මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19 කි. ඇය 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගිය දා විවාහයට පත්වූයේ තෙළිගු සම්ප්රදායක චාරිත්‍රවලට අනුවය. තෙළිඟු භාෂාවෙන් විවාහය යනු “ පෙන්ලි සේස්තාව්“ නම් වේ. මොවුන්ව රබන් ගසා පිළිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි. වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කළ මුදු මාරුව සිදු කරයි. මනමාලියගේ ගෙල බැඳෙන්නේ පබළු මාලයකි.
පැරැණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවා නම් මොල් ගස් දෙකක් හරහා දමා ඒ මත සිටගෙන සිටින යුවළ ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මේ මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ.මසන්නා පවසයි. රත්තරන් මාල බැඳීමක් හෝ මුදුමාරුවක් සිදු නොවේ. වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු එත් තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද පැවැසීය.
වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොච්චිකුලම ගම්මානය මේ ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි. පවුල් 54ක් පමණ මේ වන විට ජීවත්වන අතර ඔවුන්ගේ ජාතිය හා භාෂාව තෙළිඟුය . ඇතැමෙක් තමන්ගේ ජාතිය වඩිග බවද කියති.මොවුන් දැන් සම්ප්‍රදායික හැකියාවන් වූ රිළා නැටවීමෙන් නයි නැටවීමෙන් සහ සාස්තර කීමෙන් දුරස් වෙමින් සිටිති. ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රස්සාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරත වෙති.
එහෙත් තවමත් ඔවුන් තම සම්ප්‍රදායන්ට ගරු කරමින් ජීවත් වීමට උත්සහ දරති. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා ප්‍රධාන නිලධාරි පිරිසක් මේ විවාහයට සහභාගි වූහ.
විවාහයෙන් පසුව පැල්කොටයට යන මනමාල යුවළට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමඟ නයි පෙට්ටියකි. ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මඟ පාදා දිමක් බව එම් . තිම්මන්නා පවසයි.
මනමාලයාගේ මව පවසන්නේ මේ විවාහය ගැන හැමෝම සතුටු වන බවයි. මෙය කතාබහ කොට ඇති කරගත් විවාහයක් බවද ආර්. ලලිතා (42) පැවසුවාය. මනමාලියගේ මව මසන්නාගේ මසක්කා (54) පවසන්නේ තමන්ගේ තුන්වන දියණියගේ මංගල්‍ය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිනවා සේම ඔවුන්ට හැමෝගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.
වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න