ශාලාවේ විදුලි එළි නිවී ගියේ ය. තිරය මත පතිත වූ ආලෝකයත් සමඟ මිනිසකු කතා කරනු දක්නට ලැබිණි. විස්මයකි. මේ මනුස්සයා කතා කළේ සිංහලෙනි. ඊට පෙර රිදී තිරය මත කිසිවකු සිංහලෙන් කතා කරනු දුටු කෙනෙක් නොවී ය. ඉතින් නරඹන්නෝ ප්‍රීතියෙන් පිනා ගියහ. විස්මයෙන් බලා සිටියහ. තිරය මත සිට කතා කළ තැනැත්තා පැවසූයේ මෙවන් දෙයකි.
“ප්‍රථම සිංහල චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව මම තමුන්නාන්සේලාට ඉදිරිපත් කරමි.” (මේ දක්වා ඇත්තේ ඔහු ඉදිරිපත් කළ අදහසයි. ඔහුගේ තෙපලූ වචන මීට වෙනස් මඳකින් හෝ වෙනස් විය හැක.) ඒ වචන මෙසේ තිරය මත සිට කතා කළ තැනැත්තා කතා කළේ කැඩුණු සිංහලෙනි. මෙසේ රිදී තිරය මත සිට මුලින් ම සිංහල කතා කළ තැනැත්තා ‘එස්. එම්. නායගම්’ ය. මුල් ම සිංහල කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍ර කලා මුවිටෝන් නම් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ නායගම් ය. ඒ අවුරුදු 71 කට කලිනි. දිනය හරියට ම සඳහන් කරන්නේ වී නම් ඒ 1947 ජනවාරි 21 වැනිදා ය.
කඩවුණු පොරොන්දුව නම් මුල් ම සිංහල කතානාද චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන ලද්දේ කොළඹ කිංග්ස්ලි සිනමා ශාලාවේ දී ය. මෙම මංගල දර්ශනයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ ඩී. එස්. සේනානායක මැතිතුමා ය. ඒ වන විට 1947 මහ මැතිවරණය පවත්වා නොතිබූ බැවින් ඩී. එස්. සේනානායක මැතිතුමා අගමැති ධුරයට පත් වී නොතිබිණි. එදින චිත්‍ර කලා මුවිටෝන් සමාගම මගින් සමරු පොත් රසිකයන් අතර බෙදා දී තිබුණු බවත්, සේනානායක මහතා ද ඔහුට ලැබුණු සමරු පොතේ තමන් ලවා අත්සන් තබා ගත් බවත් ‘එඩී ජයමාන්න’ නවසිය හැත්තෑව දශකයේ අගභාගයේ පළ වූ ‘සුරතුර’ සිනමා පුවත්පතට ප්‍රකාශ කර තිබී මා කියවූ බව මට මතක ය. කරුණාසේන ජයලත් හා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා යන දෙදෙනා ද ඉතා අසීරුවෙන් සෙනඟ අතරින් රිංගා යමින් මෙම මංගල දර්ශනය නැරඹූ බව පුවත්පත්වලට ලියා (ජයලත්), කියා (කේ. ඒ. ඩබ්ලිව්) තිබී මා කියවූ බව ද මතක ය. වසර හැත්තෑ එකකට පෙර පැවති මෙම මංගල දර්ශනය නැරඹූ අයෙක් අද නම් සොයාගත නොහැකි වෙති’යන්න මගේ විශ්වාසයයි. එවැන්නෙක් අද වන විට ජීවත්ව සිටිති’යි විශ්වාස කරන්නට අසීරු ය.
කඩවුණු පොරොන්දුව රූ ගත කරන අවධියේ දී අවශ්‍ය චිත්රාගාර පහසුකම් ලංකාවේ නොතිබිණි. (එකල එළිමහන් රූගත කිරීම් නොවී ය.) එබැවින් සියලු කටයුතු සිදුවූයේ ඉන්දියාවේ ය. කඩවුණු පොරොන්දුවේ කණ්ඩායම ද සිය රූගත කිරීම් උදෙසා දකුණු ඉන්දියාවට ගියහ. ප්‍රථම සිංහල චිත්‍රපටය සඳහා පාදක කරගත්තේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මිනර්වා කණ්ඩායමේ වේදිකා නාට්‍යයකි. බී. ඒ. ඩබ්ලිව්. ඇතුළු මිනර්වා කණ්ඩායමට සිනමාව පිළිබඳ කිසිදු අවබෝධයක් නොවී ය. ඔවුහු වේදිකා තිර හා උපකරණ ආදිය ද පොදි බැඳ ගෙන ඉන්දියාවට ගිය බව කියැවේ.
චිත්‍රපටය සඳහා එක් වූ ශිල්පීහු ද ඉන්දියානුවෝ වූහ. අධ්‍යක්ෂකවරයා වූයේ ජේ. සිංහ නමැති ඉන්දියානුවෙකි. කැමරා අධ්‍යක්ෂණය කළේ කේ. ප්‍රභාකර් ය. සංස්කරණයෙන් පකීර් සලී දායක විය. මලයාලම් ජාතිකයෙකු වූ නාරායන් අයියර් කඩවුණු පොරොන්දුවේ සංගීත අධ්යක්ෂවරයා විය. නළුනිළියෝ මිනර්වා නාට්‍යවල රඟපෑ නළු නිළි පිරිසකි. ඔවුන්ට සිනමාව පිළිබඳ අවබෝධයක් නොවූ හෙයින් රංගනය වේදිකාවේ ඔවුන් පුරුදු පුහුණු වූ ආකාරයට ම සිදුවිය.
