ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්රය වර්තමානය වන විට විශාල පරිවර්තනයන්ට ලක්ව තිබේ. ඒ හේතුවෙන් ඉහළ රසවින්දනයක් සොයන සහෘද ගීත ශ්‍රාවකයාගේ අවධානය නැවතත් සුභාවිත ගීතය කෙරෙහි යොමු වී තිබේ.
එදා සිට අද දක්වා සුභාවිත ගීතය පැමිණි ගමන් මඟ දෙස බැලීමේදී යුගයෙන් යුගය සිදුවූ සමාජ විපර්යාසයන්හි එක් ගොදුරක් බවට පත්වෙමින්ද විවිධ පරිණාමයන්ට හා අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින්ද සුභාවිත ගීතයේ පහස වර්තමාන රසික පරපුරට යළි යළිත් විඳ ගැනීමට ඉඩහසර ලැබී ඇත. ඒ සඳහා දම්වැලක පුරුක් මෙන් එකට එක්ව යුගයෙන් යුගය සුභාවිත ගීය පෝෂණයට දායකත්වය දැක්වූවෝ අතිමහත්ය. ඒ අතරින් ගත් කල අයිවෝ ඩෙනිස් කලාකරුවාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ සංක්ෂිප්ත සටහන ඔහු වෙනුවෙනි.
1932 මැයි 28 දා සීදූව ප්‍රදේශයේදී පැස්කුවල් දොන් ඔගස්ටින් අයිවෝ නමින් ජන්මලාභය ලැබූ ඔහු 1952 වසරේදී ගුවන්විදුලියේ වෙළෙඳ සේවයේ පැවැත්වූ 'ආධුනික පැය' වැඩසටහනේදී ප්‍රථම වරට ගීතයක් ගායනා කරනු ලැබීය. ඒ 'වරෙන් හීන් සැරේ' ගීතයයි. වෘත්තියෙන් ගුරුවරයකු වූ අයිවෝ රත්නපුරය, මීගමුව ආදී ප්‍රදේශවල පාසල්හි ඉගැන්වීම් කටයුතුවල ද නිරත විය. පසුව රජයේ සංගීත විද්‍යාලයේ ජන සංගීත උපදේශකවරයා මෙන්ම එකල පැවැත්වූ 'හෙළ මිහිර' ගායන වෘන්දයේ මූලිකයා බවට ද පත් විය. වීරසේන ගුණතිලක, ලයනල් රන්වල, රෝහණ බැද්දගේ වැන්නවුන් හෙළ මිහිරේ අයිවෝගේ සමකාලීනයෝ වූහ. ඔහුගේ කටහඬ එකල සුභාවිත ගීත ක්ෂේත්රය දිග්විජය කළ සුනිල් ශාන්තයන්ගේ හඬට බොහෝසේ සමානකම් දැක්වීය. ඒ හේතුවෙන් සුනිල් ශාන්තයන්ගේ ගීත ගායනා කිරීමේ වැඩි අවකාශයක් අයිවෝට උදාවිණි. ලද අවස්ථාවෙන් විපුල පල නෙළාගත් අයිවෝ ගායනයේදී ගීතවලට උපරිම සාධාරණයක් ඉටුකිරීමට සෑම විටම සමත්කම් දැක්වීය. සුනිල් ශාන්තයන්ගේ හමුව අයිවෝ ඩෙනිස්ගේ ගායන දිවියේ අතිශය වැදගත් අවස්ථාවක් විය.
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ... රිදී වලාවේ...
අනේ හෙමින් හෙමින්
ඇදී යන්න වලාවේ...
50 දශකයේ මුල් භාගයේදී පමණ දිනක් සුනිල් ශාන්තයන් එකල ඔහු නවාතැන්ගෙන සිටි බම්බලපිටිය පිහිටි නිවසේ ස්නානයේ යෙදී සිටියේය. තම ගීතයක් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වන අයුරු ඔහුට ඇසිණ. එකවරම සුනිල් ශාන්තයන් දිය නෑම මඳකට නතර කළේය. ගීතයේ යම් යම් අඩුපාඩු කිහිපයක් නිරීක්ෂණය වූ බැවින් සුනිල් ශාන්තයන් ගීතයට හොඳින් ඇහුම්කන් දෙන්නට විණි. අවසන මේ නම් තමන්ගේ හඬ නොවන බවට ඔහුට ප්රත්යක්ෂ විය. ඒ ගීතය ගැයූවේ සීදූවේ අයිවෝ ඩෙනිස්... යෑයි ගීතය අවසන "ආධුනික පැය" වැඩසටහන මෙහෙයවූ නිවේදකයා සඳහන් කළේය.
