Mirrorarts-ගබ්සාව නීති ගතකිරීමට පූජ්‍ය පක්ෂය අතීතයේ සිටම එරෙහිවන්නේ ආගමික රෙද්දෙන් සිය සිරුර වැසී ඇති නිසාය. ගැහැනියගේ සිරුරේ අයිතිය සියලු ආගම් විසින් ඇඳ බැඳ තබා ඇත. දැන් ඉතින් ගැහැනු මේවාට නිහඩව සිටිය යුතු නැත.
ජී එල් පීරිස් අමාත්‍යවරයා ව්‍යවස්ථා කටයුතු ඇමතිවරයා ලෙස චන්ද්‍රිකා බන්්ඩාරණායක ජනාධිපති අවධියේ මේ කාරණාව සම්බන්ධව එකළ තිබූ ස්ත්‍රී සංවිධානවලද මැදහත්වීමෙන් සුබදායී සාකච්චජා වට කිහිපයක් ගොස් ආගමික පූජකවරුන්ගේ බලපෑම් මැද අනුමත කරගැනීමට නොහැකි විය.
ජනවාරි 08 නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීමට මෙරට කාන්තා ජන්ද වැඩි ප්‍රමාණයක් ලැබී තිබුනාට කිසිම සැකයක් නැත. එහෙයින් සමස්ත කාන්තා වර්ගයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් යෝජනවාක් පූජකයන්ගේ විරෝධතාවන් නොසලකා ඉටු කළ යුතුව ඇත. ලංකාවේ වසරකට ලක්ෂ 400,000 පමණ ගැබ්ගන්නා ස්ත්‍රීන් අතරින් නීතිවිරෝධී ගබ්සාවන් සිදු කරගන්නා සංඛ්‍යාව දිනකට 658 කට වැඩිය.එලෙස ගත්විට එය වසරකට240,170ක් පමණය.
වසරකට ගැහැනු දරුවන් 180,000ක් පමණ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්ථා සඳහන් කරයි.ජනගහනයෙන් 27% ක් පමණ දරුවන් බිහිකිරීමේ වයස් සුදුසුකම් ලබා තිබේ.
එයට අමතරව අඩු වයස් ළමා ගැබිනි මව්වරුන් 24,000ක් පමණ ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්ථා වෙයි. මේ අඩුවයස් ගැබිනි ළමා මව්වරු වැඩි වශයෙන් වාර්ථා වන්නේ කුරුණෑගල අනුරාධපුර දඹුල්ල ආදී ප්‍රදේශ වලිනි.දඹුල්ල රෝහලෙන් ළමා ගර්භණී මව්වරුන් වැඩි ප්‍රමාණයක් වාර්තා විය.
විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා තම පාරම්පරික ගම්බිම් අත්හැර කොලණීහෝ ජනපද වල ජීවත්වන්නට එන පවුල් වල බොහෝ විට දෙමව්පියන් කුලී වැඩ වලට යනවිට පවුලේ සිටින ගැහැනු ළමයා සිටින්නේ සහෝදරයාගේ හෝ ඥාතියෙකුගේ ආරක්ෂාව මැද්දේය. මෙවැනි බොහෝ පවුල් වල ඛේදවාචකය වන්නේ මේ දැරියන් පවුලේ අය විසින් අපයෝජනය කිරීමයි.අපගේ විමර්ශණයන්ට අනුව මේ දරුවන් ගැබ් ගන්නේ සිය පියා අතින් එසේ නැතිනම් සහෝදරයා ,ඥාතියෙකු අතිනි.
