ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට අයත් විශාලතම නගරය ලෙස සැලකෙන ඉන්කෝර්හිදී, 1992 මාර්තු 30 වැනිදා මෙලොව එළිය දුටු පලාක් මුචාල් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී අග්රසෙන් විද්‍යාලයෙනි. 2014දී ඇය ඉන්දෝර් සරසවියෙන් වාණිජවේදී උපාධිය දිනාගත්තාය. පලාක් දැරිය සතුව සුමිහිරි කටහඬක් ඇතැයි ඇගේ මෑණියන් වන අමිතා මුචාල්ට හැඟුණේ අවුරුදු 3ක් වැනි පැටිවයසේ සිට ඈ තාලයට ගී ගැයූ බැවිනි. දියණියගේ සිව්වැනි උපන් දිනය එළැඹෙත්ම ඉන්දියානු සම්භාව්‍ය සංගීතය උගැන්ම සඳහා මව්පියන් විසින් ඇය නිවස අසල පිහිටි සංගීත නිකේතනයක් වෙත යොමුකරන ලද්දේ එම නිසාය. එහිදී ඇය කෙතරම් නිපුණතාවක් දැක්වූවාද කිවහොත්, වයස අවුරුදු හතර නික්මයන්නට පෙර සංගීත ආශ්රමයේ කුඩා දරුදැරියන් අතරින් විශිෂ්ටයන් තෝරා ස්ථාපිත කරනු ලැබූ කල්යාන් ජී -ආනන්ද් ජි සුපිරි තරු ගායක කණ්ඩායමට පලාක්ගේ නම ඇතුළත් කරන ලදි.
සමාජ මෙහෙවරෙහි ඇරඹුම
කාශ්මීරයෙහි කාජිල් දිස්ත්‍රික්කයේ දේශසීමාවන් පකිස්තානයේ පරිපූරක මිලිටරි බලඇණි විසින් ආක්‍රමණය කිරීම මුල් කොටගෙන 1999දී දෙරට අතර ‘කාජිල්’ නමැති සංග්‍රාමය ඇවිළ ගිය අතර ඉන් පාකිස්තානු භටයෝ 102ක්ද ඉන්දියානු සොල්දාදුවෝ 527ක්ද ජීවිතක්ෂයට පත්වූහ. දෙපාර්ශ්වයේම තුවාලලත් භට සංඛ්‍යාව 2000 ඉක්මවීය. මරණයට පත්වුණු ඉන්දීය සෙබළුන්ගේ පවුල් කුටුම්බවලට පිහිට වනු වස් පලාක් මුචාල් සතියක් පුරාම ඉන්දෝර් නගරයෙහි තැනින් තැන සංගීත ප්‍රසංග පැවැත්වීමට කටයුතු යෙදුවාය. ඒවායින් ඉන්දියානු රුපියල් 25,000ක් උපයා ගත් ඇය තම මව්පියන් හා එක්ව අන්ත අසරණ පවුල් මොනවාදැයි මැනවින් සොයාබලා එම මුදල ඔවුන්ගේ සුබසාධනය උදෙසා වියදම් කළාය. 1999 අවසානයේදී උතුරු ඉන්දියාව හරහා හැමූ ඔඩිෂා සුළි කුණාටුව හේතුවෙන් නිවාස මිලියන 1.6කට විවිධ හානි සිදුවීම නොවැළැක්විය හැකිවිය. සුළිසුළඟෙන් විපතට පත් ජනතාවට පිහිටුවීම සඳහා අරමුදල් සොයාගැනීම පිණිස පලාක් මුචාල් නැවතත් සති දෙකක් පුරා සිය සංගීත ප්‍රසංගය පැවැත්වූවාය. ඇගේ ප්‍රසංග ටිකට් පතේ මුහුණත අගයට වඩා කිහිප ගුණයක් ප්රදානය කරමින් ඉන්දෝර්හි මධ්‍යම පන්තිකයන් ඒවා මිලටගත්තේ පලාක් මුචාල් තම මධුර හඬ යොදවන්නේ අසරණ සරණ සඳහා බැව් වටහාගත් හෙයිනි. සම්භාව්‍ය සංගීතය හදාරමින් මිහිරි ලෙස ගී ගයනා ඇගේ හඬ ඇසීමට පළාතේ ප්රභූවරු හා ධනවත් ව්‍යාපාරිකයෝ ද වැල නොකැඩී ප්‍රසංග ශාලාවට ඇදීආහ. ප්රසංගවලින් උපයන මුදල්, විනිවිදභාවයකින් හා ඉලක්කගතව විය පැහැදම් කරන හෙයින් ඇගෙන් ආධාර ලැබූ පවුල්වලට විශාල සෙතක් සැලසිණි. ඉහළ විනයකින්, ක්‍රමානුකූලව හා අවංකව ජනතා මෙහෙවරෙහි නියැලෙන පළාත් පිළිබඳව ඉන්දියානු ජනමාධ්‍ය නිතර කතාබහ කරන්නටවූ නිසා වයස අවුරුදු හත සපිරෙන්නටත් පෙර ඇය තම මව්බිම තුළ ජනප්‍රිය චරිතයක් බවට පත්විය.
