චතුරිකා සිරිසේනශ්‍රී ලංකාවෙ සාහිත්‍ය මාසය සැප්තැම්බර් වෙන්නේ පළමු වතාවට, 1957 දී රාජ්‍ය මට්ටමින් සාහිත්‍ය උත්සවයක් පවත්වපු නිසා. එදා පටන් අද වන තෙක් සැප්තැම්බරය සාහිත්‍ය මාසෙ බවට පත්වෙලා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවයෙන් පටන් අරගෙන, මේ වෙනකොට තවත් සම්මාන උත්සව රාශියකින් සාහිත්‍ය මාසෙ සැරසෙනවා.
මාසෙ කූටප්රාප්ත අවස්ථාව තමයි, සම්මාන ප්‍රදාන සියල්ල අවසන් වෙලා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවෙ දවස් දහයක් තිස්සේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. අද 26 දා වෙනකොට ඒ ක්රියාකාරකමත් ඉවරයි. 2016 පොත් ප්‍රදර්ශන කාලෙ, හැමෝම කතාවුණු පොතක් තිබුණා. ආන්දෝලනාත්මක පොතක් කියල කියවුණා. මේජර් කමල් ගුණරත්නගෙ රණ මඟ ඔස්සේ නන්දිකඩාල් කියන පොත. ඒ පොතේ මුද්‍රණ කිහිපයක් ම අවසන් වෙලා, ලේඛකයගෙ අත්සන ගන්න පාඨකයො සිය ගණනින් එක්රැස්වෙලා පුදුම ගාලගෝට්ටියක් තිබුණෙ. ඒ වගේම එල්. ටී. ටී. ඊ. කාන්තා අංශෙ තමිලිණීගෙ චරිතාපදානයටත් විශාල ඉල්ලුමක් 2016 සැප්තැම්බරයෙ තිබුණෙ.
මෙදා සැරේ 2017 පොත් ප්‍රදර්ශනේට සමගාමීව තවත් ඒ වර්ගයේම පාඨකයන්ගෙ, ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලාවල දිගින් දිගටම කතාබහට ලක්වෙන, පොත පිළිබඳ ලියැවෙන දේට වඩා පොත ලියපු ලේඛිකාවට එල්ලවෙන මඩ ප්‍රහාර දියත්වෙන පොතක් කියවන්නට ලැබුණෙ 15 වෙනි සිකුරාදා කොළඹ පොත් ප්‍රදර්ශනය විවෘත වෙන්න පෙර එහිදීම ජනගතවුණු ජනාධිපති තාත්තා කියන පොත පිළිබඳ උත්සවයට පස්සෙ. ජනාධිපති තාත්තා, චතුරිකා සිරිසේන ලේඛිකාවගෙ. ඈ තම ජනාධිපති පියා පිළිබඳ ස්වයං චරිතාපදානයක් වගේ කෘතියක් ලියල තියෙන්නෙ. මේ පොතේ නම මගේ තාත්තා මෛත්‍රීපාල සිරිසේන කියල දැම්ම නම් හොඳයි නේද කියලයි මගේ පෞද්ගලික කල්පනාව.
ජනාධිපති තාත්තා නමින් සාහිත්‍ය කෘතියක් නැති වුණත්, එනමින් වේදිකා නාට්‍යයක් නම් තිබුණු බව හැමෝටම මතකයි. චතුරිකා සිරිසේනගේ පොතේ නම ජනාධිපති තාත්තා වීමත් ඉන්දික ෆර්ඩිනැන්ඩුගෙ නාට්‍යයේ නම එයම වීමත් මහා අවුලක් වෙන්නෙ කොහොමද කියල තේරුම් ගන්න අමාරුයි. එකක් සාහිත්‍ය කෘතියක්, අනෙක වේදිකා නාට්‍යයක්.