කඩවුණු පොරොන්දුවේ රංජනී ලෙස රඟ පෑ ‘රුක්මණී දේවී’ අතිශයින් ජනප්‍රිය නිළිය බවට පත්වූවා ය. මනප්පුවා ලෙස රඟ පෑ එඩී ජයමාන්න ද අතිශයින් ජනප්‍රිය විය. මීට අමතරව බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න (සැම්සන්), ජෙමිනි කාන්තා (ජොසී), රූපා දේවී (ටෙක්ලා), පීටර් පීරිස් (වික්ටර්), ස්ටැන්ලි මල්ලවාරච්චි (හේමපාල), මීරියම් ජයමාන්න (හිල්ඩා), ඇසිලින් බාලසූරිය, සූරියරාණි, හියුගෝ ප්‍රනාන්දු, ඩී. ටී. පීරිස් වැනි නළු නිළියෝ සෙසු චරිත රඟපෑහ.
කඩවුණු පොරොන්දුවේ ගීත දොළහක් ඇතුළු විය. (ග්‍රැමපෝන් තැටියට ඇතුළු වූයේ මින් දහයක් පමණි.) මේ අතර ළපටි රූපෙ ඈගේ (එඩී ජයමාන්න), සන්ධ්‍යාවේ ශ්රීය රම්‍යා ලෙස පේනා (රුක්මණී/හියුගෝ), මගෙ සක බඹරේ (එඩී/ජෙමිනී) වැනි ගීත තිබිණි. ගීත හියුගෝ ප්‍රනාන්දු රචනා කළ අතර නාරායන් අයියර් සංගීතවත් කළේ ය.
කඩවුණු පොරොන්දුවේ ගීත නිර්මාණය කරන විට සිදුවූ රසවත් සිදුවීමක් ආතර් යූ. අමරසේනගේ ‘සිංහල සිනමා වංශය’ නම් කෘතියේ තිබී කලකට පෙර කියවීමි.
සංගීතඥ නාරයන් අයියර් ඔහුට පුරුදු මලයාලම් බසින් සිංහල වචන කොළයක ලියාගෙන ගී ගයන ආකාරය ගායක ගායිකාවන්ට කියා දුන්නේ ය.
“ මගෙ ෂෙක බඹරේ ඩෙන් කෙරකේ මාව ෂිෂාරා” නාරායන්ගේ වචන අසා සිටි හියුගෝ බඩ අල්ලාගෙන සිනාසුණේ ය. ඉන් නොනැවතුණු ඔහු ‘හිටගෙනද?’ අසමින් අයියර් උපහාසයට ලක්කළේ ය. “අන්න හොඳට ශබ්ද වෙන වචනයක්. ඒ වචනෙත් සින්දුවට ගන්න.” ගීත රචක හියුගෝ සින්දුවට යෝග්‍ය වචනයක් කීවේ යයි සිතූ අයියර් කීවේ ය. තමා කළේ විහිළුවක් බව හියුගෝ කීව ද අයියර් කීවේ එම වචනය ගීයට ඇතුළත් විය යුතු බවයි. හියුගෝ තමා කළේ විහිළුවක් බව කීමත්, අයියර් එම වචනය ගීයට ඇතුළු කළ යුතු යයි තරයේ කීමත් කෙළවර වූයේ දෙදෙන රණ්ඩුකට සැරසීමෙනි. අන්තිමේ නායගම් මැදිහත් වී ගෝරිය බේරුවේ ය.
බී. ඒ. ඩබ්ලිව්. හා නායගම් ඇතුළු පිරිස කඩවුණු පොරොන්දුව තනන අතරේ ලංකාවෙන් ගිය තව පිරිසක් චිත්‍රපටියක් වෙනත් චිත්‍රාගාරයක ‘අසෝකමාලා’ නිපදවන්නට පටන් ගත්හ. ඒ ශාන්ති කුමාර් සෙනෙවිරත්න ඇතුළු පිරිසයි. දෙපිරිස අතර මුල් ම චිත්‍රපටය පෙන්වීම සඳහා වූයේ තරගයකි. කඩවුණු පොරොන්දුව ජයගත්තේ ය. අසෝකමාලා පරාජය විය.
අසෝකමාලා දෙවන විත්‍රපටිය සේ තිරගත වූයේ 1947 -04 -09 වන දින ය. සිලොන් තියටර්ස් වෙනුවෙන් සර් සිත්තම්පලම් ගාඩිනර් නිෂ්පාදනය කළ අසෝකමාලා ශාන්ති කුමාර් සමඟ ටී. ආර්. ගෝපු විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ශාන්ති කුමාර්, එමලින් දිඹුලාන, හර්බි සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර, මයිකල් සන්නස් ලියනගේ ඇතුළු පිරිසක් මෙම චිත්‍රපටයේ රඟපෑහ.
අසෝකමාලා සිනමා කෘතියේ අවධානයට ලක්වූයේ එහි සංගීතය හා මිහිරි ගීතයි. මොහමඩ් ගවුස් මෙහි සංගීත අධ්යක්ෂවරයා විය. පසුව පණ්ඩිත් අමරදේව නමින් සම්භාවනාවට පත් වූ ඩබ්ලිව්. ඩී. ඇල්බට් පෙරේරා ගවුස්ගේ සහාය සංගීත අධ්යක්ෂවරයා වූයේ ය. ‘ශාන්ත මේ රාත්‍රියේ (භාග්‍යරතී), නයනා වැනී සුදෝ (මොහිදින් බෙග්/භාග්‍යරතී), ඇයි කලේ යමෙක් ආලේ (ඇල්බට් පෙරේරා) වැනි මියුරු ගී රැසක් අසෝකමාලාවට ඇතුළත් විය.
මහානාම දුනුමාල
-Dinamina-