යුද්ධය යනු කුමක්ද? එය පවතින්නේ කොතැනකද? විශ්වය ආරම්භ වූ දා සිටම කිසියම් දේශයක, යුගයක,ජාතියක හැරවුම් ලක්ෂයක් නිම කරනු පිණිස යුධමය තත්ත්වයක් ඇති වූ බව කිව හැකිය. සැබැවින්ම එය මිනිසාගේ අවසානයේ ලකුණක්ද? නැතිනම් පැවැත්මේ අත්‍යවශ්‍ය සළකුණක්ද යන්න විග්රහ කිරීම අසීරු කරුණකි. මන්ද විනාශයේ අත්‍යවශ්‍ය සාධකයද පැවැත්මේ නිත්‍ය සාධකයද යනු එකක්ම විය හැකි බැවිනි. නීට්ෂේගේ සදාතනික පුනරාගමන සංකල්පය අනුව නම් වරක විශ්වය තුළ පහළ වූ යුද්ධයක් යලි යලිත් ඒ ස්වරූපයෙන්ම කොතැනක හෝ ඇති වනු ඇත. ඒ අනුව උතුරේ සිටි ප්රභාකරන් යළිත් පැමිණ භීෂණයක් ඇතිකරනවාය යන නිගමනයට එළඹිය හැකි වුවද සදාතනික පුනරාගමන උපන්‍යාසය මේ වන විට නොතැකිය යුත්තකි. මක්ද එදා උතුරේ ඇති වූ යුද්ධය එලෙසින්ම යලි ඇති වුවද එය අනෙකක් මිස එදා ඇති වූ යුද්ධය නොවේ. සැබැවින්ම කාලයත් සමග එහි සිදුවන දේශපාලන සහ ආර්ථික පරිවර්තනයන් සමග මනුෂ්‍ය ජීවිතයේ ඇතිවන පරිවර්තනයන් මත එක සමාන සිදුවීම් විශ්වය මත සදාකල් සිදු විය හැකි නමුදු කිසිදා සිදු වූ යමක් යලි එලෙසින්ම සිදු වීමක් නොවේ.
කෙසේ වෙතත් යුද්ධය තිබූ අවධියෙහි දී අපි යුද්ධය යනු කුමක්දැයි සෙවීමු.යුද්ධය දෑසින් නොදුටුවද ඒ පිළිබඳ කතන්දර ඔස්සේ හෝ ස්වරූප මවා ගැනීම පහසුය. නමුත් වඩා අපහසු වන්නේ යුද්ධයෙන් පසු තත්වය මනසේ මවා ගැනීමයි. වර්තමානයේ අප ජීවිතය ගෙවන්නේ පශ්චාත් යුධ පසුබිමකය. යුද්ධය නිල වශයෙන් අවසන් ව ඇති වර්තමානය තුළ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් සහජීවනය ස්ථාපිත කිරීම සඳහා විවිධ සමාජ සහ දේශපාලනික ප්රයත්නයන්හි නියැලී සිටී. කිසියම් ඛේදවාචකයක් නිමා වූ විට සිදු කෙරෙන පසුවිපරම වඩාත් වැදගත් වන්නේ එය එක් අතකට දේශපාලනික ව්‍යාපාරයක් වනවා මෙන්ම ඛේදවාචකය සිදුවන අවධියෙහිදී නොදුටු එක් සමාජීය පැතිකඩක් මිනිසුන් වෙත ඉන් විදාරණය වන බැවිනි.
