අපි කවුරුත් දන්නා ජෝන් මිල්ටන් බටහිර ජාතිකයෙකි. ඔහු ලෝකයේ හිටපු ශ්‍රේෂ්ඨ කවියෙකි. විශිෂ්ට ග්රන්ථ රචකයෙකි. ජෝන් මිල්ටන් පසුකාලයේදී අන්ධභාවයට පත්වුණි. ඔහුගේ විශිෂ්ටතම කෘතිය වන්නේ “Paradise Lost”. මෙහිදී, මේ ග්‍රන්ථය අපට වැදගත් වන්නේ, වෙන කිසිවක් නිසා නොව මේ ග්‍රන්ථය ඔහු නිර්මාණය කළේ ඔහු අන්ධ භාවයට පත්වූවාට පසුව වීම නිසය.
මේ ආකාරයේ රටට, දැයට, ලෝකයට විශිෂ්ට සේවාවන් ඉටුකළ ඉහළම ප්‍රසිද්ධියට, ඉහළම ජනප්‍රියත්වයට, ඉහළම ගෞරවයට පත් උසස් තනතුරු දැරූ අන්ධ පුද්ගලයන් රාශියක් පිළිබඳ විවිධ ක්ෂේත්රවලින් අපට සොයාගන්න පුළුවනි. සංගීතය, අධ්‍යාපනය, සමාජ සේවය, ඒ වගේම, දේශපාලනය ගත්තාම නගරාධිපතිවරු, කොන්ග්රස් මන්ත්‍රීවරු, සෙනෙට් සභිකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විනිසුරුවරුන්, ක්‍රීඩකයන් මේ ආදී වශයෙන් රාශියක් සොයාගන්න පුළුවනි.
දෘෂ්‍යාබාධිත අපේ වාසනාවට ලොව උපන් තවත් පුද්ගලයෙක් ලෙස ලුවී බ්‍රේල් හඳුන්වාදිය හැකිය.
ලුවී බ්‍රේල් මහතා උපන්නේ වර්ෂ 1809 ජනවාරි 04 වෙනිදා, ප්‍රංශයේ කූප්රේ නම් ග්‍රාමයේ. එතුමා මියගියේ 1852 ජනවාරි 06 වෙනිදා. අවුරුදු 43ක පමණ කෙටි කාලයක් ජීවත් වූ ලුවී බ්‍රේල් ඇස් නොපෙනෙන ජනතාවට ලියන්නට සහ කියවන්නට උපකාර වන බ්‍රේල් ක්‍රමය නිපදවූවා. එම නිසා තමයි, එතුමාගේ නමින් ම ඒ ක්‍රමය “බ්‍රේල් ක්‍රමය” කියා හඳුන්වන්නේ.
අන්තර්ජාතික කීර්තියට පත් ලුවී බ්‍රේල් ප්‍රංශයේ ජාතික වීරයෙකි. සිවුදෙනකුගෙන් යුත් එතුමාගේ පවුලේ බාලයා වූයේ ලුවී බ්රේල්ය. සාමාන්‍ය පවුලක උපන් කුඩා ලුවීගේ පියා අශ්ව සෑදල සදන්නෙක්. ඒ දිනවල එය ලාභ ලබන වෘත්තියක්. කුඩා ලුවී නිතරම තම පියාගේ වැඩ කාමරයට ගොස්, වැඩ කරන ආයුධ සමඟ සෙල්ලම් කිරීමට පුරුදුවී සිටියා. දිනක් පියා වැඩබිමේ නොසිටි අවස්ථාවක වැඩ කාමරයට ගොස්, කටුවක් ගෙන සම් කැබැල්ලක් සිදුරු කිරීමට උත්සාහ කළා. අභාග්‍යක මහත, කටුව ලිස්සා ගොස් ලුවීගේ වම් ඇහේ වැදුණා. ඇස තුවාල වුණා. මේ වනවිට ලුවීට වයස අවුරුදු 3යි. කිසිම සැත්කමකින්, කිසිම වෛද්‍යවරයකුට ඇස සුව කිරීමට නොහැකි වුණා. මව්පියෝ ලුවී පිළිබඳ අවධානය වැඩි කළා. එම නිසා, කුඩා ලුවී අධෛර්යයට පත්වුණේ නැහැ. වම් ඇසේ දකුණු ඇසට ද පැතිරී, වයස අවුරුදු 5දී කුඩා ලුවී පූර්ණ අන්ධභාවයට පත්වුණි.
1819 දී, ප්‍රංශයේ තිබූ දෘශ්‍යාබාධිත ළමුන්ගේ පාසලට ලුවී ඇතුළත් වුණි. ඉගෙනීමට දක්ෂයෙක් වූ ලුවී ගුරුවරුන්ගේ සහ සහෝදර ශිෂ්‍යයන්ගේ ආදර ගෞරවරයට පත්වුණි. අන්ධ ළමුන්ට ලියන්නට සහ කියවන්නට පහසු ක්‍රමයක් නිපදවන්නට එහිදී ලුවී උත්සාහ කළේය. අන්තිමේදී දැනට අපි භාවිතා කරන තිත් හයකින් යුත් ක්‍රමය සොයාගත්තා. නමුත්, ලුවී නිපදවූ මේ බ්‍රේල් ක්‍රමය ප්‍රචලිත වුණේ ලුවී මියගිය පසුවය. ලුවී මියගොස් වසර 100 කට පසු එනම්, 1952 වසරේ තම රටේ අන්ධ ජනතාවට පමණක් නොව ලෝකයේ මුළු මහත් අන්ධ ජනතාවටම ලුවීබ්රේල් කළ විශිෂ්ට සේවයට උපහාර දැක්වීමක් වශයෙන් එතුමා ජාතියේ වීරයෙක් හැටියට ප්‍රංශය නම් කළේය.
ඒ අනුව, එතුමා භූමදාන කළ කූප්රේ ග්‍රාමයේ සුසානභූමියෙන් එතුමාගේ භෂ්මාවශේෂ ඉවත්කොට, ජාතියේ වීරවරයන් තැන්පත් කරන පැරීසියේ “පැන්තියොන්” නම් වීරභූමියේ ඒ භෂ්මාවශේෂ තැන්පත් කළා. මුලින් ම, තිත් හය නොහොත්, බ්‍රේල් ක්‍රමය කියවූ ඒ ඓතිහාසික අත්දෙක දේහය තැන්පත් කළ මංජුසාව උඩින් තැබීමට උපදෙස් දුනි.
ආගමික කර්තෘවරුනට නොදෙවෙනි සේවයක් මුළුමහත් මානව සංහතියට ඉටුකළ ලුවී බ්‍රේල් තුමා නූපදින්නට අපේ ලෝකයේම ඇස් නොපෙනෙන ජනතාවට යන කලදසාව කොයි ආකාරයේ එකක් විය හැකිදැයි අපට කීමට අපහසුය.
එම්. සී. ජයසිරි, සභාපති
අන්ධ පුරවැසි පෙරමුණ
- Dinamina