සුළු කලිඟු දා වත' පළ කළේ අපේ පැරැණි සම්භාව්‍ය කෘති සාමාන්‍ය පාඨකයා නොකියවීම ගැන ඇතිවූ දුක නැති කර ගැනීමට බව ඔබ ප්‍රකාශ කර තිබුණා?
ඔව්. අපේ පැරැණි සම්භාව්‍ය කෘති සාමාන්‍ය පාඨකයා නොකියවීම කනගාටුවට කරුණක්. ඔවුන් මිය යන්නේ මේ කෘතිවල ඇති රසය විඳින්නේ නැතිව. 'සුළු කලිඟු දා වත' කියවා මා ලැබූ රසාස්වාදය සෙස්සන්ටද විඳීමට ඉඩ සැලැසීම තමයි මගේ වෑයම වුණේ.
සම්භාව්‍ය සාහිත්‍ය ගැන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පවා උනන්දුවක් නැහැ කියලද ඔබ කියන්නේ?
ඇත්තටම නැහැ. කිසිදු ආකාරයක සම්භාව්‍ය සාහිත්‍ය ගැන උනන්දුවක් නැති යුගයක් තමයි මේ. විශ්වවිද්‍යාල කියා වෙනසක් නැහැ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළට සම්භාව්‍ය සාහිත්‍ය කෘති නිර්දිෂ්ට ග්රන්ථ ලෙස ඇතුළත් කර තිබෙනවා. විශ්වවිද්‍යාලවල සිංහල විෂය නිර්දේශය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නියම කර තිබෙන නිසා සාහිත්‍ය කෘති පරිශීලනය කරනවා. එහෙත් ඉන් එහා කිසිදු උනන්දුවක් සම්භාව්‍ය සාහිත්‍ය ගැන ඔවුන් තුළ නැහැ. මෙවැනි පසුබිමක 'සුළු කළිඟු දා වත' වැනි පොතක් පළ කිරීම අනුචිතයි, අයෝග්‍යයි. ගොඩගේ මහත්තයටත් මම කිව්වා පිටපත් 100-200ක් මුද්‍රණය කළාම ඇති කියලා. මොකද මේ පොත පළකිරීම උඩුගං බලා පිහිනනවා වගේ වැඩක් බව මම දන්න නිසා. එහෙත් මේ පොත පළ කිරීම මගේ ජීවිතාශාවක් ඉටුකර ගැනීමක්.
ඒ ජීවිතාශාව ඇතිවුණේ කොහොමද?
'සුළු කලිඟු දා වත' කියන උපාඛ්යානයට නැතිනම් නිබන්ධිකාවට පාසල් වියේ සිටම මගේ ලොකු ඇල්මක් තිබුණා. 'කියඟ සොඳුර බඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ' ගද්‍ය පාඨය කියවන්න මට ලැබුණේ 1960 ගණන්වල නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටියදී. ඒ පාඨයෙන් කියන්නේ නුඹව මවන්න මහා බ්‍රහ්මයා සඳෙන් සෞම්‍ය ගුණය ගත්තා. රන්පාට වර්ණවලින් ප්‍රසන්න ගුණය ගත්තා. වනමල්වලින් පියයුරු මැව්වා. මේ විදියට නුඹගේ විවිධ අංග ප්‍රත්‍යංග මවපු මහා බ්‍රහ්මයා නුඹගේ හදවත ගලක් කළේ ඇයි? යන්නයි. පස්සෙ මම දැනගත්තේ ගුරුළුගෝමී පඬිවරයා රචනා කළ ධර්ම ප්‍රදීපිකාව කියන පොතේ එන 'සුළු කලිඟු දා වත' පරිකතාවේ තමයි මේ ගද්‍ය පාඨය තියෙන්නේ කියලා. පොත සොයාගෙන කියෙව්වත් මට සුළු කලිඟුදා වත හොයාගන්න බැරිවුණා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළුවෙලා සිංහල විශේෂවේදී උපාධිය කරනකොට 'සුළු කලිඟු දා වත' ඉගැන්නුවත් එය මට රසවත් වුණේ නැහැ. පාලි මහා බෝධි වංශයේ වචන 200 ගණනකට ලියූ පරිකතා රැසක් ධර්ම ප්රදීපිකාවට ඇතුළත්. අපේ තිබෙනවා ව්‍යාඛ්‍යාන සාහිත්‍යයක්. ඒ කියන්නේ සන්න, ගැට පද, පරිකතා, පිටපොත්, ටීකා, ටිප්පනි. මින් තේරෙන්නේ යම් යම් පොත්වල තිබෙන අවබෝධයෙන් දුරස්ථකරණය වූ වචනවල තේරුම සරල අර්ථයෙන් පැහැදිලි කිරීමයි.
