("අරුණ" ජාතික පුවත්පත)
-Lakmal Bogahawatta-
“මම ආර්ථික විද්‍යාඥයෙක් වත්, සමාජ විද්‍යාඥයෙක් වත්, දේශපාලන විද්‍යාඥයෙක් වත් නොවෙමි. ඒ විෂයයන් පිළිබඳව මා සතුව ඇත්තේ ඉතා සාමාන්‍ය දැනුමකි. දෙවියන් පය ගැසීමට බිය වන තැනට මෝඩයෝ කඩා පනිති යනුවෙන් කියමනක් තිබේ. එසේ කඩාපැන මෝඩයකු වීම ඉච්ඡා භංගත්වයෙන් මියයෑමට වඩා යෙහෙකැයි මම සිතමි”
මේ ජ්‍යේෂ්ඨ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකර ගේ නවතම කෘතිය ‘සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය’ සඳහා ඔහු විසින් තබා ඇති පසු සටහනින් උපුටාගත් කොටසකි.
යටලමත්තේ ප්‍රාඥයා යන විරුධාවලිය ලද හේ පසුගිය නොවැම්බර් 12 වැනිදා අනූහය වැනි විය සැපිරීය. ඔහු ලියූ නවකතා, කවි, කෙටිකතා මඟ හැර සිංහල සාහිත්‍යය ගැන කතා කළ නොහැක. අමරසේකරගේ සාහිත්‍ය-සමාජ විචාර මඟ හැර ජාතික චින්තනයක් ගැන කතා කළ නොහැක. පසුගියදා ඔහු කළ මෙහෙවර අගයමින් ‘අමරසේකර ප්‍රත්‍යාවලෝකන 2025’ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මේ ජ්‍යේෂ්ඨ සාහිත්‍යධර ගුණදාස අමරසේකර සමඟ කළ සංවාදයකි.
සංවාදකයා - ඔබට දැන් අවුරුදු අනූහයක්. ඔබේ ජීවිතයේ වැඩිම කාලයක් ගෙවුණේ ලේඛනය සමඟ. ලේඛකයෙක් වෙන්න මුල පිරූ ඒ සමය ඔබට මතක ද?
නවසිය හතළිස් ගණන්වල, පනස් ගණන්වල සාහිත්‍ය කලාව පිළිබඳ රටේ ලොකු ප්‍රබෝධයක් තිබුණා. ඒ ප්‍රබෝධය තමයි මගේ ලිවීමට, ලේඛකයෙක් වෙන්න මූලිකවම බලපෑවෙ. මාර්ටින් වික්‍රමසිංහගෙ ලිපි සහ ජී. බී. සේනානායකගෙ කෙටිකතා වගේම චෙකොෆ්, රුසියන් සාහිත්‍යය මට බලපෑවා.
ඔබ උසස් අධ්‍යාපනයට යන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට...
විශ්වවිද්‍යාල ජීවිතය ආරම්භයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ හිටියේ. පසුව තමයි පේරාදෙණියට ගියේ. විශ්වවිද්‍යාල ජීවිතය ලේඛනයට බලපෑවේ නැතිවුණත්, පේරාදෙණියේ හිටිය සරච්චන්ද්‍ර මහතාගේ ඇසුරු මට බලපෑවා. මා ලියූ දේ පිළිබඳ සරච්චන්ද්‍ර මහත්තයාගේ අදහස් උදහස් මට බලපෑවා.
ඔබ ලියූ පළමු නවකතාව ‘කරුමක්කාරයෝ’ පාඨක සහ විචාරක අවධානය නොමඳව දිනාගත් නවකතාවක් වුණා. ඒ නවකතාවට පදනම්වූ වස්තුබීජය ඔබේ හිතේ උපදින්නේ කොහොම ද?
