මහාචාර්ය ආරියරත්න ඇතුගල කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මේ වන විට සේවයෙහි නිරත වෙමින් සිටියි. විශ්වවිද්‍යාල මට්ටමෙනුත් විශ්වවිද්‍යාලයෙන් පිටස්තරවත් ශාස්ත්‍රීය හා නිර්මාණ ගවේෂණයන්හි නිරත වූවෙක් වශයෙන් ද ඔහු හැඳින්විය හැකි ය. පසුගිය කාලයේ ඔහු විසින් නිර්මාණය කරන ලද 'මහ සමයම' මහ ඔපෙරාව විවිධ විචාරකයින්ගේ මතිමතාන්තරවල නොමදව ලක් විය. ඇතුගලයන්ගේ නවතම දෘශ්‍ය කාව්‍යය වන 'මහ සුපින' ප්‍රාසංගික නිර්මාණය දෙසැම්බර් 05 වැන දින සවස 5.30ට කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලවේ දී රංගගත වීමට නියමිත ය. මේ සංවාදය ඒ ඇසුරිනි.
ඔබේ නවතම දෘශජ්ය කාව්‍යය වන 'මහ සුපින'ට විෂය වෙන්නේ පන්සිය පනස් ජාතක පොතේ එන මහ 'සුපින ජාතකය' බෞද්ධ ජාතක කථාවක් නාට්‍යයට යොදා ගැනීම වර්තමානයට කොතරම් දුරට වලංගුදැයි ඔබ හිතනවාද?
අපි ජාතක පොත බෞද්ධ ග්රන්ථයක් කියලා කිව්වට ඒක පැරණි 'සූත්‍රිත' නැත්නම් 'සූත්‍රික' සාහිත්‍යයට අයිතිවෙන එකක්. ඒ කියන්නෙ ආගමානුකූල පැරණි සාහිත්‍යය ගැනයි. හැබැයි ආගම කියලා කියන්නෙ මානව ධර්මතා පිළිබඳ ව කතා කරන සාහිත්‍යයක්. එතකොට මේ ප්රස්තුතය බෞද්ධ දර්ශනයක් කියනවට වඩා මිනිසාගේ පැවැත්ම ගැන මිනිසා විසින් සිදුකරන ක්‍රියාවලියක්, එහෙම නැත්නම් පරිසරය හා මිනිසා අතර සම්බන්ධයේ අතිශය සියුම් ගනුදෙනු පිළිබඳ ක්‍රියාවලියක් කියන විශ්ලේෂණයයි වඩාත් යෝග්‍ය වෙන්නෙ. එනිසා 'මහ සුපින' ආගමික සාහිත්‍යය මත ම තියන්න බැහැ. ඊළඟ කාරණය තමයි මේක අනාගත කාලය සඳහා කියපු කතාවක්. ඒ කියන්නෙ කොසොල් රඡ්ජුරුවන්ගෙ සිහින විශ්ලේෂණය කරන බුදුන් වහන්සේ කියනවා, 'මේක අදට සිද්ධ වෙන දෙයක් නෙමේ, මේක අනාගතේ සිද්ධ වෙන්න තියන දෙයක්' කියලා. ඒ කියන්නෙ මේකෙ ප්රස්තුතය අපේ ඉදිරි අනාගතය එක්ක බැඳිලා තියෙන එකක්. මේ නිර්මාණය කොතනින් හරි අතීතය, වර්තමානය හා අනාගතය සම්බන්ධ කරන කතාවක්. අපිට මැදට පැනලා කොතනින් හරි අල්ල ගන්න පුලුවන්. මම කරන්නේ ඒ අල්ලගැනීම. ඒක අදට හෙට ද කියලා දන්නෙ නැහැ. අනිත් එක මේකෙ තියෙන්නෙ පශ්චාත් නව්‍ය සාහිත්‍යමය ලක්ෂණ. මේකෙ ආඛ්‍යානයක් නැහැ. නිශ්චිත කතාවක් නැහැ. නිශ්චිත නළු නිළියො නැහැ. අවසානයේ කියන පණිවිඩයකුත් නැහැ. යථාර්ථයක් පෙන්නුම් කරන්නෙත් නැහැ. මේකෙ තියෙන්නෙ සිහින. අපි සාමාන්‍යයෙන් දකින නාට්‍යයක තියෙන මුල-මැද-අග සම්බන්ධ කතාවක්වත් ගැටුමක්වත් ගලායාමක්වත් නැහැ. හරි විසංයෝජනීය යි. තැනින් තැනින් සිදුවන දේවල් මගින් සිහින ඇතුළෙ අපට අපේ සමාජය කියවගන්න පුලුවන් අවකාශයක් තියෙන්නෙ. ඒනිසා මං හිතන්නෙ අතිශය නව්යයි.