හදවත් රෝගීන්ට පිහිටුවීම
උපතේ සිට පැවතෙන හදවත් රෝගයකින් පීඩා විඳි ලෝකේෂ් නමැති දොළොස් හැවිරිදි දරුවා හෘදය සැත්කමක් කිරීමට අවශ්‍ය විශාල මුදල සොයාගැනීම කුඩා පරිමාණයේ සපත්තු වෙළෙන්දකු වූ ඔහුගේ පියාට තනිවම කළ නොහැක්කක් වූ නිසා දරුවාගේ පාසලේ ගුරුවරු දිනක පලාක් සොයා පැමිණියහ. ඉන්දෝර්හි පිහිටි නිධි විනේ මන්දිර් නම් වූ පාසලේ ගුරුවරුන් වූ ඔවුන් පලාක්ගෙන් ඉල්ලා සිටියේ තම විද්‍යාලයේ ඉගෙනුම ලබන ලෝකේෂ් ශිෂ්‍යයා වෙනුවෙන් ප්‍රසංග කිහිපයක් පවත්වා ඔහුගේ ජීවිතය බේරාගැනීමට උදව් කරන ලෙසයි. ඒ අනුව 2000 වසරේ මාර්තු මාසයේ දවසක, පදික වෙළෙන්දෙකුගේ එළවළු කරත්තය සිය වේදිකාව කරගනිමින් මහපාර අයිනක ඇය පැවැත්වූ ප්‍රසංගය හරහා හදවත් සැත්කමට අවශ්‍ය මුදල වූ ඉන්දියානු රුපියල් 50,000 ලෝකේෂ් වෙනුවෙන් සොයාගැනීමට පලාක් සමත්වූවාය. ගී ප්‍රසංගයේ විස්තර පුවත්පතින් දුටු හෘදය රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ දේව් ප්‍රසාද් ෂෙට්ටි ලෝකේෂ්ගේ සැත්කම වෛද්‍ය ගාස්තු අය කිරීමෙන් තොරව සිදුකිරීමට ක්‍රියාකළේය. මුචාල් පවුල විසින් සිදුකළ මේ සද්ක්‍රියාව ගැන මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරණයක් ලැබුණු පසුව හෘදය සැත්කම් සඳහා බඳුන් වියයුතු, එහෙත් මුදල් හිඟකම නිසා රෝහල්ගත නොවුණු ළමයි 33 දෙනෙක් තමන්ටත් ලෝකේෂ්ට මෙන් උපකාර කරන්නැයි පලාක්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව 2000 වසර අගභාගයේදී පලාක් සුභසාධන ගී ප්‍රසංග ගණනාවක් පවත්වා ඉන්දියානු රුපියල් 225,000ක් ඉපැයුවාය. එම ධනය යොදවා බැංගලෝර් හා ඉන්දෝර් රෝහල්වලදී දරුවන් 5 දෙනකු හෘදය සැත්කම්වලට බඳුන්කොට සුවපත්කිරීමට සමත් වූවාය. ප්‍රසංග වේදිකාවෙන් ලැබෙන හැම සතයක්ම අසරණ දරුවන්ට පිහිට වීම පිණිස යොදවන පලාක් ගැන පැහැදුණු ඉන්දෝර්හි ටී චොයිත්රාම් පෞද්ගලික රෝහල, ඉන්දියන් රුපියල් 80,000ක් අය කරන හෘදය සැත්කමක් රුපියල් 40,000කින් සිදුකර දීමට නිල වශයෙන්ම එකඟතාව පළකළේය. එම රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා වන ධිරාජ් ගාන්ධි, පලාක් මුචාල් හෘදය සැත්කම් සඳහා යොමු කරන දරුවන්ගෙන් වෛද්‍ය ගාස්තු අයකිරීම නවත්වා දැමුවේ ඇයට කරන ගරු කිරීමක් වශයෙනි.