විශ්වවිද්‍යාලයේදී 'සුළු කලිඟු දා වත' නීරස වුණා කිව්ව නේද?
මම හතළිස් අවුරුද්දක් ගුරුවරයෙක් ලෙස කටයුතු කළා. මම දන්නවා උගැන්වීමට ඇති අමාරුකම. එය වෙනම කටයුත්තක්. ඔය ටියුෂන් ගුරුවරුන්ව සමහරු අවතක්සේරු කරනවා. හෑල්ලු කරනවා. එහෙත් මම හිතන්නේ ටියුෂන් ගුරුවරයකු වීම පහසු නැහැ. කෙටි කාලයක් තුළ නිරවුල්ව පැහැදිලිව හා කෙටියෙන් ඉගැන්වීම අසීරු වැඩක්. විශ්වවිද්‍යාලයේ සුළු කලිඟු දා වත ඉගැන්වීම මට ප්‍රිය වුණේ නැත්තේ ගුරුවරයා නිසයි.
ප්‍රථම පන්ති සාමාර්ථයක් මට ලැබුණත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මාව පිළිගන්නේ නෑ. මහාචාර්ය ජී. ජේ. විජේරත්න තමයි මාව කැලණිය විශ්වවිද්‍යාලයට තෝරා ගන්නේ. එතුමා මහාචාර්ය සරච්චන්ද්‍ර එක්ක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ප්‍රවීණයෙක්. කැලණියේ සිංහල අධ්‍යයනාංශයේ ප්‍රධානියා විදියට එතුමා තාවකාලික සහකාර කථිකාචාර්යවරයෙක් වුණු මට ප්‍රථම වර්ෂයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාතක කතා සාහිත්‍ය උගන්වන්න භාරදුන්නා. එදා මෙදාතුර කාටවත් එවැනි අවස්ථාවක් ලැබිල නැහැ. 1976 යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය පටන්ගැනීමේදී මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය ධර්මසේන පතිරාජ සමඟ මට අවස්ථාව ලැබුණා එතනට යන්න. ගම්ලත් කිව්ව නූතන සාහිත්‍ය උගන්වන්න පතිරාජ ඉන්න නිසා සුනිල් කව්සිළුමිණ, සුළු කලිඟු දා වත උගන්වන්න කියලා. මම අදිමදි කරනකොට ගම්ලත් මට පොත් දෙකම රසවිඳින හැටි ඉගැන්නුවා. සුළු කලිඟු දා වතේ රසය මට දැනුණේ එදයි. මම ඊට ප්‍රේමයෙන් බැඳුණා. යළි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ආවට පස්සේ මම දිගටම අවුරුදු 30-40ක් ඉගැන්නුවේ ඒ පොත් දෙක තමයි. ගම්ලත් තමයි රසාවේෂයක් මා තුළ මේ පොත ගැන ඇති කළේ.
ප්‍රථම සිංහල ගද්‍ය කාව්‍ය වශයෙන් ඔබ සුළු කළිඟු දා වත නම් කරනවා?
ඔව්. ජාතක පොත සිංහලට නැඟෙන්නේ කුරුණෑගල යුගයේදී. සුළු කළිඟු දා වත ඇතුළත්වන ධර්ම ප්‍රදීපිකාව ලියවෙන්නේ දොළොස් වැනි ශත වර්ෂයේදී. ඒ වනවිට සිංහලෙන් කතන්දර ලියැවිලා නැහැ. සිංහලේ පැරැණිම කතන්දර තියෙන්නේ ධර්ම ප්‍රදීපිකාවේ කියලයි මම හිතන්නේ. ගුරුළුගෝමීන් සමහර පදවලට පරිකතා ලියන්න කැමැති වන්නේ කතන්දරවලින්.
පරිකතාව කියන්නේ කුමක්ද?
