ශ්‍රී ලංකාවේ වර්තමාන ටෙලිනාට්‍ය කලාව අසූවෙ දශකයෙ ඉඳලා මේ වෙනකොට දියුණුවට පත්වෙලාද, එහෙමත් නැත්නම්, පටන් ගත්ත තැන ඉඳලා වේගයෙන් පිරිහිලා ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් එදා මෙදාතුර නාලිකා එකකින් දෙකකින් පටන්ගෙන, වර්තමානයේ නාලිකා හත අටක් දක්වා දියුණුවීමෙන් පස්සෙ අපි නරඹන ටෙලිනාට්‍ය ගැන කල්පනා කරනකොට.
ටෙලිනාට්‍ය ගැන කතා කරනකොට මට මතක් වෙන්නෙ, මගේ මිත්‍රයා වේදිකාවෙ, ගුවන් විදුලියෙ ඉඳලා දශක ගණනාවක් ආශ්‍රය කරන මිත්‍රයා, ඩබ්ලිව්. ජයසිරි කලකට පෙර පුවත්පතකට කියපු කතාවක්. ජයසිරි මේ දවස්වල ප්රේක්ෂකයො අතර ජනප්‍රියම චරිතයක් වෙලා තියෙන්නෙ සිඳු නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගෙ චරිතය නිසා.
ජයසිරි කියල තිබුණෙ 1956 බණ්ඩාරනායක මහත්තයා බලයට පත්කරන්න එකතුවුණේ පංච මහා බලවේගයක් වුණත් අද නම් එය චතුර් මහා බලවේගයක් වෙලා කියලයි.
එදා හිටියේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය. ජයසිරි කියන්නෙ අද ඒක මේ විදිහට සංශෝධනය වෙන්න ඕන කියලා. ඒ කියන්නෙ සඟ, වෙද, ගුරු ටෙලි කම්කරු කියලා. ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ නිර්මාණ ශිල්පීන් වර්තමානයේ කම්කරුවන්ගේ තත්ත්වයට.
ඒ කියන්නෙ දිනපතා වැටුප් ලබන කම්කරුවන්ගේ තත්ත්වයට පත්වෙලා කියන එකද මේ චතුර් බලවේග කතාව? ටෙලිනාට්‍ය නිර්මාණවේදීන්ගෙ සංගමය (ටෙලිනිස) නම් මේ අලුත් යෙදුමට කැමති වෙන එකක් නෑ, හැබැයි මම හිතන්නෙත් ජයසිරි හරි කියලා. මා දන්නා බොහෝ මිත්‍රයන්, මිතුරියන් ටෙලි කම්කරු යෙදුම සමඟ එකඟ වෙන්නෙ වර්තමාන ටෙලිනාට්‍ය කලාව, එහි ගුණය, ඒවායේ රඟපාන නිර්මාණකරුවන්ට සලකන සැලකීම ඒ තරම් පහත් තත්ත්වයකට බාල්දු කරල තියෙන වග අත්දැකීමෙන්ම දන්නා නිසා.
අලුයමින් ගෙදරින් රැගෙන යන නළු නිළියන්ගෙන් රෑ වෙනකල් වැඩ ගන්නෙ කම්හලක වැඩමුරයට අස්සන් කරන කම්කරුවන්ගෙන් වගේ කියන එකයි ඇත්ත. ඒත් අද දවසෙ අපේ බොහෝ ටෙලි නළු නිළියන්ට වෙනත් විකල්පයක් නෑ. උදෙන් වෑන් එකට නඟිනවා. රෑ වෙලා ගෙනත් බස්සනවා. දවසේ වැටුප රාත්‍රියේ දී ගෙවනවා.
ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ශිල්පීන්ගෙ තත්ත්වෙ ඒ වගේ වෙනකොට නිෂ්පාදනය කරන, ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍යවල ගුණාත්මකභාවය පිළිබඳ කුමන කතා ද කියල අහන්න වෙන එක ප්‍රශ්නයක් නෙවි. ටෙලි කම්කරුවන් රඟපාල නිෂ්පාදනය කරන භාණ්ඩයක කලාත්මක ගුණයක් කොහොම තියෙන්නද? වර්තමාන ටෙලිනාට්‍ය කලාවෙ තත්ත්වය පිළිබඳ සංවාදාත්මක පිවිසුමකට එළඹෙන අවස්ථාවකට සහභාගි වෙන්නට මට ඉඩ ලැබුණෙ පහුගිය 03 වනදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවැත්වුණු සෝමවීර - ධම්ම සහ පළිඟු මැණිකේ නිසා.