තම හඬට ඉතා සමාන හඬකින් එම ගීතය ගායනා කළ ආධුනිකයා දැකබලා ගැනීමට මහත් කුතුහලයක් සුනිල් ශාන්තයන් තුළ හටගන්නට විය. වහා ඔහු එකල මරදානේ පිහිටි සංගීත ආශ්රමයේ තමා යටතේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහුගේ ශිෂ්‍යයකු වූ පැටි්රක් දෙනිපිටියට තම ගීතය ගැයූ නවකයා සොයා ගැනීමේ කාර්යය පැවරුවේය. දින කිහිපයකට පසු තමාට පැවරූ වගකීම අකුරටම ඉටුකරමින් පැටි්රක් දෙනිපිටිය විසින් අයිවෝ ඩෙනිස්ව සුනිල් ශාන්තයන් හමුවට කැඳවා ගෙන ආහ. තොරතුරු අසා දැනගත් සුනිල් ශාන්තයෝ අයිවෝ ඩෙනිස් නම් ආධුනිකයා තම සංගීත තක්සලාවට ඇතුළත් කර ගත්තේය. ඒ අනුව අයිවෝ සුනිල් ශාන්තයන් යටතේ සංගීතය හදාරන්නට පටන් ගත්තේය. එය තම සංගීත දිවියේ ලැබූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස අයිවෝ කවදත් සැලකූහ. 1975 දී සුනිල් ශාන්තයන්ගේ 'රන්වලාව' සංගීත වැඩසටහනට එක්වීමට අයිවෝට අවස්ථාව උදාවිණි. එහිදී තිලක සුධර්මන් ද සිල්වා ලියූ සුනිල් ශාන්තයන් සංගීතවත් කළ 'කුරුලු පරාදීසයේ' ගීය ගයමින් අයිවෝ ඩෙනිස් සිය සංගීත චාරිකාව ආරම්භ කළේය.
කුරුලු පරාදීසයේ
කුරුලු සිහින සාගරේ
ඔබ හා විසුමට එනු මැන
කුරුලු සුරපුරේ
ගැයූ පළමු ගීයෙන්ම අයිවෝ ඩෙනිස් යන නාමය ජනප්‍රසාදයට පත්විය. සුනිල් ශාන්තයෝද අයිවෝගේ දක්ෂතාවය දැක බොහෝසේ සතුටට පත් වූහ. ලෙස්ටර්
ඡේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයට ගීතයක් ගායනා කරමින් අයිවෝ ප්‍රථම වරට සිනමා ක්ෂේත්රයට ප්රවිශ්ට විය. පසුව 'සංදේශය' හා 'හිම කතර' වැනි චිත්‍රපට සඳහා ගීත ගායනයට එක්වෙමින් සිනමා ගීතය අතික්‍රමණය කිරීමට සමත් විය. මකුලොලුව විසින් කරළියට ගෙන ආ "දෙපානෝ" නාට්‍යයේ ප්‍රධාන භූමිකාව රඟමින් අයිවෝ තම රඟපෑමේ හැකියාවද විදහා දැක්විය. ඉන් පසුව සතිස්චJද්‍ර එදිරිසිංහගේ 'තහංචි' ගීත නාටකයේද ප්‍රධාන නළුවා බවට පත් විය. ආචාර්ය ලෙස්ටර්
ඡේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය වෙනුවෙන් සුනිල් ශාන්තයන් නියෝජනය කරමින් ඉන්දියාවට ගිය අයිවෝ ඩෙනිස් එහිදී "ඕලු නෙළුම් නෙරිය රඟාලා", "සුදු සඳ එළියේ", "සීගිරි ළඳකගේ" වැනි ගීත ගායන ශිල්පීන්ට පුහුණු කළේය. 