සුපිරි වීර කතාවලට වයස් භේදයකින් තොරව ඇත්තේ විශාල ඉල්ලුමකි. නවීන තාක්ෂණය නිසා මිනිස්කම ඉක්මවා ගිය අසීමිත බලයක් මවා පෑමට කැමැති පුද්ගලයන් අධික අද වගේ කාලයක මේ ඉල්ලුම අහස් කුසින් ද ඔබ්බට ඉහළ ගොස් ඇත. ‘බ්ලැක් පැන්තර්’ ඊට හොඳම උදාහරණයකි.
‘බ්ලැක් පැන්තර්’ තිරගතවීම ඇරැඹුණේ පෙබරවාරි 18 වැනි දිනය. තිරගතවී තෙදිනකදී සිනමා පටයෙන් උතුරු අමෙරිකාවෙන් පමණක් ලැබුණු ආදායම ඩොලර් මිලියන 192 කි.
බ්ලැක් පැන්තර් තිරගතවී දෙදිනකදී අන්තර්ජාතිකව ලද ආදායම ඩොලර් මිලියන 36 කි. එය එදා මෙදාතුර හොලිවුඩ් සිනමාවේ පහළොස් වැනි ඉහළ ආදායම ලෙස වාර්තා පොතට එක්වී ඇත. එය A+ සිනමාපටයක් වන අතර සුපිරි වීර සිනමාපට අතරින් ඉහළ ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද සිනමාපටය ද වේ.
‘බ්ලැක් පැන්තර්’ අමෙරිකාවට ඔබාමා කෙනෙකි. අප්‍රිකානු අමෙරිකානු ජාතික රයන් කූග්ලර්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන සිනමා පටය කළු සුදු සම්මිශ්‍රණයක් ඇති අමෙරිකානු අධ්යක්ෂවරුන් කළ මංගල සිනමා නිර්මාණ අතර වැඩිම ආදායමක් ලද සිනමාපටය ලෙසින් වාර්තා පොතට එක්වී ඇත.
මෙය මාවල් කොමික්ස් නම් අමෙරිකානු කාටුන් පොත් මාලාවේ නිර්මාණයකි. ස්පයිඩර් - මෑන්, වොල්වරින්, හල්ක්, තෝර්, අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, ඩෙයාර් ඩෙවිල්, කැප්ටන් මාවල් වැනි චරිත අතරට බ්ලැක් පැන්තර් මුලින්ම පාඨකයන් අතරට පැමිණියේ 1966 ෆැන්ටෑස්ටික් ෆෝ සඟරාවෙනි.
මීට සියවස් ගණනකට පෙර අප්‍රිකාවේ ගෝත්‍රිකයන් පහක් යුද වැදුණේ වයිබ්‍රේනියම් (මනඃකල්පිත ලෝහයක්) අඩංගු උල්කාෂ්මයක් වෙනුවෙනි. ලෝහයේ බලපෑම ඇති හදවතේ හැඩය ඇති ඖෂධයක් ශරීරගත කරගත් යුද වීරයකුට මේ සුපිරි මානව කුසලතා රැසක් හිමිවේ. ඔහු පළමු බ්ලැක් පැන්තර්යි. යුද වැදුණු ගෝත්‍රික වර්ග පහෙන් හතරක් ම සමගි කිරීමට ඔහු සමත්වේ. ජබාරි ගෝත්‍රිකයන් පමණක් සමගි සන්ධානයකට එළඹීම ප්‍රතික්ෂේප කරයි. එකමුතු වූ ගෝත්‍රිකයන් වකන්දා නමින් ජාතියක් ගොඩනඟා ගනී. කාලයාගේ ඇවෑමෙන් වකන්දාවරුන් වයිබ්රේනියම්වලින් උසස් තාක්ෂණික නිර්මාණ සිදුකරයි.
