-Lakmina Ranasinghe-
“ආයු” කියන්නෙ ලස්සන හාට්-ඇටෑක් එකක් මිත්‍රයා. ඒ නිසා ආයු බලන්න එපා!! සතුටින් ඉවර වෙන, සරල, සුන්දර, රොමෑන්ටික් ට්‍රිප් එකක් යන්න කැමති නම් ඔයා "ආයු" බලන්න එපා! එපා!! එපා!!! විසිල් ගහලා බල්ටි ගහලා හුරේ දාලා ජයප්‍රියවාදී කෝණෙකින් ෆිල්ම් බලන්න කැමති අයත් ආයු බලන්න එපා!! ආයු කියන්නෙ ෆැන්ටසි ආතල් එකක් නෙමෙයි. Ayu - ආයු - The Movie කියන්නෙ රහසක් හංගගෙන ගලාගෙන යන, අමු තිත්ත රියැලිටි එකක් මිත්‍රයා!!

මිනිස් සම්බන්ධතාවල තියන අදහාගන්න බැරි ගැඹුර, පුරෝකථනය කරන්න බැරි හැඟීම්, ඛේදවාචක ඉදිරියේ ගැහැනු පිරිමි හැසිරෙන විදිහ, ගැහැනු හිත්වල තියන ධෛර්ය තමයි ආයු ඇතුලෙ තියෙන්නෙ. ඇත්තටම මේක ෆැන්ටසි ආතල් කුඩු වෙන කතාවක් නිසා හදවතත් මොළයත් දෙකම පාවිච්චි කරලා මේක බලන්න ඕනෙ. කිසිම් රූප-රාමුවක්, දෙබසක් මිස් කරන්න නම් එපා මිත්‍රයා. මිස් වුනොත් නම් විනාසයක් තමයි වෙන්නෙ.
ගැහැනුන්ගෙ හිත් කියවන්න වයිමට තියා, සක්‍රයට තියා, ඇරිස්ටෝටල්ට තියා, මහින්ද මහත්තයටවත් බෑ මිත්‍රයා. ඉතිං අපිට ඒක ලොවෙත් කරන්න බෑ. ගෑනු හිත් ඒ තරම් ගුප්තයි, අඳුරුයි, ගැඹුරුයි, අවිනිශ්චිතයි, සංකීර්ණයි.... තව කියන්න පුළුවන්... ඒත් මට ගෙදරින් ඉඳලා හිටලා හරි හම්බවෙන ආහාර සලාකෙ නැති කරගන්න බෑනෙ මිත්‍රයා. ඩෝං! ඒත් ගෑනු හිත් ලස්සනයි. ඉතිං ගෑනු හිතක් ඇතුලෙ රෝලකෝස්ට එකක් වගේ උඩ පහල යන හැඟීම් ගැන ආයු ෆිල්ම් එකෙන් හරි ලස්සනට පෙන්නලා තියනවා. ඒ ගෑනු හිත ගැන රඟදක්වලා පෙන්නුවේ Sandra Mack!! ඒ චරිතයට අදාළ පෙනුම සැන්ඩ්‍රාට ඕනවටත් වඩා හොඳට සහ ලස්සනට තිබුනා.

ගෑනු හිතේ තියන ගිනි පුළිඟුවට ඇවිලෙන්න නම් වෙඩිබෙහෙත් වගේ තියන පිරිමි හිත් එක්ක අර ගෑනු ගිනි පුළිඟුව හප්පලා, ගාවලා, අතුල්ලන්න ඕනෙ. මේ ෆිල්ම් එකේ වෙඩිබෙහෙත්වලට රඟපෑවේ Ash Dias සහ Jagath Manuwarna Kodithuwakku. ඒ ඒ චරිතවල සමාජ පන්තිවලට ගැළපෙන විදිහට මේ දෙන්නා තමන්ගේ රංගනය ඇතුලේ හැසිරෙන විදිහ හරියටම හරි. අන්තිමේදී මේ වෙඩිබෙහෙත් සහ ගිනිපුළිඟු එකතු වෙලා මහා ගින්නක් අපේ හිතේ පත්තු කරනවා මිත්‍රයා. අපි ෆිල්ම් එක බලලා එළියට එන්නෙ ඒ ගින්නත් එක්ක හාට්-ඇටෑක් එකකුත් හදාගෙන!! ඩෝං!! ඒ හාට්-ඇටෑක් එක මේ කතාවේ චරිතවලටත් හැදෙනවා.