එක් මවක් පැවසුවේ තම දියණිය ගැබ්ගෙන ඇත්තේ ඇගේම පියාගෙන් බවයි. දෙදෙනාම කුලී වැඩ වලට යන බවත්, ස්වාමියා වැඩ අහවර වී නිවසට වේලාසන පැමිණි විට දැරියව අපයෝජනය කර තිබිණී. මෙය දැනගත්තද පොලිසියට හෝ වාර්ථා කිරීමට නොහැකිවන්නේ සැමියා හිරේ ගිය විට මේ පවුල ආර්ථික වශයෙන් ඇද වැටෙන තත්ත්වය සැළකිල්ලට ගෙනය. දරුවන් සමග තමාට තනිවීමට සිදුවන බවත්, ආදායම් මාර්ගයක් නොමැතිව අසරණ වන්නට සිදුවන බැවින් මෙවන් අකටයුතු විඳ දරාගනිමින් නිහඩව සිටීමට සිදුවන බවත් ඇය පැවසීය. එහි බරපතල තත්ත්වය අප පහදා දුන්නද අපට ඔවුන්ගේ ආර්ථික ගැටළුවලට පිළිතුරු ලබාදිය හැකි ක්‍රමවේදයක් වේද?මෙම මවගේ දියණිය පමණක් නොව එම දුෂ්කර ගම්වල සහෝදරයන් සහෝදරියන් අතර පවුල් කෑම් මෙන්ම තාතා්තලා දරුවන් අතර පවුල් කෑම්ද බහුලව දකින්නට ලැබුණි. මව්වරු පත්ව සිටියේ දැඩි අසරණ බාවයකටය
වර්තමාන සමාජයේ වාර්තාවන ස්ත්‍රී දූෂණ වලට වඩා වාර්ථා නොවන දූෂණ වැඩි බව බොහෝ සමාජ විමර්ෂකයන්ගේ අදහසය.ස්ත්‍රී දූෂණයකින් බොහෝවිට ගැබ්ගන්නා ප්‍රමාණය අවම බව වෛද්‍ය වරුන්ගේ නිගමනයයි. මන්ද පුරුෂයෙකු බලහත්කාරකම් කරද්දි ගැහැනියගේ ශ්‍රාව්‍ය ජනනය වීමක් සිදුනොවුනහොත් ගැබ් ගැනිමක් සිදුනොවනාය යන්න වෛද්‍යවරයෙක් අපගේ නිරීක්ෂණයදී අපිට පැහැදිළි කරනු ලැබීය. අවසන් මොහොතේ හෝ ස්ත්‍රිය ගේ ශරීරය ඊට අවනත වන්නේනම් ගැබ් ගැනීමක් සිදුවිය හැකිය යන්න අදහසය.කෙසේ වුවත් ලංකාවේ ගබ්සාව නීති ගත කිරීම සිදු නොවන්නේ පන්සලත් කතෝලික සහ ඉස්ලාම් පල්ලියත් මේ කාරණයට එක හෙළා විරුද්ධවන බැවිනි.
ගිහි ජීවිත සම්බන්ධව ආගමික සංස්ථාවකට මැදිහත්වන්නට හෝ ඔවුන්ගේ හඩට නතු වීම සාධාරණ යුක්ති සහගත නොවේ.
ගබ්සාව නීති ගත කිරීමෙන් සිදුවන්නේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටළු අවම වීමය. නීති විරෝධී ගබ්සාවන් නිසා ස්ත්‍රීන් අධික රුධිර වහනයට ලක්වීමෙන් මිය යන අතර කාන්තාවන්ගේ ගර්භාෂයට ඇතුළු කරන කම්බි කූරු සහ ප්‍රාථමික ආයුධ නිසා ඇයගේ ගැබ විනාශය පත්වෙනවා පමණක් නොව නැවත දරුවෙකු සැදීමට ඇති අවකාශ සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. එමෙන්ම ඇතිවන තුවාල මාරාන්තික වන අතරම පිලිකා සෑදීමට ඇති ඉඩ කඩ වැඩිය.
ගබ්සා කරනා කොළඹ මධ්‍යස්ථාන ආරක්ෂිත ලෙස ගබ්සාවන් සිදුකරයි. ඒවා පහසුකම් වලින් යුක්තය. මේ සඳහා විශාල මුදලක් වෛද්‍යවරු අය කරති. දරිද්‍රතාවයේ පතුලේ සිටින මෙවන් අවශ්‍යතාවන් ඇතිවන කාන්තාවන් හට සිදුවන්නේ බයිසිකල් කම්බියකින් සිය ගැබ හූරා දමා තුවාල කරගැනීමටය.