‘කරුමක්කාරයෝ’ කතාවට මුල්වුණු ජීවන ප්‍රවෘත්තිය යටලමත්ත ගම මුල්වූවක්. ඒ ගමේ එවැනි පවුලක් හිටියා. ඒ පවුලේ ජීවිතය ‘කරුමක්කාරයෝ’ නවකතාවට බලපෑවා. අනෙක බටහිර සාහිත්‍යය කියවීමෙන් ලැබුණු ආභාසයත් බලපාන්න ඇති. මම හිතන්නේ නැහැ ‘කරුමක්කාරයෝ’ ඒ තරම් ශ්‍රේෂ්ඨ නවකතාවක් කියල. මොකද එහි යම් යම් දුර්වලතා තියෙනවා. නමුත් ඒක මගේ මුල් කෘතියක් විදිහට වැදගත්.
සාර්ථක නවකතාවක් ලිවීමට නම් ඒ කතාව මගේ අත්දැකීම්වලට සමීපවෙන්න ඕන. එහෙම වුණාමයි ලිවීම පහසු වෙන්නේ. මගේ සියලු නිර්මාණ මගේ අත්දැකීම්වල ප්‍රතිඵලයක්. මගේ නිර්මාණවල යම් රසයක් ඇත්නම් ඒ රසයට හේතුව ඒවා මගේ අත්දැකීම් වූ නිසයි. අත්දැකීම් අව්‍යාජ වුණාම ඒවා බොහොම ලේසියෙන් පාඨකයාට විඳගන්න පුළුවන්. අත්දැකීම් නොවී ඒවා ව්‍යාජ ප්‍රවෘත්ති නම් පාඨකයාට විඳින්න බැහැ.
ඔබ, ඔබේ නවකතාවට අවැසි භාෂාව නිර්මාණය කරගත්තේ කොහොම ද?
මම හිතන්නේ එතනදි මට මාර්ටින් වික්‍රමසිංහගෙ භාෂාවත්, ජී. බී. සේනානායකගෙ භාෂාවත් බලපෑ බවයි. ඒ දෙන්නම හොඳට තමන්ගේ භාෂාව හැසිරවූ ලේඛකයන් දෙදෙනෙක්. මාර්ටින් වික්‍රමසිංහගේ භාෂාව ඩබ්ලිව්. ඒ. සිල්වාගේ භාෂාව වගේ නෙවෙයි, ඔහු ලැබූ අත්දැකීම්වලින් නිර්මාණය වුණු භාෂාවක්. ජී. බී. සේනානායකගේ කෙටිකතාවෙත් ඒක තියෙනවා.
‘විනෝදය හා විචාරය’ කෘතිය ඔබ ලියන්නේ නවසිය පනස්පහේ. මේ වසරට ඒ කෘතිය ලියැවී වසර හැත්තෑවක්. ඔබ විශ්වාස කරනවාද එම කෘතිය මගින් මතු කළ කරුණු අදටත් වලංගු බව...
ආධුනිකයන්ට සාහිත්‍යය ගැන මූලික අවබෝධයක් දෙන්න තමයි ඒ කෘතිය මා රචනා කළේ. ගැඹුරු විශ්ලේෂණයක් නැති වුණත් අදටත් නවකතාව, කවිය, කෙටිකතාව ගැන මූලික අවබෝධයක් ගන්න ඒ කෘතිය ප්‍රයෝජනවත්.
ඔබ කළ දේශපාලනය සාහිත්‍යකරුවෙක් විදිහට ඔබේ ගමනට බලපෑමක් වුණා ද?
නැහැ... මම දේශපාලනයට ආවේ ඒ දේශපාලනය අවශ්‍ය යැයි හිතපු නිසයි.
සාහිත්‍යකරුවෙක්ගෙ දේශපාලනය විය යුත්තේ කුමක් ද?
සාහිත්‍යකරුවෙක්ට යම්කිසි දේශපාලන දැක්මක්, දර්ශනයක් තියෙන්න ඕන. සාහිත්‍යකරුවාගේ නිර්මාණයි, ඔහුගේ දේශපාලනයයි වෙනම තියෙන්න බැහැ. නමුත් තමන්ගේ නිර්මාණවලින් ඒ දේශපාලනය ප්‍රචාරය කළ යුතු නැහැ. ඒක අත්දැකීමක් වශයෙන් අරගෙන රසයක් ලබාදිය හැකි ආකාරයෙන් නිර්මාණය කළ යුතුයි.