මේ වැඩේ ඇතුළේ Nalin Lusena සහ මාලිනි ෆොන්සේකාගේ තියන රංගන හැකියාවන්වලින් උපරිම ප්‍රයෝජන ගන්න ආයු අධ්‍යක්ෂණය කරපු Chathra Weeraman ට පුළුවන් වෙලා තියනවා. මේකෙ Priyantha Sirikumara ඉන්නෙ ඉතාමත් කුඩා කොටස් කිහිපයක විතරයි. මෑත සිනමාවේ අඩුම තිර කාලයක දී සහය චරිතයක් හොඳටම කරපු අවස්ථාවක් තමයි ප්‍රියන්ත සිරිකුමාර ආයු එකේ කරපු රංගනය. පොඩි දරුවන්ව බලෙන් රඟපාවන්න ගිහිල්ලා අනාගන්න ෆිල්ම්ස් අතරේ, පුංචි දරුවෙක්ව හරිම පරිස්සමට ඩිරෙක්ට් කරන්නෙ කොහොමද කියලා මේ ෆිල්ම් එකෙන් මුළු ක්ෂේත්‍රයටම කියලා දීලා තියනවා.
ආයු ෆිල්ම් එකේ සිදුවීම්, අතීතය සහ වර්තමානය පටලවලා එඩිට් කරලා තමයි පෙන්නන්නෙ. ඒ පටලැවිල්ල ඇතුලෙ තමයි මේ ප්ලොට් එකේ තියන හාට්-ඇටෑක්මය මැජික් එක අපේ බොක්කටම දැනෙන්නෙ. සාමාන්‍ය කතාවක් වගේ මුල ඉඳලා අගට පිළිවෙලට ගියා නම් මේ ෆිල්ම් එකේ තියන මැජිකල් ප්ලොට් ට්විස්ට් එක නැතිවෙනවා.
ආයු කියන්නෙ හිතාගන්න බැරි අවසානයක් තියන, ට්‍රේලර් එක බැලුවාම අපිට හිතෙන දේට වඩා සියදාස් ගුණයක වෙනස් දෙයක් සිද්ධවෙන ෆිල්ම් එකක් මිත්‍රයා. ආයු ප්ලොට් එකට සාපේක්ෂව ට්‍රේලර්ස් නම් ඉතා දුර්වලයි. ඒත් ප්‍රධාන ට්විස්ට් එක මාට්ටු වෙන්නෙ නැතිවෙන විදිහට ට්‍රේලර් එකක් හදනවා කියන්නෙත්, බැක්ෆයර් වෙන්නෙ නැතුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරනවා වගේ පට්ට අමාරු වැඩක්. ඒත් ඉතිං අලියව හදන්න වගේම හෙණ්ඩුව හදන්නත් මහන්සි වෙන්න ඕනෙ. බැරි වෙලාවත් චත්‍ර මගෙන් ඇහුවොත් “එහෙනම් උඹම කියපංකො!! ට්‍රේලර් එක කපන්නෙ කොහොමද?” කියලා..... මටත් ඒකට උත්තරයක් නෑ!
මේ ෆිල්ම් එකේ සමහර කොටස් තවත් ට්‍රිම් කළා නම් මේ ෆිල්ම් එකේ ටෙම්පො එක තව ටිකක් වාසි සහගත විදිහට වැඩි වෙනවා. ඒත් චත්‍ර ඒ වාසිය අරගෙන නෑ. ඒ වෙනුවට රිස්ක් එකක් අරගෙන චරිතවල සිතුවිලි ගලාගෙන යන ස්වභාවික රිදම් එකටම ඒ චරිත පෙන්නලා තියනවා.