'පරි' කියන වචනයෙන් කියැවෙන්නේ 'හාත්පස' කියන අර්ථයයි. 'කතා' කියන්නේ කතාන්දර. ගුරුළුගෝමීන් කරන්නේ වචනවලට 'කතා' ලිවීමයි. පාලියෙන්, සංස්කෘත භාෂාවෙන්, පාලි + සංස්කෘත හා සිංහල මිශ්‍ර භාෂාවකින් තමයි මේ කතා ඉදිරිපත් කරන්නේ. මේ කෘතියේ තිබෙන ඉතා කුඩා කතා විස්සක් වෙන වෙනම අරගෙන මේ පොතට ඇතුළත් කර තිබෙනවා. මේ රසවත් කෙටි කතා අතරින් එකම එක ගද්‍ය කාව්‍යයයි තියෙන්නේ. ඒක තමයි සුළු කලිඟු දා වත.
පන්සිය පනස් ජාතක පොතේ තිබෙන කාලිංග බෝධි ජාතකය ඇසුරෙන් නේද සුළු කලිඟු දා වත ලියා ඇත්තේ?
ඔව්. ඕනෑම ජාතක කතාවක වර්තමාන කතාව, අතීත කතාව හා සමෝධානය කියලා ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. මින් වර්තමාන කතාව හා සමෝධානයන් ඉවත් කරලා අතීත කතාවේ එන ප්‍රේමකතාව විතරයි ගුරුළුගෝමි ගන්නේ. කුමරි වර්ණනාව, සම්භෝග වර්ණනාව ආදී ලෙස වර්ණනා දහයක් මීට ඇතුළත්. 'කව් සිළුමිණ' කතුවරයා සම්භෝග වර්ණනාවට මුළු පරිච්ඡේදයක් වැය කරද්දී ගුරුළුගෝමීන් මුද්‍රිත පේළි දහයකින් එය කරනවා. එහෙත් වඩාත් විශිෂ්ට කුමක්දැයි තේරීම අසීරුයි.
ගුරුළුගෝමී සිය ලේඛනයේදී මෛථුනය පිළිකෙව් කළත් සුළු කලිඟු දා වතේ සම්භෝගය වර්ණනා කරනවා නේද?
මදුරජ කුමරිය හා සුළු කලිඟු කුමාරයා ලිංගික සංතෘප්තිය හා රමණීය විඩාව ඔහු ඉතා සංයමයෙන් ඉදිරිපත් කර තිබෙනවා.
මදුරජ කුමරියගේ සිරුර නම් විලේ සුළු කලිඟු කුමරා ගිලී සිරුරේ ඇවිළුණු කාම තෘෂ්ණාව නිවාගත් අයුරු විස්තර කර ඇත්තේ සෞන්දර්යාත්මකවයි.
සුළු කලිඟු කුමාරයාට මදුරජ කුමරිය පළමුව හමුවන්නේ ඇය ගංගාවක් අසල අඹ ගසක නැඟ සිටියදීය. දුටුවනම කුමරියට පෙම් කරන කුමාරයා කුමරිය වර්ණනාව කරනවා. 'සඳෙන් සොමි ගෙනැ' ආදී වශයෙන් කවි කියවෙන්නේ ඒ නිසයි. අවසානයේ ඔහු අහනවා මහබඹා නුඹේ හදවත ගලක් කළේ මන්ද කියලා. අවසානයේ අඹ ගසින් බසින මදුරජ කුමාරිය සමඟ කුමාරයා එතැනම සම්භෝග සුවය විඳිනවා.
ඔබ මේ කෘතිය සුචරිත ගම්ලත්ට පිරිනැමීමට සිතුවේ ඇයි?
මහාචාර්ය ගම්ලත් තමයි සුළු කලිඟු දා වත රසවත්ව මට ඉගැන්නුවේ. මේ කෘතිය එළිදැක්වීමේ ගෞරවය හිමිවිය යුත්තේ ඔහුටයි. එනිසයි එතුමාගේ ශ්‍රී නාමයට කෘතිය පිරිනැමුවේ. ඒ වගේම මේ කෘතිය පළ කිරීම ගැන ගොඩගේ ප්‍රකාශකයන්ට ස්තුතිවන්ත විය යුතුයි.
මෙවැනි කෘතියක් පළ කිරීමෙන් ටික දෙනකු හෝ සම්භාව්‍ය සාහිත්‍යය රසවිඳීමට නැඹුරු වුවහොත් එය මට ප්‍රමාණවත්. එහෙත් මෙය මගේ විෂය ක්ෂේත්රය නොවන නිසා යළි සම්භාව්‍ය සාහිත්‍ය කෘති ලියන්නේ නෑ.
මව්බිම