පනහේ දශකයේ මුල් හා මැද භාගයේ ඉපදුනු අයට හැටේ දශකයේ මැද භාගයේ ලාංකේය සංගීතයේ හැරවුම මතක ඇතිවාට සැකයක් නැත.එතෙක් කලක් සර්පිනාව, ඩොලක්කය ,තබ්ලාව හරහා ආ මන්දගාමී ගීතයට,බටහිර සංගීත භාණ්ඩ සමගින් නැවුම් හඩවල් හැඩ වන්නට විය.
සි.ටි.ප්‍රනාන්දු,එම් .එස්.ප්‍රනාන්දු,ධර්මරත්න බ්‍රදර්ස් ,මූන්ස්ටෝන්ස්,වැනි ගායකයන්,ගායක කණ්ඩායම්,හා ඉන්ද්‍රානි පෙරේරා,මිනොන් ප්‍රනාන්දු ක්‍රිස්ටෝපර් පෝල් සිඩ්නි ආටිගල,වැනි ගායක ගයිකාවන්ද, කල එලි බැස්සේ,නවතම රටාවකට අයත් සංගීතය සමගය. එතෙක් මන්දගාමී ගීතයන්ට හුරුවූ අය අමුතු නැවුම් ප්‍රබෝදයකින් ගීත අසන්නට විය. එහෙත් තවත් අය බටහිරින් ආ තුප්පහි සංගීතය යයි දෝෂාරෝපනය කලේ ලාංකේය සිංහල සංගීතය විනාස කිරීමට ආ පිලිලයන් ලෙස සලකාය. නමුත් ඒ සංගීත රටාව එකල තාරුණ්‍ය දෝත දිගු කර පිළිගතී.කණ්ඩායම් ගීත සංස්කෘතිය,බයිලා සංස්කෘතිය, පොප් සංස්කෘතිය නම් සංස්කෘති ගණනාවක්ම පැටව් ගැසීය. එහෙත් තරුණයන්ට මේ හැම දෙයක්ම තිබුනේ එකම සංස්කෘතියකය. වැඩිහිටියන් පිළිකුලෙන් හා ද්වේශයෙන් බැලු බටහිර ආරේ සංගීතය තාරුණ්‍යට දිව ඔසුවක් මෙන් විය..මන්දගාමී සංගීතය යට වී බටහිර ආරෝව ඉස්මතුවිය.විවේචන ගට්ටන,ඇති වූවද තාරුණ්‍යයේ බලය හා ජවය වැඩි විය. බටහිර ආකෘතියේ සිට ආ සිංහල ගීත ජනප්‍රිය වන්නට විය. ඒ අතර තුර කොපි සංගීතය බිහිවන්නටද විය.හින්දි,දමිල,ඉංග්‍රීසි ගීත තොග ගණනේ අනුකරණය කරන්නට විය. මොහිදීන් බෙග්,රුක්මනී දේවි,ධර්මදාස වල්පොල,ලතා වල්පොල ,එච්.ආර්.ජෝතිපාල සුජාතා අත්තනායක ,ඇන්ජලින් ගුණතිලක ,හරූන් ලන්ත්‍රා , මිල්ටන් පෙරේරා, ක්‍රිස්ටෝපර් පෝල්, එම කොපි සංගීතයට බිලිවිය. නැවත පිළිකුල,හා ද්වේශය ඇතිවිය.ගර්ජන,තර්ජන විවේචන ඇති විය. එහෙත් එම කොපි කිරීම නැවතුනේ නැත. ජෝතිපාල “ආදර මධුර අතීතේ” එසේත් නැත්නම් “අඩන්නේ ඇයි සුදු මැණිකේ”කියන විට නො එසේනම් මිල්ටන් පෙරේරා,”ඔබ කව්ද ප්‍රියේ මන්ද මෙසේ” ” කල්යානියේ ඔබ නැසූ”ගයන විට ඒවා කොපි බව දැන දැන වුවද රසික රසිකාවියෝ ඒවටා රොක් විය. අදටත් රොක්වනු ඇත.
දශකයෙන් දශකය අලුත් ගායක ගායිකාවන් එන්නේ වෙනස් වෙනස් ශෛලයන් රැගෙනය. එය එසේ සිදුවිය යුතුය. එම ශෛලයන් අයෙකුට ගෝචර වන විට තවත් අයෙකු එයට ප්‍රිය නොවෙනු ඇත. එහෙත් දශකයෙන් දශකය නිර්මාන බිහිවන්නේ ඒ ඒ පරම්පරාවන් ගේ රුචිකත්වය අනුවය. ලෝකය එකම තැන රැදෙන්නේ නැත. මිනිසුන්ගේ රුචි අරුචිකම් සමගම ලෝකයද වෙනස් වනු ඇත.එය හැම ක්රේෂ්තයකටම පොදු ධර්මතාවයකි .