සැබෑ සාහිත්‍යකරුවෙක් කියන්නේ කවුද?
සාහිත්‍යකරුවෙක් කියන්නේ යම්කිසි නව නිර්මාණ කලාපයක් බිහිකරන්නෙකුට. ඔහුට පුළුවන් වෙන්න ඕන අලුත් භාව ප්‍රකාශනයක් කරන්න. අලුත් තැනකට පාඨකයා ගෙනයන්න. පාඨකයා නොවිඳි අලුත් භාව ලෝකයක් වෙත ඔහු ගෙනයන්න. එහෙම නැත්නම් සාර්ථක සාහිත්‍යකරුවෙක් වෙන්න බැහැ.
ඔබේ තක්සේරුවට අනුව කවුද අපේ හොඳම සාහිත්‍යකරුවා...
මම හිතන හැටියට මාර්ටින් වික්‍රමසිංහ. ඔහු තමයි අපේ සාර්ථකම සාහිත්‍යකරුවා. කවියෙක් නම් අපට හිටියේ නැහැ. වික්‍රමසිංහ නවකතාරයෙක්. ජී. බී. සේනානායක සාර්ථක කෙටිකතාකාරයෙක්.
ඔබව බොහෝ දෙනා හඳුන්වන්නේ දිවමන් මහා කවියා ලෙසින්...
මහා කවියක් වෙන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ. නමුත් මම ලියූ සාර්ථක කවි කිහිපයක් තියෙනවා. අනෙක මම සිංහල කවියට කිසියම් අලුත් ජීවයක් ලබාදුන්නා. මොකද අපිට තිබුණේ කොළඹ කවිය. කුමාරගම වැනි කවියන්ගේ කවි හැරෙන්නෙ ඉන් ගතයුත්තක් තිබුණේ නැහැ.
ඔබේ කවි ලිවීමේ ක්‍රියාවලිය විස්තර කළ හැකි ද?
මා කවියක් එක්වර ලියා අවසන් කරන්නේ නැහැ. පළමුව එය ලියැවුණු පසු කිහිප වරක් අලුත් කරනවා. ස්වයං විචාරයක් සමඟ කවිය කිහිප වරක් සංස්කරණය කරනවා. රසිකයාත් මම වගේ කවිය රසවිඳියි කියා මා හිතන තැනදි කවිය අවසන් කරනවා. ආකෘතිය නිර්මාණය වෙන්නේ කවියේ අත්දැකීම එක්ක.
ඔබ ලියූ කවි අතර නිතර සිහිපත්වෙන විශේෂ කවියක් තියෙනවා ද?
එහෙම විශේෂ කවියක් කියන්න බැහැ. අද යම් යම් දේ දකිද්දි ඇතැම් කවි සිහිවෙනවා. වහිද්දි මතක්වෙන කවියක් තමයි ‘චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන’ කියන ‘වැස්ස’ ගැන මම ලියූ කවිය.
ඔබේ අවසන් වරට ලියූ කෘතිය තමයි ‘සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය’. මෙවැනි කෘතියක් රචනා කරන්නේ කිනම් අරමුණකින් ද?
සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පසුගිය කාලය තුළ බටහිර බුද්ධිමතුන්ගෙ අවධානයට ලක්වූ සංකල්පයක්. මේ සංකල්පය මෑතක පහළ වූ දෙයක් නෙවෙයි. එය මීට වසර තුන්සියයට පෙර මුළු ලෝකයම වැළඳගත් පාලන තන්ත්‍රයක්. ආසියාවේ බොහෝ රටවල තිබුණේ බුදුදහම, හින්දු දහම සහ ඉස්ලාම් දහම මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍යයන්. ජපානයේ පවා 6 වැනි සියවසේ සිට 11 වැනි සියවස දක්වා පැවැතියේ බුදුදහම මූලිකකරගත් සභ්‍යත්ව රාජ්‍යයක් බව ශිනිෂි ඉනෝ කියන ආර්ථික විශේෂඥ දාර්ශනිකයා පෙන්වා දී තියෙනවා. බටහිර වුණත් තිබුණේ කතෝලික දහම මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍යය. මේ සියලු සභ්‍යත්ව රාජ්‍ය අහිමිවුණේ බටහිර පහළවුණු කාර්මික විප්ලවය සමඟ.