'මහ සමයම' නිර්මාණයට ඔබ යොදාගත්ත විශ්වීය සම්ප්රදායයේ නාට්‍ය ලක්ෂණ ඔබේ අලුත් නිර්මාණයට භාවිත කළේ මොන විදියට ද?
ආකෘතිකමය වශයෙන් ගත්තම මේ දෙක දෙකක්. නමුත් ප්රස්තුතය වශයෙන් ගත්තම යම් සමානකම් තියෙනවා. ඒ කිව්වෙ 'මහ සමයම' ශෛලිගත යි. නමුත් 'මහා සුපින' නිර්මාණයේ නාට්‍යමය ගුණය වැඩියි. වෙනත් නර්තන සම්ප්රදායන්ගෙන් සංගීත සම්ප්රදායන්ගෙන් සහ දේශීය කලා සම්ප්රදායන්ගෙන් උරාගැනීම් තියෙනවා. අනික් පැත්තෙන් එක අත්දැකීමකින් තව අත්දැකීමකට යනකොට මම කවදත් භාවිත කළේ පළමු අත්දැකීමේ ම දිගුවක් විදියට නෙමේ. එය තවත් කාර්යයක් විදියට. මොකද අපි කැඩුණු බිඳුණු මිනිස්සු. එකින් එකට කොහෙවත් සම්බන්ධතා නැහැ. අපි සමාජයේ ගන්නත් ඕනෙ එහෙම වෙන වෙන ආකාරයන්. මට කියලා සම්ප්රදායක් මම හොයන්නෙ නැහැ. මට නාට්‍යකරුවෙක් වෙන්න ඕනෙත් නැහැ. අපි කොහොමද සාම්ප්‍රදායික විධික්රම අතික්‍රමණය කරමින් නව විදියකට කලාව ගවේෂණය කරන්නෙ, මානව ධර්මතාවයන් එක්කලා අපි පොරබදන්නෙ කොහොමද කියන එකයි මේ නිර්මාණයේ තියෙන්නෙ. එය අද දවසේ ආකෘතිකමය ප්‍රශ්නයක්. ඒ නිසා මම දකින්නෙ 'මහ සුපින', 'මහ සමයමේ' දිගුවකටත් වඩා එය පසුකර යාමක් විදියට යි.
කලා නිර්මාණයක් විදියට 'මහ සුපින' නාට්‍යය දේශපාලනික වශයෙන් දක්වන අරුත කෙබඳු ද?
