අලුත් කියැවීමක් ඇවැසි වේලාවක ආ අමුතූ කියැවීමක්
‘83 දරුවෝ - කුසල්ගේ අමුතු කියවීම්
තීරු ලිපියක් හෝ බ්ලොග් සටහනක ලේඛකයෙකූ අතින් හෝ සංවේදී පුරවැසියෙකූ අතින් ලියැවෙන්නේ එකලට කාලීන වැදගත්කමක් හෝ සමාජ දේහයේ යම් සසලත්වයක් ඇති කිරීමට පාදක වූ කරුණක් මුල් කරගෙනය. එම සටහන් ප්‍රධාන මාධ්‍යයෙහි පළවූ හෝ නොපළ වූ ඒවා විය හැකිය.
තීරු ලිපි මාදිලියේ එවැනි සටහන් බොහෝ විට වැදගත් වන්නේ එයට අදාල ප්රස්තූත කාරණය සාකච්ඡාවන කෙටි කාල සීමාවකදී පමණි. මෙහි සටහන්වන එවැනි ලිපි ගැන මගේ අදහස් ලියැවුනේ, මා අතට අහම්බෙන් පත් වූ පොතක් කියවන විටය. ඒ ප්‍රවීණ ජනමාධ්‍යකරුවෙකු වන කූසල් පෙරේරා අතින් ලියැවුන ලිපි එකතූවක් ක්‍රිෂාන් සිරිවර්ධන ගේ සංස්කරණයෙන් ප්‍රකාශයට පත් කෙරුණු “83 දරුවෝ-කූසල්ගේ අමූතූ කියවීම්” යන අමුතු කෘතිය ය.
සාමාන්‍යයෙන් පොතක් අතට ගත් සැනින් පිටකවරය සිසාරා බලා එසැණින්ම පෙරලන්නේ පසුපිට කවරයටය. කූසල්ගේ “අමුතූ කියවීම් ̃ කියවන්නට තල්ලුවක් කුහුලක් පසුපිට කවරයේ ‘ඇත්තටම අපි කවුද?’ යන ලුහුඬු උපුටා දැක්වීම සපයනවා. මේ ඉන් පේලි කිහිපයකි.
“ඒ යුරෝපීයයන් ආවේ නැතිනම්, පරිප්පු කන්න පාන් නැහැ. කාර්, බස් නැහැ. ගමේ සෙලෙස්තිනාත් නැහැ. සියදෝරිසුත් නැහැ. අඳින්න කලිසමත් නැහැ. කමිසෙත් නැහැ. මැලේ ජාතිකයා නාවනම් අපට සරමත් නැහැ. ඒ කට්ටිය නාවා නම් සිංහල අලුත් අවුරුද්දට ආස්මි කොකිසුත් නැහැ.....හැබෑටම මේ මොනවත් නොවුනා නම් අපි “සිංහලයා “ කියන්නේ කාටද ?”
ලිපි සියල්ලටම පාදක වී ඇත්තේ ඒවා ලියැවුනු වකවානුවේ දී සමාජ තලයේ ඇති වූ සිද්ධීන් හා කතා බහ ය. ලියැවුනු කාල වකවානු ගතහොත් ඒවා ලියැවී ඇත්තේ යුද්ධය අවසන් වන 2009 කාලයේ සිට ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ 2015 ජනවාරි පරාජය පසුකර 2017 දක්වා විහිදෙන කාලයක ය.
මෙම ලිපි කියවා ගෙන යන විට ප්‍රථමයෙන් දැනෙන පෙනෙන ප්‍රධානතම කාරණය වන්නේ කූසල් පාඨක අපව අතිමහත් එකිනෙකට වෙනස් වූ විශාල පරාසයක් හරහා රැගෙන යන බවය. එය දිගින් පළලින්, උසෙන් හා ගැඹුරෙන් විශාලය. එපමණකදු නොවේ. එම කේෂත්ර පිළිබඳ ප්‍රමාණික දැනුමක් පාඨකයාට ලබාගත හැකි වන අතරම, අවශ්‍යය වෙතොත් වැඩි දුර කරුණු විමසීමේ මූලාශ්‍ර ද සපයා ඇත. බොහෝ අවස්ථාවලදී අප්‍රකට තොරුතූරුද පාඨකයා වෙත ලබා දේ.