ආයු එකේ රූප රාමු හිතාගන්න බැරි තරම් ඇහැට සනීපයි සහ පට්ට බැලන්ස්. අපේ ඇස් ඉල්ලන විෂුවල් න්‍යායන්වලට හරියටම ගලපලා ෆ්‍රේම්ස් හදලා තියනවා. කැමරාකරණය ගැන ඉගෙනගන්න කෙනෙක්ට ආයු කියන්නෙ සුපිරි ටියුටෝරියල් එකක් මිත්‍රයා. Kalinga Deshapriya තමයි ඒ සුපිරි කැමරා අධ්‍යක්ෂවරයා. කලා අධ්‍යක්ෂවරයා විදිහට හිටපු Bimal Dushmantha මේ රූප රාමු ලස්සනට ෆිනිෂ් කරන්න දොඹෙන් දායක වෙලා තියනවා.
මියුසික් ඩවුන් ප්ලේ කරලා කෝච්චියේ සද්දෙ සහ මුහුදෙ සද්දෙ හරිම ලස්සනට සහ සිම්බොලික් විදිහට පාවිච්චි කරලා තියන විදිහ ඇතුළු, මියුසිකල් දේවල් මේ වැඩේ ඇතුලේ සෑහෙන විද්‍යාත්මකව කරලා තියනවා.
චරිතවල හිත් ඇතුලේ තියන මනෝභාවයන් පෙන්නන්න නානාප්‍රකාර මෝස්තරයේ ක්‍රම සිනමාවේ තියනවා. ආයු ෆිල්ම් එකෙත් එහෙම ක්‍රමයක් පාවිච්චි කරලා තියනවා. ඒ මොකද්ද කියලා මම දැන් කියන්නෙ නෑ. ඒත් මම මේ නොකියා කියන දේ පොදු ප්‍රේක්ෂකයා දකින්නෙ කොහොමද කියන එක ගැනත් මම ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.
Shakthi Weerasinghe ආයු වෙනුවෙන් ලියලා තියන ද්වී අර්ථ ගුණ දෝරෙගලන දෙබස් අපේ හදවතට වගේම මොළේටත් කතා කරනවා මිත්‍රයා. ශක්තිගෙ දෙබස් ඒ තරම් ශක්තිමත්. හැබැයි අපි ඒ හැම දෙබසක්ම හරිම පරිස්සමෙන් කියවගත්තොත් මාරම රහක් විඳින්න අපිට පුළුවන්.
ඛේදවාචක ඉදිරියේ කඩාවැටෙන, ජීවිතේ හොයන, ප්‍රේමයේ සහ ලිංගිකත්වයේ සිමා මායිම් ගැන නිදහසේ හිතන කෙනෙක්ට ආයු බලන්න ටිකට් එකක් ගන්නවා කියන්නෙ, ආයු ෆිල්ම් එකේ දෙබසක කියන විදිහටම කියනවා නම් “කුරුණෑගලට ටිකට් අරගෙන අනුරාධපුරේ වෙනකම් යන්න පුළුවන්” , ෆැන්ටසි කුඩු කරන, ඒත් ජීවිතේ අවබෝධ වෙන ට්‍රිප් එකක්. මේ ගමනේ වංගු, පල්ලම්, කඳු අනන්තයි අප්‍රමානයි. ඒත් ඒ දුෂ්කර මාර්ගයේ දෙපැත්තෙ තියන සුන්දරත්වය විසින් ජීවිතේ තියන ගැඹුර ගැනත්, ඇත්ත ගැනත් අපිට කියලා දෙනවා.
“අපි කන්න ඕනෙ රස කෑම නෙමෙයි, ගුණ කෑම” කියලා ආයු ෆිල්ම් එකේ දෙබසක් තියනවා. සමහර වෙලාවට සදාකල් අපිට කන්න වෙන්නෙ රස නැති, ඒත් ගුණ කෑම. ඒත් සීමා මායිම් බිඳගෙන ගිහිල්ලා, තමන් කැමති රස කෑම කන්න සොබාදහම විසින් දුන්න වීසා අවසරපතක් ගැන තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඒ කෑල්ල තමයි මේ ෆිල්ම් එකේ අල්ටිමේට් මැජික් එක මිත්‍රයා. ඒකම තමයි හාට්-ඇටෑක් එකත්!!
“දුර යන බස්වල නැගලා දුරගමන් යන්න ආසයි. ඒත් ඒකට නිදහස තිබ්බෙ නෑ” කියලා කියපු ඒ විවාහක කාන්තාව අවසානයේදී අපිවත් කෝච්චියේ නග්ගගෙන ඉතා දීර්ඝ, ලස්සන, සුන්දර ගමනක් යනවා. එත් ඒ ගමනාන්තයේදී ඇය අපිව කරකවලා අත හරිනවා.

මුහුදු රැල්ල කපාගෙන අවදානම් සහගත බෝට්ටුවක ගමනක් යන්න ගොඩක් ගැහැනු ආසයි. ඒත් බෝට්ටුව පෙරළෙයි කියන බය නිසා අවදානමක් ගන්න සංස්කෘතික ගැහැනු හිත් හයිය නෑ. ඒත් බෝට්ටුව පෙරලුනොත්, තමන්ව බේරගන්න කෙනෙක් ඉන්නවා කියන ශක්තිමත් හැඟීම ගැහැනුන්ට දැනුනොත් ඒ අය බෝට්ටුවට නගිනවා මිත්‍රයා. මේ තියෙන්න ඒකට අදාළ දෙබස.
X – “බෝට්ටුවක යන්න ආසයි”
Y – “පෙරලුනොත්?”
X – “ඔයා ඉන්නවනෙ”

කර්තෘ - ලක්මිණ රණසිංහ
මාධ්‍ය හා නිර්මාණ විශ්ලේෂක
(creative group head publicis srilanka)
(මෙම සටහන Lakmina Ranasinghe ෆේස්බුක් පිටුව ඇසුරිනි.
මේ සටහන පිළිබඳ කරුණු තහවුරු කරගැනීමට දායක වුන පහත නම් සඳහන් අයට ස්තූතියි.
චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගම Asoka Handagama
චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය Renuka Balasooriya
චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ Priyantha Colombage
රංගන ශිල්පිණී උමා අසේනි Uma Aseni (Wow උමා... ඔයාගෙ අදහස්. ඔයා නිළියක් නෙමෙයි, අධ්‍යක්ෂවරියක් වෙන්න ඕන කෙනෙක් )
මාධ්‍යවේදිනී ප්‍රමෝද්‍යා සිරිවර්ධන Pramodya Siriwardhana