පසුගිය දවස්වල මම දිගටම සභ්‍යත්ව රාජ්‍ය ගැන කතා කළා. එය නිර්මාණය කරන්න ඕනෙ කොහොමද කියල අවබෝධයක් දීමේ අදහසින් තමයි මේ කෘතිය රචනා කළේ.
ශතවර්ෂ තුනකට පෙර ලෝකයෙන් අතුරුදන්වූ සභ්‍යත්ව රාජ්‍යය අපි කොහොම ද නැවත මෙහි නිර්මාණය කරන්නේ...
සභ්‍යත්ව රාජ්‍යයක වටිනාකම ගැන වැටහෙන්න ඕන. ධනවාදී ආර්ථික ක්‍රමයෙන් ඇතිවුණු සංස්කෘතියට වැඩිය වෙනත් සංස්කෘතියක් අවශ්‍ය බව වැටහෙන්න ඕන. සභ්‍යත්ව රාජ්‍ය සකංල්පය ගැන දැන් බටහිර පවා අවධානය යොමුවී තියෙනවා. ඒ චීනය නිසයි. චීන බුද්ධිමතුන් චීනය හඳුන්වන්නේ ධනවාදී හෝ සමාජවාදී රාජ්‍යයක් ලෙස නෙවෙයි. සභ්‍යත්වය මත නිර්මාණය කරගත් රාජ්‍යයක් විදිහට. චීනයට වගේ අපට අඛණ්ඩ සභ්‍යත්වයක් නැහැ. මොකද අඛණ්ඩව තිබුණු අපේ සභ්‍යත්වය විදේශකයන් විනාශ කළා. දැන් අපිට තියෙන්නෙ විනාශයෙන් පසු ඉතිරිවූ සභ්‍යත්ව සුන්බුන්.
පසුගිය කාලය පුරා මේ ඉතිරි වූ සභ්‍යත්ව විඤ්ඤාණය පුබුදුවන්නට විශාල පුනරුද ව්‍යාපාර අපේ රටේ ක්‍රියාත්මක වුණා. ඒ ගැන මේ කෘතියේ වැඩිදුර විස්තර කරනවා. ඉතින් මා හිතන්නේ සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කරගන්න අවශ්‍ය වන දේශපාලන හා ආර්ථික ව්‍යුහය පවතින ග්‍රාම රාජ්‍යය තුළින් සොයාගන්න පුළුවන්. ගම පදනම්කරගෙන ඒ දේ කළ හැකියි. ඒ ගැන තමයි මේ කෘතියෙදි මා කියන්නේ.
සභ්‍යත්ව විඤ්ඤාණය පුබුදුවන්න ඉතිහාසයේ ඇතිවූ පුනරුද ව්‍යාපාර ගැන ඔබ සඳහන් කරනවා. අපේ ලිඛිත ඉතිහාසය සටහන්වන මහාවංශයේ ඇතැම් සිදුවීම් ලියා තියෙන්නේ යම් පක්ෂපාතීත්වයක් ඇතිව යැයි කියා එවැනි තැන් වෙනස්විය යුතු බවට යෝජනා ඇවිත් තියෙනවා...