ජනාධිපති තාත්තා පොත ලේඛිකාව ලියපු පොතක් නොවේ ය, ඒක අනුක්ත කර්තෘ කෙනෙකුගෙ (Ghost Writer) ලේඛනයක්ය කියමින්, විශාල ඝෝෂාවක් ඇහෙනවා. විශාල ලියවිලි, විශේෂයෙන් මුහුණු පොතේ සමාජ මාධ්‍ය ජාලාවල ලියැවිලා තියෙනවා. ඒත් මේ පොත කියවීමෙන් පසුවද ඒ විදියෙ ඝෝෂා නැඟෙන්නෙ කියලා හිතන්න සිද්ධවෙන්නෙ, මේ පොත කර්තෘ වෙනුවෙන්, වෙනත් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් විසින් ලිව්ව නම්, තිබිය යුතු සාහිත්‍යමය හෝ කලාත්මක ගුණය නොවීම නිසායි. කර්තෘවරිය තමන් වෙනුවෙන් මේ කෘතිය වෙනත් කෙනෙකු ලවා ලියවනවා නම්, ඒ පාර්ශ්වය ලිවීමෙහි හැකියාවක් තියෙන අයෙක් වෙන්න ඕන නේද? එහෙම කෙනෙකුගෙ කලාත්මක, සාහිත්‍යමය ලේඛනයක් ජනාධිපති තාත්තා කෘතියේ පේනවද? එහෙම නොපෙනෙන නිසාමයි මම කල්පනා කරන්නෙ මේ පොත චතුරිකා සිරිසේන විසින් ම ඇයට හැකි ආකාරෙයන්, ඇගේ භාෂා ඥානය, සාහිත්‍ය ඥානය අතුරල ලියල තියෙනව කියල. ඈ තමන්ගෙ තාත්තාගෙ ළමා කාලයෙ ඉඳල රටේ පළමුවන පුරවැසියා වෙන තෙක් ආපු ගමනෙ යම් යම් අවස්ථා ඔහුගෙ තීරණ, මුහුණ දුන් අභියෝග ගැටලු පිළිබඳ අවංකව කතා කරනවා. ඒක ආනන්තර්ය පාපකර්මයක් විදියට හිතමින් ලේඛිකාවට පුද්ගලික මඩ ප්‍රහාර ගැසීම හරි, රටේ අපි පිළිගත් ලේඛක ලේඛිකාවන්ගෙ නම් ගම් ඈඳා ගනිමින් ඒ අය මේ පොත පිටුපස විශාල මුදල් ගනුදෙනුවකට අහුවෙලා හිටියා කියන්නෙ නම් කෙප්පයක් බවයි පේන්නෙ. චතුරිකා පැහැදිලිවම එයාගෙ පොතේ සංස්කාරකවරයෙකුගෙ නමක් සඳහන් කරනවා.
ඒකෙන් අපිට වැටහෙන්නෙ, චතුරිකාගෙ මුල් ලියවිල්ල ජනක ලියනගේ විසින් සංස්කරණය කළා කියන කාරණාව නොවෙයිද? අනිත් වැදගත්ම කාරණාව තමයි මේ පොතේ මා දැක්ක අක්ෂර වින්‍යාසය, දෝෂ වැරදි භාෂා භාවිතය, වැරදි ව්‍යාකරණ දෝෂ, මේව තියෙන්න බෑ ගෝස්ට් රයිටර් කෙනෙක් ලවා ලියවන පොතක නම්. බලන්න මේ නිදසුන් කීපය. “වියලි කලාපයේ ළිංවල ගැඹුර ඔවුන් හොඳ හැටි දැන සිටි නිසාවෙනි. (පිටුව 27) ඇය පාලනයෙහි ශූර කඩිසර ගැහැණියක වූවාය. (පිටුව 23) ඉර එළිය බිඳක් දකින්නට අවස්ථාවක් මේ මාස තුන පුරාවට නොලැබුණි. (පිටුව 80) පසුව එය එළිදැක්වෙන්නේ මෙදිනටයි යනුවෙන් දින කිහිපයක්ම ප්‍රසිද්ධියට පත් වූ නමුත් ඒ කිසිදු දිනයක එය සිදුකිරීමට ඔවුන් අසමත් වූහ. (පිටුව 346) මහා සොයුරු ෙපමකින් ඔවුන් තම වැඩිමල් සොයුරා වටා එක්රොක් වී සිටියහ.” (පිටුව 347) චතුරිකාට මඩ ගසන පාර්ශ්ව, ඇගේ කෘතිය කියවා නැති බවක් ය අපට පෙනෙන්නේ. පොත දොරට වැඩීමේ උළෙලේදී ඇගේ දේශනය අවසන තම කෘතිය පිළිබඳ ඕනෑම විවේචනයක් ආඩම්බරයෙන් භාරගන්නවා යයි කීම තුළින් වුව ඒත්තු යන්නේ ඈ මහා භාෂා විශේෂඥවරියක් නොවන බවයි. එසේ වූ පමණින්, ජනාධිපති තාත්තා නම් වූ මේ කෘතිය ඈ විසින් නොලියන ලද්දක් යැයි චෝදනා කිරීම නම්, අත්‍යන්තයෙන්ම ඈ හා ඇගේ පියාගේ දේශපාලනය නොරුස්සන පිරිසකගේ මතය විය යුතුයි.