මම ඒක සරල දේශපාලනය හෝ ජනප්‍රිය දේශපාලනය හෝ පටු දේශපාලනය කියන අර්ථයෙන් ගෙනෙන්නෙ ම නැහැ. මොකද හුඟක් වෙලාවට අපේ නූතන වේදිකාව දේශපාලනික ප්‍රහසනයෙන් වියුක්තයි, කලාත්මක අගය ඉස්මතු කරන්න අපහසු යි. රැල්ලක් විදියට ලංකාවෙ නාට්‍ය තියෙනවා. ඒ මානව දේශපාලනය ඇතුළෙ යි. ජාතක කථාවට අනුව සිහිනෙ අරුත් විමසද්දි බුදුහාමුදුරුවො අත දිගු කරලා කියනවායි කියන්නෙ ලංකාවෙ පැත්තට කියලා කියනවානේ. ඒත් මම හිතන්නෙ නෑ එහෙම දෙයක්. මිනිසායි, සොබාදහමයි අතර ගනුදෙනුවේ වරදින තැන්වලදි මිනිසාට වෙන ඛේදවාචක පිළිබඳවනේ 'මහ සුපින' නිර්මාණයෙ තියෙන්නෙ. එතකොට ඒක මහා දේශපාලනයක්. ඒකෙ හැමෝට ම හිතන්න තියෙනවා. ඒත් නව්‍ය ඥානය කරා අප ගමන් කරලා තියෙනවද කියන ප්රශ්නය තියෙනවා. ඒනිසා 'මහ සුපින' නිර්මාණයට හසුකරගත්තෙ පුළුල් දේශපාලනික යටිතලයයි.
'මහ සුපින' නිර්මාණයත් ඔපෙරා ගණයට අයත් නාට්‍යයක් ද?
මේක හඳුන්වන්න පුලුවන් වෙන්නෙ රංග කාර්යයක් විදියටයි. ඔපෙරාවක් නෙමෙයි. නමුත් ඔපෙරා ලක්ෂණ තියෙනවා. 'මහ සමයම'ත් ඔපෙරාවක් නෙමෙයි. සමහරු එය හැඳින්වූයේ ඔපෙරාවක් විදියට. ඔපෙරාවකයි මගේ භාවිතයයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේක ඔබ කියන වර්ගීකරණයකට යටත් වෙන්නෙ නැහැ.
ඔබේ 'මහ සමයම' දේශීය ජනශ්රැතියත් විදේශීය කලා සම්ප්‍රදායත් මුසු කළ දෘශ්‍ය කාව්‍යයක්. ඒ නිසා ලංකාවේ ජන සම්ප්රදාය සංචාරකයන්ට ලබාදෙන එක්තරා අවස්ථාවක් විදියට සමහරු අර්ථ දැක්වුවා. නිදසුනක් වශයෙන් විශාල රංග ශාලා, රංගෝපකරණ, ප්‍රවීනම නළු නිළියන් භාවිතය හඳුන්වන්න පුළුවන්. ඉතිං පොදු සමාජය බයවෙනවා මේ වගේ නිර්මාණ තියෙන්නෙ විදග්ධ කොටසට රසවිඳින්න පමණයි කියලා. එතකොට 'මහ සුපින' නිර්මාණයටත් ඔබ ඉලක්ක කරගන්නෙ මේ පිරිස ම ද?
මේ නිර්මාණයේ නම් විදේශීය සම්ප්රදායක් ගැන හිතන්නේ ම නැහැ. ලංකාවෙ නාට්‍ය කලාව කියන්නෙ දෙතුන් දෙනෙක් වෙස් බැඳගෙන පොඩි කාමරවල නටන එකක් නෙමෙයි. ඊට වඩා යමක් මෙහි තියෙනවා. මේක විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ක කරන නිර්මාණ භාවිතයක්. මෙයින් වඩාත් අවධාරණය කරන්නෙ කලාවට සම්බන්ධ කොටස් සහ සාමාන්‍ය ප්‍රේක්ෂකයා. මේ නිර්මාණ තියෙන්නෙ විදග්ධ කට්ටියට කියන එක ම මිථ්‍යාවක් නෙ. 