවලට මා එළඹුණේ. ඒ කිසි දෙයක් මගේ හිතළුවට කියූ දේවල් නෙවෙයි. මේ නවකතාව පොඩි වුණත් ඒ වෙනුවෙන් මා කළ හැදෑරීම් විශාලයි.

 

ඔබේ අලුත්ම නවකතාව ‘ප්‍රාණ’. මේ නවකතාවට එක් යුගයක මෙරට විසූ ප්‍රකට දේශපාලනඥයන් කිහිප දෙනෙක්ගේ ඝාතන පාදකවී තියෙනවා...

මම පැවත එන්නේ සම සමාජ පවුලකින්. පොඩි කාලයේ ඉඳන් මගේ තත්තා මා මැයි දින රැළිවලට එක්කගෙන යනවා. දේශපාලන ස්ථාවරය එහෙම වුණාට, යම් යම් මිනිසුන් කරන්න උත්සාහ කළ යහපත් දේවල් අමතක කරන්න බැහැ. ඉතින් ලලිත් ඇතුලත්මුදලි ඝාතනය මා කම්පනයට පත් කළ සිදුවීමක්. ලලිත් ඝාතනයට චෝදනා ලැබූ දෙමළ තරුණයා මියගියේ නැත්නම්, ඔහුට ගැලවෙන්න ක්‍රමයක් තිබුණු බවයි මම හිතුවේ. මා මේ රටේ සිදුවූ බොහෝ දේවල් දුටු පරම්පරාවක කෙනෙක්. අපිට දැනුන කම්පනය අලුත් පරම්පරාවට දැනෙන්නේ නැහැ. ඒ කරුණු ‘ප්‍රාණ’ මා අතින් ලියැවෙන්න බලපාන්න ඇති. නමුත් මම කැමැති නැහැ දේශපාලන සටන් පාඨ පිරුණු අමු දේශපාලනය නවකතාවක් ලියන්න.

 

491047285 10231409774259509 6042815206602045648 n 1

සංවාදය - ලක්මාල් බෝගහවත්ත

මෙම සංවාදය සති අග 'අරුණ' ජාතික පුවත්පතේ (2025/10/26) වන දින මුල් වරට පළ විය.

 

 

 

සංවාද සටහන උපුටා ගැනීම "Suranga Indika Lakmal Bogahawatta" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom