සාහිත්‍ය කෘති සඳහා පිරිනැමෙන සම්මාන අරබයා නොයෙකුත් මතවාද මෙන් ම, අපවාද බොහෝ ය. ඉනුත් මූල්‍ය ත්‍යාග පිරිනැමෙන සම්මාන උත්සව මූලික ය. ඉතාම මෑතක් වන තෙක් මෙකී සාහිත්‍ය සම්මාන උදෙසා කැපී පෙනෙන ප්රබෝධයක් දක්නට නොලැබුණි. කලින් කලට නොයෙකුත් පාර්ශ්ව මෙන් ම, සම්මානිතයන් එකිනෙකා වෙත නිකුත් කරන වාග් ප්‍රහාර ආදිය මුහුදු රළ මෙන් නැඟ, නැවැත බැස ගියේ ය. එහෙත්, 'ස්වර්ණ පුස්තක' සන්නාම නාමයත් සමඟ කරලියට ආ සම්මාන උත්සවය වාර්ෂිකව දිනාගත් අවධානය සුළුපටු නොවේ. හොඳ ම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සමඟ මෙතෙක් පිරිනැමූ ලක්ෂ පහ, ලක්ෂ 7 1/2 තෙක් වැඩි කිරීමත් සමඟ යළිත් ඒ ආලෝක කදම්භය වැඩි වී ඇත.
ඊට සමගාමීව මේ වසරේ පටන් 'රජත පුස්තක' සන්නාමය යටතේ කෙටිකතා සහ කවි සඳහා සම්මාන ලබා දීමට ඇරැඹීමත් සමඟ පෙර කී ආලෝක ලපය තවත් වර්ධනය වී ඇති සැටියකි. අවසන් වටයට තෝරාගත් කෙටිකතා සහ කාව්‍ය කෘති ත්‍රිත්වය සඳහා රු:50 000ක් පිරිනැමීමත් සම්මානිත කෘතියට 2,50 000ක් පිරිනැමීමට තීරණය කිරීමත් සමඟ යළිත් සාහිත්‍ය සාගරය කැළැඹීමට පටන් ගති.
සම්මාන සහ එහි තීරණ පිළිබඳ වාර්ෂිකව වාද-විවාද කරගන්නා අතර එමඟින් ඊළඟ වසරට ලබා දෙන අනතුරු හැඟවීම් බොහෝ ය. සම්මාන සමඟ සෙවනැල්ල සේ ලේඛකයා හඹා යන අගතීන් ද බොහෝ ය. 'ස්වර්ණ පුස්තක' නවකතා සමඟ ද මේ අගතීන් කිහිපයක් වර්ධනය වෙමින් පැවැති බව පසුගිය වසර කිහිපය සියුම්ව නිරීක්ෂණය කළ විට සොයා ගත හැකි ය. එනම්, සම්මාන උළෙල ඉලක්ක කර ගනිමින් නවකතා ලිවීමේ නරක පුරුද්දක් බෝ වීම ය. ඒත්, මේ අගතිය හරහා ද යම් සුගතියක් වර්ධනය විය. එනම් නවකතාව කෙරෙහි පාඨක අවධානය ඉතාමත් යහපත් ලෙස යොදවා ගැනීමය. ඉනුත් තවත් අගතීන් සහ සුගතීන් පහළ විය. 'ස්වර්ණ පුස්තක' නාමාවලිය හැර සෙසු නවකතා පාඨකයාට මඟ හැරී යාම එහි අගතියකි.
එහෙත් සාහිත්‍ය පිළිබඳ විවෘත කතිකාවකතකට ලේඛකයන් සේ ම පාඨකයන් ද එළැඹීම මේ සියල්ලෙන් පෙරී එන හොඳ ගති ලක්ෂණයකි. කෙටි කතාව සහ කවිය යන සාහිත්‍යාංග අමතක කර දමමින් යමින් කරමින් තිබූ වේගවත් ගමන ඒ අයවද කැටුව යන්න ගත් තීරණය ප්‍රශංසාත්මකය. ශ්‍රී ලාංකේය කෙටිකතාව සහ කවිය ඔවුනොවුන්ට වෙන් වූ හුදෙකලා අරගල බොහොමයක නිරත වෙමින්, පොත් සාප්පුවල රාක්ක අතර කුඩම්මාගේ සැලකිලි ලබමින් මෙතෙක් කල් පැවතුනි. කොටින්ම කෙටිකතා පොතක් හෝ කවි පොතක් මුද්‍රණය කරවා ගැනීමට ප්‍රකාශකයකු සොයා ගැනීමේ දුෂ්කර ක්‍රියාව කළ බොහෝ අය ඉන් මතු ඒ දුෂ්කර ක්‍රියාවම නැවත ඒ අයුරින්ම සිදු කිරීමට පෙර දෙවරක් හිතා බලන සුළු විය.