අද වනවිට ගැබ්ගත් විගස වෛද්‍යවරු ලබාදෙන්නේ පෙති කිහිපයකි. මේවා ගැනීමෙන් කළලය විනාශවේ. මේ පෙති වලදීද අධික ලෙස රුදිරය වහනය වන අතර අධික වේදනාවක් ඇතිවන බව වෛද්‍යවරු පවසයි.
තුවලය ඇති එකා වේදනාව දන්නවා සේ පූජකවරුන්ට හෝ ගබ්සාවට විරුද්ධවන පිරිමින්ට ගැහැනු විඳින මානසික පීඩාව තේරුම් ගැනීමට නොහැක. පිරිමින් ගැහැනිය බඩ කර පලායන්නේ ආත්මීය වංචා කරුවෙක් ලෙසය. සිය ශුක්රානුවේ අනන්‍යතාව බාරගැනීමට නොහැකි පිරිමි ස්ත්‍රියගේ ගබ්සාවට අනුමැතිය දෙන්නේ කෙලෙසකද?
පිරිමි බඩ වෙන්නට ගත්තානම් මෙලහකටත් ඔවුන් මේ සටනින් ජයගෙන හමාරය. මන්ද පිරිමි ඔවුන්ට ඔිනෑ ලෙස ලෝකයේ හැඩය හදාගෙන ඇති බැවිනි. එහෙත් වර්තමානයේ දී ගැහැනියගේ ශරීරයේ අයිතිය ගැහැනියට ලබාදිය යුතුවන්නාසේම අවුරුදු 10 සිට ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබාදිය යුතුය. අධ්‍යාපන අධිකාරියට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්නට නොහැකිනම් වැඩිහිටියන් තම දරුවන්ට නිවසේදීවත් මේ පිළිබඳව නිසි දැණුමක් ලබාදිය යුතුව ඇත.
අනෙකාට ගරුකරන සමාජයක් වෙනුවෙන් නිවස තුළින්ම නැවත නැවතත් ක්‍රියා මාර්ග ගතයුතුව ඇත.
අනෙක මේ සියලු දේට මුහුන දෙන්නේ ආර්ථික දරිද්‍රතාවය ඇති, සමාජ අවබෝධය නැති, නිසි අඅ්යාපනයක් නැති ,අඩු ආදායම් ලබන පවුල්වල දැරියන් සහ
තරුණ ස්ත්රීන්ය.
වෙළඳ කලාපයේ තරුණ ස්ත්‍රීන් බොහොමයක් ගබ්සාවන් සඳහා පෙළඹෙන්නේ රැුවටීමට ලක්වීමෙනි. මේ අය අපා දුක් විඳිමින් ජීවත්වීමේ අරගලයක යෙදෙමින් ජීවිත අවධානම නොතකා ගබ්සාවන් කිරීමට පෙඹෙන්නේ රහසිගතවමය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා හොර වෙද්දු විවිධ දේ බාවිතා කරමින් ගබ්සාවන් කරයි.
මුදල් යහමින් ඇති වුල් වල අය පෞද්ගලික රොහල්වලට ගොස් ගබ්සාවන් කරගන්නවා පමණක් නොව ඇතිවිය හැකි අතුරු ආබාධ සඳහා ද ප්‍රථිකාර ලබාගනී.
