මෙයින් විසිවසකට පමණ ඉහත යුගයකදී රූපවාහිනියෙන් විකාශය වූ ප්රවිණ සිනමාවේදී තිස්ස අබේසේකරයන්ගේ වනසරණ නම් ටෙලිනිර්මාණය ප්‍රේක්ෂක මතකයේ නිබඳව රඳවන්නට හේතුවූයේ එහි ගැයුනු ආදිවාසී ජන ගායනා විශේෂයක් වූ කිරි කොරහ නාදරටා ඇසුරේ නිර්මිත එක්තරා සුවිශේෂී ගීතයක් නිසාය.
නංගීට බැඳපු මල් වියනයි .... නංගීට බැඳපු මල් වියනයි .....
එවකට රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පියකු වූ සේනානායක වේරලියද්ද ගායකයකු ලෙස දොරට වැඩමවූ මෙහි නිර්මාපකයා අකාලයේ සමුගත් ප්රවිණ සංගීතඥ ඔස්ටින් මුණසිංහ ය.
පහත පළකරනුයේ හෙළ ගීත කලාව වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය කෙබඳුද යන්න පිළිබඳව කරන කෙටි සඳහනකි.
දිවයිනේ නමගිය කලාකරුවන් රැසක ජන්ම භුමිය වූ මොරටුවේ කටුබැද්දේ වැසියකු ලෙසින් 1941 වසරේ දී උපත ලද හෙතෙම ගම්පියසේ පාසලේම සිසුවකුව පසුව එවකට හේවුඩ් නමින් හැඳින්වූ රජයේ සංගීත විදුහල වෙතින් නියමිත සයවස් ශිල්ප ඥානය ලැබීය.
පසුව 1962 සිට ප්රවිණ නාට්‍යවේදී හෙන්රි ජයසේනගේ නාට්‍යයන්හී වාද්‍ය වෘන්දයේ සාමාජිකයකු ව කලක් කටයුතු කරමින් උසස් අධ්‍යාපනය සඳහා 1967 වසින් භාරතයේ ලක්නව් සංගීත පිඨයට ඇතුළත්විය, පෙරළා පැමිණි මුණසිංහ සංගීතවේදියා 1973 සිට සිය ගුරු භූමිකාවට පණ පෙව්වේ කෑගලු දිස්ත්‍රික්කයේ තෝලංගමුව මධ්‍ය විදුහල වෙත සිය ප්‍රථම පත්වීම ලබාගනිමිනි. මේ අතරවාරයේ ඔහු ලාංකීය කලා ක්ෂේත්රයේ විවිධ කටයුතු උදෙසා සිය සක්‍රිය දායකත්වය සැපයීය.
1983 වසරේ පටන් ඉහත ගීතය බිහිකළ යුගයේ දී ඔහු කොළඹ මහනාම මහ විදුහලේ සංගීතාචාර්යවරයා ලෙස සේවය කරමින් සිටි අතර විදුහල් ගීතයේ ස්වර රචනයට දායක වීමෙන් නොනැවතී සංගීත අංශයෙන් ජයග්‍රහණ රැසක් අත්කර දෙන්නට සමත් විය.
සිංහල සුභාවිත ගීයේ තිඹිරි ගෙය වූ ජාතික ගුවන් විදුලියේ රැඳෙමින් 70 දශකය උදාවේ පටන් ඔහු බිහිකළ නිර්මාණ අදට ද රසික මතකයෙන් බැහැර නොයයි.
ගායිකා සුජාතා අත්තනායක හඬ මුසුකළ ඈත දියඹ වැන්නේ (රත්නාලංකා අබේවික්‍රම) - රණඹර අභරණ ගෙල රැව්දී - නළලත අඩසඳ එළිය සිසිල (ප්‍රේමකීර්ති ද අල්විස්) සඳ බැස නෑ වෙසක් සඳ (ලූෂන් බුලත්සිංහල) මාලනී බුලත්සිංහලගේ මා එක්කලා අමනාපව (ප්‍රේමකීර්ති)- ඇය හා ගුණදාස කපුගේ ගැයූ දම් පාටින් ළා සඳ බැසයනවා (ලූෂන් බුලත්සිංහල) ත්‍යාගා එන්. එඩ්වර්ඩ් ගැයූ එදා මෙන්ම අද (දයානන්ද කුමාරසිරි) අනුලා බුලත්සිංහල ගැයූ ඉද්ද මල්දෙණිය (රත්න ශ්‍රී විඡේසිංහ) ඇය විඡේරත්න වරකාගොඩ යුග ගීය - රඟහල දැන් නැත (හඩ්සන් සමරසිංහ) අබේවර්ධන බාලසූරියගේ නීල නෙත රතදර නළවා (හේමන්තා තිලකසිරි) - ඒ. ඡේ. ධර්මරත්නගේ රුවන් කැඵම් වතුරේ (ලූෂන්) ඒව අතරින් ප්‍රමුඛය.
