ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ චිත්‍රපට ගැන කියා ඇත්තේ ඒවා නුදුටු අයකු ”ඉරයි හඳයි නුදුටු ලොවක ජීවත්වන්නකු වගෙයි” කියායි.
සත්‍යජිත් රායි Satyajit Ray ඉන්දියානු චිත්‍රපට අධ්යක්ෂවරයකු වශයෙන් හැඳින්වුවද බෙංගාලි බසින් චිත්‍රපට තැනු අයෙක්. 20 වැනි සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්යක්ෂවරුන් අතළොස්ස අතරට වැටෙන ඔහුගේ මුල්ම චිත්‍රපටය ‘පාතේර් පංචාලි’ (1955) යි. ඔහුගේ එම චිත්‍රපටය කෑන්ස් චිත්‍රපට උළෙලේ ‘හොඳම මානුෂීය වාර්තා චිත්‍රපටය’ යන සම්මානය ඇතුළු අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල දී අන්තර්ජාතික සම්මාන 11ක් දිනා ගත්තා. ඔහුගේ නිර්මාණ සඳහා ඉන්දියානු ජාතික සම්මාන 32ක් හිමි වුණා. ඔහුට ජීවිත කාලයක් පුරා කළ මෙහෙය වෙනුවෙන් 1992 දී ඔස්කාර් සම්මානය හිමි වුණා. ඉන්දියානු රජය 1992 දී ඔහු ‘භාරත රත්න’ සම්මානයෙන් ද පිදුවා. සත්‍යජිත් රායිගේ කලාවට ඇති ලැදියාව හා අභිප්‍රාය ඔහුගේ වදන්වලින් ම පැවසීම වඩාත් උචිතයි.
”1928 දී මා මගේ අම්මා සමග තාගෝර්තුමාගේ සරසවියට ගියා. මගේ අතේ තිබුණා, අලූතින් ම මිලදී ගත්තු සමරු සටහන් පොතක්. අම්මා ඒ පොත තාගෝර් තුමා අතට දීලා කිව්වා, ‘මගේ පුතා ඔබෙන් කවියක් ලියල ඉල්ලනව මේ සමරු පොතට.’ එතුමා කිව්වා; ‘පොත මගෙ ළඟ තියල යන්න’ කියල. පහුවදා එතුමා ඒ පොත මට දෙමින් මෙහෙම කිව්වා; ‘මං මෙහි ඔබ වෙනුවෙන් යමක් ලිව්වා. ඒක ඔබට මේ වයසෙදි තේරෙන්නෙ නැති වෙයි. ඒත් වැඩෙන කොට තේරේවි’ ”ඒ කවියේ සඳහන් වූ අරුත මෙයයි:
‘මා ලෝකය වටේ ගියා,
දකින්නට ගංගාවල්,කඳු පන්ති.
මා වියදම් කළා ඒ සඳහා ලොකු මුදලක්.
මා හුඟාක් දුර ඇවිද්දා. මා හැම දෙයක් ම දැක්කා.
ඒත් මට අමතක වුණා දකින්නට
මගේ නිවස අසල ම පිටතින් ඇති පුංචි තණ තුඩක දැවටුණු පිනි බිඳුවක අසිරිය.
ඒ පිනිබිඳුව තුළින් ඔබට දකින්නට පුලූවන් ඔබ අවට ඇති මුළු විශ්වයම.’”
පසු කලෙක රායිගේ චිත්‍රපට තුළින් පිළිබිඹු වූයේ ද තාගෝර්ගේ ඒ දර්ශනයයි. මුලදී සත්‍යජිත් රායි ළමයින් සඳහා පොත් ලිව්වා; ඔහු ම ඒවාට චිත්‍ර ඇන්දා. ඒ ඔහුගේ පියාගේත් පියාගේ පියාගේත් (සීයාගේත්* අඩි පාරේ යමින්. පියාත් සීයාත් ලියූ ළමා පොතපත හා සඟරා අදත් ළමුන් බෙංගාලි බසින් කියවනවා. සත්‍යජිත් රායිගේ පරම්පරා ඉතිහාසය පරම්පරා දහයක් තෙක් දිව යන්නක්.
සත්යජිත්ට යම්තම් වයස තුන පිරෙද්දී ඔහුගේ පියා, සුකුමාර් රායි මිය ගියා. ඔහුගේ මව, සුප්රභා, ඇයගේ සුළු ආදායමෙන් සත්යජිත්ව හදා වඩා ගත්තා. කල්කටාවේ ආණ්ඩුවේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලත් සත්‍යජිත් කල්කටා විශ්ව විද්‍යාලයෙන් බී.ඒ. ගෞරව උපාධියක් දිනා ගත්තා. ඔහුට පරම්පරාවෙන් උරුම වූ කලා ලැදියාව නිසා මව ඔහුව තාගෝර් තුමාගේ ශාන්තිනිකේ්තනයේ විශ්ව භාරතී සරසවියට ඇතුළු කළා. ඔහු එහි දී චිත්‍රශිල්පය හා සංගීතය ඇතුළු ලලිත කලාවන් රැසක් හැදෑරුවා.