මේ රටේ බහුතරයක් අසාධාරණය සිදුවන්නේ දුප්පත් මිනි්සුන්ටමය. නීති මගින් ආරක්ෂා කළයුත්තේ මෙවැනි දුප්පත් තරුණ ස්ත්‍රීන් සහ අඩු වයස් දරුවන්ය. ඔවුන් ගැබ්ගත්විටක එම බරින් නිදහස් කිරීමට අවසරය තිබිය යුතුය. මන්ද ඒ දරුවාට අනාගතයක් තිබිය යුතුය. නෙදැනුවත් කමින් ගැබ්බර වෙන්නාවූ පාසල් වයසේ දරුවන් නීතියෙන් ආරක්ෂා නොකළහොත් සිදුවන්නේ ජීවිත කිහිපයක්ම අසාධාරණයට ලක්වීමයි. පසුගිය වසරේ පමණක් ගැබ්ගත් ස්ත්‍රීන් 50කට වැඩි පිරිසක් සිය දිවි නසාගෙගන තිබේ. මේ සියදිවි නසාගැනීමට මූලික හේතුව වන්නට ඇත්තේ ගබ්සාවක් කිරීමට නීතියෙන් අවසරයක් නැති නිසා මෙන්ම සමාජයට මුහුනදීමට ඇති බාධක නිසාය. ගැහැනියක් පිරිමියෙකු අතින් අතවරයට හෝ රැුවටීමට පත්ව ගැබ්ගැනීමෙන් පසු ඇයට සුරක්ෂිතව ජීවත්වන වටපිටාවක් මේ සාධුජන සමාජය විසින් නිර්මාණය කොට නැත. ආගමික ජූජකවරුන් පන්සලට පල්ලියට වද්දා ගන්නේ නැත.මේ කාන්තාවන් අවලමේ ගිය පර බැල්ලියන් හෝ වේස ගැහැනු බවට පත්කරන්නේ මේ පරම පවිත්‍ර ආගමික සාධුජනයන් විසින්මය. ගබ්සාවට විරුද්ධවන්නේත් මේ පරම ශුද්ධවන්තයින්ය.
ගබ්සාව නීති ගිරීමට සළකා බැලූ කාරණා කිහිපයකි. මවගේ ජීවිතය අනතරට ලක්ව තිබෙන අවස්ථාවක පිලිසිඳ ඇති දරුවා ආභාධිත තත්ත්වයක ඇතිනම් ලිංගික අතවරයකදී ගැබ්ගත් කාන්තාවකට දරු ගැබක් හට ගත්තොත් සහ ළමා ගර්භණී අවස්ථා ඇතිවුවහොත් යන කාරණා සඳහා පැහැදිළිවට නීතියෙන් අවසරයක් ලබාදිය යුතුය. පවතින නීතිය තුළ මවගේ ජීවිතය අනාරක්ෂිත ව ඇතිනම් ජීවත්ව සිටින කෙනාගේ ජීවිතයට ප්‍රමුඛතාව දෙමින් දරුගැබ අයින් කිරීමට නීතියෙන් සහනයක් දී තිබේ.
කැබිනෙට්ටුව ගබ්සාව නීතිගතකිරීම සඳහා අවශය එකගතාවට පැමිණ තිබේ. කතෝලික පල්ලිය මෙන්ම මහනායක වරුන් මේ සඳහා විරුද්ධ බව ප්‍රකාශ කර තිබේ. ආගමික පක්ෂය ගිහි මිනිසුන් ට අදාළ වන යම් දේ සඳහා තීන්දු තීරණ ගැනීමට බාධා කිරීමෙන් ඉවත්විය යුතුය. ප්රජාතන්ත්රවාදී දේශපාලනයක් ඇති රටක ජන්ද අයිතියෙන් වැඩි ප්රථිශතයක් කාන්තාවන් ඇති රටක ආගමික නිකායන්ට හෝ නායතයන්ට අවශ්‍ය පරිදි නීති ක්‍රියාත්මක කිරීම බහුතරයක් වූ ස්තී‍්‍ර ප්‍රජාවගේ අනාගත අභිවෘද්ධියට කරන විශාල බාධාකිරීමකි.
එහෙයින් මේ අවස්ථාවේ ස්ත්රීන්ගේ අයිතිය වෙනුවෙන් සමස්ථ ජනතාව බුද්ධිමත්ව, හඳුනාගත් අවස්ථාවන් සඳහා ගබ්සා කිරීමට අවශ්‍ය නීති ආරක්ෂාව ලබාදීම වෙනුවෙන් ගබ්සා නීති ගත කිරීමේ අවස්ථාවට සහයෝගය ලබාදිය යුතුය.
සාරා සමරසේකර