ලාංකේය සිනමාවට, හොද හොද බුලට් පහලවේ. එක්කලක," ඉග සුග ගත හැකි මිටින" වැනි පිරිමි නලුවෙක් ගිනිකූරු උඩුරැවුලකුත් තියගෙන ප්‍රේම් ජයන්ත් නමින් පහල විය. ඒ අතරේ හොලිවුඩ් නලු ප්‍රතිරූපය මවමින් ආනන්ද ජයරත්න බිහිවිය. මාලන් බ්රැන්ඩොගේ ආභාෂය ගෙන, ගාමිණී පොන්සේකා පැමිනියේය. සිහින කුමරා ලෙසින් ටෝනි රණසිංහ කඩා පාත් විය. කොමිට් හා චරිතාංග සම්මිශ්රනයක් ලෙස ජෝ අබේවික්‍රම ආවේය.කළු සුදු සැලෝලයිඩ් පටය දේදුන්නක් සේ ආකර්ෂනය කරමින් විජය කුමාරණතුංග තිරය දෙපලු කලේය. ජවය, වේගය මෙන්ම යථාර්තවාදි සිනමාවකට රවින්ද්‍ර රන්දෙනිය එක්විය.
නමුත් රස්තියාදුකාරයෙකුගේ අඩුව, සිනමාවට දැනුනි.
සුගතපාල සෙනරත් යාපා විසින් මේ රස්තියාදුකාරයාව සොයා ගති. ඒ "හන්තාන කථාවේ" විශ්ව විද්‍යාල සගයෙකුටය.
මොහුට තිබුනේ පුදුම කැසිල්ලකි. එක තැන සිටීමෙ පුරුද්දක් නම් තිබුනේම නැත. අපේ අම්මල, තාත්තල කියන අන්දමට මොහුට තිබුනේ "කඩි කුලප්පුවකි."
ධර්මසේන පතිරාජ එය හැදින්වූයේ විසේකාර යෞවනය ලෙසය. ඒ ආතක් නැති,පාතක් නැති, නන්නත්තර යෞවනයයි. තාත්තාගෙන් කීයක් හෝ කඩාගෙන යාලුවෝ සමග බ්‍රිස්ටල් සිගරට්ටුව හතර පස්දෙනා උරමින්, හඩු ඩෙනිම් කලිසම් අදිමින්, පනාවට වඩා අතඇගිලි වලට කීකරු වන පිලිවලක් නැති දිගු කොන්ඩය තව තවත් අපිලිවෙල කරමින්, නොලැබෙන ජොබ් හොයා යම්න් රස්තියාදු වූ මේ නසරානි ජීවිතය, තව තවත් නසරානි කරන්නටදෝ සුගතපාල සෙනරත් යාපා භාර කලේ ධර්මසේන පතිරාජාටය.
රස්තියාදුකාරයා තිරය තුල අපූරුවට රස්තියාදු ගැසීය.පතිරාජට එය අහස් ගව්ව විය.
රස්තියාදුකාරයාට නම් ජීවිතයේ විශාල වු හැරවුම් ලක්ෂනයක් වී අමරසිරි කලංසූරිය නමින් "රි බෝන්"විය.
ඇත්තෙන්ම , පතිරාජ අහස් ගව්ව තුලින් පෙන්වූයේ නන්නත්තාරවු තාරුන්‍යයයි. ලවක් දෙවක් නැති, අතේ පිච්චිය නැති, රස්තියදුකාරයන්ගේ ජීවන අරගලයෙන් බිදකි "අහස් ගව්ව" තුලින් මතුවූයේ. කලංසූරිය ගේ එකල ජීවන රටාවද, එම තේමාවට කිට්ටු වූ හෙයින් ,අහස් ගව්ව ජීවමාන කිරීමට නම ඔහුට ඒ හැටි දෙයක් නොවුනි. නමුත්, එයින් අලුත් රංගන ශෛලයක් බිහිවීමේ පුරෝගාමිත්වය ඔහුට හිමි විය.
ඒ ශෛලය තුල ජේත්තුවට ඇදීම, ක්‍රීම් ගා හිස පිරීම, හම් සපත්තු දැමීම, විශාල කාර්වලින් ඇවිත් බැසීම, මල් ගස් වටේ, මුහුදු වැල්ලෙ හැටට හැටේ පෙම්වතියන් පස්සේ දිවීම වැනි දෑ තිබුනේම නැත. තිබුනේ, එකම ඩෙනිම් කලිසම, තද පාට කොටන් කමිස, අවුල් වූ හිසකෙස්, කැන්වස් පාවහන්, පමනි. එහෙත් ප්‍රේක්ෂක ආකාර්ශනය ඒ මත රැදවුනි. මෙම රස්තියාදුකාරයා, එම ආකාර්ශනය බලෙන් තමා වෙත රදවා ගැන්මට කිසිවක් කලේද නැත.
ගාමිනි පොන්සේකා වේවා, විජය කුමාරණතුංග වේවා, ඔවුන් අතර සිටියද මේ රස්තියාදුකාරයා ආකර්ශනීය වුයේ ඔහු එම චරිත ජීවමාන කල නිසාය.එහෙයින් "අහස් ගව්ව" තුලින්ම මොහු ලාංකේය සිනමාවට ගෙන ආ මෙම යථාර්තවාදිවූ, දඩබ්බර, ශෛලය, ගාමිණි පොන්සේකාට හෝ, විජය කුමාරණතුංගට , ටෝනි රණසිංහට හෝ ජෝ අබේවික්රමටවත් ගෙන ඒමට නොහැකි විය.