චතුරිකා සිරිසේන යනු කෙබඳු ගැහැනියක් ද? ඇගේ අධ්‍යාපන පසුබිම, පාසල් ජීවිතය කවරාකාරද? එක්දහස් නවසිය අනූ ගණන් මැද භාගයේ සිට ඇගේ පියා අමාත්‍යවරයෙක්ව සිටියේය. එහෙත් මෙරට බොහෝ දේශපාලනඥයන්ගේ දූ පුතුන් මෙන් විශේෂයෙන් දූවරුන් මෙන් ඇගේ නම අගට විසාකියන්, අනුලියන්, සංඝමිත්තියන්, බ්රිජටීන් නැත්නම් අඩුම තරමින් කුරුණෑගල පැත්තේ මලියදේවියන් කෙනෙක්වත් වී නැත. ඒ නිරහංකාර, නිහතමානී ගුණයට ද ඇයට මෙසේ පහර දෙන්නේ? ඇගේම වචනවලින් චතුරිකා ඒ ගැන කියන විදිය බලන්න. “කලකට පසු ඇමැතිවරයෙකුගේ දියණියක වුවද නගරබද ජනප්‍රිය පාසලකට නොගොස්, ගමේ පාසලෙන් ඉගෙනුම ලබන්නට ද දරු ප්‍රසූතියකට සූදානම් වන විට සුඛෝපභෝගී පෞද්ගලික රෝහලකට නොගොස් ගමේ මහ රෝහලෙන් දරු ප්‍රසූතිය සිදුකර ගැනීමට ද හැකි වූයේ එවන් ළමාවියක් මා ගත කළ නිසා වන්නට ඇත. මගේ මව්පියන් එවන් දිවියකට මා හුරු පුරුදු කළ නිසා වන්නට ඇත. අතිශය සරල ගැමි නිදහස් ලොවක අයිතිය කුඩා කල මට ඔවුන් භුක්ති විඳින්නට ඉඩහසර ලබා දුන් නිසා වන්නට ඇත.” (පිටුව 182)
මේ ඇසෙන්නේ චතුරිකාගේ හෘද සාක්ෂියේ අවංක හඬ නොවේද? ඈ වටකොට විවිධ පාර්ශ්ව පහර දෙන්නට සංවිධාන වී ඇත්තේ ගමෙන් නගරයට පැමිණ, ජනාධිපතිවරයෙකුගේ දියණියක් වූ ගැමි ගැහැනියක් නිසාද? චතුරිකාගේ පොතට රාජ්‍ය මාධ්‍ය ඇතුළු මාධ්‍ය ජාලා බොහොමයකින් විශාල ප්‍රචාරයක් ලැබී තිබුණා සත්තයි. එසේ වී තිබුණේ ඈ ජනාධිපතිගේ දියණිය වීම නිසා බව ද අමතක කළ නොහේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පුරා රාජ්‍ය නායක අමාත්‍ය දූ පුතුන්ට මාධ්‍ය ආවරණ ලැබෙන්නේ කෙසේද, ලැබුණේ කෙසේද කියා අප අමතක නොකළ යුතුයි. චතුරිකා ඉන් බැහැර වන්නී කෙසේද?