කවි සහ කෙටිකතා කෘති සඳහා ඇති සත්‍ය වෙළෙඳ පොළ වටිනාකම ඉතාමත් නිහීන ලෙස බාල කරමින්, ඒවා නොවිකිණෙන ගණයට දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශකයන්ට ද ඇඟිල්ලක් දිගු වේ. ඒ දිගු වෙන ඇඟිල්ල සමඟ තමන්ගේ පැත්තටද දිගුව ඇති සෙසු ඇඟිලි හතර නොසලකමින්, අපි යළිත් පෙර කී ගමනේම නිරත වෙමු. ජනප්‍රිය සාහිත්‍යාංගයක් ලෙස කවිය සහ කෙටිකතාව ඉහළට ඔසොවා තැබිය යුතු බවට පාරම් බාන කිසිවකු ඊට අංශුමාත්රයකිනුදු උදවු උපකාර කරන බවක් නම් පෙනෙන්නට නැත. ඒ පසුබිම තුළ ඇගැයීම ගැන යම් ඇගැයීමක් තිබිය යුතු ය.
ඉතා ම යහපත් යමක වුව ද අගතීන් තිබිය හැකි ය. එමෙන් ම, ඉතා ම නරකක වුව යහපතක් තිබිය හැකි ය. තව තවත් විකල්ප සාහිත්‍ය උළෙල සහ සම්මාන උළෙල බිහි විය යුතු ය. ඒ හරහා සංවාද සහසක් සමාජගත විය යුතු ය. පුද්ගලික මඩ ගසා ගැනීම් හෝ පුද්ගලික චරිත ඉස්මතු කරමින් එකිනෙකා ගඟේ යවා ගැනීමේ සංස්කෘතියෙන් ඈත් විය යුතු ය. එහෙත්, ඒ වසරේ ජනතා ආකර්ෂණය දිනූ කෘති නොසලකමින්, පටු පරමාර්ථ මත පිට කසා ගැනීමේ ව්‍යාපෘති නතර කළ යුතු ය. ලේඛකයන් සහ කෘතිවලට අදාළ වෙළෙඳ පොළ වටිනාකමක් ලබා දීමේ ක්‍රියාදාමය ප්රශංසාත්මක ය. එහෙත්, ඇගැයීම සමඟ වසරින් වසර ඉදිරිගාමී සාහිත්‍යයක් ද පාඨකයාට ලබා දිය යුතු ය.
හොඳ ම කෙටිකතා සංග්‍රහය සඳහා නිර්දේශ වී ඇති එරික් ඉලයප්අාරච්චිගේ 'බැග්ඩෑඩ්', මංජුල වෙඩිවර්ධනගේ 'දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ කතා, සමරසිංහ ගුණසේකරගේ 'කාලිදාස කල් ඉකුත් වී නැත' සහ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ 'එකොළහ' පිළිබඳ ගුණාත්මක කතිකාවතක් ඇති වනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුවක් තබා ගැනීමේ වරදක් නැත.
එසේ ම, හොඳ ම කාව්‍ය සංග්‍රහ සඳහා නිර්දේශ වී ඇති ලක්ශාන්ත අතුකෝරලගේ 'සමහර කමටහන්', එරික් ඉලයප්අාරච්චිගේ 'කපුටා සහ සිටාණෝ', නඳුන්යසිත දසනායකගේ 'විල් නෙතක මල් මතක' සහ අනුරාධා නිල්මිණීගේ 'මදහසක මැදියම' මේ අවකාශය තුළ ම ගුණාත්මක කතිකාවතකට බඳුන් වනු ඇතැයි සිතමි. එසේම අවධානයක් නොලැබ හෝ යම්,යම් හේතු මත වුවමනාවෙන්ම මඟ හැර දැමූ ඉසුරු චාමර සෝමවීරගේ 'අප දෙදෙන මැද මහ මුහුද' කාව්‍ය සංග්‍රහය යළි කියැවීමට ද මම ආරාධනා කරමි.
මේ අතරම, බොහෝ අසුබවාදී දේ අතර 'රජත සම්මානය' සුබ සාහිත්‍ය කියැවීමකට පාඨකයාව රැගෙන යනු ඇතැයි සිතීම පාපයක් නොවේ. සෑම නව සම්මාන උළෙලකට අයිති බැණුම් සහ අපවාද කතාන්දර සමඟ 'රජත සම්මානය'ද මුහුකුරා වැඩෙනු ඇතැයි ඒ අතරම සිතමි. අන්තර්ජාලය ආශ්‍රිතව මෑත කාලීනව යළි පණ ලැබූ නූතන සිංහල කවිය වචන හරඹ, පුහු ප්‍රලාප සහ අදෝනා පසුකර උස් කඳු මුදුනකට ප්‍රවේශ වන බවට සැකක් නැත.
කාංචනා අමිලානි
(දිනමිණ)