මේ කෙටි උත්සවයෙදී, සෝමවීර සේනානායක විරචිත පළිඟු මැණිකේ ටෙලිනාට්‍ය පිටපත සරසවි ප්රකාශනයක් ලෙස මුද්‍රණයෙන් එළිදැක්වීමත්, ධම්ම ජාගොඩ නිර්මාණවේදියා ගේ කාර්ය සාධනය ඇගැයීමත් සිදුවුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මුලසුන හෙබවූ උළෙලේ මුඛ්‍ය දේශනය පැවැත්වීමට නියමිතව තිබුණෙ පළිඟු මැණිකේ හි ප්‍රධාන නළුවෙක් වූ ජැක්සන් ඇන්තනි සහෘදයාට වුවත්, ඔහුට උළෙලේ ප්‍රධාන ම කටයුත්ත ඉටුකරන්නට නොහැකි වුණේ උළෙල මෙහෙයවීමේදී සිදු වූ බරපතළ දෝෂ නිසා.
සවස 3.45 ට ඇරඹුණු උත්සවයක මුඛ්‍ය දේශකයාට අවස්ථාව ලැබෙන්නේ හවස 5.45 ට නම් ඔහු පමණක් නොව අපේක්ෂාභංගයට පත්වන්නේ සමස්ත ශ්රවණාගාරයම නොවේද කියා මට කල්පනා වුණා. මූලාසනය හෙබවූ බෙල්ලන්විල විමලරතන නාහිමියන්ට ද එබඳුම අසාධාරණයක් සිදු වූ බවයි පැවසුණේ. නළු නිළි පිළිසඳර වගේම ආරාධිතයන්ගේ අදහස් දැක්වීම් ද දේශන බවට පත්වීමෙන්, වෙහෙස මහන්සි වී පෙර සූදානමකින් තම දේශනය ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටි ජැක්සන්ගේ අලුත්ම අදහස් මොනවාද යන්න අපට දැනගන්නට ලැබුණෙ නෑ. ඒත් ඔහු තම දීර්ඝ දේශනය ගොනුකොට එහි හරය ඉදිරිපත් කරන්නට උත්සාහ ගත්තත්, එය මුඛ්‍ය දේශනයක් නම් වුණේ නෑ. කෙසේ වුවත් පළිඟු මැණිකේ තිර රචනයෙහි හිමිකරු සෝමවීර සේනානායකගේ කෙටි අදහස් දැක්වීම නම් ප්‍රේක්ෂකාගාරයට මඳ හෝ අස්වැසිල්ලක් ගෙන ආ බවයි මට හැඟුණෙ.
ශ්‍රී ලංකාවේ අද දවසේ බොහෝ කලා මාධ්‍ය ඉතා වේගයෙන් පිරිහෙමින් යන මාධ්‍ය බවට පත්වෙමින් ඇත්තෙ එකී මාධ්‍යයන්ට පිවිසෙන බොහෝ පිරිස් මාධ්‍යය පිළිබඳ මූලික හෝ දැනුමකින් තොර වූවන් වීමත්, එසේ පිවිසීමේ වෙනත් අරමුණු සැඟවී තිබීමත් නිසා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය කලාව මේ අතරින් ඉදිරියෙන් ම සිටින බවයි බොහෝ දෙනාගේ අදහස. අසූව දශකයෙ, එනම් අසූ පහ තරම් ඈත කාලයක ජාතික රූපවාහිනිය ඉදිරිපත් කළ සෝමවීර සේනානායක, ධම්ම ජාගොඩ සුසංයෝගයෙන් බිහිවුණු පළිඟු මැණිකේ මාලා නාටකයේ තිබුණෙ කොටස් දහඅටක් පමණයි.