"ඉහත ගී එළිදුටු 70 දශකයේදීම වෙළෙඳ තැටියක ගීත යුගළයක් උදෙසා ඔහු තනු පමණක් නිර්මාණය කළේ ගීත රචක කේ. ඩි. කේ. ධර්මවර්ධනගේ ඇරයුමකිනි. මිල්ටන් මල්ලවාරච්චි හඬින් එළිදුටු මලින් මලේ රොන් ගන්නා සහ කියනු එපා බොරු නම් වූ ඒවා උදෙසා සංගීත සංයෝජන පසුව වෙනත් සංගිතඥයකු විසින් සිදු කෙරිණි.
1974 සම්මානනීය රතු හැට්ටකාරි වේදිකා නාට්‍යයේ නිර්මාතෘ ලූෂන් බුලත්සිංහල විසින්ම ඒ වෙනුවෙන් පබැඳු යස ඉසුරු පිරුණු තැනා (ජය ශ්‍රී චන්ද්‍රජිත් ගායනය) දී කිරි දී කිරි (අනුලා බුලත්සිංහල ගායනය) ද මුණසිංහ සත්සර ඔස්සේ හැඩගැන්විනි.
මීට අමතරව ඔහුගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය ගී අතර නාට්‍ය ශිල්පී ජැක්සන් ඇන්තනි ගැයූ හනික වරෙව් කොල්ලනේ (බන්දුල ජයවර්ධනගේ බෙරහඬ රූපවාහිනී ප්‍රතිනිර්මාණය) සහ රොඩ්නි වර්ණකුල ගේ හා හා ළඳේ (හෙක්ටර් කුමාරසිරිගේ බිසෝ නාට්‍යය) මෙන්ම පලංචියේ නැත දෙවියෝ (මර්සි එදිරිසිංහගේ විශ්ව සුන්දරී) වෙති.
1976 -82 ජපානයේ එන්. එච්. කේ. ආයතනය මෙහෙයවූ තරගයන් උදෙසා ගුවන් විදුලි අධ්‍යාපන සේවය පිළිවෙළින් නියෝජනය කළ මාලනී බුලත්සිංහල ගැයූ මේ රට මගේ රට (පද - මිරැන්ඩා හේමලතා) සහ ලලිත් කුමාර ගැයූ මුහුද ලස්සනයි (ඒ. එච්. පියසේන) යන මේ නිර්මාණ බිහිකරවා විශේෂ ජූරි සම්මාන හිමිකරගන්නා ලදී.
සඳා සොඳුරු අඹ උයනේ (ඩෝල්ටන් අල්විස්)- ආලයවන් මනරම් - හිතුමතේට දිග ගිය දුවේ මෙන්ම පවන ප්‍රසංගයේ ගැයුනු බෝ මැඩ වගුරන කිරි කළ දහසින් - පානම්පත්තුවේ ඩිංගිරි අම්මා ආචාර්ය නන්දා මාලනී වෙනුවෙන් කළ ඔහු තැනූ ජනප්‍රිය ස්වර රචනාවන්ය (පද-මහාචාර්ය සුනිල් ආරියරත්න) 90 දශකයේ නව පරපුර නියෝජනය කළ ගායිකා නිරෝෂා විරාජිනී ගැයූ පුන්සඳ රෑට ඇවිදින් (රත්න ශ්‍රී විඡේසිංහ) ඔහුගේ පසුකාලීන සුවිශේෂි නිර්මාණයකි.
1983 දී බන්දුල ජයවර්ධනගේ බෙරහඬ නාට්‍යයේ ජාතික රූපවාහිනි ප්‍රතිනිර්මාණය හා පසුව 1992-3 - නිදහසේ තේමාව හා නිදහසේ උල්පත - 1995-6 සරසවි පෙරහැර 1997 දී මියුරු සර වසන්තය යන මෙකී වැඩසටහන් උදෙසා දායකත්වය දක්වමින් ඔහු බිහිකළ ගීතද ගණනාවකි.
රසික ප්‍රසාදය දිනාගත් බොහෝ ගීත නිර්මාණයේදී සිය ගම් පියසේදී විවිධ අවස්ථාවන්හිදී අත්දුටු ජන සංගීතයේ රිද්ම රටා ද ඇසුරු කළ බව ඔහු විසින් හෙළිකරනු ලැබ තිබුණු අතර වෙනත් අයගේ නිර්මාණ අනුකරණය කිරීම ද පිළිකෙව් කළේය. වරින් වර රෝගාතුර වූ ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතරවාරයේ 1997 වසරේ අප්‍රේල් 28 දින දී හෘදයාබාධයකට ලක්ව මෙලොව හැර ගියේය.
(ස්තුතියි ඔස්ටින් මුණසිංහ මහත්මිය - සොඳුරු ගාන්ධර්වයා කෘතිය ඇසුරෙනි.)
ප්‍රභාත් රාජසූරිය