අරමුදල් පුළුල් වීම
2000 වසර අවසානයේදී පලාක් මුචාල්ගේ සුභසාධන සංගීත ප්‍රසංග සඳහා හටගත් දේශීය හා ජාත්‍යන්තර ඉල්ලුම බෙහෙවින් ඉහළ ගියේය. ‘හදවතින් හදවතට’ යන නාමයෙන් හැඳින්වුණු මෙම ප්රසංගයේදී බොලිවුඞ්, භජන් හා ගසල් ගීත භාෂා 17කින් ඉතා මිහිරි ලෙස ගායනා කිරීමට ඇය කටයුතු කළ නිසා රසිකයෝ ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඇගේ මධුර හඬ සොයා ඇදීආහ. 2001 ජනවාරි 26 දින ඉන්දියාවේ ගුජරාට්හි හටගත් භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයෝ 20,000ක් මරණයට පත්වී තවත් 160,000ක් තුවාල ලැබූහ. 2001 වසරෙහි පලාක් පැවැත්වූ ප්‍රසංග මාලාවෙන් උපයාගත් ඉන්දියානු රුපියල් මිලියනය, මෙකී භූමිකම්පාවෙන් විපතට පත් දුගී පවුල්වලට පිහිට වීම පිණිස යොදවන ලදි. හදවතේ හටගෙන තිබූ සිදුරක් හේතුවෙන් හදිසි සැත්කමක් සිදුකළ යුතු, එහෙත් ඒ සඳහා මුදල් නොමැතිව සිටි දෙහැවිරිදි පකිස්තානු දැරියක ගැන පුවත්පත් මඟින් පලාක් දැනගත්තේ 2003 ජූනි මාසයේදීය. 2003 ජූලි මාසයේදී සිය පදනමෙන් අදාළ ශල්‍යකර්මය සඳහා මුදල් සපයා දී එම අසරණ දැරිය පලාක් විසින් බේරාගනු ලැබූ පසු පාකිස්තානය පුරාම පලාක් මුචාල් නාමය රැව්පිළිරැව් දෙන්නට විය. 2006 අවසානය වනවිට දෙස්විදෙස් ප්‍රසංග මගින් ඇය ඉපැයූ මුළු මුදල වන ඇමරිකන් ඩොලර් 190,000 යොදවා හදවත් සැත්කම් අත්‍යවශ්‍යව සිටි කුඩා දරුදැරියන් 234කගේ ජීවිත බේරාගැනීමට පලාක් සමත් විය. පලාක්ගේ සමාජ මෙහෙවර ගැන පැහැදුණු ඉන්දෝර්හි පිහිටි ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන භන්දාරි ආරෝග්‍යශාලාව, දැනට අතේ මුදල් නැතත් සැත්කම් අහවර වූ පසුව ගෙවීම් කළ හැකිවන සේ ඉන්දියානු රුපියල් මිලියනයක අයිරා පහසුකමක් පලාක් මුචාල් හදවත් සැත්කම් පදනම වෙත පිරිනැමීය. 2009 ජූනි වනවිට සංගීත ප්‍රසංග 1460ක් පවත්වා ඒවායින් ජනනය වූ ආදායමෙන් (ඇමරිකන් ඩොලර් 270,000ක්) දරුදැරියන් 338ක් සුවපත් කිරීමට පලාක්ට හැකියාව ලැබුණි.