ක්‍රිෂාන් සිරිවර්ධන මෙය සංස්කරණය කිරීමේදී කූසල් අතින් ලියැවුන කේන්ද්‍රීය වටිනාමක් ඇති ලිපි 14 ක් තෝරාගෙන ඇත. මේ සියලු ලිපි අතිශය දේශපාලනික කියවීම්ය. එහෙත් කඨෝර දේශපාලන හෝ ඊනීයා විදග්ධ භාෂිතයෙන් තොරය. උපාධිධාරි ගූරුවරියක වන මාගේ බිරිඳ, පොත අතට ගත් සැනෙන් කියවා ගෙන ගියාය. මේ ඇගේ ප්‍රතිචාරය ය. “කියවන්න හිතෙන විදිහට අලුත් ආරෙකින් ලියලා තියෙන්නේ. මගේ අම්මෝ විශාල විෂයයන් ගණනාවක් ගැන ලියලා. මේකේ විරෝධාකල්පයක් මතූ වුනත් සමහරු ලියන වෛරී ස්වභාවයකින් ලියලත් නෑ ̃. මේ, කූසල්ගේ අමූතූ කියවීම් පිළිබඳ සාමාන්‍ය පාඨක කියවීම ය.
එහෙත් මගේ කියවීම එයැම නොවේ. කූසල්ගේ ලිපි, ක්‍රිෂාන්ගේ සංස්කරණය සමග අප රටේ මුළු මහත් දේශපාලන-සමාජ-සංස්කෘතික-සංවර්ධන කේෂත්රයන් ආවරණය කර ඇත. ඒ විවිධත්වය සමග පාඨකයාව අතිශය ගැඹුරු විදග්ධ සාකච්ඡාවකට, තේරෙන බසින් මොවුන් දෙදෙන රැගෙන යයි. ඉදිරිපත් කර ඇති සමහර අදහස් විවාද පන්නය. සමහර ඒවා අනුමානයන්ය. සමහර කරුණු අප්රකටව පැවති එහෙත් කේන්ද්‍රයේ වැදගත් කමකින් යුත් ඒවාය. සමහර දෑ එක එල්ලේ කරණ අභියෝගයන්ය.
දළ වශයෙන් ගතහොත් ශ්‍රී ලංකා සමාජ දේහයේ බරපතල පිලිකාවක් සේ දිගට පළලට ගැඹුරට උසට කිඳා බැස ඇති හා පැතිර ඇති අසාධ්‍යය ව්‍යාධීන් සමූහයක් කාලීන වැදගත්කමක් ඇති නිමිත්තක් මුල් කරගෙන කුසල් සිය ලිපි වලින් ආමන්ත්‍රණය කර ඇත. ඔහු ඒවායේ අක් මුල් සොයා ගොස් ඇත.
මෙම ලිපි කියවන තෙක් අදාල සමාජ සිදුවීම් වලට පාදක වූ දෑ වල ඇති ගැඹුරු සම්බන්ධතා මට තිබුණේ අපැහැදිලිවය. නැතහොත් අවධානය යොමු කර නොතිබුණි. උදාහරණ ලෙස මෙම පොතේ සියලු ලිපි උපුටා දැක්විය හැකිය. එහෙත් කිපයක් උපුටා දක්වමි.
පොතේ නම ලෙස “83 දරුවෝ ̃ යන්න යොදා ඇති පළමූ ලිපිය ජනාධිපති ජයවර්ධනගේ විවෘත ආර්ථික වැඩප පිළිවෙල හරහා විවෘත කෙරුණු වෙළද පොල සිංහලයාටම හිමිකර ගැනිමේ සිරිල් මැතිව් මෙහෙයුම, බුදු දහමින්ද කියැවෙන තනියෙන් නිවන් දැකීමේ ආදර්ශය තරුණ තරුණියන් ගූරුකොට ගැනීම, වමට නිනව්වක් නැතිවූ හෙයින්ම ‘56 සිංහල බෞද්ධකම මෙකල උත්කර්ෂයට පත්වීම ‘83 කළු ජූලියේ පසුබිම ලෙස විස්තර වන අතර, ජයවර්ධන ජනාධිපති ගේ විවෘත ආර්ථිකය හරහා බිහිවුන පරම්පරාව සමග මේ සියල්ල එක් කර ‘83 දරුවෝ ලෙස කූසල් සිය ලිපිය වර නගා ඇත. වත්මනෙහි අපට ගනු දෙනු කරන්නට ලැබෙන්නේ කූසල්ම කියන ආකාරයට, ‘56 දරුවන්ට වඩා ඝෝෂාකාරී බාල හැදියාවක් හා විනයක් ඇති මේ පිරිස සමගය. බොහෝ දෙනා කතා කර ඇති ‘83 කළු ජූලිය’ පිළිබඳව කුසල් ඉදිරිපත් කර ඇත්තේ ඇත්තටම අමුතූ කියැවීමකි.