ඔවුන් ලෝකයෙන් තුන්වැනි ලෝකයේ රටක් ලෙස හුදෙකලාවෙයි - වකන්දාවරුන්ගේ ඉරණම කෙසේ වයිබ්‍රේනියම් ලෝහය සමඟ ලියැවේවිද?
‘බ්ලැක් පැන්තර්’ සිනමාවට නැඟුණු පළමු අවස්ථාව මෙය නොවේ. මුලින් ම සිනමාවට නැඟුණේ 1921 දී ජර්මානු නිහඬ සිනමා පටයක් ලෙසිනි. 1977 දී බ්ලැක් පැන්තර් නමින් බ්‍රිතාන්‍යයෙන් ද සිනමා පටයක් නිර්මාණය විය. එහෙත් ඒ කතා දෙකට ම පාදක වූයේ මාවල් කොමික්ස් කතා මාලාව නම් නොවේ.
වෝල්ට් ඩිස්නි ස්ටුඩියෝස් මෝෂන් පික්චර්ස් බෙදා හැරීමක් වන මාවල් ස්ටුඩියෝස් නිෂ්පාදනයක් වන මෙය මාවල් සිනෙමැටික් යුනිවර්ස් දහඅට වැනි සිනමා නිර්මාණයයි. අධ්යක්ෂ රයන් කූග්ලර් තවමත් තිස් එක් හැවිරිදි අප්‍රිකානු - අමෙරිකානු අධ්‍යක්ෂවරයකි. 2003 ටයිම් සඟරාව මඟින් ලොවට බලපෑම් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් තිස් දෙනා අතරට ද ‘බ්ලැක් පැන්තර්’ සිනමා පටයේ සම රචකයකු ද වේ. ජෝ රොබට් කොලි අනෙක් රචකයාය.
බ්ලැක් පැන්තර් ලෙස ප්‍රධාන භූමිකාව රඟන්නේ චැඩ්වික් බෝස්මන්ය. චැඩ්වින්ට, බ්ලැක් පැන්තර් චරිතය ලැබුණු විට මුලින් ම කළේ පියාට ජාන පරීක්ෂාවක් සිදු කරන ලෙස දැන්වීමයි. අප්‍රිකානු අමෙරිකානුවකු වූ ඔහුට සිය අප්‍රිකානු සම්භවය සොයා බැලීමට අවශ්‍ය විය. ඔහු බ්ලැක් පැන්තර් චරිතයට පැට්රික් ලුමුම්බා, මැන්ඩෙලා ආදී ජනකාන්ත අප්‍රිකානුවන්ගේ කතා, ෆෙලා කුටිගේ ගීත සියල්ලකගේ ම ආභාෂයන් එක්කර ගත්තේය. මසායි යුද වීරයන් ගැන පොත් කියැවීය. ලතින් අමෙරිකානු ආත්මීය නායකයකු හමුවිය. සටන් ජවනිකා සඳහා දකුණු අප්‍රිකානු සටන් හා බොක්සිං පුහුණුව ලැබූ ඔහු දෙවරක් ම දකුණු අප්‍රිකාවට ගොස් පර්යේෂණ සිදු කළේය.
චැඩ්වික් බෝස්මන් පවසන්නේ බ්ලැක් පැන්තර් නිසා තමන් යළි දකුණු අප්රිකානුවකු වූ බවය. බ්ලැක් පැන්තර් චරිතයේ වචන උච්චාරණයට විශේෂ තැනක් හිමිවී තිබේ. වකන්දන්ගේ උච්චාරණයට දකුණු අප්‍රිකාවේ නිල බසක් වන ෂෝසා බස ද ඇතුළත්ය. වකන්දන්වරු ඉංග්‍රීසි කතා කරන්නේ ෂෝසා ඌරුවටය.
‘බ්ලැක් පැන්තර්’ සිනමා පටයට පිඹුරුපත් සැකසුණේ බැරැක් ඔබාමා ජනපති ධුරය දරද්දීය. එය සිනමාපට නිර්මාණයට ශක්තියක් විය.