1943 දී රායි දැන්වීම් සමාගමක චිත්රශිල්පියකු වශයෙන් සේවය කළා. ඊළඟට සිග්නට් සමාගමට පොත් කවර නිර්මාණය කළා. බෙංගාල සම්භාව්‍ය නවකතාවක් වූ බිභූතිභූෂාන් බන්දෝපාද්යගේ ‘පතේර් පංචාලි’ ළමයින් සඳහා වූ විශේෂ මුද්‍රණයකට එහි පොත් කවරය හා ඇතුළත චිත්‍ර නිර්මාණය කළා. ‘ආම් අන්තිර් භෙපූ’ (අඹ ඇට නළාව) නම් වූ ඒ ළමා පොත ඉතා ජනප්‍රිය වුණා. ඔහුගේ සිතත් ඊට තදින් ඇදී ගියා. සත්‍යජිත් රායිගේ මුල්ම චිත්‍රපටය වූ ‘පාතර් පංචාලි’ චිත්‍රපටයට පාදක වූයේ වූ බෙංගාලි ජාතික ලේඛක බිභූතිභූෂාන් බන්දෝපාද්යගේ ඒ නවකතාවයි.
එය බෙංගාලි ජන ජීවිතය පසුබිම් කර ගෙන 1928 දී ලියූවක්. ‘පාතේර් පංචාලි’ චිත්‍රපටයෙන් පස්සේ එහි ආ අපූගේ ලෝකය ඇසුරෙන් ඔහු තවත් චිත්‍රපට දෙකක් හැදුවා. ඒවා තමයි, ‘අපරාජිතෝ’ (1956) හා ‘අපු සංසාර්’ (අපුගේ ලෝකය - 1959). අපු ත්‍රිත්වය කියලයි, ඒවාට කියන්නේ. සත්‍යජිත් රායි වෘත්තාන්ත චිත්‍රපට, වාර්තා චිත්‍රපට හා කෙටි චිත්‍රපට වශයෙන් නිර්මාණ 37ක් ලොවට දායාද කර තියෙනවා. ඔහුගේ සිත සිනමාවට ඇදී ගියේ කීර්තිමත් ප්‍රංශ චිත්‍රපට අධ්යක්ෂ යාන් රෙනෝ (Jean Renoir) ඔහුගේ ‘ගංගා’ චිත්‍රපටය කරන්නට ඉන්දියාවට ආ වේලේ ඔහුට ඒ සඳහා දර්ශන තල සොයා දෙන්නට ඔහු කැටුව ගිය මුල් අවස්ථාවේදීමයි.
ඉන්පසු රැකියාවේ කටයුත්තකට ලන්ඩන් නගරයට තෙමසකට ගිය ඔහු එහිදී එවකට ලෝකයේ විශිෂ්ට නිර්මාණ ලෙස සලකනු ලැබූ චිත්‍රපට 99ක් නරඹන්න අවස්ථාව උදා කර ගත්තා. එයින් ඔහුගේ වඩාත් සිත් ගත්තේ ඉතාලි නවරැල්ලේ සිනමාකරු විටෝරියෝ ඩි සිකා (Vittorio De Sica) ගේ ‘බයිසිකල් තීව්ස්’ චිත්‍රපටයි. එය නරඹා ඔහු සිනමාහලෙන් එළියට ආවේ සිනමාකරුවකු වන දැඩි අධිෂ්ඨානයෙන් යුතුවයි. සත්‍යජිත් රායිගේ චිත්‍රපට අතර ලොව පුරා විචාරකයන්ගේ පැසසුම් ලත් චිත්‍රපට රැසක් ම තියෙනවා.
එයින් කැපී පෙනෙන ඒවා නම් ‘පාතෙර් පංචාලි’(1955), ‘අපරාජිතෝ’(1956), ‘ජාල් සඝාර්’(1958), ‘අපූ සංසාර්’(1959), ‘දේවි’(1960), ‘කාංචන්ජුංගා’(1962), ‘මහානගර්’(1963), ‘චාරුලතා’(1964) ආදියයි. මේ හැම චිත්‍රපටයක් ම වීඩියෝ මගින් නරඹන්න පුළුවන්. සත්‍යජිත් රායිගේ ‘පාතේර් පංචාලි’ චිත්‍රපට 1955 දී ජගත් සම්මානයට පාත්රවීමත් සමඟ ඒ ඔස්සේ රායිගේ අනෙක් චිත්‍රපටවලට මෙන්ම මිර්නාල් සෙන්, චිදානන්ද දාස් ගුප්ත වැනි ඔවුන් සිනමාකරුවන්ට ද සිය කෘතීන් ලෝකයා හමුවේ තබන්නට අවකාශ සැලසුණා. ඒ අනුව කලාත්මක ඉන්දියානු චිත්‍රපට රැසක් රස විඳින්නට ලෝක සිනමා ලෝලයන්ට අවස්ථාව ලැබුණා.
- පර්සි ජයමාන්න