'මහ සමයම' බලන්න හද්ද පිටිසරින් ළමයි ගාණක් බස්වල නැගලා එනවනේ. දහ වතාවක් 'මහ සමයම' කොළඹ පෙන්නනවනේ. රුවන්වැලි සෑය වඳින්න ආවෙ දුප්පත් මිනිස්සු. මේක බලන්න ආවෙත් ඒ වගේ මිනිස්සු තමයි. ඒ නිසා යමක් වුවමනා නම් ඒකට එහෙම සල්ලි වියදම් කරන් එන එක ගැන අපි ආඩම්බර වෙනවා. මට චෝදනාවකුත් තිබුණානේ 'මහ සමයම' පෙන්නුවෙ නෙළුම් පොකුණෙ විතරයි කියලා. එහෙම කියන්න බෑ. ජංගමශීලී කලාව කියන්නෙ එහෙම එකක් නෙමෙයි. සිඩ්නි ඔපෙරාවල, ලන්ඩන් ඔපොරාවල හැමදාම එක ම නාට්‍යය පෙන්වනවා. මිනිස්සුන්ට විඳින්න ඕනෙ නම් ඒවට වියදම් කරනවා. ඒ රටවල එක රස්සාවකින් තව රස්සාවකට යනකොට එයාලා අහන ප්‍රධාන දේ තමයි ඒ නගරෙට රඟහලක් තියෙනවද කියන එක. දැන් අපි ඩිජිටල් ලෝකෙක ඉන්නෙ. 'නාට්‍යයක් රඟපාද්දි ශාලාවේ කෙළවරට ඇහෙන්න කෑගහන්න ඕන වගේ කතා කියලා හරියන්නෑ දැන්.
අද්‍යතන නාට්‍ය කලාව පිළිබඳ ව ඔබේ කියවීම කෙබඳු ද? එහි උන්නතිය වෙනුවෙන් රජයේ මැදිහත්වීම කෙබඳු විය යුතුයි කියා ඔබ හිතනවා ද?
පළමුවෙනි දේ තමයි පාසල් පද්ධතියට මැදිහත්වීම අවශ්‍ය යි. සියලු විෂයන් ඉගැන්වීම සඳහා නිර්මාණශීලී ක්‍රමයක් විදියට නාට්‍ය හඳුන්වනවා 1950 දශකයේ ඉඳලා. ඒ බව යුනෙස්කෝව ප්‍රකාශයට පත් කරනවා. ඉන්පස්සෙ පාසල් පද්ධතිවල විෂය ක්ෂේත්රවලට එනවා. මේක අපිත් ක්‍රියාත්මක කරන්න ඕන. දෙවෙනි දේ තමයි ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. නෙළුම් පොකුණ හැදුවට වැඩක් නෑ. වැඩ පිළිවෙළක් නෑ ඒක ගෙනියන්න. සන්දර්ශන වලට තියන් ඉන්නවා විතරයි. ඒකට පදනමක් හදලා ක්‍රියාකාරකම් ටිකක් ක්‍රියාත්මක කරන්න ඕන. ග්‍රීසියේ තිබ්බා වගේ නාට්‍ය උළෙලවල් පවත්වලා සංස්කෘතික අමාත්‍යංශය මගින් මේකට සුදුසු වැඩපිළිවෙළක් ගේන්න ඕන. තනි පුද්ගලයෙකුට විතරක් මේ නිර්මාණ රැකගන්න බෑ. 'මහ සමයම' විනාස වෙන්නෙ එහෙම වැඩ පිළිවෙළක් නැති වුණ නිසා. තුන්වෙනි කාරණය තමයි ලෝකෙ තියෙන නව සම්ප්‍රදායන් ලංකාවට ගේන්න පුළුවන් වෙන ක්‍රම හදන්න ඕන. එහෙම නිර්මාණකරුවන්ට අත හිත දෙන්න ඕන. විවෘත මනසක් දෙන්න ඔවුන්ට ලෝකය කියවලා ඇවිල්ලා අලුත් දේවල් කරන්න. ඒ සඳහා මූල්‍යමය අනුග්‍රහය දක්වන්න, සංවාද තියන්න, නාට්‍ය පාසල් හදන්න ඕන. අපිට තවම නාට්‍ය පාසලක් නැහැ. කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි තවම කියවනවා විතරයි. එකක්වත් කරලා නැහැ.
සංවාදය - ඩිල්ශානි දාබරේ