අනුවේදනය, සංවේදනය වැනි මිනිස් හැඟිම් කළු නික මෙන් විරල වී ගෙන යන යුගයක ‘වොන්ඩර්’ නරඹන්නාගේ දෙනෙත් කඳුළින් තෙත් කරන්නේ හදවතට ආදරය,දයාව, කරුණාව සමීප කරමිනි. ඔගී පුල්මන් උපතින්ම මුහුණ විකෘති දරුවෙකි. ළමා වියේ වැඩි කාලයක් රෝහල් ගතව හෝ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ගෙවා දැමු ඔහු සාමාන්‍ය දරුවන් අතර නොවෙනස් දරුවකු වීමේ අරගලයක යෙදුණේය.
ඔගී පුල්මන්ගේ මව ඉසබෙල් (ජුලියා රොබට්ස් ) සහ පියා ඕවන් විල්සන් (ඕවන් විල්සන් ) ඔගීට නිවසේදීම අධ්‍යාපනය ලබාදීමට මුලින් තීරණය කර තිබුණද පසුව ඔහු සාමාන්‍ය දරුවන් අධ්‍යාපනය ලබන පාසලකට ඇතුළත් කරන ලදි.එහෙත් ජැක් විල් (නෝආ ජුප් ) සමර් (මිලි ඩේවිස් ) වැනි සහෝදර ශිෂ්‍යයන් මේ විරුපී මිතුරා කෙසේ පිළි ගනීද ? සුන්දරත්වය ඇත්තේ බාහිර පෙනුමේ නොව හදවතේ බව සියල්ලටම තේරුම් ගත හැකි වේවිද? ‘වොන්ඩර්’ සිනමා පටයේ අවසානයෙන් ප්‍රේක්ෂකයන්ට එම ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇත.
මේ සිනමා පටය නිර්මාණය කෙරුණේ ආර්.ජේ. පැලසියෝ යන ආරූඨ නාමයෙන් රැක්වෙල් ජරම්ලෝ විසින් රචනා කළ ‘වොන්ඩර්’කෘතිය පාදක කරගනිමිනි. රැක්වෙල් ජරම්ලෝ ‘වොන්ඩර්’ රචනාකර තිබෙන්නේ තමන්ම ලද අත්දැකීමක් ඇසුරු කරගෙනය.ඇය තුන් හැවිරිදි පුතු සමඟ අයිස්ක්‍රිම් පෝළිමක සිටින විට විකෘති මුහුණක් ඇති දැරියක දුටුවාය.පුතු එම දැරියට දරුණු ලෙස ප්‍රතිචාර දැක්වීමට පෙර ඇය පුතු විකෘති වතක් ඇති දැරියගේත් ඇයගේ මාපියන්ගේත් සිත නොරිදෙනසේ එතැනින් ඉවත් කර ගත්තාය. රැක්වෙල්ගේ අනුවේදනීය සිත පෑරූ අත්දැකිම ‘වොන්ඩර්’ නමින් නවකතාවක් බවට පත් විය. ‘මාර්ක් ට්වේන් අවෝඩ්’ ඇතුළු ගණනකින් පිදුම් ලද මේ කෘතිය හොඳින් අලෙවි වන කෘතියකි. නොවැම්බර් 17 වැනි දින සිට පාඨකයන්ට එම චරිත තිරයේ ජීවමාන වන අන්දම දැක ගැනීමට හැකි වනු ඇත.
ඔගස්ටස් (ඔගී) පුල්මන් ගේ චරිතය සිනමා පටයේ නිරූපණය කරන්නේ එකොළොස් හැවිරිදි ජකොබ් ට්රෙම්බ්ලි නම් ළමා නළුවාය. රූම් (2015) සිනමා පටයේ ජැක් නිව්සම් ලෙස කළ රංගනයට ඔහු විචාරක සහ කැනේඩියානු ඇකඩමි සහ ටෙලිවිෂන් සම්මාන උළෙලේ සම්මානයට පාත්‍ර වුවේය.
තවමත් එකොළොස් හැවිරිදි වුවත් චරිතය ගැන ළමා නළුවා පවසන්නේ පරිණත කතාවකි. “ඕගීට ඕන මිනිසුන් අමුතු විදියට නොලබන සාමාන්‍ය කෙනෙක් වෙන්න. මටත් ඕන ඒ පණිවුඩය ගෙනියන්න. මේ චරිතයෙන් ලෝකයේ වෙනසක් ඇති කරන්න.” ජාකොබ් පවසන්නේ ය.