බොලිවුඞ් පිවිසුම
2012දී බොක්ස් ඔෆීස් වාර්තා බිඳදමමින් තිරගතවුණු ‘එක් තා ටයිගර්’ බොලිවුඞ් චිත්‍රපටය වෙනුවෙන් ඇය ගැයූ පසුබිම් ගීතය වූ ‘ලාපටා’ එක රැයින් ජනාදරයට පාත්රවීම නොවැළැක්විය හැකි විය. 2017 වනවිට ජනප්‍රිය හින්දි චිත්‍රපටි සඳහා පලාක් විසින් පසුබිම් ගීත 61ක් ගායනා කර තිබුණි. ‘ප්‍රේම් රතන් ධාන් පායෝ’ සිනමාපටය වෙනුවෙන් ඇය ගැයූ ගීය, 2015 සී සිනේ සිනමා ත්‍යාග උළෙලෙහි හොඳම චිත්‍රපටි පසුබිම් ගීතය ලෙස සම්මානයට පාත්රවිය. ළමා හදවත් රෝගීන් සුවපත් කිරීම පිණිස ඇය සිදුකළ විශිෂ්ට මෙහෙවර හේතුවෙන් පලාක් මුචාල් ගිනස් ලෝක වාර්තා පොතට මෙන්ම ලෝක වාර්තා පිළිබඳ ලිචිකා පොතටද ඇතුළුවීමට වරම් ලැබුවාය. හොඳම චිත්‍රපටි පසුබිම් ගායනයට හිමි 2015 ‘ස්ටාර් ඩස්ට්’ සම්මානය හිමිවූයේද පලාක්ටය. නාග්පූර්හි ගණිකා වෘත්තියේ යෙදුණු බාල වයස්කාර දැරියන් 39 දෙනෙකු සඳහා ඇගේ පෞද්ගලික මුදලින් නේවාසිකාගාරයක් ඉදිකළ පලාක් අනෙකුත් පුණ්‍ය සංවිධාන සහ දානපතියන් සමඟ එක්ව ඔවුන් පාසල් අධ්‍යාපනය වෙත නැවත යොමු කිරීමට පියවර ගත්තාය. මේ පුවත ගෝලීය ජනමාධ්‍යවලින් දුටු ඇමරිකාවේ වොෂින්ටන් නුවර පුරවැසියෝ, ‘ඇමරිකන් හඬ’ ඔස්සේ ක්‍රියාත්මක වන ‘හලෝ ඉන්දියා’ නම් වැඩසටහනට ඔවුන්ගේ වියදමින් ඇය එරටට ගෙන්වූවා පමණක් නොව ඇගේ සුභසාධන පදනමට දැවැන්ත මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කළහ. යුරෝපයේ, ඇමරිකාවේ සහ නොර්ඩික් රටවල ප්‍රසිද්ධ වාදන වෘන්දයන්, ඔවුන් සමඟ එක්ව ගී ප්‍රසංග පවත්වන්නැයි ඇයට දිගින් දිගටම ඇරියුම් කළේ පලාක් මුචල් පදනමට තව තවත් ධනය රැස්කිරීමේ අරමුණිනි. 1964දී තිරගත වූ ‘වෝ කාවුන් තී’ හින්දි චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් ගැයූ ‘ලන් ජා ගලේ’ නම් ගීතය, 2015 ජූලි 22 දින ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේදී එරට ෆිල්හැමොනික් වාද්‍ය වෘන්දයත් සමඟ පලාක් ගයන ආකාරය යූ ටියුබ් වෙත පිවිසීමෙන් දැකගත බලාගත හැක. ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පිළිබඳව පලාක් මුචාල් දක්වන අසාමාන්‍ය නිපුණතාව ගැන ඇගේ ගුරුදේවයාණන් වන පන්ඩිත් එස් මිශ්රා මෙසේ පවසයි. “ඇගේ අතිවිශිෂ්ට ප්‍රතිභාව පිළිබඳව මගේ හිත තුළ කිසිදු සැකසංකාවක් කිසිදු විටෙක තිබුණේ නැහැ. තම කුසලතාව ඔස්සේ ලෝ ප්‍රකට ගායිකාවක් බවට පත් වුවද, ඇය ඇගේ සියලුම ගුරුවරුන්ට දක්වන ගෞරව පූර්වක භක්තිය කිසිදිනෙක අඩුකළේ නැහැ. පලාක් තම මධුර කටහඬෙන් ඉපැයූ හැම ශතයක්ම විය පැහැදම් කළේ අසරණ සරණ වෙනුවෙන් වග මා හොඳින් දන්නා නිසා ඇගේ ගුරුවරයෙකු යැයි කීම මට මහත් ආඩම්බරයකි!” ලංකාවේ විවිධ නාලිකාවලින් පවත්වන ගායනා තරග ඔස්සේ ‘සුපිරි තරු’ බවට පත්වන බහුතරයක්, මෙරට නමගිය පැරණි ගායක ගායිකාවන් ගැන අවඥාවෙන් කතාකරනු දැකීම අපුල දනවන අත්දැකීමකි. වයස 25දීම ලොව ජයගත් පලාක් මුචාල් වැනි යෝධ චරිත අබියස අපට මොවුන් පෙනෙන්නේ අඟුටුමිට්ටන් මෙනි.
රාවය