ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය වන Underpants Thief (ජංගි හොරා) පසුගියදා පැවැති දිල්ලි සිනමා උළෙලේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් වන මෙය ඔහු මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මගක් ගන්නා සිනමා පටයක් ලෙස හැඳින්විය හැකිය.
ලෝකයේ විවිධ සිනමා සම්මාන උළෙලවල් තිබෙනවා. ඔබ සම්මාන ලැබූ දිල්ලි සිනමා උළෙල ස්ථානගත වෙන්නේ ඒ අතරින් කවර තැනකද?
ලෝකයේ තිබෙන සිනමා උළෙලවල් විශාල සංඛ්‍යාව අතරින් මොන සම්මාන උළෙල ලොකුද මොකක් පොඩිද කියන එක හරියටම කියන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් කාන්ස්, වැනීස් ආදි අන්තර්ජාතික සිනමා උළෙලවල් 10ක් සම්මතයක් විදිහට පිළිගන්නවා. මුල් පෙළේ සිනමා උළෙලවල් විදිහට එම සම්මාන උළෙල 10ට දිල්ලි සිනමා උළෙල අයත් වෙන්නේ නැහැ. නමුත් සමස්තයක් විදිහට ගත්තොත්, දිල්ලි සිනමා උළෙල ඉන්දියාවේ මුල්පෙලේ සිනමා උළෙලක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එහිදී තරග වැදුණු චිත්‍රපට, විනිශ්චය මණ්ඩලය ආදී සාධක ඊට සාක්ෂි දරනවා. නමුත් මම කියන්නේ නැහැ එය ලෝකයේ ප්‍රධානම පෙළේ සම්මාන උළෙලක් කියලා.
මේ ඔබ දිනාගත් කීවැනි අන්තර්ජාතික සම්මානයද?
මම මෙතෙක් කළ චිත්‍රපට සියල්ල අන්තර්ජාතිකව සම්මානයට පාත්‍ර වුණා. සරෝජා චිත්‍රපටයට පමණක් සම්මාන 9ක් ලැබුණා. මේ තමයි මා ලැබූ 33වැනි අන්තර්ජාතික සම්මානය.
මාස කිහිපයකට පෙර මෙම චිත්‍රපටය බූසාන් චිත්‍රපට උළෙලටත් ඉදිරිපත් කෙරුණා. ඉන් අනතුරුව ඔබ දිල්ලි සිනමා උළෙලේ දී ජයග්‍රහණයක් ලබනවා. මෙතෙක් ඔබ හැදූ චිත්‍රපටවලට වඩා වෙනස් මඟක් ගත් මේ චිත්‍රපටය ජනතාව වැළඳගනීවි කියලා මේ ආරම්භයත් සමග හිතන්න පුළුවන්ද?
ඒ ගැන මට හරියටම කියන්න බැහැ. නමුත් මෙතෙක් සිනමාකරුවෙක් විදිහට මාගැන ගොඩනැගී තිබූ ප්‍රතිරූපය නම් මේ ජංගි හොරා චිත්‍රපටය නිසා බිඳ වැටෙන බව මම දන්නවා. මොකද මෙතෙක් කාලයක් මම ළමයින් ප්‍රධාන පවුලේ සැමට නරඹන්න පුළුවන් විදිහේ චිත්‍රපට තමයි හැදුවේ. මේක වැඩිහිටියන්ට පමණක් සීමාවූ චිත්‍රපටයක් නිසා මට ඒ වෙනුවෙන් වෙනස් විදිහේ ප්‍රතිචාර ලැබේවි.
ඇයි ඔබ මෙවැනි චිත්‍රපටයකට අත ගැසුවේ?
ඕනෑම සිනමාකරුවෙක් එකම රාමුවකට පමණක් කොටුවෙලා චිත්‍රපට හදන්න වුවමනා නැහැ කියන එක මම තදින් විශ්වාස කරනවා. මට හිතුණා මමත් මේ රාමුවෙන් පිටතට එන්න ඕනෑ කියලා.
මීට කලින් ඔබට මේ සීමාවෙන් පිටවෙන්න බැරි වුණේ, ඒ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබුණු නිසාද?
මම ළමයින්ට විතරක් සීමාවූ චිත්‍රපට විතරක් හදපු සිනමාකරුවෙක් නෙවෙයි. මොකද මා මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට පවුලේ සැමට නරඹන්න පුළුවන්. නමුත් ළමයින්ගෙන් ලැබුණු හොඳ ප්‍රතිචාරත් මාව මෙතෙක් කාලයක් මේ රාමුවට කොටු කරන්න හේතු වෙන්න ඇති. මේ චිත්‍රපටය සඳහා පිටපත රචනා කරලාත් අවුරුදු 7ක් 8ක් වෙනවා. මට හිතුණා මම ඉවසුවා ඇති කියලා.
චිත්‍රපට පිටපත් සංඛ්‍යාව 35කට සීමා වීම වැනි ගැටලු හේතුවෙන් ඔබ මීට පෙර චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරු සමග මත ගැටුම් පවා ඇතිකර ගත්තා. නැවත කවදාවත් චිත්‍රපට හදන්නේ නෑ කියන ස්ථාවරයේ පවා ඔබ එකල සිටියා. දැන් යළිත් ඔබ සිනමාවේ සක්‍රීය වී ඉන්නේ ඊට හිතකර තත්ත්වයක් සිනමා කර්මාන්තය තුළ ගොඩනැගී තිබෙන නිසාද?
පිටපත් අවුල සම්බන්ධයෙන් මා ඉදිරිපත් කළ මතය අවසානයේ ජයග්‍රහණය කළා. ඒක මගේ පුද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි මුළු සිනමාවම ලැබූ ජයක් විදිහටයි මා දකින්නේ. එම ජයග්‍රහණයේ ප්‍රතිඵලයක් විදිහට අද ඇතැම් සිනමාපට පිටපත් 60 - 70පවා මුදා හැරෙනවා. පිටපත් සීමාවීම පිළිබඳ ගැටලුව එලෙස විසඳුණත් සිනමාවේ තවත් ගැටලු බොහොමයක් ඉතිරි වී තිබෙනවා. ඒවාට ඉතා ඉක්මනින් විසඳුම් අවශ්‍යයි. මාද ඇතුළත් සිනමා කර්මාන්තයේ විවිධ පර්ශ්වයන් ගෙන් යුතු සාමාජිකයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් විසින් සිනමාවේ වත්මන් අර්බුදවලට විසඳුම් ලෙස නව යෝජනාවලියක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඒ යෝජනාවලින් ක්‍රියාත්මක වුවහොත් ලාංකේය සිනමාවට මීට වඩා යහපත් කලදසාවක් උදාවේවි.
කිෂාන්