කොටස් දහඅටකින් ප්‍රේක්ෂකයන් වෙත ප්රදානය කෙරුණු පළිඟු මැණිකේ දශක තුනකටත් අධික කාලයක්, එනම් වසර තිස් දෙකක් ගතවීත් ප්‍රේක්ෂක විචාරක, රසික කතාබහට ලක්වීමේ රහස කුමක් ද? පළමුව එය ටෙලිනාට්‍ය මාධ්‍යය නිවැරැදිව හඳුනාගත්, එකී කලා මාධ්‍යයේ හැඩතල පිළිබඳ දැනුමකින් යුත්, ටෙලිනාට්‍ය කලාව හා සෘජුව සම්බන්ධිත, වේදිකා නාට්‍ය කලාව, සංගීතය, සාහිත්‍යය පිළිබඳ අත්දැකීම් ද සතු නිෂ්පාදකයෙකුගේ රංග කාර්යයක් වීමයි. දෙවනුව ඔහු විසින් තම ටෙලි වෘතාන්තය සඳහා එකී මාධ්‍යය ප්‍රබල සමාජ, දේශපාලන අවියක් ලෙස භාවිත කිරීමට ඇති ශක්‍යතා හඳුනාගත් ජීවන අත්දැකීමකින් යුත් තිර රචනයක් තෝරා ගැනීමයි. පළිඟු මැණිකේ ටෙලිනාටකයේ තිර රචනය ලියූ සෝමවීර සේනානායක විදුදය සරසවියේ දී සිංහල සාහිත්‍යය හදාරා මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයේ දී වෘත්තීය සුදුසුකම් ද ලැබීමෙන් අනතුරුව විශ්වවිද්‍යාලයේදී ම නිර්මාණකරණය පිළිබඳ නවීන දැනුම ලබාගෙන සිටීම තිර රචනයෙහි ප්‍රබල බවට හේතු ලෙස දකිමි.
විවෘත ආර්ථිකය නිසා බිහිවූ පාරිභෝගික සමාජයේ විෂබීජ ගමට ඇතුළුවීම, ගැමි ජීවිතයේ සංස්කෘතික පදනම, අඹු සැමි සබඳතා දෙදරා යන්නට පටන් ගැනීම, පාරම්පරික කලාව හා නිර්මාණ වාණිජ්‍යකරණයට හසුවන්නට පටන් ගැනීම, ස්වභාවික සම්පත් විනාශ කරමින් සිදුකෙරුණ පරිසර හානිය, අඩපැය කොටස් දහඅටකින් සමන්විත වූ මාලා ටෙලිනාට්‍යයකින් පැවැසුණේ කෙසේ ද යන්න පිළිබඳ අතීතාවර්ජනයක යෙදිය යුතු නොවේද? නිෂ්පාදක තිර රචක විශිෂ්ට එකමුතුව විසින් මේ ජීවන ප්‍රවෘත්තිය වචනයෙන් රූපයට නැඟීමට, නිර්මාණය කිරීමට වඩාත්ම සුදුසු නළුවරණය (Casting) පිළිබඳ වූ මනා එකඟතාව අද දවසේ බොහෝ ටෙලිනාට්‍ය නමින් නිවෙස් තුළට නිනව්වක් නොමැතිව රිංගන ටෙලි බලිහි රඟපෑම වෙනුවට පෙනී සිටින පියරු බබුන් විසින්, විවේක පාඩුවේ නරඹා උගත යුතු රංගන ලෙස දකිමි.
සැබෑ ජීවිතයේ දී හමුනොවනා, එතෙරින් ආනයනය කරනු ලබන දහජරා තුළ දකින්නට ලැබෙන සැබෑ ජීවිතයෙන් ඈත් වූ, අගනා සළුපිළි, රන් අභරණ පළඳින, සුඛෝපභෝගී යාන වාහන සහිත මහා මන්දිර තුළ ජීවත්වන පංතිය නියෝජනය කරන චරිත සඳහා ආදේශ කරගැනීමට නිරතුරුව ම තැත්කරන ටෙලිනාට්‍ය නිෂ්පාදකයන්ගේ තේරීම් වන ශෝභා සම්පන්න නළු නිළියන්ගෙන් කුමන රංගනයක් අපේක්ෂා කළ හැකි වේද? පළිඟු මැණිකේ හි ප්‍රධාන චරිත අතර එකඳු චරිතයක් සඳහා හෝ තාරකා (Star) හෝ පියරු බබ්බු නළු නිළි චරිත වීද? පිළිතුර නැත. පළිඟු මැණිකේ හි, පළිඟු නෝනාම තාරකාවක් නොවන්නී ය.
