රසික උන්මාදය, බොලිවුඩය, කොලිවුඩය පොර පිටියක් බවට පත් කිරීමට හේතුවී ඇත්තේ අදක ඊයෙක සිට නොවේ. මෑතකදී කොලිවුඩයේ විජේගේ සහ අජිත්ගේ රසිකයන් අතර දැවැන්ත තරු යුද්ධයක් ඇරඹී තිබේ. ඒ අජිත්ගේ විවේගම් සහ විජේගේ මෙර්සල් තිරගතවීමත් සමඟය. විජේ සහ අජිත් දෙදෙනාම දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි වීරයන්ය. මේ දෙදෙනාගේ රසිකයන් දෙකට බෙදී අන්තර් ජාලයෙන් හා සමාජ වෙබ්ජාලා හරහා සටන් වදින්නේ පොර කුකුළන් වාගේය. අජිත්ගේ රසිකයන්ගෙන් විජේගේ සිනමාපටයක් තිරගත වනවාත් සමඟම මඩප්‍රහාර වැදීම ද ඇරඹේ. එය අන්තර්ජාල කෙළ ගසා ගැනීමක් කීමේ වරදක් නැත.
පනහ හැත්තෑව දශකයන්හිදී අන්තර්ජාල නොතිබුණත් එම්ජීආර් (එම්. ජී. රාමචන්ද්‍රන්) සහ ශිවාජි ගනේෂන් රසිකයන් අතර තරු යුද්ධයක් තිබී ඇත. එය එතරම් දරුණු සටනක් නොවුණත් අසූව හා අනූව දශකයන්හි රජිනි කාන්ත්ගේ සහ කමල් හසන්ගේ රසිකයන් එක්වී ඇරඹු යුද්ධය නම් ඉතා අප්‍රසන්න වූවකි. රජිනි කාන්ත්ගේ බෑනා ධනූෂ් සහ සිම්බු තමන්ගේ කරගත් රසික දෙපළක් ද දැන් කොලිවුඩයේ සිටිති. වත්මන් දමිළ සිනමාවේ තවත් සුපිරි තරුවක් වන සූර්යාගේ සිනමාපටයක් දොරට වඩිද්දී නම් විජේගේත් අජිත්ගේත් රසිකයන් එක් පැත්තක් ගන්නේ සූර්යා තම වීරයන් දෙදෙනාගේම පරම සතුරකු බව සිතාගෙනය.
ඉන්දියාවේ විශේෂයෙන්ම සුපිරි සිනමා වීරයන්ට රසිකයන් සලකන්නේ දේවියන්ට පරිද්දෙනි. ඔවුන්ගේ යෝධ කාඩ් බෝඩ් ප්‍රතිමා වීදි පුරා ඇති අතර ඒවාට මල් මාලා පලන්දා කිරිවලින් අභිෂේක කිරීම සුපිරි තරු වන්දනා සංස්කෘතියේ එක් අංගයකි.
රසිකයන් හද බැඳි සුපිරි තරුවල අති දැවැන්ත සේයාරූ මල් මාලාවලින් කිරි දියරයෙන් පූජනීය වූයේ ‘නිර්මාලියම්’ හෙවත් වීරයාගේ අලුත්ම සිනමාපටයේ මංගල දර්ශනය පෙන්වන හෝරාවේය. සාමාන්‍යයෙන් මංගල දර්ශනය පැවැත්වෙන්නේ උදෑසන හතරට චෙන්නායි නගරයෙන් පරිබාහිරවය. තමිල්නාඩු රජය අවසර දී ඇත්තේ දිනකට දර්ශන වාර හතරකට පමණි. ඒ නිසා මෙය නීතියට පටහැනිය. එපමණක් නොව පාන්දර හතරට තිරගත කෙරෙන සිනමාපටයේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙන්නේද කළු කඩ ක්රමයටය.
වීරයන්ට උමතු වන රසිකයන් කරන කියන දේ නිසා ඔවුන් විසින්ම දේවත්වයට පත් කරන වීරයන්ට බිමට බැසීමට සිදුවේ. තම පෝස්ටර් කිරිවලින් නෑවීම නිසා රජිනි කාන්ත් නම් දකුණු ඉන්දීය වීරයාට නීතිය හමුවට යාමට සිදුවූයේ වරක් දෙවරක් නොවේ.