90 දශකයේ අපට අසන්නට ලැබුණු සංගීතය දෙදහස් දශකය එන විට වෙනස් වී තිබුණි. අවුරුදු දහසක් පසුවූ පසු එලබුනු මිලනියමේදී සංගීත රසික රසිකාවියන් මන්දොස්තවී තිබුණි. විශේෂයෙන්ම යව්වන යව්වනියන්ය. එතෙක් ගෙන ආ සංගීත රටාව ඔවුනට මන්දගාමී වුයේ හරියට පනහේ දශකයේ ගීත හැටේ දශකයේ අයට ගෝචර නොවූ වා සේය.
දෙදහ දශකයේ යොවුන් රසිකයන්ගේ,ඇල්මැරුණු රසිකත්වය ප්‍රබෝධමත් වන්නට පටන් ගත්තේ භාතියා -සන්තුෂ් ගේ ආගමනයෙදීය.එය එතෙක් ආ සංගීත සංස්කෘතියට පටහැනි වූ හෙයින්,වැඩිහිටි හා සුභාවිත ගීත රසිකයන් අවි අමෝරා ගනිද්දී , යව්වනයට එය අමෘතයක් විය.ඔවුන් එය ආදරයෙන් වැලද ගති..එක පාර්ශයකට භාතියා-සන්තුෂ් යනු ලාංකීය ගීත කලාව විනාශ කිරීමට පැමිණු රාක්ෂයන් දෙදෙනෙක් ලෙස පෙනුණු අතර යොවුන් තාරුණ්‍යට ඔවුන් දෙදෙනාව පෙනුනේ ඒකාකාරී සිංහල සංගීතයෙන් මුදවා ගන්නට පැමිණුනු සුර දූතයන් දෙදෙනෙක් ලෙසය.
එක කොටසකට රාක්ෂයන් ලෙසද තව කොටසකට සුරදූතයන් ලෙසද පෙනුණු මේ භාතියා ජයකොඩි සහ සන්තුෂ් වීරමන් දෙපල අවතක්සේරු කිරීමට කිසිසේත් නොහැක. කොළඹ ආනන්ද විදුහලෙන් ශිල්පය හැදෑරු භාතියා ජයකොඩි සංගීතයට ඇති ඇල්ම නිසා එය ප්‍රගුණ කිරීමට “මේරි ඈන් ඩේවිඩ්” සංගීත පාසලට එකතුවිය. ඔහු ඔහුගේ හඩ පුහුණුව ක්‍රමානු කූලව ලබා ගත්තේ එහිදීය..එලෙසම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකු වූ සන්තුෂ් වීරමන්ව භාතියාට මුණ ගැසුනේ “මේරි ඈන් ඩේවිඩ්” සංගීත පාසලේදීය.ඔවුන් ප්‍රිය කෙරු ගී ශෛලයට “මේරි ඈන් ඩේවිඩ්” සංගීත පාසැල ඔවුනට තෝතැන්නක් විය.
භාතියා සන්තුෂ් සුසංයෝගය ලාංකේය ගීත කලාව උඩුකුරු යටිකුරු කළේය.. ඔවුන් දෙදෙනා එක්ව වර්ෂ 1998 දී “වසන්තය ” නම් ගීතයක් එළිදැක්විය. . එම ගීතයට ඔවුන් එකල අතීශයෙන් යව්වන යව්වනියන් අතර උමතු කෙරු “රැප් ” ශෛලයද භාවිතා කෙරිය. බොහෝ වැඩිහිටියන්ට හා සුභාවිත ගීත ශ්‍රාවකයන්ට “ගිම්හානයක්” වූ එම ගීතය යව්වන තාරුණ්‍යයට නම් “වසන්තයක්ම ” විය. ගීතය සමගින් භාතියා-සන්තුෂ් යන නාමය “බ්‍රෑන්ඩඩ්” විය. යව්වන යව්වනියෝ “කොර”විය. වැඩිහිටි තාරුණ්‍යට “මල”පනින්නට විය. තර්ජන,ගර්ජන,විවේචන ගලා ආවේ නයගරා දිය ඇල්ල මෙනි. එහෙත් යව්වනයන්ගේ ප්‍රබලත්වය හමුවේ වැඩිහිටි තාරුණ්‍යට පසු බසින්නට සිදුවිය..”සිරි සගබෝධි මාලිගාවේදී ” කියන ගීතය රැප් ශෛලයෙන් කියමින් ඔවුන් දෙදෙනා දෝෂාරෝපණය පැත්තෙන් වඩාත් ජනප්‍රිය වුවා සේම, ප්‍රසංසා පැත්තෙන්ද වඩාත් ජනප්‍රිය විය. ගල් මුල් මල් අතරින් පටන් ගත් ඔවුන්ගේ ගමනේ විශාලම සන්ධිස්ථානය සිදු වුයේ 2001 කසකස්තානයේ පැවතී “වොයිස් ඔෆ් ඒෂියා” ගීත තරගයේ 2 වන තැන දිනා ගෙන ලංකාවට කීර්තියක් ගෙන ඒමෙන්ය .
