මැක්සිම් ගෝර්කිගේ “අම්මා”, අයිත්මතෝව්ගේ “ගුරු ගීතය” වැනි කෘතීන් ජීවිත කාලයේදී එක් වරක් හෝ ඔබ කියවිය යුතුමය.
රුසියානු සංස්කෘතිය ඇතැම්විටකදී වෙනත් සංස්කෘතීන්ගෙන් වෙන්වන්නේ එහි ඇති විශිෂ්ඨත්වය ලෝකයට ඔප්පු කරමින්.. පෙරදිග සිට රුසියාවට ආවඩනවා නොවෙයි.. නමුත් එම කලා කෘතීන්ගෙන් ගත යුත්ත අපමණ බව මාගේ අදහසයි..
මෙම ගීතයත් රුසියානු සංස්කෘතිය ආභාශයෙන් බිහි වූවක්.. මෙහි ප්‍රධාන චරිතය වන්නේ “ඉවාන් පවුලූෂා”.. නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ “How the steel was tempered” එහෙම නැත්නම් සිංහලට පරිවර්ථිත “වානේ පන්නරය ලැබූ හැටි” හි ප්‍රධාන චරිතය වන්නේ “පාවෙල්”.. මේ පාවෙල් තමයි අපි අතරට “පවුලූෂා” කියන නමින් එන්නේ.. ඔබ “ලස්සන වසිලිස්සා” කියන සුරංගනා කතා පොත කියවා ඇත්නම් එහි එන “ඉවාන්” කියන චරිතයත් මතක ඇති.. මෙන්න මේ අයුරින් තමයි ඉවාන් පවුලූෂා බිහිවන්නේ.. ගීතයට තේමා වෙන්නේ “වානේ පන්නරය ලැබූ හැටි” හි පාවෙල් ගේ කතාවයි..
“නැති වෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ..”
මෙම කාලය වාසයට එතරම් හොද කාලයක් නම් නෙවෙයි.. මේ රුසියානු සිවිල් යුද්ධය පැවති අවධියයි.. පාවෙල් නියෝජනය කරන්නේ බොල්ෂෙවික් පක්ෂය.. ඉතින් මහා යුද්ධය හේතුවෙන් ජීවිතයට සමු දීම කොයිම මොහොතක හෝ සිදුවිය හැකියි.. හෙට උදේ වෙද්දි අපේ ජීවිතය නැති වෙන්නට මත්තෙන් බැලලයිකාව වයලා ගීයක් ගයා සතුටු වෙන්නට මෙම ගීතයේ කතා නායිකාව පවුලූෂා ට ඇරයුම් කරනවා..
“ඉවාන් පවුලූෂා..
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..”
පවුලූෂාගේ සිත ඇයගේ සිරුරේ ලාලිත්‍යයට, සුකුමල බවට ඇදී යාම කෙසේ නම් නවත්වන්න ද.? තරුණියට මෙය වැටහෙනවා.. ඔබ හොරෙන් මා දිහා බලන්නේ ඇයි..? මා සමග නැටුමට එක්වී මාගේ හද වෙලා නොගන්නේ ඇයි..? පවුලූෂාට ඇය දිගින් දිගටම ඇරයුම් කරනවා..
“නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොදුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා..”
අපගේ නර්ථනයෙන්වත් මේ රළු පොලොව අස්වැද්දේවි.. මේ යුධ පිටියට රූබලයක තරම්වත් වටිනාකමක් ඒවි.. ඉතින් පවුලූෂා එන්න මා එක්ක නටන්න.. ජීවිතයේ අස්ථිර බව එළිපිට පේන්න තිබෙද්දිත් තවත් සුන්දර සිහින බොඳකරන එකේ තේරුමක් නැහැ.. දැන් මගේ එකම හීනය ඉතා කඩවසම් තරුණයෙක් වුණ ඔබත් එක්ක නර්ථනයේ යෙදෙන එක.. බැලලයිකාව වගේ ඔබේ දකුණු අතට මාව තුරුළු කරන් මෂූර්කා නැටුම නටන්න අද එන්න.. මොකද හෙට අපිට මෙහෙම ප්‍රීතියෙන් නටන්න තියා ජීවත්ව ඉන්නවත් වාසනාවක් තියෙයිද දන්නේ නෑ..
“හිනහ වෙවී අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද
කදුලැලි දහදිය ගැලුමට මහකළු ගල් දියවෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා...”
අවසාන පැදි කිහිපයෙන් ඇය පවතින සමාජ තත්වයේ විපරීත බව පෙන්වන්නට උත්සාහ කරනවා.. පවුලූෂා අපි කොච්චර හිනා වෙවී නැටුවත් පොලොවට වෙහෙසක් දැනෙන්නේ නෑ.. අපි හෙලන දහදියෙන් කදුලු වලින් පාලකයන්ගේ කලුගල් වගේ හිත් දියවෙන්නේ නෑ.. සටන් පාඨ කියමින් මහමග මොරදෙමින් යනවාට වඩා තාවකාලික සැපයක් ලබන්නටවත් මා සමග නර්ථනයේ යෙදෙන්නට ඔබ තවමත් මැළි වෙන්නේ ඇයි..? ඇසිල්ලකටවත් මගේ හිතේ ගිමන් නිවන්න උරහිස පිරිනමන්න පවුලූෂා ඔබ පරක්කු වෙන්නේ ඇයි..?
මෙම ගීතය කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්.. “උක්කුං මහත්තයා” කියන රේඩියෝ චරිතයෙන් ශ්‍රාවක ආදරය දිනාගත් චාරුක සුරවීර අතිනුයි ගීය ලියවෙන්නේ.. එවකට විශ්වවිද්‍යාලයේ සිටි හොදම ගායිකාවක් වන අප්සරා ද සිල්වාගේ හඩින් ගීතය ගයන්නට තනුව සැකසෙන්නේ ප්‍රියන්ත ඩිරෙක්ස් අතින්.. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මාර්ෂල් වරයෙක්.. ශිෂ්‍ය මර්ධනය වෙනුවෙන් පරිපාලනයට සහය සපයනවා වෙනුවට මෙවන් නිර්මාණ වලට පණ පොවන්නට ඔවුන්ගේ කාළය, ශ්‍රමය විඩංගු කිරීමට හැකිවීම සැබවින්ම පැසසුම් සහගතය..
´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´
නැති වෙන්නට පෙර හෙට උදයේහිම ජීවිතේ
බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
ඉවාන් පවුලූෂා..
ඇයි හොරැහින් මදෙස බලන්නේ
නැටුමට ඇවිදින් නැතිදෝ මහද වෙලන්නේ..
නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
ඒ සතුටට ගී ගයලා තව සොදුරු සිහින නොතලා
බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා..
හිනහ වෙවී අපි නැටුවට පොළොවට වෙහෙස දැනෙනවාද
කදුලැලි දහදිය ගැලුමට මහකළු ගල් දියවෙනවාද
එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
ඉවාන් පවුලූෂා...
``````````´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´´
* ගීතය ඉදිරිපත් කිරීම සඳහා මූලාශ්රයන් කිහිපයක් පරිශීලනය කළෙමි..
- හෂාන් අංජන (19.12.2017) -
පත්තිරුව - Paththiruwa පිටුවෙනි