යුද්ධය වෙනුවෙන් සූදානම් කළ මිනිස් අමුද්‍රව්‍ය යුද්ධය නැතිව සිවිල් ජනතාව වෙනුවෙන් පැවතීම අතිශය බිහිසුණු තත්වයකි. එනම් අතිශය අමානුෂික යුධ පුහුණුවක් සහ බිහිසුණු මානසිකත්වයක්ද , ආයුධ පුහුණුවක්ද ලැබූ , උගත් කමකින් තොරව හමුදාවට බඳවා ගත් තරුණ ප්‍රජාවක් යුද්ධයකින් තොරව නිදැල්ලට මුදා හැරීම තුළින් සිදුවිය හැකි හානිය ප්රභාකරන් විසින් උතුරේ ඇති කළ භීෂණයට වඩා විනාශකාරී විය හැක. වර්ගවාදය උදෙසා භාවිතා කළ ප්‍රචණ්ඩතාවය අද ඔවුහු තමාගේම ජාතිය උදෙසා භාවිතා කරන අතර ස්ත්‍රී දූෂණයක් හෝ වෙනත් වංචාවක් පසුපස හමුදා සෙබලකු නියෝජනය වීමේ සම්භාවිතාව වැඩිවෙමින් පවතී.එදා ඔවුන් භීෂනය තුළ ලද ආර්ථික සහ ලිංගික නිදහස ලබාගැනීමට සමතුලිත සමාජයක් තුළ නොහැක. ඔවුන් සොයන්නේ භීෂණයයි. යුද්ධය නිමා වුවද ඔවුන්ගේ මනස යළි ප්‍රතිසංස්කරණය කළ හැකිද?පුපුරන තුරු ගිනි කන්දක වුව සුන්දරත්වයක් පවතින නමුදු පිපිරී අවසන් වූ පසු ඉන් දෘශ්‍යමාන වන විනාශයේ ප්‍රමාණය අතිමහත් වේ. ඕනෑම විනාශකාරී ව්‍යසනයකින් වසර ගණනක් ඉක්ම ගියද ඒ ඔස්සේ ඇතිවන සමාජ ව්‍යසනයන් මුහුණුවර වෙනස් කරමින් වර්ධනය වේ. මෙවන් යුගයක සමාජ ප්රතිසන්ධානගත වීම උදෙසා නිර්මාණ බිහිවීම අත්‍යවශ්‍ය කාරණාවක් වේ.
ජෝන් පෝල් ලෙඩරච්ගේ සමාජ දේශපාලන අර්ථ විචාරයට අනුව ප්‍රතිසන්ධානගතවීම යනු, බිඳී විසිරුණු සබඳතා නැවත ස්ථාපිත කරන ඒවා සුවපත් කරන ගමනකි. ළඟා වීමට ඇති ස්ථානයකි. ඔහු තවදුරටත් ප්‍රතිසන්ධානගතවීම යනු සත්‍යය, සමාව දීම, යුක්තිය හා සාමය එක් කරන විවිධ අන්තර් සමාජ ශක්‍යතාවන් සහිත වෙනස් සමාජ අවකාශයන්ගේ සම්බන්ධතා ඉහල නඟන ස්ථානයක් බව පවසයි. එය සත්‍යය, යුක්තිය, සාමය හා සමාව දීම හමුවන ස්ථානයට යන ගමනකි.
ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම යන සිනමාවෙිදීන් තිදෙනා විසින් තුන්දෙනෙක් සිනමාපටය නිර්මාණය කරන්නේ මෙබදු පසුබිමකදීය. තුන්දෙනෙක් යන තේමාව යටතේ Her, Him සහ The Other යන සිනමාපට තුන ඉදිරිපත් වන අතර ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරන ලද Her සිනමාපටයෙහි තේමාව වන්නේ පෙනෙන යමක් තුළින් නොපෙනන යමක් සොයා යාමයි. එහි සොයා යන්නා වන්නේ කේසව රාජන් නවරත්නම්ය. සිනමා ලෝලියකු වන කේසා යුද්ධයෙන් පසු තමා ප්‍රිය කරන සිනමා අධ්යක්ෂවරයකු වන අශෝක හදගම වෙත සිදු කරන පාපොච්ඡාරණයක් ලෙස සිනමාපටයේ තේමාව සැකසේ. කේසාගේ එල්.