තිරයේ මොහුව දකින විට, ලග යාලුවෙක් සමග සිටින හැගීම එන්නට වූයේ, මොහු අප ජීවිතයේ සිදුවන සිදුවීම් සමග ජීවත් වන රගපෑමක නියැලුනු හෙයිනි. තිරයේ සිටින මේ රස්තියාදුකාරයා සමග, ශාලාවෙ සිටින අපට කෙලින්ම ගනුදෙනු කිරීමේ හැකියාවක් මොහු ඇති කරයි. ඉතින් අප ඔහු සමග කෙලින්ම බද්ද වනුයේ"ආ මචං කොහොමද" කියා අසන තරමේ ලෙන්ගතු කමකිනි. එය අපට ගාමිණී හෝ විජය සමගවත් ටෝනි හා ජෝ සමගවත් කිරීමට නොහැකිය.
මේ රස්තියාදු කාරය පත්තෑයෙක් මෙන් දැවැන්තයන් අස්සට රිංගා , ඔවුන් හා හරි හරයට හරඹ කර අප සිත්තුලට ඇතුල් වන්නේ දැවැන්තයෙක් ලෙසමය. ගාමිණී පොන්සේකා සමග "සක්විති සුවය" විජය කමාරණතුංග සමග "අහස් ගව්ව, අනුපමා, බඹරු ඇවිත්" ටෝනි රණසිංහ සමග "පරිත්‍යාග" ජෝ අබේවික්‍රම සමග "සිංහබාහු "අඹු සැමියෝ" වැනි චිත්‍රපට තුලින් එය මනාව ඔප්පුවන්නට විය.
මොහුගේ රංගන ශෛලය මොනතරම් කාවැද්නාදැයි කිව හොත්, ප්රවීනතම නිලියන් සමග රගපෑමෙ අවස්ථාව ලැබුනේ වාසනාව නිසා නොව, ඔහු මැවු වෙනස්ම ප්‍රතිරූපය නිසාමය. ශ්‍රියානි අමරසේන සමග"තරංගා" මාලනි පොන්සේකා සමග "අපේක්ෂා" ස්වර්නා මල්ලවආරච සමග "ඩොරින්ගේ සයනය" වසන්ති චතුරානි සමග "පරිත්‍යාග" හා සබීතා පෙරේරා සමග "පොඩිවිජේ" නිදසුනක් ලෙස පෙන්විය හැක.
"අහස් ගව්ව" ප්‍රධාන චරිත ධාරවෙන් පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ඇසද මේ රස්තියාදුකාරය වෙත යොමු වීමේ ප්‍රතිපලය වූයේ "අක්කර පහ"චිත්‍රපටයේ දඩබ්බර සරසවි සිසුවෙකුගේ චරිතයක් ලැබීමය. ඉතාමත් සුලු චරිතයක් වූවද, එය හදවත පසාරු වී යන අන්දමට, රගපෑමෙන් මේ රස්තියාදු කාරයා තම අනන්‍යතාවය ලාංකේය සිනමාව තුල සනිටහන් කලේ නැවුම් ශෛලයක් බිහිකිරිමෙනි.
"රැයත් දවාලත් "කෙටි චිත්‍රපටයෙන් "හන්තානෙ කථාව"ට එකතුවුනු මොහු "අහස් ගව්ව" හරහා ලාංකේය සිනමාව පුරාම රස්තියාදුගැසුවේය. ඒ "අක්කර පහ, නිම් වලල්ල, තරංගා, අපේක්ෂා, අනුපමා, බඹරු අැවිත්, පොඩි මල්ලි, කාංචනා, පරිත්‍යාග, සිංහබාහු, වජිරා, සාගරයක් මැද, ප්‍රදීපා, යස ඉසුරු, සක්විතිසුවය, සමනල සිහින, වැල්ලෙ තැනු මාලිගා, රැජින,'ඩොරින්ගේ සයනය, පූජා, මල් වරුසා, පොඩි විජේ, පෙම් රජදහන, දොලෙස් මහේ පහන, 150මුල්ලේරියාව, අඹු සැමියෝ, අහස් මාලිගා, දිය යට ගින්දර, රෝස මල් සයනය, සහ කේ සරා යන චිත්‍රපට හරහාය.
ගාමිණී,විජය,ටෝනි,ජෝ,රවින්ද්‍ර යම් දෙදරුමක් ලංකේය සිනමාව හරහා ලබාදුන්නද, ඒහා සමාන මේ සිනමා තීරයේ රස්තියාදුකාරයා වු අමරසිරි කලංසූරිය ගෙන්ද ලැබුනු බවක් අවිවාදයෙන්ම පිලිගත යුතු සත්‍යම සත්‍යයයි. ඔහු පමනක්ම ගෙන ආ ඔහුටම පමනක්ම ආවේනික වූ මෙම අපූරුවූ රංගන ශෛලය, තව කිසිවකට කිසිදිනයක අනුකරනය කිරීමට නොහැක්කක් විය.
දැනට 77වියේ පසුවන මේ විසේකාර හැඩකාර රංගධාරියාව,ලාංකේය සිනමාවට තව තවත් අවශ්‍යමය.ඒ මුලු ලෝකයටම ඇත්තේ එකම එක අමරසිරි කලංසූරිය පමනක්ම නිසාය.
ශෝන් මැක්ස්මස් දිසානායක