රජිනි කාන්ත්ගේ සිනමාපටයක් තිරගත වන විට කිරි ලීටර් දහස් ගණනකින් ඔහුගේ රුව රැගත් පෝස්ටර් නැහැවේ. විවිධ පුද්ගලයන් පෙත්සම් ගසමින් කියා සිටින්නේ රජිනි කාන්ත් මේ නාස්තිය නැවැත්වීමට ඉදිරිපත් විය යුතු බවය. රජිනි කාන්ත්ගේ රුව කිරිවලින් නැහැවෙන්නේ දශක ගණනාවක සිටය. දැන් ඔහු හැට හය හැවිරිදිය. රජිනිගේ කබීල් පෝස්ටරයටත් ඔහුගේ රුව රැගත් පෝස්ටරයටත් දිනකට කිරි ගැලුන් 11,000 – 16,000ක් ඉසිනු ලැබ ඇත. සමහර රසිකයන් කිරි ඉසින්නේ සෙස්සන්ගෙන් සොරකම් කරගෙනය. තමිල්නාඩු කිරි සපයන්නන්ගේ සංගමයේ සභාපති මේ රසික කිරි උමතුවට එකහෙළාම විරුද්ධය. කාඩ්බෝඩ්වලට ඉසිමින් මෙසේ කිරි අපතේ හැරියද එරට මන්දපෝෂණය මෙන්ම ළදරු මරණ සංඛ්‍යාවද ඉතා ඉහළය.
උසාවිය මඟින් රජිනි කාන්ත්ට රසිකයන්ගෙන් මේ පුරුද්ද අත්හැරීමට ඉල්ලා සිටින ලෙසට අණකර තිබේ. එහෙත් රසිකයන් නවතාලීම රජිනි කාන්ත්ට පහසු නැත. ඒ ඔවුන්ට ඔහු දෙවියකු නිසාය.
කබාලි පෝස්ටර් සඳහා ලීටර් 50,000ක කිරි අපතේ යවා ඇති අතර එහි වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 20කට වැඩි බව කියැවේ. තමිල්නාඩු ජනගහනයෙන් සියයට පහළොවකට දෛනිකව කිරි ගැනීමට වත්කමක් නැත. සාමාන්‍යයෙන් වීරයකුගෙ පෝස්ටරය ක් අඩි 50 - 100 ක් උසය. කිරිවලින් නැහැවෙන්නේ එපමණට උස පෝස්ටර්ය.
දිලිප් කුමාර්, රාජ් කපූර්, දේව් ආනන්ද් මෙන් තිරයේ රජුන් ත්‍රිත්වයක් වර්තමානයෙහිද සිටියි. ඒ ශාරුක්, අමීර් සහ සල්මන් යන ඛාන් ත්‍රිත්වයයි.
අමීර් ඛාන්ගේ සහ සල්මන් ඛාන්ගේ රසිකයන් අතර සංහිඳියාවක් පවතින නමුත් ශාරුක්ගේ රසිකයන් අමීර්ගේ, සල්මන්ගේ රසික සමාජය සමඟ ඇඟෑලුම්කම් නොපායි. ඊට හේතුව අමීර්ගෙ හෝ සල්මන්ගේ සිනමාපට වෙනුවෙන් ඔවුන් එකිනෙකා වෙනුවෙන් නැඟී සිටීමයි. මේ රසිකයන් අතර තම වීරයා වෙනුවෙන් අනෙක් වීරයකුගේ රසිකයකු මරා දැමීමට තරම් සැහැසි සිත් ඇත්තන් ද නැත්තේ නොවේ. එහෙත් මේ ඛාන් රජවරු තිදෙනා වරින් වර රසිකයන්ට කියා සිටින්නේ ඔවුන් අතර 1, 2, 3 යනුවෙන් අංක නැති බවය.
ශාරුක් මේ වසරේ මුලදී ‘රාඊස්’ සිනමාපටය ප්‍රවර්ධනය කිරීමට ගුජරාටි ප්‍රාන්තයේ වදෝදාරා නගරයට ගිය විට දහස් ගණන් රසිකයන් ඔහු නැරඹීමට එක් රැස්වී වූහ. ඉඩකඩ මදකමින් එහිදී හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙක් පෑගී මිය ගියේය . තවත් සිය ගණනක් පෑගී තුවාල ලබා ඇත.
තමිල්නාඩුවේ ‘අම්මා’ ජයලලිතා සුපිරි තාරකාව මිය ගිය අවස්ථාවේ ඇයගේ මරණය අසා රසිකයෝ 470 ක් මිය ගියහ. ජයලලිතාගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂය විසින් මිය ගිය පවුලකට ලක්ෂ 3 බැගින් ලබාදුනි. සියදිවි නසාගත් උමතු රසිකයන්ගෙන් ද අඩුවක් නොවීය. ඇයගේ 56 වැනි උපන් දිනයේදී එක් චිත්‍ර ශිල්පියෙක් තම රුධිරයෙන් ඇයගේ රුව රැගත් සිතුවම් 56ක් ඇඳ තිබේ. ඇඟිලි කපා ගැනීම දිව කපා ගැනීම උමතු රසිකයන් හද බැඳි තරු, තාරකා වෙනුවෙන් කරන කැප කිරීම්ය .
චම්පිකා දීපානි රණසිංහ