ටී.ටි.ඊ වැඩ බිමේ ස්මරණයන් සහිතව ප්‍රේක්ෂකාගාරය වෙත ඉදිරිපත් කරන ප්‍රථම රූපරාමුව නගීසා ඔසාමා ගේ Marry Cristmus Mr Laurance (1983) චිත්‍රපටයේ ආරම්භය සිහිපත් කරන අතර එහි Tom Bowie විසින් සිදු කළ චරිත නිරූපණය යලි සිහිපත් කරයි. ජීවිතයේ කිසියම් අනපේක්ෂිත අවස්ථාවක තමා තුළ ඇති කරගත් සිහිනයක් සමග ඕනෑම මිනිසකු අතරමං වෙයි. කේසා අතරමං වන්නේ පණ අදින සෙබලකුගේ සාක්කුව තුළ ඉතිරි කර ගිය සුන්දර යුවතියකගේ ඡායාරූපයක් සමගය.එහි පසුපස ජංගම දුරකථන අංකයක් සදහන් කර තිබේ. ඔහු ක්‍රියාන්විතයේ සිටින කාලයේ වරින් වර ඇය සමග සංවාදයේ යෙදෙයි. ඇය වෙත පැවසිය යුතු පරම සත්‍යය තුළ දිනෙන් දින ඔහු අතරමං වේ. යුද්ධය පවතින වකවානුවේ යුද්ධයේ ස්වභාවයන් සම්බන්ධ මතවාදමය කතිකාවක නිරත වූ අශෝක හදගම හඳගම ලෙසින්ම සිනමාපටයට ප්රවිශ්ඨ වන අතර ඔහු නුදුටු ලෝකයක් මිහිපිට පවතින බව කේශාගේ අදහසයි. කේශා විසින් සිනමා අධ්යක්ෂවරයාද සමග කලකට ඉහත දුරකථන සංවාදයේ නියැලුණු යුවතිය සොයා චාරිකාවක් අරඹයි. ඈ සිනමාපටයේ කතා සාරාංශය එයයි. ගවේශකයාගේ චරිතය කේසව රාජන් නවරත්නම් විසින් සාධාරණයක් ඉටු කරනු ලැබූවද, තම සීමාව ජයග්‍රහණය කිරිමට සමත් වන නමුදු යුද්ධමය සිනමාව කියවා ජීවිතය ඉදිරියේ අසරණ වූ අධ්යක්ෂවරයාගේ චරිතය භාවාත්මකව ඉදිරිපත් කිරීමට හඳගම සමත් නොවේ.
Her සිනමාපටයෙහි කතා වින්‍යාසය සහ ආකෘතිය දෙස බැලූබැල්මට සිහිපත් වන්නේ Denis Villeneve ගේ incendies (2010) නමැති ප්‍රංශ සිනමාපටයයි. එම සිනමාපටයේද පදනම වන්නේ සොයා යාමයි. නවාල් මර්වාන් නමැති කාන්තාවක පණ අදිමින් සිටින විට නීතිඥවරයකු විසින් ලිපි දෙකක් ඇගේ නිවුන් දරවන්ට ලබා දෙයි.ඒ පණ අදින ගැහැනියගේ අවසන් කැමැත්තයි.