'බඹරු ඇවිත්, හිම කතර, පාරදිගේ, දෙවැනි ගමන වැනි චිත්‍රපට සඳහා ද සිය භාවපූර්ණ හඬින් පසුබිම් ගී ගැයූ අයිවෝ ඩෙනිස් 1985 වර්ෂයේ දී 'හිමකතර" චිත්‍රපටයේ ගායනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේය. එමෙන්ම වසර 50 ක් වැනි දීර්ඝ කාලයක් සිංහල ගීත ක්ෂේත්රයට කළ සේවාව අගයා 1995 දී ඔහු උණ්ඩා සම්මානයෙන් පිදුම් ලැබීය. බීබීසී ගුවන් විදුලියේ "ලංකා උදානය" වැඩසටහනින් හා 2004 දී ලක්හඬ ගුවන් විදුලිය විසින් දේශාභිමානී ගීත පෝෂණයට දැක්වූ දායකත්වය වෙනුවෙන් අයිවෝට සම්මාන පුද කරනු ලැබීය. 1999 දී ආසියා ශාන්තිකර ගුවන්විදුලිය නවසීලන්තයේ පැවැත්වූ විද්‍යුත් මාධ්‍ය නව ගී නිර්මාණ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට ලැබීම අයිවෝගේ ගායන දිවියේ සුවිශේෂී අවස්ථාවක් විය. විශේෂයෙන් ඔහු තුළ තිබූ ගැඹුරු කටහඬත් විවිධ පරාසයන්ගෙන් ගීත ගැයීමේ හැකියාවත් හේතුවෙන් ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට සංගීතඥයකු වූ ප්‍රේමසිරි කේමදාසයන් සමග ද ඉතා සමීපව කටයුතු කිරීමේ භාග්‍යය අයිවෝට එකල උදාවිය. ඒ හේතුවෙන් පිරිනිවන් මංගල්‍යය, මානස විල වැනි ඔපෙරා සහ කැන්ටාටාවේ වැනි නිර්මාණවලට පවා දායක වීමට වරම් හිමි විය. එය ඔහුගේ සංගීත ඥනය වැඩි දියුණු කර ගැනීමට ලැබූ මහඟු අවස්ථාවක් බව ඔහු අදටත් සිහිපත් කරන්නේය.
හෙමින් සැරේ පියා විදා
සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලේ
අයිවෝ ඩෙනිස් සැම විටම ඉතාම ආදර්ශවත් හා චාම් දිවිපෙවෙතක් පවත්වාගෙන යනු ලබන අතර කතෝලික බැතිමතකු වන ඔහු දේවස්ථානය සමග ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙකි. එමෙන්ම ඔහු කිතුනු ගීත කලාවේද අසිරිමත් සලකුණක් තැබූ ගායකයෙකි. සුනිල් ශාන්තයන්ගේ වියෝවෙන් පසු ඔහුගේ ගීත සමුදාය මැකී යා නොදී මතු පරපුර දක්වා රැගෙන ඒමේ භාරදූර වගකීම ඉටුකරනු ලැබුවේද අයිවෝ ඩෙනිස්ය. යුගයෙන් යුගය සිදුවූ සමාජ විපර්යාසයන්හි හා විවිධ පරිණාමයන්හි ගොදුරක් බවට පත්වීමට ඉඩ නොදී සුභාවිත ගීයේ ආශ්වාදය සහ මිහිර යළි යළිත් මතු පරපුරට ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වීම වෙනුවෙන් අයිවෝ ඩෙනිස් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සම්භාවනාවට නිතැතින්ම පාත්‍ර විය යුතුය. කෙසේ වෙතත් මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අයිවෝ ඩෙනිස් කලාකරුවාට සිංහල ගීත ක්ෂේත්රයට එදා සිට අද දක්වා ඉටු කළ යුගාරක මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යැමට අවශ්‍ය නිදුක් නිරෝගී ආයු සම්පත්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනය කර සිටිමු.
ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී...
සුරකිමු ඔබ ලංකා
තිලින ලක්මාල් අභයරාජ