චතුරිකාගේ ජනාධිපති තාත්තා පොත අල්ලාගෙන නිර්දය ප්‍රහාර එල්ල කරන පිරිස ඇගේ පොතෙහි සඳහන් ඇතැම් කාරණා ගැන නිශ්ශබ්ද ඇයි කියා මට නම් නොතේරේ. පොත ආරම්භයේ චතුරිකා මෙසේ පවසන්නීය. “මෙම ග්‍රන්ථය අලෙවි කිරීමෙන් ලැබෙන සෑම මුදලක් ම ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් යොමු කෙරෙනු ඇත” මේ වූ කලී උදාර අරමුණක් නොවන්නේද? ඇයට මඩ ගසන්නේ පොත කියවා බලා හෝ නැති බව ද අප විසින් තේරුම් ගත යුත්තේ චතුරිකා ඇගේ පියාගේ දේශපාලන ගමන්මඟ මෙන් ම රජරට ගැමියෙකු ලෙස ගෙවූ සරල දිවි පෙවෙතේ තතු ද රසවත්ව ලියා තිබෙනු පෙනේ. අන් අයෙකු ලීවද ඒ තොරතුරු ඇගේ මුවින්ම පිටවිය යුතු ඒවායි. එහෙත් එබඳු තොරතුරු ලියැවී ඇත්තේ ඇගේම භාෂාවෙන් බවයි අපට ඒත්තු යන්නේ.
“1997 වසරේදී මම යළිත් පොළොන්නරුවට පැමිණියෙමි. නැවත වතාවක් තාත්තා, අම්මා, නැගණිය හා මයිලනුවන්ගේ සොඳුරු පවුලට එක්වූයෙමි. මගේ අලුත් පාසල වූයේ කලක් තාත්තාගේ ද පාසල් භූමිය වූ පොළොන්නරු රාජකීය විදුහලයි. එතැන් පටන් මගේ පාසල් සමය අතිශය සොඳුරු වින්දනීය මෙන්ම අරුත්බර කාලවකවානුවක් වූ බව සඳහන් කිරීම වටී. (පිටුව 200)
මෙවැනි අත්දැකීමක් කීමට ගෝස්ට් රයිටර් කෙනෙකුගේ සේවය ලබාගත යුතුදැයි මට නම් නොවැටහේ.
ජනාධිපති තාත්තා ජනගත වූ උත්සවය පිළිබඳ නොලියුවහොත් මේ සොඳුරු මතකය සම්පූර්ණ නොවේ යැයි සිතේ. උළෙල සීමිත ආරාධිතයන්ටය. බොහෝ පිරිස් අමාත්‍ය, මන්ත්‍රී, රාජ්‍ය නිලධාරීන්, සභාපතිවරුන්, ත්‍රිවිධ හමුදාව ආදී ආයතන නියෝජනය කළ පිරිස්ය. ද්විභාෂික නිවේදකයා, නිතරම චතුරිකා සිරිසේන, සිරිසේනයන් කළේය. ඉන් කුමන ගෞරවයක් ලේඛිකාවට ලැබුණිදැයි නොදනිමි. පෙරවරු 7.30 ඇරැඹීමට නියමිත වූ උත්සවය අටට ඇරැඹුණි. චතුරිකාගේ කෙටි දේශනයට අමතරව මාධ්‍යවේදී දීප්ති කුමාරගේ අදහස් දැක්ම කාලෝචිතය. අවසන ඔහු ජනපති, අගමැති දෙපොළගෙන් ඉල්ලා සිටි ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ ප්රශ්නය වැදගත් ය. එහෙත් ඉන්පසුවත් තව දේශන? පෙරවරුවේ පාතරාසය හෝ නොගෙන පැමිණි පිරිසකට කුමකට ද තවත් දේශන? ඒවා අසන මොහොතක් ද ඒ වෙලාව? අනෙක් අතට ඒවාට සවන් දෙන්නට එහි සිටි ප්‍රේක්ෂාගාරයට ඕනෑකමක් වීද? ජනාධිපති තාත්තා, පොත් ප්‍රදර්ශනයේ දී රණ මඟ ස්සේ නන්දිකඩාල් වැනි පොතක අලෙවිය පිළිබඳ වාර්තා සමග සැසඳිය නොහැකි වුවත්, සාමාන්‍ය පුද්ගලයෙකුගේ ජීවිතයේ ගමන් මඟ, ඔහු එහි හිණිපෙත්තටම නැඟීම පිළිබඳ කතාන්දරය දුවකගේ ඇසින් ලියැවී, අපූරු කියවීමක් බවට පත්ව ඇති බව නම් ඉඳුරාම කිව හැකිය.
බුද්ධදාස ගලප්පත්ති