වේදිකා රංගනයේ දී නිළියක ලෙස, රූපණයෙන්, නර්තනයෙන්, ගායනයෙන් දස්කම් පෑ මැණිකේ අත්තනායක ගේ රංගනය හෝ මැණික්හාමි ගේ චරිතය අපූරු රංග කාර්යයක් බවට පත්කරමින්, එහි ජීවත් වූ රෝහණ බැද්දගේ, පළිඟු මැණිකේ තුළින් අප හමුවට එන තෙක්, කිසිදු අවස්ථාවක තාරකා බවට පත්වූවෝ නොවූහ. අනෙක් ප්‍රධාන භූමිකා අතර ජීවත්වූ ශ්‍රියන්ත මෙන්ඩිස් (සූරසේන), ජැක්සන් ඇන්තනි (විජේපාල), සිරිල් වික්‍රමගේ (පොඩි අප්පුහාමි), රම්‍යා වනිගසේකර (පොඩිහාමි), සතිස්චන්ද්‍ර එදිරිසිංහ (පණ්ඩිත හාමුදුරුවෝ) ආදීන් වේදිකා රංගනයෙන් අත්දැකීම් ලැබූ රංගධරයන් වූ මුත්, ටෙලි තාරකා නොවීය.
එහෙත් මේ ප්‍රධාන චරිත තුළින් මෙන්ම අවශේෂ සහාය චරිත තුළින් උපරිම රංගන කුසලතා උකහා ගැනීමට නිෂ්පාදක ධම්ම ජාගොඩ සමත් වන්නේ රූපණය පිළිබඳ, වේදිකා රංගනයෙන් කැමරාවක් ඉදිරියේ රංගනය වෙනස් වන්නේ කෙලෙසද යන්න පිළිබඳ ගුරුහරුකම් දෙන්නට, මෙහෙයවන්නට තරම් විෂය ඥානයක් පූර්ව හැදෑරීමක් ඔහු සතු වූ බැවිනි. දර්ශන තලයට පැමිණෙන තිර රචකයා, අධ්යක්ෂවරයා මෙන්ම නළු නිළි කැල ද, තමන් විසින් ඉටුකළ යුතු වූ කාර්යභාරය පිළිබඳ දැනුමින්, අවබෝධයෙන් සන්නද්ධ වී පැමිණීමේ යහපත් ප්‍රතිඵල නොවේද පළිඟු මැණිකේ කලාත්මක සාර්ථකත්වයේ රහස වන්නේ?
කොටස් දහඅටක් පමණක් වූ ටෙලිනාට්‍ය තිර රචනයක්, පස් වතාවක් යළි යළිත් ලියූ බව පැවසූයේ සෝමවීර සේනානායක සාහිත්‍යකරුවා ය. ඔහු සමඟ අධ්යක්ෂ ධම්ම ජාගොඩ දෙදෙනා ටෙලිනාට්‍යයෙන් කියැවෙන පරිසරයේ ම එනම් හික්කඩුව ප්‍රදේශයේ හෝටලයකට වී ජීවත්වෙමින් කතාබහ කරමින් නාට්‍ය පිටපත ලියන්නට, සකස් කරන්නට මාසයක් පමණ කාලයක් ගතකොට තිබුණේ, හෝටලයක නවාතැන් පමණක් ගනිමින් ආහාරපාන අවට පෙට්ටි කඩයකින් සප්පායම් වෙමින් බව කියැවිණ.