එම පළමු ලිපියෙන් පටන් ගත් විට සෙස්ස තේරුම් ගැනීම පහසුය. පසුගිය කාලය පුරාවට උත්කර්ෂයට නංවා සාකච්ඡාවටද භාවිතාවටද ගත් ’සිංහල-බෞද්ධකම‘ එහි වචනාර්ථයේ අග-මුල ලිපි කීපයක් පුරාවට දිව යයි. මෙම අක්-මුල් ඇවැසි වන්නේ ’සිංහල-බෞද්ධ‘ කථිකාවට පක්ෂවීමට-විරුද්ධවීමට හා භාවිතා කිරීමට හෝ නොකිරීමට යනාදී අවශේෂ කාරණා සඳහාද නිවැරදී අවබෝධයක් ලබා ගැනීමටය. බොහෝ අය එයට පක්ෂ වන්නේ හෝ විරුද්ධ වන්නේ එවන් අක්මුල් පිළිබඳව කිසිවක්ම නොදැනය.
“දැන් සිංහලුන්ගේ වාරයය“ ලිපියෙහි ශීර්ෂයට ඔහු පෙර පද කිහිපයක් එකතූ කර ඇත. ඒ “දෙමළුන්ගේ වාරය අහවරය” යන්නය. මහින්ද රාජපක්ෂ යුගය මෙම ‘සිංහලුන්ගේ වාරය’ උත්කර්ෂයට නැංවූ අයුරු එහි සදහන්ය. එහි ඉවත දැමිය නොහැකි කොටසක් ලෙස ඇත්තේ කොළඹ තම බල කේන්ද්‍රය කර ගැනීමේ සිංහල ව්‍යාපෘතිය විස්තර කිරීමය. එම කරුණු, එනම් පැල්පත්වාසීන් ඉවත් කිරීම - නාගරික සංවර්ධන අධිකාරයට මේ සදහා හා කොළඹ “පිළිවෙලක් කිරීමට අධිකාරි බලයක් ලබාදීම වැනි දෑ එකල ගෝඨාභයගේ වික්‍රමයන්ට ලගූ කොට කතා කෙරුණකි. මීට ඉහතින් එය ’සිංහල-බෞද්ධ‘ ව්‍යාපෘතියේ ද දිගුවක් ලෙස අන් අය වර නගා නැත. කූසල්ගේ අමුතූ කියවීම කර ඇත්තේ එයය.
’සිංහල-බෞද්ධ‘ කථිකාවේම තවත් දිගූවක් “කූලය, පංතිය හා ’සිංහල-බෞද්ධකම ̃ නම් ලිපියෙහි ඇත. ’අපේ ගම‘ ලෙස මාර්ටින් වික්‍රමසිංහ, ලෙනාඞ් වුල්ෆ්, ලීල් ගූණසේකර, කේයස් වැන්නවුන් විස්තර කරන ගම ඇත්තටම ’සිංහල ගම‘ දැයි කූසල්ගේ ප්‍රශ්ණ කිරීම මට අලුත්ය. ’සිංහල-බෞද්ධකම‘ පරයමින් දේශපාලනයේදී ද, වෙළඳාමේදීද, මඟූල්තූලා වලදී පමණක් නොව, බුද්ධාගමේදී ද (!) කූල සාධකය සමාජයේ තවමත් විනීවිද ගොස් ඇති බව කූසල් පෙන්වන්නේ ’ජාතිකත්වයක් අහිමි කූල ධුරාවලිය‘ ලෙස සරදම් අනුමාතෘකාවක්ද යොදමිනි. ධර්මපාලගේද ’සිංහල-බෞද්ධත්වය‘ වෙළද ආධිපත්‍යය සදහා වූ එකක් නොවේදැයි හෙතෙම මෙමගින් ප්‍රශ්ණ කරයි.
පවත්නා සන්දර්භයට ඉතා තිව්ර ලෙස බලපාන කරුණක් හේ ගෙනහැර දක්වයි. “... මේ රටේ බහුත්වවාදී දියුණු ජාතිකත්වයක් තහවුරු කිරීමට හා වාර්ගික සමගියකට ඇති මුලික තිරිංගය වනුයේ සිංහල අන්තවාදය සමග පවතින කූලවාදී සිංහල වෙළද වුවමනාව ය ̃ ඔහු කියයි. මෙය අලුත්ම කියවීමක් පමණක් නොව, මෙම කාරණය සදහා ගැඹුරින් අවධානය යොමු නොකොට පශ්චාත් යුද සමයේ වාර්ගික සමගියක් තහවුරු කර ගැනීමට නොහැකි බව පසක් වන්නේය.