ඒ අනුව එම නිවුන් දරුවන් විසින් එම ලිපි දෙකින් එකක් ඔවුන්ගේ පියා වෙතත් , අනෙක සොහොයුරා වෙතත් ලබා දිය යුතු වන අතර නිවුන් දරුවන්ගෙන් පුතනුවන් මේ මෙහෙයුමට අකමැති වන අතර දියණිය සිය මව උමතු කාන්තාවක නොවන බව විස්වාස කරයි. ඇය දිගටම සොයා යයි. ඇගේ දීර්ඝ චාරිකාව පුරාම මුණ ගැසෙන්නේ පාලු මාවත් නොව යුද්ධයේ අමානුෂිත සිහිවටනයන්ය. එය කිසියම් දේශසීමාවකට සීමා මායිම් නොකරන සිනමා කරුවා විශ්ව ව්යාපීීව වාර්ගික අරගලයේ ඇති අති බිහිසුණු ස්වභාවයන් ඉස්මතු කිරිමට සමත් වෙයි. නමුත් Her සිනමාපටයේ ආරම්භයේ පවතින විශිෂඨත්වය අතරමගදී බිඳ වැටේ. කේසාගේ චාරිකාවම අර්ථ ශූන්යසහ මිනිසුන්ගෙන් තොර වේ.අවසානයෙහි එය එක් කාන්තාවක් පමණක් සොයා යන ගමනකට ලඝු වන අතර යුද්ධයේ අතුරු ඵල සහ මිනිස් ස්වභාවයන් ඔවුන්ට මග හැරේ. ඔවුන් පසු කරන්නේ පුරන් කුඹුරු යායවල් සහ ගස් කොළං පමණි. හදගම සිනමාව උදෙසා උපකල්පිතව අනුමානය කළ පමණටවත් යුද්ධයේ බිහිසුණු බවක් කේශා සමග යන මෙම සත්‍ය චාරිකාවේදී ඔවුන් ට හමු නොවන අතර යුවතියගේ ඡායාරූපය පෙන්වමින් ඔවුන් යන ගමන කළෙවර වන්නේ ඉතාම සරල ලෙස එම කාන්තාව හමුවීමෙනි. ඒ හමුවීම ප්‍රේක්ෂකාගාරය කළඹන සහ පුපුරා යන හමුවීමක් නොවේ. එය අතිශය සරලය. මිය ගිය සෙබලාගේ පෙම්වතිය නරඹන්නා තුළ කිසිදු කම්පනයක් ඇති කිරීමට සමත් නොවන අතර ඇය මදක් විලියෙන් ඇඹරී පවසන්නේ වසර දෙකක් ඉක්ම ගිය තැන සිය ස්වාමියා සම්බන්ධව අපේක්ෂා අත් හළ බවකි. මේ වන විට ඇය නව ජීවිතයක් අරඹා තිබේ. ඕනෑ ම ඛේදවාචකයකට පසුව මිනිසා නව මගක් ගත යුතු බව සත්‍යයකි. නමුත් ඛේදාන්තයකින් වසර ගණනාවක් ගියද එහි අමිහිරි පදනම් විශ්වයෙහි පැවැත්මෙන් ඉවත් නොවන ආකාරය නිරූපණය කළේ නම් එය වඩාත් සාර්ථක වනු ඇත. නිදසුනක් ලෙස මේ සිනමාපටයේ ආකෘතික ස්වභාවය සමග සැසදිය හැකි වූ Incendies (2010) සිනමාපටයෙහි අවසානය සමස්තය සමාජ දේහ ලක්ෂනයන් පුපුරවා දමා මුළු ලෝකයම එක මොහොතක සමතලා මතුපිටකට ඇද දමයි. මවගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට සොයුරා සහ පියා සොයා යන දෙදරුවන්ට අවසානයේ පියාද සොයුරාද ලෙස හදුනාගත හැකිවන්නේ එකම මිනිසෙකි. එනම් තම මවගේ වැඩිමහල් පුතු බන්ධනාගාරය තුළදී සිය මව කෙලෙසීම නිසා මේ නිවුන් දරුවන් උපත ලද බව අනාවරණය වන අතර අවසානයේ ඔවුහු එම අමිහිරි සත්‍ය විදදරා ගනිමින් ලිපි දෙකම සිය පියාත් සොයුරාත් ලෙස හදුනාගත් මිනිසාට ලබා දෙයි. යුද්ධය නිමා වුවද ඔවුන් පැවතිය යුතුය. වඩාත් අභියෝගකාරී අවස්ථාව වන්නේ එයයි. මෙබඳු සිදුවීම් ලාංකීය සමාජය තුළද දුලභ නොවේ.
