නළුනිළියන්ට දේවත්වයෙන් සලකන ඉන්දීය ජනතාව අතර රජිනිකාන්ත් සිනමාවෙන් ගොඩනගා ගත් දැවැන්ත ප්‍රතිරූපය තමිල්නාඩුවේ දේශපාලන සුළි කුණාටු හමුවේ තවදුරටත් එලෙසින්ම රඳවා තබාගැනීම එක්තරා අන්දමක අභියෝගයකි. එය රිදී තිරයේ සිය ප්‍රතිවාදින් මෙල්ල කරමින් ප්‍රේක්ෂකයන් අතර සුපිරි වීරයකු බවට පත්වීම තරම් රජිනිට පහසු කාරණාවක් නොවනු ඇත.
තම වාසනාව උරගා බැලීමට ඊයේ පෙරේදා තමිල්නාඩු දේශපාලන භූමියට පා තැබූ දෙමළ සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත් මේ වනවිට කරළියේ වැඩිපුරම කතාබහට ලක්වන චරිතයක් බවට පත්වී සිටී. කොලිවුඩ් සිනමාවේ එතෙක් මෙතෙක් වඩාත්ම සාර්ථක නළුවා බවට පත්වී සිටින 67 හැවිරිදි රජිනිගේ අසහාය රංගන ප්‍රතිභාව තමිල්නාඩු ප්‍රාන්තයේ මිලියන 80ක ජනතාව අතර ඔහුට දේවත්වයෙන් පිදුම් ලබන ප්‍රතිරූපයක් නිර්මාණය කරදී තිබේ. එහෙත් දේශපාලන නායකයකු ලෙස දෙවැනි ගමන ආරම්භ කරන රජිනිගේ ජීවිතයේ සැඳෑ සමය කෙබඳු ස්වරූපයක් ගන්නේදැයි යන්න මේ වනවිට එරට දේශපාලන විශ්ලේෂකයන් අතර අනාවැකි පිට අනාවැකි පළවීමට පටන්ගෙනය.
පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා තම දේශපාලන ගමන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගතවු දින කිහිපය තුළ තමිල්නාඩු ප්‍රාන්තයේ වීදි පුරා රජිනිගේ දැවන්ත කටවුට් පිරි ඉතිරෙමින් තිබේ. එසේ වුවත් ඔහුගේ රංගනය අබිබවා යන තරමේ ජනප්‍රියත්වයක් දේශපාලනය තුළින් ලබාගත හැකිවනු ඇතැයි අනාවැකි පළ කිරීමට තවම වේලාසන වැඩිය.
අතීතයේ සිටම ඉන්දීය සිනමාවේ සුප්‍රකට නළු නිළියන් දේශපාලනයට පිවිසීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වී තිබූ බැව් සැබෑය. ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙන දේශපාලන චරිත බිහිවූයේ තමිල්නාඩුවෙන් බවත් සැබෑය. එදා මෙදා තුර ඉන්දියාවේ රිදී තිරයෙන් බිහිවී දේශපාලන පොර පිටියේ සිය දිග පළල ලකුණු කළ දේශපාලන නායකයන් අතර වඩාත්ම සාර්ථක නළුවා බවට පත්වී සිටියේ එම්.ජි.ආර්.ය. ඔහු තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ පියා බවට පත්වෙමින් දශක ගණනාවක් සිය ආධිපත්‍ය පතුරුවාලීමට සමත්විය. ඉන් පසුව ඔහුගේ තැන ගත් දෙමළ සිනමාවේ සරාගී නිළියක වූ ජයලලිතාට තමිල්නාඩුව දිග්විජය කිරීමේ අවස්ථාව උදාවූයේ අනියම් පෙම්වතිය ලෙස එම්.ජී.ආර්.ගේ දේශපාලන ජීවිතයේ වැඩිම පංගුකාරිය වී සිටීම නිසාය. ඔහුගෙන් පසුව තමිල්නාඩුවේ අම්මා බවට පත්වෙමින් දේශපාලන පොර පිටියේ ප්‍රබල ප්‍රතිරූපයක් ගොඩනගාගත් ජයලලිතාගේ මරණයෙන් පසුව ඇතිවූ පුරප්පාඩුව පිරවීම දැන් රජිනිගේ අභිප්‍රාය වී තිබේ.