චැඩ්වික් පවසන්නේ කූග්ලර්ගේ සිනමා පටයේ පවුල, වගකීම, පීතෘත්වය, පුතුන්, කාන්තා බලය, සංක්‍රමණය, දේශසීමා ආදී සියල්ලක් ම අන්තර්ගත බවය. කළු සමක් ඇතිව ඉපදීමේ, අප්රිකානුවකු වීමේ අරුත, ලෝකයේ පුරවැසියකු වීමේ අරුත සුපිරිවීර සිනමා කතාව ගෙන හැර දක්වයි. එහෙත් එලෙසින් ම එය අමෙරිකාව ගැන කියාපාන සිනමා පටයක් බවද චැඩ්වික් කියන්නේය.
මයිකල් බී. ජෝදන්, (එරික් කිල්මොන්ගර්), ලුපිතා නියොන්ගෝ (නේකියා), ඩනායි ගුරිරා (ඔකොයේ), ඩැනියල් කලූයා (විකබ්), ලැටීෂියා රයිට් (ෂූරි), වින්ස්ටන් ඩියුක් (එම්බකු), ස්ටර්ලිං කේ. බ්‍රවුන් (එන්ජෝබු) ඇතුළු අප්‍රිකානුවෝ රැසක් මෙහි චරිත නිරූපණය කරති.
සිනමා පටයේ වකන්දාවරුන් පස් දෙනකුගෙන් තිදෙනකු ම පාවහන් නොපැලඳවීම වේෂ නිරූපණ අංශයේ අදහසකි. ක්‍රීඩ් (2015), කිංග්ස්මන් සිනමා පටවල සටන් ජවනිකාද මේ නිර්මාණයට බලපා තිබේ. ලුපිතා නියොන්ගෝට සහ වින්සන්ට් ඩියුක්ට සිනමා පටය සුවිශේෂී වන්නේ ඔවුන් පාසල් වියේ එකම පන්තියේ අකුරු කළ නිසයි. මින් පෙර ‘ද ඇවෙන්ජර්ස්’ (2012) සිනමා පටයේද දෙදෙනා එක්ව රඟපා තිබේ.
දකුණු අප්‍රිකානු බලපෑම සිනමා පටයට කෙතරම් එල්ල වී ඇත්දැයි කිවහොත් තනු නිර්මාපක ලුඩ්විග් ගෝරන්සන් දකුණු අප්‍රිකාවට ගොස් ග්රැහැම්ස්ටවුන්හි අප්‍රිකානු සංගීතය පිළිබඳ අන්තර්ජාතික පුස්තකාලයට ගොස් සංගීතය අධ්‍යයනය කර ඇත. අප්‍රිකාවේ ගෝත්‍රිකයන් දහස් ගණනක් සිටින අතර සැබැවින් ම වකන්දා නම ලැබී ඇත්තේ කෙන්යාවේ ව කම්බා ගෝත්‍රයෙනි.
කල්ලන්ගේ වික්‍රමයක් වී තිබෙන බ්ලැක් පැන්තර් පිරිවැය ඩොලර් මිලියන 200 කි. එහෙත් තිරගතවී දෙදිනකදී ඩොලර් මිලියන 361 ක් ඉපයීමට සමත් වී තිබේ. මිනිත්තු 134 ක් දිග හැරෙන ‘බ්ලැක් පැන්තර්’ සුපිරි වීරයා ප්‍රේක්ෂක හමුවට පැමිණියා පමණි. ඉදිරියේදී ඔහුගේ වීරකම් ගැන වත් බොහෝ දේ කතා කළ හැකි වනු ඇත. 2018 බ්ලැක් පැන්තර් ජනප්‍රියකම දෙවැන්නකට මුල පුරනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.
චම්පානි දීපිකා රණසිංහ