වරක් එක්තරා පියකු සහ දියණියක මා දන්නා හඳුනන මාධ්‍ය වේදියකු වෙත පැමණ තිබිණි. ඔවුහු දමිළ ජාතිකයන් වූ අතර ඒ වන විට දියණිය ගැබිණියක බවට පත්ව සිටියාය.දි යණියගේ දරුවාගේ පියාද දියණියගේ පියාද එක් අයකු විය. ඒ පියාගේ කාමාතුර බව නිසා නොවේ. එල්.ටී.ටී.ඊ සාමාජිකත්වය සදහා තරුණ දියණියන් රැගෙන යාම ආරම්භ වූ විට දියණිය ඉන් මුදවා ගැනීමට පියා යෙදූ උපක්‍රමය එයයි. ඒ සදහා වෙන පිරිමියකු ඔහු තෝරා නොගත්තේ දරුවාට ඇති ආදරය නිසා විය හැකිය. මේ වන විට යුද්ධය නිමාවී එල්.ටී.ටී සංවිධානය සදහා දියණියන් බදවා ගැනීමද අවසන් වී ඇති නමුත් ඒ පියාත් , දියණියත් යළිි ප්‍රතිසංවිධානය කරන්නේ කෙසේද? පරම්පරා ගණනක් යන තුරුත් දශක ගණනාවක් යන තුරුත් අර්ථ කථනයන් දිය නොහැකි නෑ සබදතා සහ පුද්ගල අන්තර් සම්බන්ධතා සමග අසරණ වී ඇති මිනිස් සමාජයක් නිරූපණය කිරීමේදී Her සිනමාපටය ඉතා අහිංසක සහ සරල අවසානයක් ඇතිව අවසන් වේ. එය නරඹන අයකුට හිතෙන්නේ යුද්ධය දවසින් දෙකින් අමතක කළ හැකි සරල දෙයක් බවකි. Her සිනමාපටයේ කතා වින්‍යාසය (Plot) නිර් මාණ තුනෙන්ම හොදම කතා වින්‍යාසය වූ නමුදු ඉන් සාර්ථක නිර්මාණයක් සිදු කරන්නට සිනමාවේදියා සමත් නොවේ. එයට හේතුව වෘත්තාන්ත චිත්‍රපයක් සදහා උචිත පුළුල් තේමාවක් කෙටි කාල පරාසයකට සකසුැරුවම් කර ගැනීමට දැක්වූ අසාර්ථක බව සහ ඔහු දෙවැන්නාට තම කෘතිය සමග ඒකාබද්ධ වීමට ඉඩක් ඉතිරි කර ඔහුව විස්වාස කිරීමයි.
තමා නතර කළ තැනින් දෙවැන්නා සාර්ථකව ආරම්භ කරනු ඇතැයි ඔහු විස්වාස කරයි. Her සිනමාපටය අවසන් වන්නේ අධ්‍යක්ෂකගේ චරිතය නිරූපණය කරන හඳගම විසින් කේසාට ෙදැන් ඔයා ඔයාගේ කතාව කියන්න යනුවෙන් අනෙකා උදෙසා ඉඩක් ඉතිරි කරමිනි. ඉන් පසු ඇරඹෙන්නේ විමුක්ති ජයසුන්දරගේ Him සිනමාපටයයි. ඒ ඔස්සේ කේසා හෝ එවන් සත්‍ය චරිතයක් විමුක්තිගේ සිනමාපටය ඔස්සේ බලාපොරොත්තුවන ප්‍රේක්ෂකයාට කිසිවක් නොලැබේ. හුදකලා නිර්මාණකරුවකු වශයෙන් සාර්ථක වූ නමුදු විමුක්ති හවුල් ව්‍යාපාර වලදී දක්වන අලස බව සහ වංචා සහගත බව මෙතැනදී එලෙසම පලකරමින් ලොකුම බොරුව නිර්මාණය කරයි. එය එලොවටත් නැති මෙලොවටත් නැති සිනමාපටයක් වී යුද්ධයේ අමිහිරි ඵලයක් ඉන් නිරූපණය නොවන අතර ප්රවෘත්ති අර්ථකථනයේ පවතින සාවද්‍ය බව වැනි සාරාංශයකට පමණක් අවසානයෙහි එය ලඝු වේ. යුද්ධය ඇසුරින් ඔහු විය හැකියාවන් සහ උපකල්පනයන් ඉදිරිපත් කරයි. ත්‍රස්තවාදි නායකයකු සිංහල මවකගේ කුසින් බිහිවුනොත් කෙසේද? ආදී අභව්‍ය උපකල්පන ගොඩ නගා ගනිමින් ඔහු නාස්ති කරන කාලය තුළ මුල් සිනමාපටය ප්‍රේක්ෂකයාට සහමුලින්ම අමතක වී ඔවුහු හෙම්බත් වෙති. මේ තත්වය වටහා ගන්නා නිසාදෝ අශෝක හදගම වහාම අනෙකා The Other බවට පත්වේ. එය ද මහා සිනමා කෘතියක් නොවන නමුදු භාවාත්මක ප්‍ර වේ ශයක් නිසා තරමක් සිවිල් සමාජය වෙත කම්පනයක් ඇති කළ හැකි ප්රකාශනයක් වශයෙන් සදහන් කළ හැකිය.පුරුදු පරිදිම ජීවයෙන් පිරුණු දෙබස් සහ ප්‍රබල රූපරාමු ඔහු භාවිතා කරයි.