මේ චරිතයට සුදානම් වීමට පෙර ජාකොබ් අසාමාන්‍ය මුහුණැති දරුවන් හමුවීම සඳහා ටොරොන්ටෝ රෝහලට ගොස් තිබේ. ඔවුන්ගේ සමහරෙක් ඔහුට සිය ජීවිත කතාව ලියා එවා ඇත. ජාකොබ් ඔවුන් සමඟ දිවා ආහාරය ගෙන පිහිනුම් තටාකයේ පිහිනා විනෝද වී තිබේ. අසාමාන්‍ය මුහුණැති දරුවන්ගෙ අද්දැකීම් ‘ඔගී’ ගේ චරිතය ජීවමාන කිරීමට සැබෑවටම ඔහුට ශක්තියක් විය. චරිතය රඟද්දී ශෝකී ගීත වලට සවන් දෙමින් ජාකොබ් ඔවුන් සමඟ මනෝ ලොවක ජීවත් වී තිබේ.මව ඉසබෙලා පුල්මන් ලෙස රඟන ප්‍රවීණ නිළි ජුලියා රොබට්ස්ගේ උපදෙස් ද ඔහුට ශක්තියක් වී ඇත.සිනමා නිර්මාණයේ ‘ඔගී වොස්’ ලෝලියකු වන අතර සැබෑ දිවියේ ජාකොබ් ද ඔහු හා සමානය.
ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු නිළි ජුලියා රොබට්ස් ඔක්තෝබර් 28 වැනිදා සැමරුවේ පනස් වැනි උපන් දිනයයි. හතළිස් අට හැවිරිදි ඕවන් විල්සන් සමඟ ජුලියා රඟන්නේ පළමු වරටය. ඇය තිරයේ ඉසබෙල් බවට පත්වන දෙවැනි වතාව මෙයය. මීට පෙර ඇය ‘ස්ටෙප්මම්’ (1998) සිනමා පටයේද ‘ඉසබෙල්’ නමින් චරිතයක් නිරූපණය කර තිබේ. ඇය ‘ස්ටෙප්මම්’ ට පසු චිත්‍ර ශිල්පිනියක ලෙස රඟන්නේද දෙවැනි වරටය.
ජකොබ්ගේ සැබෑ ජීවිතයේ සොයුරිය එම ට්‍රෙම්බ්ලේ සිනමා පටයේ මිෂෙල් ලෙස රඟන්නීය. ඕවන් විල්සන් ඇමරිකානු නළුවෙකි. නිෂ්පාදකෙයකි. විකට නළුවෙකි. ඔහු හොඳම තිර රචනය සඳහා ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශ විය.
මුලින්ම සිනමා පටය අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගෙන තිබුණේ පෝල් කිං වුවත් ඔහු පැඩිංටන් 2 (2017) සමඟ කාර්ය බහුල වීම නිසා ස්ටෙෆන් චි බොස්කි අධ්යක්ෂණයට තෝරා ගන්නා ලදි. හතළිස් හත් හැවිරිදි ඔහු අධ්යක්ෂවරයකු ලෙස මෙන්ම නවකතා රචකයකු සහ තිර පිටපත් රචකයකු ලෙසද ප්රකටය.
ලයන්ස්ගේට් ‘වොන්ඩර්’සිනමා පටය නවකතාව ඇසුරින් නිර්මාණය කෙරෙන බව ප්‍රකාශ කර සිටියේ 2012 නොවැම්බර් 27 වැනි දිනය. 2016 අප්‍රේල් වන විට ජාකොබ් ට්‍රෙම්බ්ලේ ප්‍රධාන චරිතය සඳහා ද ඔහුගේ මව ලෙස ජුලියා රොබට් ද තෝරා ගන්නා ලදී. ඕවන් විල්සන් පියාගේ චරිතයට, අධ්යක්ෂණයට ස්ටෙෆන් ද තෝරා ගැනීමෙන් පසු ජාකොබ්ගේ හොඳම මිතුරා ලෙස නවක ළමා නළුවකු වු නොආ ජුප් එක්කර ගෙන තිබේ. පාසලේ ඉංග්‍රිසි ගුරුවරයා ලෙස රඟන්නේ ඇමරිකානු නළු ඩේවීඩ් ඩිග්ස්ය. සෝනියා බ්රගා රොබට්ගේ මවගේ චරිතයට තෝරා ගැනීමෙන් පසු රූගත කිරීම් ඇරඹීණි. මෙහි සංගීතය මාර්සෙලෝ සාවොස් ගෙනි.
වරින් වර ‘වොන්ඩර්’ තිරගත කරන කාල සීමාවන් වෙනස් විය. මුලදී අප්‍රේල් 7 වැනිදා තිර ගත කිරීමට යොදා ගෙන තිබුණු නමුත් පසුව එය නොවැම්බර් මස 17 වැනිදාට කල් ගියේය. මාසයේදී වැඩි සාර්ථකත්වයක් නිෂ්පාදකයන් අපේක්ෂා කිරීම ඊට හේතුවය. ‘ජස්ටිස් ලීග්’ හොලිවුඩ් සිනමා පටය තිරගත වන්නේ ද එදිනටමය. සිනමා පටයේ තිර කාලය මිනිත්තු 133 කි. දැනටමත් විචාරක මනාපය සිනමා පටයට ලැබී අවසන්ය.
චම්පිකා දීපානි රණසිංහ