’කිශානි වත‘ හා ’අපේ හාමුදුරුවනේ මේ තන පටේ...’ ලිපි දෙක සිද්ධීන් දෙකක් අරභයා ලියවුනු ලිපි දෙකකි. ලෝකයේ උසස් රසවින්දනයක් ඇති සංගීතකාමීන්ගේ නොමද පැසසුමට ලක්ව ඉන්නා කිශානී ජයසිංහ හා එන්රිකේ ඉග්ලෙසියාස් සම්බන්ධ වූ “ආන්දෝලනාත්මක ̃ සිද්ධීන් දෙක අප සැවොමගේ මතකයේ තවම ඇත. පළමුවැන්න කිශානි නිදහස් දිනයේදි ගායනා කළ ‘දන්නො බුදුන්ගේ’ ගීතයයි. දෙවැන්න එන්රිකේගේ කොළඹ සංගීත සංදර්ශනයේදී කව්දෝ අයෙක් වේදිකාවට තන පටක් විසි කිරීමේ සිද්ධියයි. පළමු සිද්ධියට අගමැතිතූමා රුපවාහිනියේ පෙනී සිටිමින් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයේ ඉතිහාස කතාවද, කිශානිගේ ඔපෙරා ගායන ආර පිලිබදවද ජනී ජනයාට ‘පැහැදිලි කර දීමට’ ගත් උත්සාහය මට මතකය. දෙවැනි සිද්ධිය පිළිබදව ජනාධිපතිතූමා බලවත් අප්‍රසාදය පල කර තිබුණි.
මතූපිට කතාව එසේ වුවත්, සිංහල ජනතාවගේ සංස්කෘතික දිළිඳුකම ඉස්මතූ කිරීමට එහා ගොසින් කූසල් එම සිද්ධිදාමයන්ගේ දේශපාලනික අර්ථය ගෙන හැර දක්වා ඇත. ඓතිහාසික වශයෙන් (’සිංහල- බෞද්ධ‘) අපගේ උරුමයන් වූ වඩා නිදහස්, ලිහිල් ස්ත්‍රී-පුරුෂ සබඳතා හා එයට ඈඳුනු සමාජ සම්ප්‍රදායන් ඉවතලා ඉංග්‍රීසින්ට බැණ අඬ ගසමින් ඔවුන්ගේම වික්ටොරියානු සමාජ සම්මතයන් කර පින්නාගත් අප සංස්කෘතික වශයෙන්ද නන්නත්තාරවී ඉන්නා බව සෝපාසයෙන් යුතුව කුසල් සටහන් කොට ඇත. කිශානී හා එන්රිකේ ගේ සිදුවීම් ශ්‍රි.ල.නී.පයේ බල අරගලයට සම්බන්ධ වන්නේ කෙසේද? කූසල් ලිපිය අවසන් කරන්නේ එතැනින්. කූසල්ගේ කියවීම එබැවින් අමුතූය.
පොත අවසන් කිරීමට ක්‍රිෂාන් තෝරාගෙන ඇත්තේ කූසල්ගේ අමුතූම කතාවකි. එය ’සිංහල-බෞද්ධ‘ කතිකාවේ පදනම සකසන මහාවංශය අභියොගයට ලක් කිරීමේ කතාවකි. මහාවංශයේ වීර චරිතය වන දුටුගැමුණුද එම ̃සිංහල“ චරිතයේ සිංහලත්වයද ප්‍රබල ප්‍රශ්ණ කිරීමකට ඔහු ලක් කරයි. ආගම් පිලිගැනීමට පමණක් නොව, ඉතිහාස කතා පිරික්සීමේදීද බුදුරදුන් දෙසු කාලාම සුත්‍රය ගූරු කොට ගත හැකි බව අපටද පසක් කරවන්නට කූසල් අනු බලයක් සපයා ඇත. කූසල්ගේ අමුතූ කියවීම් අත්‍යාවශ්‍යය බව පසක් වන්නේ මෙතෙක් බොහෝ අයගේ කියවීම්, ශ්‍රී ලාංකික සමාජ-දේශපාලන-සංස්කෘතික හා ආර්ථික දේහයේ දිනපතා උග්‍ර වන ව්‍යාධීන් සුවපත් කරවීමට ප්‍රමාණවත් නොවන හෙයිනි. කූසල්ගේ ‘අමුතූ කියවීම්’ එනිසා ඇවැසි වන්නකි.
මහනුවර
ලලිත් අබේසිංහ
‘83 දරුවෝ - කුසල්ගේ අමුතු කියවීම්
සංස්කරණය - ක්‍රිෂාන් සිරිවර්ධන
ප්‍රකාශක - නෙප්චූන් පබ්ලිකේෂන්ස්
පිටු - 152
ISBN 978-955-7496-35-1
මිල රු.400 යි