28 චිත්රපටයෙහි දෙබස් ඇසුරින් සරල කියවීමක්-
'අවයව පෙනෙන ලෙස සිටීම...
...අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම'
''මොනවද බන් අවයව කියන්නේ'' (අබසිරි)
ගැහැනියට පිරිමියාගේත්, පිරිමියාට ගැහැනියගේත්, අවයව පවා කුණුහරුපයක් බවට පත්කළ සංස්කෘතික සමාජයක අබසිරිලාට - සුද්දිලාට මෙන්ම අපට ද අබසරණය. ප්‍රසන්න ජයකොඩිගේ අලුත් චිත්‍රපටයේ ආරම්භයේම එලෙස අපව ප්‍රශ්න කරයි. අසම්මත, අනියම්, අනඟ රැඟුම්, අඹුසැමි හැසිරීම් ආදී ලේබල්වලින් උත්තේජනය වන කුණු රසට ප්‍රියකර වූ වටපිටාවකට, කොටහලු, හනිමූන් ප්‍රදර්ශනය කිරීමට කැමති, ඉස්කෝලේ ප්‍රජනනය පාඩම උගන්වනවාට අකමැති පරිසරයකට, '28' තවත් කුණුහරුපයක් බවට පත්වුවහොත් ඒ පිළිබඳ පුදුම විය යුතුද නැත.
''උඹට මැජික් වුණාට අපට මැජික් නෙවෙයි'' එම්බාම් කරන මළමිනිය පවා නිරුවත් කර තැබීමට අකමැති තරම් අපි ශීලාචාරද, ඇත්තටම එය ශීලාචාරකමද?
සුද්දිගේ මිනිය ගෙනියන්න, රවටා ගෙනා ඩෙලිකා වෑන් එකේ බොඩිය වටේ තට්ටු කරමින් අබසිරි ඩ්‍රයිවර් මුරුංගා අත්තේ තැබීමට උත්සහ කරයි. අනෙක් අතට වෑන් එකේ බොඩිය ගැන දැනගත්තාට සුද්දිගේ බොඩිය ගැන අබසිරිලාට ඇත්තේ වසා දැමූ අවබෝධයකි.
''අපේ ගමේ ලස්සනම ගෑනි, සුද්දි මැරිලා'' අබසිරි මේ කියන්නේ තමන්ට තමන්ගේ බිරිඳ කෙරෙහි ඇති බැඳීම පමණක් නොව, ගමේ උන් සුද්දිගේ රුවට දුන් තැන විය යුතුය.
ලිංගිකත්වය පිළිබඳ පාසලේ ප්‍රජනන පාඩමේ දී වහං කළ කුහුල, අවසානයේ දරුණු සමාජ ව්‍යසනයක්ව හාත්පස වෙලා සිටිනමොහොතක ''තාමත් ඒ පාඩම මට උගන්වලා නෑ'' යන තාරුණ්‍යයේ මැසිවිල්ල රටේ අධ්‍යාපනය, සංස්කෘතිය මගින් බාර ගන්නේ කවදාද?
''ඒ හැම කාමරේකටම පන්සිල් ඇහුණා. ඒත් ඒ කවුරුත් තුන්වෙනි සිල් පදේ තේරුම දැනං හිටියෙ නෑ'' සුද්දි මේ කියන්නේ ලාංකේය සමාජයේ පමණක් නොව ආසියාතික පසුගාමීකම ගැන නොවේද ? කාමයෙහි වරදවා හැසිරීම පිළිබඳ විග්රහ කරන විවිධ දේශනා ඇතත්, ඒවා අස්සේ ලිංගිකත්වය රස කරමින් තෙපර බෑවත් මේ ප්‍රශ්නයට තවමත් උත්තර ලැබී තිබේද?
''අපේ මිනිහට හොඳම ගෑනි වෙන්නත් ඕනි, කියන කියන අතට හැරෙන්නත් ඕනි. නගරේ මිනිස්සුන්ට එහෙම වෙන්න ඕනි නෑ. උන්ට ඕනි කියන කියන අතට හැරෙන ගෑනියෙක් විතරයි.''
ලිංගික ක්‍රියාවලිය, නූගත්කම අවසානයේ සමාජ ඛේදවාචක නිර්මාණය කරන්නේ කුසුමෙලා, සුද්දිලා, අබසිරිලා වැනිවුන් තවත් අසරණ කරමිනි. පුවත්පත් මාධ්‍යවල එකී දූෂණ, ලිංගික සූරාකෑම් රසකර පළ වුණද, එහි හේතූන් සංවාද කිරීම එතරම් රස කාරණයක් නොවන බව ඒ මහත්වරුද දනිති. එහෙයින් මේ කරුණ විභාග කිරීමට '28' ඉදිරිපත්වීම අප ඇගයිය යුතුය.
සදාචාරය, ගුණධර්ම තියා ලිංගිකත්වය, ප්‍රජනනය වැනි අතිශය ස්වාභාවික ජෛව ක්‍රියාවලිය සම්බන්ධ දැනුම පවා නොදීම තුළ, තවදුරටත් අර්බුදයට යන්නේ ස්ත්‍රිය හෝ පුරුෂයා නොව සමාජයයි. අනෙක් අතට සදාචාරය, හික්මීම ගැන කතා කරන අයගේ පවුල් - ගෙවල් ඇතුළට එබී බැලුවහොත් මේ අර්බුදය හමු නොවේද?
''තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට නම් බෑ'' සුද්දිලාට දෙහි කපන, අවලාද නගන උන්ගේ පැටිකිරිය එළිවුවහොත් බොහෝ නෝනලාට මහත්වරුන්ට වන්නේද දිවිනසාගැනීමටය. එසේ වීමට බල පෑ හේතු අතර '28' කතා කරන මාතෘකාවද හමුවනු නියතය.
'28' බලා සිනමාහලෙන් බැස පොළොව ස්පර්ශ කළ යුතුවා මෙන්ම, මේ කතාව අබසිරිලාට, සුද්දිලාට බාර නොකොට අප විසින් බාරගත යුතුය. මේ සංවාදය තවදුරටත් මැජික් එකක් නොකළ යුතුය. එබැවින් නරඹමු '28'. ඊට පසු කතිකාවට එළඹෙමු.
තැන්නේ ඤාණානන්ද හිමි