එලෙසම එම වසරේ චීනයේදී පැවැතු ෂැන්හයි සංගීත උත්සවයේදී 3වන ස්ථානය දිනා ගැන්මටද ඔවුනට හැකිවිය.
යුනිවර්සල් සංගීත ප්රචාරක ආයතනය සමග ගිවිසුමක් අත්සන් කර ගැනීමේ ප්‍රථම ලාංකීකයන් වීමට ඔවුන් දෙදෙනා සමත් විය. ලෝකයේ ප්රබලතම සංගීත ආයතනයක් වන Sony BMG සමග එම නාමය යටතේ ගීත පටිගත කිරීමේ ගිවිසුමක් අත්සන් කර ගැනීමේ ප්‍රථම ලාංකීකයන් වීමටද ඔවුනට හැකිවිය.
එතනින් පසු ඔවුනට ජාත්‍යන්තරේ පවා දැඩි ඉල්ලුමක් විය. වර්ෂ 2000 දී “ලයිෆ්” 2002 දී “තාරුණ්‍ය”2005දී “නේත්‍රා” 2007 දී “රැස්විහිදෙන ” හා “ආයුබෝවන්” 2008 දී “ශහීනා” 2009 දී “ලක්මාතා” 2010 දී “සරා සිහින” යන ගීත ඇල්බම ඉදිරිපත් කෙරු භාතියා- සන්තුෂ් යුගල, 2004 දී සිනමා සංගීතයට එක්වුයේ උදය කාන්ත වර්ණසූරියගේ “හිරි පොද වැස්ස” චිත්‍රපටයෙනි එහි ආ “මීදුමෙන් වැසි කදු යාය සලිත වී” යන ගීතය අදද ජනප්‍රියය. 2007දී ඔවුන් “ආසයි මං පියාබන්න ” චිත්‍රපටයේ සංගීත සැපයුවෝය . “වලාකුළු පියන් සලලා සදේ රැස් නිවා දමා” යන ගීතය එම චිත්‍රපටයට ඇතුලත් වූ ජනප්‍රියම ගීතයකි.2008 “රෝස කැලේ ” චිත්‍රපටයටද 2010 “ඩාන්සින් ස්ටාර් “චිත්‍රපටයට සංගීත සැපයු භාතියා -සන්තුෂ් 2016යේ “ප්‍රවේගය”සිනමා පටයටද සංගීත අංශයෙන් දායක විය.
“රන්කුරහන් මල සේමා”- “මගේ සිහිනේ ඔබයි”(මල් පැන් පොදක්) “සරා සිහින” ” නේත්‍රා” ” රැස් විහිදෙන සමනලියක්”, ” ඔයා මගේ නම්” ” හිත නාබර තාලෙට”, “බයිලා ගමුද රිමික්ස් කරලා” ” චාන්දනී පායලා” “කිරි කෝඩු හිතට” ” ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන්නෝ “,”මනුසත් කුලේ”, “උන්මාදිනි හැංගුනා”
වැනි ගීත ගණනාවක්ම ඔවුන් රසිකයන්ට දායාද කර ඇත..
2010 ඔවුන් භාරත ගීත කොකිලාවක් වූ ආශා බෝස්ලේ සමග “සරා සිහින” ඇල්බමයට ගී ගැයුවෝය .
අශාන්ති ,රන්ධීර් ,උමරා,උමාරියා,හරිහරන්, භාතිය සන්තුෂ් සමග එකතු වී ලාංකේය සංගීතය ලෝක සංගීතය හා යා කලේ, ඔවුනට ආවේනික වූ වෙනස්ම ශෛලයකිනි .
බටහිර හා ලාංකේය සංගීතය සුසංයෝගී කර ,ලෝකය තුල ලාංකේය නාමය රදවන්න පුලුවන් වූ, එලෙසම දශක දෙකක් සිට තවම ඔවුනගේ ශෛලයෙන් අංක 1 ස්ථානයේ කිසිදු අභියෝගයක් නොමැතිව රැදෙන භාතියා සන්තුෂ් ගෙන ආ සංගීත සංස්කෘතිය අප කුහකත්වයෙන් තොරව අගය කල යුතු නොවේද??
ශෝන් මැක්ස්මස් දිසානායක