රටේ හැම පුරවැසියෙක්ටම අපේ ඉතිහාසය ගැන, අපේ සභ්‍යත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හොඳ ඉතිහාසඥයා අපක්ෂපාතීව ඉතිහාසය ලියන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඔහුගේ පෞද්ගලික දර්ශනය ඉතිහාසය තුළට එනවා. ඔහුගේ දෘෂ්ටිය එය තුළට එනවා. ඒක වළක්වන්න බැහැ. ඒ නිසා ඉතිහාසඥයා අපක්ෂපාතියි කියන එක බොරුවක්. ඉතිහාසඥයාටත් දර්ශනයක් තියෙනවා. ඒ අනුවයි ඉතිහාසඥයා ලියන්නේ. අපි එය විචාරයට භාජනය කළ යුතුයි.
සභ්‍යත්ව රාජ්‍යයක් වෙනුවෙන් සාහිත්‍යය, කලාවට පැවරෙන්නේ කිනම් කාර්යයක් ද?
සභ්‍යත්ව රාජ්‍යයේ වටිනාකම පෙන්වා දෙන්න පුළුවන්. මම හිතන්නේ සාහිත්‍යකරුවො එහි වැදගත්කම වටහාගන්න ඕන. සාහිත්‍යයෙන් පුළුවන් මිනිසුන්ගෙ චින්තනය වෙනස් කරන්න, ධනවාදී ලෝකයට වඩා හොඳ ලෝකයක් මිනිසාට තියෙන බව පෙනවන්න.
පනස් හයේ පෙරළියට හේතුවුණේ ජාතික සභ්‍යත්ව විඤ්ඤාණය බව ඔබ මේ කෘතියෙදි පවසනවා. ඒ පෙරළියෙන් සාහිත්‍ය කලාවේ පුනරුදයක් ඇතිවුණේ නැද් ද?
මම හිතන්නේ නැහැ ඒ පුනරුදයෙන් වැඩක් වුණා කියල. දේශපාලන පෙරළියක් වුණාට සාහිත්‍ය ලෝකයේ එහෙම පෙරළියක් වුණේ නැති බවයි මම විශ්වාස කරන්නෙ. පනස්හයේ පෙරළියක් වුණාට මිනිස්සුන්ගෙ චින්තනයේ, ආකල්පවල, දර්ශනයේ වෙනසක් වුණේ නැහැ. මම හිතන හැටියට හතළිස් ගණන්වල සහ පනස් ගණන්වල මුල්කාලයේ තමයි සාහිත්‍ය කලාවේ පුනරුදයක් ඇතිවුණේ.
ඔබ ජාතිකත්වය වෙනුවෙන්, ජාතික චින්තනය වෙනුවෙන් පෙනී ඉන්න සාහිත්‍යකරුවෙක්, විද්වතෙක්. ඒ නිසා ඔබට මොනවද ලැබී තියෙන්නේ...
ලැබෙන, නොලැබෙන දේ ගැන මා සිතන්නේ නැහැ. මම ලිව්වේ ඒ වෙනුවෙන්. ඉතින් මම තෘප්තිමත්. ඒක පාඨකයා බාරගන්නවාද නැද්ද කියන එක වෙනම දෙයක්.
ඔබට බුහුමන් දැක්වීමට පසුගියදා උත්සවයක් පැවැත්වුණා. එවැනි බුහුමන් ඔබ බාරගන්නේ කෙලෙසින් ද?
මගේ කෘති, මා ලියූ දේ පාඨකයාට, ජනයා අතරට යන්න හේතුවෙනවා නම් එවැනි උත්සව හොඳයි. ඒ හැර මම කැමැති නැහැ ආවඩනවාට.
දැන් ඔබේ දින චර්යාව කුමක් ද?
දැන් මට එක දිගට පොතක් කියැවීමත් අසීරුයි. ලේඛනයේ යෙදෙන්නේ නැහැ. පුවත්පතක් බලනවා හැරෙන්න වෙනත් දෙයක් කියවීමත් අසීරුයි.
සංවාදය - ලක්මාල් බෝගහවත්ත
මෙම සංවාදය සති අග 'අරුණ' ජාතික පුවත්පතේ" (2025/11/16) දින මුල්වරට පළවිය.
(සංවාද සටහන උපුටා ගැනීම "Suranga Indika Lakmal Bogahawatta" ෆේස්බුක් පිටුව ඇසුරිනි)