ජාතිය, ආගම මත පදනම් නොවී තමිල්නාඩුවේ ජනතාවට සාමාකාමී දිවිපෙවෙතක් උදාකරදීමේ අරමුණ ඇතිව නව දේශපාලන පක්ෂයක් ද බිහි කිරීමට රජිනි ඉදිරිපත්වී සිටී. ඔහුගේ බලාපොරොත්තුව වී ඇත්තේ වසර 2021 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමය.
නළුනිළියන්ට දේවත්වයෙන් සලකන ඉන්දීය ජනතාව අතර රජිනිකාන්ත් සිනමාවෙන් ගොඩනගා ගත් දැවැන්ත ප්‍රතිරූපය තමිල්නාඩුවේ දේශපාලන සුළි කුණාටු හමුවේ තවදුරටත් එලෙසින්ම රඳවා තබාගැනීම එක්තරා අන්දමක අභියෝගයකි. එය රිදී තිරයේ සිය ප්‍රතිවාදින් මෙල්ල කරමින් ප්‍රේක්ෂකයන් අතර සුපිරි වීරයකු බවට පත්වීම තරම් රජිනිට පහසු කාරණාවක් නොවනු ඇත.
බස් කොන්දස්තරවරයකු ලෙස මුල්කාලයේ සිය ජීවිකා වෘත්තීය ආරම්භ කර පසුව 25 හැවිරිදි වියේදී සිනමා නළුවකු වූ රජිනි දශක ගණනාවක් පුරා කොලිවුඩ් සිනමාවේ අසහායා නළුවා ලෙස වැජඹෙමින් ප්‍රේක්ෂකයන් කුල්මත් කරන්නට සමත්වූවත් දේශපාලඥයකු ලෙස ඔහුගේ භූමිකාව ජනතාව ජනප්‍රියවීම තවමත් අවිනිශ්චිත තත්ත්වයක පවතින්නකි. දකුණු ආසියාවේ වැඩිම මුදලක් අයකරන නළුවන් අතර ජැකී චෑන්ට පමණක් දෙවැනි වන රජිනිකාන්ත් රංගනයෙන් පුළුල් කරගත් නිම්වළලු නිරන්තරයෙන් දේශපාලන වශයෙන් හැලහැප්පීම්වලට භාජනය වන තමිල්නාඩුව වැනි ප්‍රාන්තයක කෙතරම් දුරට සාර්ථක වන්නේදැයි යන්න අනුමාන කිරිමට තරම් දැනුමක් ඔහු සතුව නැතැයි තමිල්නාඩුවේ හිටපු දේශපාලන නායකයන්ගේ අදහසය.
මුත්තු, තලපති, පඩෙයියප්පා, අරුනාචලම්, බාෂා, සිවාජි, එන්දිරන්, රාවන්, කබාලි වැනි දෙමළ සිනමාවේ ආදායම් වාර්තා පිට වාර්තා තැබූ මතක හිටින විදිහේ චරිත ඇතුළත් චිත්‍රපට රැසක සුපිරි වීරයා වූ රජිනිගේ සිනමා රංගනය ඔහුට තමිල්නාඩු ජනතාවගේ හදවතේ සදාකාලිකව ලැගුම් ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ. ඔහු රඟපෑ චිත්‍රපටයක් නිකුත් වන තුරු ලොව පුරා විසිරී සිටින දෙමළ ජනතාව බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.
ඉන් නොනැවතී තම සිනමා වීරයාගේ දෙබස් යළි යළිත් සිහි කරමින් ප්‍රේක්ෂකයන් රජිනිගේ චරිතය තව තවත් සිය ජීවිතයට සමීප කරගනිති. රජිනිකාන්තගේ රංගනයට ප්‍රේක්ෂකයන් ආකර්ශනය වන්නේ ද එවැනි දෙබස් නිසාවෙනි.