ඉන් කියැවෙන්නේ කුමක් ද? ටෙලිනට්ය නිර්මාණයක සාර්ථකත්වය රැඳී පවත්නා එහි හදවත බඳු, තිරරචනයක් රචනා කිරීමේ දුෂ්කර අභියෝගයට මුහුණදීමට සූදානම් වීමයි. එහෙත් වර්තමාන ටෙලි තිර රචනා දර්ශන තලයට ක්ෂණිකව ෆැක්ස් පණිවුඩ මඟින් හෝ ඇතැම් අවස්ථාවල ජංගම දුරකතන ඇමතුමකින්, කෙටි පණිවුඩ මඟින් ලැබෙන අවස්ථා ද බහුල බව, ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ කතාබහ අතර සාකච්ඡා වනු අසා ඇත්තෙමි. රූගත කිරීම් ඇරැඹීමෙන් පසු තිර රචනා පිටපත නොමැතිව ඇතැම් ටෙලි බලි කොළඹ සිටින තිර රචකයාගෙන් දෙබස් ලැබෙන තෙක් සිටින්නට සිදු වූ පුවත් ද ඒ අතර වේ. හාස්‍යජනක කතාවක් වුවත් එවන් අවස්ථාවක කොළඹ ජීවත් වූ තිර රචකයා සති අන්තයේ ඉරිදා පොළෙහි එළවළු - මාළු ගන්නට ගොස් සිටි මොහොතක දුරකතනයෙන් චරිත සඳහා සංවාද ලියාගන්නට දුන් සිද්ධියක් පිළිබඳ නිතර කියැවේ. එලෙස ලැබුණු සංවාද සහිතව රැඟුම් රූගත කිරීම් සිදුවද්දී, නළුවාගේ එක් සංවාදයක් වී තිබුණේ මට තක්කාලි පන්සියයක් දෙන්න යනුවෙනි. පෙම්වතුන් දෙදෙනෙකුගේ රැඟුමකට මේ සංවාදය ඒම පිළිබඳ උරණ වූ අධ්යක්ෂවරයා වහාම තිර රචකයා ඇමතූ බව කියවේ.
සිද්ධිය වැටහුණේ ඉන් පසුවය. දුරකතනයෙන් සංවාද පැවසූ තිර රචකයා, පොළේ වෙළෙන්දෙකුගෙන් තක්කාලි පන්සියයක් දාන්න කියූ සංවාදය ද දර්ශන තලයේ සිට තිර නාටකය ලියාගත් සහාය අධ්යක්ෂවරයා විසින් ලියාගෙන තිබීමයි අලකලංචියට මුල. තිර රචකයා, සහාය අධ්යක්ෂවරයාගේ මෑණියන් සිහිකොට විමසා ඇත්තේ මොන එකකට ඒ ඩයලොග් එක ලියා ගත්තාද කියායි.
තිබ්බා ගැහුවා, ටෙලි බලියක, ටෙලි කම්කරුවන් රඟන ටෙලියක, දර්ශන තලයට රූගත කිරීම් අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය තිර රචනයෙහි කොටස් ඉරිදා පොළේ එළවළු - මාළු ගන්නට ගොස් සිටින තිර රචකයෙකුගෙන් දුරකතනයෙන් ලබාගන්නා කලක, එක් රැයකට තුනක් හෝ හතරක් බැගින් නිෂ්පාදනය කොට ප්‍රේක්ෂක ඇසට වැලි ගසන නිර්මාණයක්, ටෙලි බලියක් විනා ටෙලිනාට්‍යයක් වන්නේ කෙසේ ද? එහෙත් එවන් ටෙලි බලි මැද පළිඟු මැණිකේ අදත් පළිඟු මැණිකක් සේ බබලන්නේ, සෝමවීර සේනානායක නම් වූ සද්ධර්මරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමිගේ රචනා රීතිය, භාෂාව, ජීවිත පරිඥානය හඳුනාගත් තිර රචකයෙකු ගේ හා වේදිකා නාට්‍යය, ගුවන් විදුලි නාට්‍යය විචාරය හා ටෙලිනාට්‍යයෙහි සීමා දත්, ඒ පිළිබඳ විෂය ඥානයෙන් සපිරි අධ්යක්ෂවරයෙකුගේ විශිෂ්ට, දුලබ සුසංයෝගය නිසාම නොවන්නේ ද? පළිඟු මැණිකේ, ටෙලි බලි මැද පළිඟු මැණිකකි.
බුද්ධදාස ගලප්පත්ති
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.