"සිංහල තේරෙන්නෙ නෑ වගේ හිටියට ඔය මම කියපු දේ හොදට තේරිලා තියෙන්නෙ."
"නෑ අයියා. එයාට ඒක තේරුණ භාශාව ඔයගොල්ලන්ට තේරුණානම් මෙහෙම යුද්ධයක් ඇති වෙන්නෙත් නෑ, මට මගේ මිනිහ නැති වෙන්නෙත් නෑ, මේ අම්මට එයාගේ පුතා නැති වෙන්නෙත් නෑ."
එක්වරම Babel සිනමාපටය සිහිපත් කරන්නේ කිසියම් පුළුල් සිදුවීමක් තුළින් හටගත් සිද්ධි සහ අහඹු අවස්ථා නිරූපණය හරහා විශ්ව ව්‍යාපී ප්රකාශනයක් සකස් කර ගන්නට ඔහුගේ දෘශ්‍යය මාධ්‍යය යම් තරමකට සමත් වී තිබීම නිසාය. යුද්ධය යනු විශයක් ලෙස හැදෑරිය හැකි දෙයක් නොවේ. අත් දැකීමක් ලෙස විදිය යුත්තකි. ශ්‍රී ලංකාවේ යුද්ධය නිසා සිවිල් ජනතාවටත් වඩා අවතැන් වූයේ සිනමාකරුවන්ය. නව චින්තන දහරාවක් හරහා කලාත්මක සිනමාවක් ෙගාඩ නගන්නට හැකියාවක් ඇති සිනමාකරුවන් සියලු දෙනාම යුද්ධය නම් තෙමාවේ සිරගත වූහ. සාමාන්‍යෙයන් යුද්ධයන් පිළිබදව උපකල්පන ගොඩ නගා ගැනීම සිදු කළ හැකිය. ඒ අනුව වෙඩි තැබීම, ස්ත්‍රී දූෂන, සිංහල දෙමළ පෙම් සබදතා ආදී ලෙස උපකල්පිත යුධමය සිනමාවක් බිහිවිය. නමුත් යුද්ධය නිමාවූ පසුව නොදුටු සිවිල් සමාජයක් උපකල්පනය කර ගැනීමට නොහැකි වීම නිසා යුධ තේමාවන්ට ලඝුවී සිටි සිනමාකරුවන් පෙර තිබූ නිවහල් චින්තනයද, යුද්ධය නිසා ලද නිර්මාණාත්මක උත්තේජනයද යන දෙකම අහිමි කරගත්හ.ඉන් සිදු වූයේ දේශය අහිමි වූ ජනතාවක් මෙන් ඔවුහු තමා තුළම යම් තරමකට අසරණ වීමයි. අවසානයෙහි කීීමට ඇත්තේ මේ තුන්දෙනා ඊට හොදම නිදසුනක් වී ඇති බව පමණකි.
- උපේක්ෂා නුවන්ශ්‍රීනි-