ඔහුගේ ඇතැම් චිත්‍රපට දෙබස් (punch word) දේශපාලන ජීවිතයට කදිම අඩිතාලමක් සකස් කර දුන් ඒවා බව ඇතැමුන් කියති. ඒවා රජිනිගේ දේශපාලන අවතීර්ණයත් සමග නැවත කරළියට එක්වී තිබේ. තමිල්නාඩුවේ වීදි පුරා ඉදිකර ඇති ඔහුගේ රුව ඇතුළත් දැවැන්ත කටවුට්වල එවැනි දෙබස් ද අඩුවැඩි නැතිව සඳහන් කර තිබේ.
‘මම කවදද එන්නේ..කොහොම එන්නෙ කියලා කවුරුවත් දන්නෙ නෑ. ඒත් එන්න ඕන වෙලාවට එනවාමයි.‘ එය ඔහුගේ ‘මුත්තු‘ චිත්‍රපටයේ නිතර නිතර කියන දෙබසකි.
‘දෙවියන් කියනවා..මම කරනවා..‘ ඔහුගේ එම දෙබස් කණ්ඩය ඇතුළත් වන්නේ ‘අරුනාචලම්‘ චිත්‍රපටයේය.
‘මම කියනදේත් කරනවා...නොකියනදේත් කරනවා..‘ ඔහු එම දෙබස් කණ්ඩය නිතර නිතර කියන්නේ ‘අන්නාමලෙයි‘ චිත්‍රපටයේය.
‘ඌරු රැළ තමයි රංචු පිටින් එන්නේ. ඒත් කොටියා එන්නේ තනියෙන්.‘ ඔහු ‘සිවාජි‘ චිත්‍රපටයේ මේ දෙබස් ඛණ්ඩය නිතර නිතර කියයි.
‘මම එකපාරක් කිව්වාම සිය පාරක් කිව්වා වගේ තමයි‘ තමිල්නාඩුවේ සිනමා ලෝලින් අතර රජිනිගේ වඩාත්ම ජනප්‍රිය මේ දෙබස් කණ්ඩය ‘බාෂා‘ චිත්‍රපටයේ ඇතුළත්ය.
ඔහුගේ දේශපාලන ගමනට ඒවා කෙතරම් දුරට අනුගත වන්නේදැයි යන්න වෙනම කාරණාවකි. එහෙත් ඉන් කුල්මත්වූ ප්‍රේක්ෂකයන්ගේ විසිල් පහරින් සහ අත්පොලසන් හඬින් සිනමාශාලා ගිගුම් දෙන අයුරු දකින ඕනෑම අයකුට නම් රජිනිගේ දේශපාලන ගමන සාර්ථක එකක් වනු ඇතැයි සිතීම අරුමයක් ද නොවේ. මන්ද තමිල්නාඩුවේ දේශපාලකයන්ට කරළියේ වැජඹීමට දැනුමට හා පරිණතභාවයට වඩා ජනප්‍රියත්වය ප්‍රබල සාධකයක් බවට පත්වී ඇති බැවිනි.
සිනමාවේ සුපිරි වීරයකු ලෙස රජිනිකාන්ත්ට තමිල්නාඩුවේ ප්‍රතිරූපයක් ගොඩනගාගැනීමට ඉවහල් වී ඇත්තේ ඔහුගේ රංගනය පමණක්ම නොවේ. මෙවැනි දෙබස්වලින් ප්‍රේක්ෂකයන් අමන්දානන්දය පත් කිරීමෙන් ද රජිනි දෙමළ ජනතාව අතර වීරයකු බවට පත්වී සිටී. ඒවා සිනමාවට පෙම් බඳින මිලියන ගණනාවක තමිල්නාඩු ජනතාවගේ හදවත් ස්පර්ශ කිරිමට සමත්වී ඇත. තමිල්නාඩුවේ දේශපාලඥයන්ට ජනතාවගේ හදවත් දිනාගැනිමට දේශපාලන දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බව රජිනිගේ දේශපාලන ගමනට දැනටමත් ලැබී ඇති ජනප්‍රියත්වයෙන් කදිමට පෙන්නුම් කෙරේ.
ෆවුස් මොහොමඩ්